
රාජකාරිය දේවකාරිය කරගත් තවත් එක් රාජ්‍ය නිලධරයකු පසුගියදා සිය ජීවිතයෙන් හදිසියේම සමු ගත්තේය. නොසිතූ නොපැතු මොහොතක මෙසේ සිය ජීවිතයට සමුදුන්නේ දක්ෂ රාජ්‍ය නිලධරයකු වන හතළිස් දෙහැවිරිදි අයේෂ් පෙරේරාය.
මීගමුව ප්‍රාදේශීය ලේකම් ධුරය හෙබැවු අයේෂ් පෙරේරාගේ සිරුර ඔහුගේ නිල නිවසේදී සොයා ගැණුනේ මැයි 31 වැනිදාය. එසේ සොයා ගන්නා විට ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර බාල්කයක එල්ලෙමින් තිබිණි. අයේෂ් පෙරේරා සිය දිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැක කළේ ඔහු මවට ලියා තිබු ලිපියක් නිසාය. මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා සිය රාජකාරි ස්ථානයට කැඳවාගෙන ඒම සඳහා ඔහුගේ නිල රථයේ රියැදුරා නිල රථයෙන් අයේෂ් පෙරේරාගේ නිල නිවෙසට යන්නේ 31 දා උදෑසනයි. වෙනදා කටපුරා සිනා සීගෙන නිල නිවසින් පිටතට පැමිණෙන තම හාම්පුතාගේ හැලහොල්මනක් නැති බව පසක් කරගත් රියැදුරා ඒ ගැන සොයා බලන්නට 'සර්.... කොහේද?' යැයි කියමින් නිල නිවෙසට ඇතුළු වන්නේ ඒ මොහොතේයි.
ඒ සමඟම රියැදුරා දකින්නේ ඔහු කිසි මොහොතක දැකීමට ප්‍රාර්ථනා නොකළ දර්ශනයකි. තම හාම්පුතා වන මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරාගේ සිරුර නිල නිවසේ බාල්කයක එල්ලෙමින් තිබෙනු දකින රියැදුරා වහාම මීගමුව ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ සෙසු නිලධාරීන් දැනුම්වත්කර පසුව මීගමුව පොලිසියට ගොස් මේ ගැන පැමිණිල්ලක් කරන්නේ දරාගත නොහැකි වේදනාවකිනි.
මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා සහ පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ උපදෙස් මත මීගමුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් අබේනායක ඇතුළු කණ්ඩායමක් වහාම මීගමුව ප්‍රාදේශීය ලේකම් නිල නිවසට යන්නේ මේ සිද්ධිය ගැන විමර්ශනය සඳහාය.
මේ ගැන විමර්ශනය සඳහා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රීපති ඇතුළු කණ්ඩායමක්ද වහාම එම ස්ථානයට ගියේ මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරාගේ උපදෙස් මතය.
මහේස්ත්‍රාත් පරීක්ෂණයද පැවැත්වෙන්නේ ඉන් අනතුරුවය. අයේෂ් පෙරේරාගේ මරණය ගැන විමර්ශනය කරන පොලිස් කණ්ඩායම් අනාවරණය කර ගන්නේ ඉතා අනුවේදනීය කතාවකි. ඒ ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මුහුණ දුන් ඉතා දුක්ඛිත සිදුවීමක් පිළිබඳවය.
ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරාගේ බිරිය කුලුඳුලේ දරුවා ප්‍රසූත කිරීමට සුදානමින් පසු වුවාය. කුලුඳුල් දරුවා බලාපොරොත්තුවෙන් අයේෂ්ද සිටියේ මහත් සතුටිනි. මොන මොන අඩුපාඩු තිබුණත් නිවෙසට එන අමුත්තා ගැන අයේෂ්ගේ හිතේ තිබුණේ ලොකු බලාපොරොත්තුවකි.
එහෙත් සිදු වුයේ අනිකකි. කුලුඳුලේ දරු ප්‍රසුතිය බලාපොරොත්තුවෙන් සිටි බිරියට ලැබුණු දරුවා මිය ගියේය. ඉන් අනතුරුව බිරිය රෝගී වීම අයේෂ්ට දරාගත නොහැකි විය. ඇය රාගම රෝහලේ පුනරුත්ථාපන ඒකකයට ඇතුළු කරන්නේ ඉන් අනතුරුවය. අයේෂ්ගේ බිරිය දරුවාගේ වියෝවෙන් කම්පනයට පත්ව සිටියාය.
පොලිසිය මේ ගැන සිදු කරන ලද දීර්ඝ විමර්ශනයේදී තවත් වැදගත් කරුණක් හෙළි කරගනු ලැබීය. ඒ ගෙල වැලලා ගැනීමට කලින් අයේෂ් පෙරේරා සිය මවට ලිපියක් ලියා ඇති බවයි. පොලිසිය එයද සොයා ගන්නේ ඉන් අනතුරුවය. එය පොලිසියට ඉතා වැදගත් සාක්ෂියක් විය.
