
බුද්ධිමය දේපළ හිමිකම් ප්‍රශ්නය විටින් විට පුවත් මවන මාතෘකාවකි. මේ සම්බන්ධයෙන් ඉකුත් දා වාර්තා වූ අලුත්ම පුවත අතුරු තහනම් නියෝගයකි. ඒ, රංගනවේදී ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කළ ජනිත් මාරසිංහ විසින් නිෂ්පාදන කළ 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටයට ඇතුළත් 'මේ බජාර් එකට මල්ලී' නමැති ගීතය ප්‍රතිනිර්මාණය කර වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍යවල මුදාහැරීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයයි.
එම අධිකරණ නියෝගය සඳහා පදනම් වූයේ ආචාර්ය රෝහණ වීරසිංහ විසින් ගොනු කරනු ලැබූ පැමිණිල්ලකි. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගී පද සංකල්පනාවකට අනුව ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සංගීතවත් කළ, ගායන ශිල්පී ගයාන් පෙරේරා විසින් ගයන 'මේ බජාර් එකට මල්ලී' ගීතය තමාගේ අවසරයකින් තොරව සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පී. එල්. සී හිමිකාරත්වය දරන 'එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා පොප් අප් ස්ටූඩියෝ' නම් යූ ටියුබ් නාළිකාවේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සන්තුෂ් වීරමන්, සරෙගම ෆිල්ම්ස්, සරෙගම මියුසික්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පී. එල්. සී විත්ති පාර්ශ්වයන් කොට නඩුවක් පවරා තිබුණේ 2021 වසරේදීය.
විත්තිකරුවන් අයුතු ලෙස එම ගීතයෙන් ආර්ථික ලාබ උපයමින් තම බුද්ධිමය දේපොළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ගොනු කළ එම පැමිණිල්ලෙන් එම ගීතය 'එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා පොප් අප් ස්ටූඩියෝ' යූ ටියුබ් නාළිකාව ඇතුළු වෙනත් සමාජ මාධ්‍ය ජාලා හා අන්තර්ජාලය හරහා ප්‍රචාරණය කිරීම වළක්වන ලෙසත් පැමිණිලි පාර්ශ්වය විසින් ඉල්ලා තිබිණ.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලක්ෂිකා රත්නායකගේ උපදෙස් මත නීතිඥ ලක්මාල් කුරේ, නීතිඥ විශ්මි ප්‍රනාන්දු සහ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනී සිටි අතර, ඔවුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ. පී. ප්‍රනාන්දු විසින් ඉකුත් මැයි මස 19 වැනිදා සරෙගම ෆිල්ම්ස්, සරෙගම මියුසික් පෞද්ගලික සමාගම, සන්තුෂ් වීරමන් හා සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන විත්තිකාර ආයතනවලට ඉහත කී අතුරු නියෝගය නිකුත් කර කෙරිණ.
2003 අංක 36 දරන බුද්ධිමය දේපොළ පනතේ සුරක්ෂිත කොට තිබෙන ප්‍රතිපාදන යටතේ ආචාර්ය රෝහණ වීරසිංහගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ද අධිකරණය විසින් පිළිගෙන ඇත.
විත්තියේ නීතිඥයන් ආධුනික ගායන ශිල්පී සියුම් ප්‍රදීප් ලවා එම ගීතය ප්‍රතිනිර්මාණය කිරීමට ජනිත් මාරසිංහට අයිතියක් ඇති බවට කරුණු දැක්වුවද අධිකරණය එම කරුණු ප්‍රතික්ෂේප කරමින් ඉහත දක්වන ගිවිසුම හරහා ආචාර්ය රෝහණ වීරසිංහට කරන ලද ගෙවීම තහවුරු වන අතර, ගීතයේ ශබ්ද පටය ඇඩ්‍රස් නෑ සිනමා පටයට උපයෝගී කරගැනීමට අවසර ලබා දී ඇති නමුත් ආචාර්ය රෝහණ වීරසිංහ සතු කර්තෘ අයිතිය අනෙක් පාර්ශ්වයට ලබා දී නැති බව පැවසීය. එමෙන්ම විත්තිකරුවන් ජනිත් මාරසිංහ සමඟ 2015 ඔක්තෝම්බර් 22 වැනිදා එළැඹි ගිවිසුමේ කරුණු වැරැදි ලෙස වෙනස් කරමින් අධිකරණය නොමඟ හැරීමට කටයුතු කර ඇති බව ද අධිකරණ නියෝගයේ දක්වා ඇත.
