
කහ දියර සහ සඳුන් කිරි පැණි නිවසේ ඉස පලතුරු පුරවා තිබෙනු සිහිනෙන් දැක්කොත් එම නිවසට යස ඉසුරු
ගස් කපනවා දුටුවොත් අසුබයි
ඔබ දුටු සිහින ගැන පලාපල දැනගන්න සිළුමිණ-ඉසිවර ලෙක්හවුස්, කොළඹ 10 ලිපිනයට යොමුකරන්න.
නිමක් නැති භව තරණයේදී මනසට පිවිසුණු විවිධ සිතිවිල සිහින මඟින් ඉස්මතු වන බව බෞද්ධ මනෝ විද්‍යාව අනුව නිගමනය කරනු ලබයි. සුප්‍රසිද්ධ මනෝ විද්‍යාඥයකු වන "සිග්මන් ප්‍රොයිඩ්" ප්‍රකාශ කරන්නේ සිත තුළ එල්බගෙන ඇති ආශාවන් සන්දර්පනය කර ගැනීම සිහිනවල පරමාර්ථය වන බවය. ශරීරයේ තුන්දොස් කිපීම නිසා සිහින පෙනෙන බව ඇතැමුන්ගේ මතයයි.
මේ අයුරින් සිහින සම්බන්ධයෙන් නොයෙකුත් මති මතාන්තර ඇතත් අනාවැකි හෙළි කිරීමේ ගුප්ත බලයක් සිහිනවලට ඇති බව අනාදිමත් කාලයක සිටම මිනිසා විශ්වාස කරනු ලබයි. අපි දකිනා සිහිනය රහසක් මෙන් සිත් තුළ තබා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකිය. එය අන් අයට පැවසීමෙන් සුබ ප්‍රතිඵලවලට හානිවේ. ඒ අන් අයගේ දියුණුව දැකීමට අකමැති අය සිටින බැවිනි. එවන් සිහින දැකීමෙන් පසු පළමුව පැඟිරි ගසකට කීමද පැරැන්නන්ගේ සිරිතකි. දැන් අපි බලමු පැරණි ග්‍රන්ථවල සඳහන් සිහින කීපයක අනාවැකි කෙසේද කියා.
තම නිවස පිළිබඳ (ගෘහය)
තම නිවසෙහි වහලය දිරා ගොස් හෝ කැඩී බිඳී ගොස් තිබෙනු දැකීමෙන් පවුලේ ප්‍රධානියාට අපල ගෙන දෙයි. රෝග පීඩා හා නොයෙකුත් කරදර ගෙන දෙයි. බිම ගොම ආලේප කර තිබෙනු සිහිනෙන් දුටුවොත් ගෙයි වසන අයෙකුට මරණය ගෙන දේ. එසේ නැතහොත් ඒ හා සමාන දුක් ගෙන දෙන කරුණකට හේතු වේ. කහ දියර හා සඳුන්, කිරි පැණි ගෙයි ඉස පලතුරු පුරවා තිබෙනු සිහිනෙන් දුටුවොත් එම නිවසට යස ඉසුරු ලැබෙයි. වාසනාව ගෙන දෙයි. පරණ ගෙය අලුත්වැඩියා කරනු දුටුවේනම් රැකියාවේ නවීකරණයක් ඇතිවේ.
ගස් නැඟීම
යමෙකු පලබර ගසකට නඟිනු දුටුවේනම් හෙතෙම දැනට දරන තනතුරුවලින් උසස් වී කීර්තියට පත්වෙයි. එහෙත් කොළ හැලුන මැරුණු ගසකට නඟිනු දැකීම අපකීර්තියට පත්වීමට හේතු වන බව පැවසේ. ගස් කැපීම සිහිනෙන් දැකීම නම් අසුබය. එය වස්තු විනාශයට හේතු වෙයි.
හදිසි අනතුරක්
හදිසි අනතුරක් ඔබ සිහිනෙන් දුටුවේනම් එමඟින් පෙන්නුම් කරන්නේ ඔබගේ අවධානය ඔබ නොහිතන දෙයකට යොමුකළ යුතුව ඇති බවයි.
ඔබ සිහිනෙන් දුටුවේ හදිසි අනතුරකට ඔබ යොමු වුණ බවනම් එය ඔබේ ශරීරයේ ආබාධයක් ඇති බවට පූර්ව නිමිත්තකි. එම නිසා ඔබ වෛද්‍ය පරීක්ෂණයක් කර ගැනීම වැදගත්ය.
