ටෙලිකොම් විකිණීමේ නිර්දේශයට කාරක සභාවත් උණුසුම් වෙයි | Page 4 | සිළුමිණ

ටෙලිකොම් විකිණීමේ නිර්දේශයට කාරක සභාවත් උණුසුම් වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නිර්දේශය පිළිගැනීමට නොහැකි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඒ සම්බන්ධයෙන් ඉදිරි තීරණය අමාත්‍ය මණ්ඩලය රැස්වී ගනු ඇතැයි ද කියති. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් බැවින් එය අනුමත නොකරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවට පාර්ලිමේන්තුව හමුවේ 9 වැනි සිකුරාදා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබියදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රජය කිසිසේත් පිළිනොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් අවධාරණය කළේය. ඒ තත්ත්වය යටතේ ආංශික අධික්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය නොකරන ලෙස කළ යෝජනාව රජයට පිළිගැනීමට නොහැකිවනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ පිටපතක් ජුනි 09 දාම ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වෙත යැවීමට ද ආණ්ඩු පක්ෂ කාර්යාලය පියවර ගෙන තිබිණි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් මේ වන විටත් රජයට හිමි වී ඇත්තේ 49% ක කොටසක් පමණක් බවත් එම තත්ත්වය යටතේ ටෙලිකොම් ආයතනයෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් වන ආකාරය ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව නැතැයි ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව තමන් නොදුටු බවට කමිටු සාමාජිකයන් ගණනාවක් රජයේ ජ්‍යෙෂ්ඨ ඇම­ැතිවරුන්ට සැල කර තිබේ. මේ තත්ත්වය යටතේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ද උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Comments