ප්‍රවීණ සංගීතඥ, ආචාර්ය රෝහණ වීරසිංහ
" මගේ සහ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අවසරයකින් තොරව ඒ ගීතය යූ ටියුබ් නාළිකාවක වෙළෙඳ දැන්වීමක ස්වරූපයෙන් ප්‍රචාරය කිරීමට විරුද්ධවයි මම නඩු මඟට ගියේ. එයින් මගේ බුද්ධිමය දේපොළ හිමිකම් උල්ලංඝනය වෙලා කියලා අධිකරණය විසින් පිළිගත්තා. ගීතයේ අයිතිය මවිසින් චිත්‍රපටයේ නිෂ්පාදකට පවරා දුන් බවට කියන ලිපියක් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළත් ඒ ලියවිල්ල අධිකරණය නොමඟ යැවීමක් බව අධිකරණ නියෝගයේ සඳහන් වෙනවා.
මේ අධිකරණ නියෝගය බුද්ධිමය දේපොළ හිමිකම පිළිබඳ ගීත රචකයාට සහ සංගීතඥයාට තියෙන අයිතියේ වටිනාකම තහවුරු වීමක් ලෙස ක්ෂේත්‍රයටම වැදගත් තීන්දුවක් වගේම අනාගත පරපුරටත් ආදර්ශවත් තීන්දුවක් ලෙස සැලකිය හැකියි. "
ප්‍රවීණ ගේය පද රචක, සුනිල් ආර් ගමගේ
"කාලාන්තරයක් තිස්සේ විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන් ගීත අවභාවිත කළා. විශේෂයෙන් 2009 ඉඳන්ම බොහෝ දෙනෙක් යූ ටියුබ් එකේ අපේ ගීත අවභාවිත කළා. එයින් ඔවුන් විශාල මුදලක් උපයා ගත්තා. බොහෝ වෙලාවට මේ අවභාවිතයට ලක්වුණේ අපේ පරම්පරාවේ ගීත.
ඒ ගැන අපටත් දැනුම්වත්භාවයක් නොතිබුණු නිසා එන්න එන්නම ඒ ක්‍රියා වැඩි වුණා. ඒ නිසා ගෞරවනීය අධිකරණය විසින් ලබා දුන් මේ තීන්දුවෙන් අපේ ගීතවලට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මින් ඉදිරියටවත් නිර්මාණකරුවන්ගේ බුද්ධිමය දේපොළ හොරකම් කිරීම, වංචා කිරීම සහ දූෂණය කිරීම නවතියි කියලා හිතනවා.
කිසිම විමසීමක් නැතිව තමන්ගේ මඩිය තරකර ගැනීමේ අරමුණින් මෙවැනි කටයුතු කරන අයට මේ තීන්දුව වැටක් බැන්දා වගෙයි."
ප්‍රවීණ රංගවේදී, ගේය පද රචක ලූෂන් බුලත්සිංහල
'පිනිබර යාමේ සැවුලන් හඬලනවා' ගීතය එක්තරා සමාගමක් විසින් සිය අවසරයකින් තොරව ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරා ඇත. ඒ සම්බන්ධයෙන් අත්දැකීම ගැන අප ඔහුගෙන් විමසීමක් කළෙමු.
"ඒ නඩුවට පළමු වැනි මහේස්ත්‍රාත් උසාවියෙන් තීන්දුව දෙන්න අවුරුදු 6ක් ගියා. අදාළ සමාගම කරලා තියෙන දේ වැරදියි කියලා තීන්දුව ලැබුණා. අපේ රටේ බුද්ධිමය දේපොළ පනත අනුව එවැනි වදරකට උපරිම දඩ මුදල ලක්ෂ 10යි. ඒක තමයි උපරිම දඬුවම. නමුත් ඒ තීන්දුව ක්‍රියාත්මක වුණේ නැහැ. විත්තිකාර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළා. ඒ නඩුව අහන්න අවුරුදු 3ක් ගියා. අවුරුදු දෙකහමාරක් නඩුව ඇහුවා. නමුත් මේ වෙනකම් තීන්දුවක් නැහැ. දැන් අවුරුදු 12කට ආසන්නයි. මම දැන් වයස අවුරුදු අසූවත් පැනපු මනුස්සයෙක්. මේක අසාධාරණයක් නෙවේද?
ඒ වගේම නිරන්තරයෙන්ම මගේ හිත කම්පාවට පත්වෙන දෙයක් තියෙනවා. මගේ රතු හැට්ටකාරි නාට්‍යයේ එන 'දී කිරි' ගීතය මී කිරි විකුණන ජංගම වෙළෙඳුන්ගේ ප්‍රධාන ප්‍රචාරක ගීතය බවට පත්වෙලා. ලෝක බුද්ධිමය දේපොළ සංවිධානයේ සාමාජිකත්වය ලබපු රටවල්වල එහෙම දේවල් කරන්න බැහැ. ඒ විදිහට අනවසරයෙන් ගීත ප්‍රචාරය කරනවා නම් පොලිසියෙන් අල්ලලා නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් අපේ රටේ එහෙම වෙන්නෙ නැහැ.