'අම්මේ මට සමාවෙන්න. මේ දුක මට දරා ගන්න බැහැ'. අයේෂ් මවට ආමන්ත්‍රණය කර තිබුණේ එසේය.
"අනේ, අම්මේ මට සමාවෙන්න ජානක අයියට ඔක්කොම කිව්වා. මේ දුක් සියල්ලම මට දරාගන්න බැහැ. මම ඉපදිලා තියෙන්නේ දුක් විඳින්න විතරයි. මට එවැනි දුක් තවත් දරාගෙන ඉන්න බැහැ. ජානක අයියා කොහොමහරි ඔයාලාව බලාගනීවි. නංගිට කියන්න මට අනේක වාරයක් සමාවෙන්න කියලා මම වෙන මොනවද කියන්නේ අම්මේ?" යැයි ඔහු සිය මවට ලියන ලද ලිපියේ සඳහන් කර තිබේ.
මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න ඒ සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය පැවැත්වීය. ප්‍රාදේශීය ලේකම්වරයාගේ මව වන බුලුගහපිටිය, ඇහැලියගොඩ පදිංචි සිංගප්පුලිගේ සෝමලතා මරණ පරීක්ෂණයේදී මෙලෙස සාක්ෂි දුන්නාය.
අයේෂ් පෙරේරා මගේ පුතායි. පුතා විවාහකයි. පුතාට දරුවන් නැහැ. පළමු දරුවා මිය ගියා. ඔහුගේ බිරිය අසනීපව මාස හතරක සිට රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. ඇයට කතා කිරීමට නොහැකියි. මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස පුතා කටයුතු කරනවා. ඔහු සිගරැට්, අරක්කු බොන්නෙ නැහැ. අසනීප කිසිවක් තිබුණෙත් නැහැ.
බබා මිය ගිය නිසාත්, බිරිය අසනීපයෙන් නිසාත් පුතා නිතරම සොවින් සිටියා. අවසන් වරට සති දෙකකට පෙර මාව බලන්න පුතා මාකවිට ගෙදරට ඇවිත් ගියා. දැනට එම නිවෙසේ කිසිවකු නැහැ. පසුගිය 30 වැනිදා උදේ 07.00 ට විතර පුතා කතා කරලා එනවද ඇහුවා. තනියම එන්න එපා මල්ලිත් එක්ක එන්න කිව්වා. මම මීගමුවට ආවා. නංගිලගේ අය මාව මීගමු රෝහලට ගෙන ගියා. ඊට පස්සේ දැනගත්තා පුතා ගෙල වැලලාගෙන මිය ගිහින් කියලා. මම පුතාගේ මෘතදේහය හඳුනා ගත්තා. මට මෙම මරණය ගැන සැකයක් නෑ." යැයි ඇය කීවාය.
මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර, එම වෛද්‍ය වාර්තා හා සාක්ෂි සැලකිල්ලට ගත් මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න තීන්දු කළේ මෙය ගෙල වැලලා ගෙන සිදු කර ගත් දිවි නසා ගැනීමක් බවය.
අයේෂ් පෙරේරා මීගමුව උඩයාර් තෝප්පුවේ පදිංචි කරුවෙකි. ඔහු මීගමුව ප්‍රාදේශීය ලේකම් ධූරය දරද්දී ප්‍රදේශවාසීන්ගේ හිත දිනා සිටියේ ඔහු එම ප්‍රදේශයට කළ සේවය නිසාමය.
රාජ්‍ය නිලධාරීන් මෙන්ම මීගමුවේ ජනතාව හඬවමින් ඔහුගේ හුස්ම වාතයට මුසු වුවද මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් ඔහු සිදු කරමින් සිටි සේවය ජනතාවගේ හදවත් තුළින් ඉවත්ව නැත.
පසුගිය කාලයේ මීගමුවේ ජාති ප්‍රශ්න ආගම් ප්‍රශ්න ඇති කරමින් ජනතාව භේද භින්න කරමින් ඇතිව තිබූ අවුල්සහගත තත්ත්වය යහපත් කිරීම සඳහා ඔහු සිදු කළ සර්ව ආගමික වැඩපිළිවෙළ බොහෝ දෙනා අගය කරති. අල්ලසින් දූෂණයෙන් විවිධ බලපෑම්වලට ලක්ව වේදනාවෙන් සිටි ජනතාව වියෝවූ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සේවය අගය කරන බව ජුනි පළවෙනිදා සිදු කළ ඒ අවමඟුල් උත්සවයේදී මීගමු කලාපීය අනුනායක ශිෂ්වාන් කෲස් පියතුමෝ පැවසුහ. මෙම ප්‍රාදේශීය ලේකම්වරයා මීගමුවට පැමිණි මුල් දිනවල මීගමුවේ ආගමික සහජීවනය ඇති කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කිරීමට සහාය දෙන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බව ද ඉස්ලාම් ආගමික මවුලවිතුමා මෙම අවමංගල්‍ය උත්සවයේදී සඳහන් කරන ලදී.