කැලෑ සතුන්
කැලෑ සතුන් සිහිනෙන් දුටුවේනම් එම අයගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙයි. නමුත් එම කැලෑ සතුන් ඔබට තර්ජනය කරනු හෝ එකිනෙකා සමඟ පොර කා ගනු දුටුවේනම් රැකියා කරන ස්ථානයේ ප්‍රශ්න ඇති විය හැකිය. දුවන අශ්වයෙක් සිහිනෙන් දැකීම තරගයකින් ඔබ පරාජය විය හැකි බවට පූර්ව නිමිත්තකි.
අසුන් ගැනීම
සිහිනයෙන් සැප පහසු ආසනයක් මත හිඳ ගැනීම ඉතාමත් සුබය. කිසියම් රැකියාවක් හෝ රාජ්‍ය සම්මානයක් බලාපොරොත්තුව සිටින අවස්ථාවක එවැනි සිහිනයක් දකීනම් ඔහුට හෝ ඇයට අනිවාර්යයෙන්ම එම බලාපොරොත්තුව සපල වෙයි. තමන් හිඳගෙන සිටි අසුනෙන් බිම වැටීම ඉතා අසුබය. රැකියා කරන්නෙක් එම සිහිනය දුටුවේනම් තම රැකියාව ද අහිමි වනු ඇත.
උස් තැනකින් වැටීම
ඔබ උස් ස්ථානයක සිට පහළට වැටෙනු සිහිනෙන් දුටුවේනම් අනතුරක් අත ළඟම ඇති බවට පෙර නිමිත්තකි. මේ නිසා හැම විටම ප්‍රවේශම් වීම වැදගත්ය. ඉතා උස් ස්ථානයකට අපහසුවෙන් හෝ නඟිනු දුටුවේනම් ඉදිරි කාලයේදී සැප සම්පත් ළඟා වන බව කියැවේ.
දත් වැටීම හෝ දිව වැටීම
යම් අයෙකු සිහිනෙන් දුටුවොත් භයානක විපතක් මරණයක් හෝ දරුණු පීඩාවක් ළඟදීම සිදුවන බවට පෙර ලකුණකි.
මධ්‍යම රාත්රියේදී තද නින්දේදී අන්ධයන්, කොරුන්, බිහිරන්, තුවාලකරුවන් හා අවයව නැති අය සිහිනෙන් දුටුවොත් නීරෝගි අයෙකු දුටු තැනැත්තා රෝගී වේ. රෝගීව සිටි අයෙකු මෙවැනි අය සිහිනෙන් දුටුවොත් භයානක ඉරණමකට මුහුණ පෑමට සිදුවෙයි.
පක්ෂීන් දැකීම
හොඳ අර්ථවත් සිහිනයකි. මෙයින් කියවෙන්නේ වාසිදායක යම් දෙයක් ඔබට උරුම වන බවකි. නමුත් සිහිනයෙන් දකින පක්ෂියා අනුව මෙය වෙනස් වෙයි. කපුටන්, උකුස්සන් ආදි පක්ෂීන් අසුබ වන අතර ලස්සන කුරුල්ලන් දැකීම වාසනා ශක්තිය අධික වීමට අවස්ථාවක් උදාවෙයි. පක්ෂීන් දෙවියන්ගේ දූතයන් ලෙස සලකන අතර උන් කීර්තියේ ද සංකේතයක්ය. ඔබගේ නිර්මාණශීලී අදහස් පල ගැන්වෙන බවද පක්ෂීන් සිහිනෙන් දැකීම මඟින් ඉඟි කරයි.
තාරාවෝ දැකීම
සිහිනෙන් තාරාවකු ජල ස්නානය කරනු දුටුවේනම් පුරුෂයෙකුටනම් යහපත් භාර්යාවක් ලැබෙන අතර ස්ත්රියකටනම් යහපත් පුරුෂයකු ලැබෙන බව කියැවේ. දුර්වර්ණයෙන් යුත් තාරාවෙක් නොපැහැදිලි ජලයක පීනනවා දුටුවොත් රාජ භයක් ගෙන දේ.
(පැරණි පතපොත ඇසුරිනි)
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්