ලෝක බුද්ධිමය දේපොළ සංවිධානයේ සාමාජිකත්වය ලබපු හැම රටකම බුද්ධිමය හිමිකම් එකතු කිරීම ඒ සංවිධානය මඟින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙනවා. නමුත් අපේ රටේ ඒක ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. සිංගප්පූරුව බුද්ධිමය දේපොළ නීති ගෙනාවේ 1970 ගණන්වල. එහේ බුද්ධිමය දේපොළ වෙනුවෙන් කටයුතු කරන්න වෙනම පොලිසියක්, අධිකරණයක් තියෙනවා. අවුරුදු ගණන් නඩු අහන්නෙ නැහැ." ඔහු පැවසුවේ කනගාටුවෙනි.
ගායන ශිල්පී, සන්තුෂ් වීරමන්
"ඒ ගීතය මම පෞද්ගලිකව කළ දෙයක් නෙවෙයි, අපේ සමාගමෙන් කළ දෙයක්. සමාගම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගෙන් මුදල් ගෙවා මේ ගීතයට අවසර ලබාගෙන තිබෙනවා. ඒ අවස්ථාවේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා මෙය ඔහුට අයිති ගීතයක් කියලා ලියකියවිලි ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පටලැවිල්ල ගැන රෝහණ වීරසිංහ මහතා සමඟ සුහදව කතා කරලා විසඳගන්න අපි ලොකු උත්සාහයක් ගත්තා.
එතුමා මම ප්‍රිය කරන සහ ආදරය කරන චරිතයක්. නමුත් එතුමා කතාබහ කරලා මේක විසඳ නොගෙන නඩු මාර්ගයට ගිය නිසා අපිටත් ඒ මාර්ගයෙන්ම ඉදිරියට යන්න සිදු වුණා."
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී ආර්. රණවක
" ගීතයක බුද්ධිමය හිමිකම ඒ සඳහා දායක වන පාර්ශ්ව තුනටම තිබුණත් ප්‍රකාශන අයිතිය තියෙන්නේ ගීත රචකයා සහ සංගීතඥයාටයි. ගායකයාට තියෙන්නේ සම්බන්ධිත අයිතිය, ඒ කියන්නේ ඉදිරිපත් කිරීමේ අයිතිය පමණයි.
පද රචකයාට සහ තනු නිර්මාපකයාට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම සහ තවත් අවුරුදු 70ක් යනතුරු ඒ ගීතයේ අයිතිය තියෙනවා. ඒ කාලය තුළ ගීතය සම්බන්ධයෙන් ඕනෑම දෙයක් කරන්න අයිතිය තියෙන්නේ ඔවුන් දෙදෙනාටයි.
ගීතය කොහේ හෝ ගායනා වෙනවා නම් ඒ සඳහා කර්තෘ භාගය ගැනීමේ අයිතිය වගේම වෙනස් කිරීමට සහ වෙනස් කිරීමට බලය දීමේ අයිතියත් තිබෙනවා. ගීතය ඉදිරිපත් කරන්නා විදිහට ගායකයාට වෙනමම අයිතිවාසිකම් කොටසක් තිබෙනවා. ඒ වගේම සදාචාරාත්මක අයිතිවාසිකම් කියලා කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ සදාචාරවත්ව ඒ ගීතයේ අයිතිය තමන්ගේය කියලා කීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ වෙන පාර්ශ්වයක් ඒ ගීතය පාවිච්චි කරනවා නම් ඒ ගීතයේ ඉහත කී පාර්ශ්ව තුනට අයිති නිර්මාණයක් කියලා ප්‍රදර්ශනය කිරීමක් හෝ දැනුම්වත් කිරීමක් කළ යුතුයි. ඒ වගේම නිර්මාණය පාවිච්චි කරනවා නම් ඒ පාර්ශ්ව තුනට ගෙවීමක් කරන්නත් අවශ්‍යයි.
ගීතයක් වෙනස් මාධ්‍යයකට ගන්නවා නම් වෙනත් තැනක තැටිගත කරනවා නම් ඒ සඳහා ගායකයාගේ අවසරය ගත යුතුයි.
ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට බැඳිලා තිබෙන රටක් විදිහට අපි ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කටයුතු කරනවා.
තමන්ගේ නිර්මාණයක් සම්බන්ධයෙන් අයිතිවාසිකම් කඩවීමක් හෝ ඒ සම්බන්ධ කුමක් හෝ ආරවුලක් තියෙනවා නම් අධිකරණය හමුවට යන්න පුළුවන්.
ඒ වගේම බුද්ධිමය දේපළ කාර්යාලයට පැමිණිල්ලක් කළොත් ඒ පිළිබඳ විමර්ශනයක් කරලා ආරවුල් නිරාකරණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර දිය හැකියි. එහිදී වන්දි ලබා ගැනීමටත් හැකියාවක් තිබෙනවා."