කාර්යබහුල වුවද තමන් හමුවීමට පැමිණෙන ජනතාවට සුහදශීලීව කතා කර ප්‍රිය මනාපව සිටිමින් බොහෝ දිනවල කාර්යාලයේ සිටිමින් ප්‍රශ්න විසඳීමට ඔහු ගත් වෙහෙස ගැන ජනතාව කතා කරමින් සිටිති. විශේෂයෙන් සාමාන්‍ය ජනතාව කෙරෙහි මානුෂීව බලා කඩිනම් විසඳුම් ලබා දීමට වෙහෙස ගන්නා නිලධාරියෙක් වශයෙන් අයේෂ් පෙරේරා කාගේත් ප්‍රසාදයට ලක්ව සිටියේය. විශේෂයෙන් මීගමුවේ ප්‍රශ්න ඇති වන කරුණු හඳුනා ගෙන ඒවා අවම කර ගැනීමට කටයුතු කිරීම ඔහුගේ කාර්යයන් අතර පළමු තැන ගෙන තිබුණි. පසුගිය දිනවල ආගම් සහ ජාතීන් අතර සුහද තාවය ඇති කිරීම සඳහා කටයුතු කරමින් හින්දු භක්තිකයන් සඳහා විශේෂ උත්සවයක් ද ඉස්ලාම් ලබ්ධිකයන් සඳහා තවත් උත්සවයක්ද, කතෝලික හා ක්‍රිස්තියානි භක්තිකයන් සඳහා උත්සවයක් ද පවත්වන ලදී. මෙවර පොසොන් උත්සවය දාන සීල භාවනා කටයුතුවලින් යුතුව කිරීමට ද ඔහු සැලසුම් කර තිබුණි. එහෙත් එය ඉටු කිරීමට ඔහුට නොහැකි විය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් රාජකාරි භාර ගෙන ඉතා කෙටි කලක් වුවද කළ සේවය ඉතාමත් අගය කළ යුතුය. ඔහුට ජීවිතයෙන් සමුගෙන යාමට සිදුවීම ගැන විවිධ කතා පැතිර ගිය ද ඔහුගේ පවුල් ජීවිතයේ දී සිදු වූ විශාල කඩාවැටීමක් මෙසේ වීමට හේතු වුණ බව ඔහු ජීවත්ව සිටි කාලයේදී දී හැසුරුණු ආකාරයෙන් පැහැදිලි විය. කාලයක් පෙරුම් පුරමින් බලා සිටි පළමු දරුවා මියයාම, ඒ නිසා බිරියට සිදු වු විවිධ සංකූලතා හේතු කොටගෙන ඇති වූ රෝගී ස්වභාවය ප්‍රාදේශීය ලේකම්වරයා මෙවැනි තීරණයක් ගෙන සිදු කරගත් අකල් මරණයක් බව දැනට පැහැදිලිව පවතී. "මගේ බිරිය දැනට රෝහල් ගත වෙලා සිටින්නේ. දරුවා අහිමි වීම පිළිබඳව බිරිය පසු වන්නේ ඉතාමත් දුකෙන්. ඇගේ මුවින් නික්මෙන කතා ඉතාමත් දුක්ඛිතයි. මට ගෙදර යාමට සිතෙන්නේ නැහැ මට අවශ්‍ය කෑම වේල මම ම හදා ගන්නවා. හැකි සෑම දිනකම මගේ බිරියට ද කෑම පාර්සලයක් හදා යවනවා. ඒක නිසා නිල නිවාසෙට ඇවිත් ජීවත් වෙනවා. රාජකාරී ඉටු කරමින් ජනතාව සමඟ සිටින විට මට දුක තුනි වී යනවා". යනුවෙන් ඔහු කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ට වේදනාවෙන් පවසා ඇතැයි කියවේ. අවසන් කටයුතු කරමින් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි හිමිනම පැවසුවේ ඊළඟ භවයේ වත් මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා යනුවෙනි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් විසින් දේහය තබා තිබූ මල් ශාලාව ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබු බැනර් එකක සඳහන් ශෝක පණිවුඩයක් මෙලෙස ඉදිරිපත් කර තිබිණි.
නිමකර හදිසියේ ජීවන ගමන් මඟ
වෙන්වී ගියා අප තනිකර කඳුළු ගඟ
සෝ සුසුමන් ඉතිරි වුණේ අපේ හදේ කොන
සැමදා රැඳෙයි ඔබ ගුණ අප හද තුළම
අයේෂ් පෙරේරාගේ අවසන් කටයුතු මීගමුව පොදු සුසාන භූමියේදී ජුනි 01 වැනිදා හිරු බැස යන සන්ධ්‍යාවේදී බිරිය, මව සහ ඥාතීන්ගේද රාජ්‍ය නිලධාරීන් සේම ජනතාවගේ ද සහභාගීත්වයෙන් සිදු කරන ලදී.