ටෙන්ඩුල්කාර් දියණියගේ සිතට එබිකම් කරන ඉන්දියාවේ අලුත්ම ක්‍රිකට් තරුව | සිළුමිණ

ටෙන්ඩුල්කාර් දියණියගේ සිතට එබිකම් කරන ඉන්දියාවේ අලුත්ම ක්‍රිකට් තරුව

 

මේ දිනවල ඉන්දියාවේ වැඩිපුරම කතාබහට ලක් වන ක්‍රිකට් තරුව ෂුබ්නම් ගිල් ය. IPL තරගාවලියේ හොඳම පිතිකරුවා බවට පත් වූ ෂුබ්නම්ගේ ක්‍රිකට් දස්කම් අබිබවා දැන් කතාබහට ලක් වී ඇත්තේ පෙම් පලහිලව්ව ගැනය. එය එසේ මෙසේ ප්‍රේමයක් නොව ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකුගේ එකම දියණිය අරබයා ගෙතුණු අපූරු පෙම් පුවතකි. ඇය සාරා තෙන්ඩුල්කාර්ය.

දියණියගේ පියා කවුරුන්දැයි අමුතුවෙන් කිව යුතු නැත. සාරා සහ ගිල් අතර රහස් ප්‍රේමයක් දලුලා වැඩෙන බවට මුලින්ම තොරතුරු පැතිර ගියේ මුහුණුපොතේය. ඊළඟට ‘ට්විටර්‘ සමාජ මාධ්‍ය ජාලාවේය. එය දැන් මුළු ඉන්දියාවේම වැඩිම කතාබහට ලක් වූ පුවත බවට පත් වී ඇත. විමතියට කරුණ වන්නේ මේ වනතුරු දෙදෙනාම ඒ ගැන මුනිවත රැකීමය. ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ ද නැත. බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල මෙන් ජනප්‍රිය චරිත හඹා යන පැපරාසි ඡායාරූප ශිල්පීන් නැතුවාට මෙවැනි ඕපාදූප සොයා යන ඡායාරූප ශිල්පීන්ගෙන් අඩුවක් නැති ඉන්දියාවට තවම සාරා සහ ගිල් එකට සිටින ඡායාරූපයක් නම් සිය කැමරා කාචයට හසු කරගැනීමට නොහැකි වීමත් අරුමයකි.

එදා අහමදාබාද් නුවරදී මුම්බායි ඉන්ඩියන්ස් පිලට එරෙහිව ගුජරාට් ටයිටන්ස් පිලට ජයගෙන දීමට ෂුබ්නම් ගිල් විශිෂ්ට ශතකයක් රැස් කරද්දී ක්‍රීඩා මණ්ඩපයේ සිටි මේ යුවතිය තරම් අමන්දානන්දයට පත්වූ ක්‍රීඩාලෝලීයකු මුළු පිටියේම නැති තරම්ය. ශතකය වාර්තා කිරීමෙන් පසු ෂුබ්නම් හිස නමා ආචාර කළේ ඇය සිටි ඉසව්ව දෙසටය. ඒ මොහොතේ වීඩියෝ කැමරා එල්ල වූයේ ෂුබ්නම් වෙත නොව සාරා වෙතටය. ඇය ක්‍රීඩාංගණයට පැමිණ සිටියේ සිය පියා යාවජීව සාමාජිකයකුව සිටි මුම්බායි ඉන්ඩියන්ස් පිල ජයග්‍රහණයට දිරිගැන්වීමටය. ඇරත් ඇගේ එකම සොහොයුරු අර්ජුන් ද මුම්බායි පිලේ සාමාජිකයෙකි. ඒ සියල්ල පසෙකලා මේ යුවතිය ප්‍රතිවාදී පිලේ පිතිකරුවකුගේ ශතකයෙන් එතරම් ප්‍රීතියට පත්වීමේ රහස ප්‍රේමය නොවේදැයි පසුදින ඉන්දීය පුවත්පත් අපූරුවට වාර්තා කර තිබිණි.

ආදරයයි කැස්සයි සැඟවීමට බැරි බව යළි යළිත් තහවුරු වන්නේ ඇගේ ට්විටර් ගිණුමෙහි කවරය සැරසී ඇත්තේ ෂුබ්නම්ගේ ඡායාරූපයකින් වීම නිසාය. ඇරත් ඇගේ ට්විටර් පිටුවේ වැඩිපුරම ඇත්තේ ද ෂුබ්නම්ගේ තොරතුරු හා ඡායාරූප සටහන් ය. දෙදෙනා අතර මීට කලෙකට පෙර හුවමාරු වූ ඉන්ස්ටග්‍රෑම් පණිවිඩ කිහිපයක් හිටිහැටියේම කිසිවකු හෝ අන්තර්ජාලයට මුදා හැරීමෙන් මේ රහස් ප්‍රේමය ගැන තවත් කතාවක් කරළියට පැමිණ තිබේ. ඔහුගේ උපන්දිනයට ඇගේ සුබපැතුම් ද, ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු විසින් දුන් ආදරණීය පිළිතුරු ද ඊට ඇතුළත් වී ඇති අතර, සාරාගේත් ෂුබ්නම්ගේත් ප්‍රේමය ගැන කතා පිට කතා පැතිරීමට ඒවා ද හේතු වී තිබේ.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පසුගියදා පැවැති අයිසීසී ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සූදානම් වීමට ෂුබ්නම් ගිල් සිය කණ්ඩායම සමඟ වේලාසනින්ම ලන්ඩන් නුවරට ගොස් තිබූ බවත්, ඊට දින දෙකකට පසු සාරා තෙන්ඩුල්කාර් ද ලන්ඩන් නුවර බලා පිටත් වූ බවත් වාර්තා වී තිබිණි. එවකට සිය පියා ක්‍රීඩාවේ නිරතවනු දැකීමට වඩා උනන්දුවක් සහ ආසාවක් ෂුබ්නම් ක්‍රීඩා කරනු දැක බලාගැනීමට සාරාට ඇති වීම එක අතකට පුදුම විය යුතු කරුණක් නොවන්නේ දැනටමත් මේ අපූරු පෙම ලොවට රහසේ දලුලා වැඩෙන නිසා නොවේද?

ඉන්දියාවේ මාධ්‍ය අතර සාරා වැඩිපුර අවධානය යොමු වී ඇත්තේ ඇය සචින්ගේ දියණිය නිසාම නොවේ. මේ 25 හැවිරිදි යුවතිය බොලිවුඩ් නිළියක් තරම් රූමත් නිසාය. ජනප්‍රියත්වය අතින් ද බොලිවුඩ් නිළියන්ට දෙවැනි නොවන නිසාය. මෝස්තර නිරූපිකාවක් ලෙසත් කටයුතු කරන සාරාට මේ වන විට ඉන්ස්ටග්‍රෑම් පිටුවේ මිලියන 2.3ක රසික රසිකාවියෝ ද වෙති.

23 හැවිරිදි මේ කඩවසම් තරුණයාගේ ක්‍රිකට් දස්කම් අනාගතයේදි ඉන්දියාවට තවත් සචින් කෙනෙකු බිහිවීමේ පෙර නිමිත්තක් බවත් අයිපීඑල් තරගාවලියෙන් පසු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. අලුතින් බිහි වන වීරයා සචින් පවුලේ අනාගත බෑණනුවන් වන්නේ නම් එය ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ අසාමාන්‍ය සිදුවීමක් බවට ද පත් වනු සහතිකය.

Comments