මිහිඳු හිමි ගෙනා ජීවන දර්ශනයේ අපූර්වත්වය | Page 2 | සිළුමිණ

මිහිඳු හිමි ගෙනා ජීවන දර්ශනයේ අපූර්වත්වය

ශ්‍රී ලාංකික බෞද්ධයාගේ ආගමික උත්සව අතර වෙසක් උත්සවයට සමගාමීව පවත්වන පොසොන් උත්සවය කෘත ගුණ සැලකීමේලා අතිශය උතුම් උත්සවයකි. වෙසක් මෙන්ම පොසොන් උත්සවය දර්ශනික වැදගත්කමකින් යුක්තය. පොසොන් මෙරට සංස්කෘතික පුනර්ජීවනයේ ආරම්භක අවස්ථාව වීමට හේතු වූ කාරණා එමටය. බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවීම යන තෙමඟුල් අවස්ථා සමරන වෙසක් උත්සවයෙන් බොදු සිත්හි සතුටක්, පිබිදීමක් ඇතිවන්නේ කෙසේද එලෙසම මහින්දාගමනයෙන් ඇරඹෙන පොසොන් පෝය දින ද ආගමික පිඹිදීමක් ඇතිවන දිනයකි. මෙම අවස්ථා දෙකේදීම බෞද්ධයා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වීම සම්ප්‍රදායකි. සැරසිලි, තොරන් ඉදිකිරීම, දන්සල් හා පෙරහර උත්සව අවස්ථා ඒ අතර ප්‍රධාන වේ. 

දඹදිව දේවානම්පිය ධර්මාශෝක රජුත් ලක්දිව දේවානම්පියතිස්ස රජුත් අතර පැවති මිතුදම අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ආගමනයට හේතු විය. මේ රජුන් දෙදෙනා මහ සමුදුරෙන් එතෙර මෙතෙර දේශ දෙකක උපත ලද නමුත් පෙර බවයක එක කුස උපන් සොහොයුරන් බව පැරණි පොත පතේ සඳහන් වේ. එම ආත්මීය සබඳතාව පසු කලෙක මෙවන් හමුවක පෙරමඟ සකස් විය. මහින්දාගමනයට පෙර අනුරාධපුරයේ අධිපතිව සිටි තිස්ස නරපතියා අශෝක රජු වෙත පුද පඬුරු සහිතව දූතයන් යැව් බවත් ඉන් පැහැදුණු අශෝක අධිරාජයා තිස්ස නරපතිගේ රාජාභිෂේකයට අයත් අවශ්‍ය සියල්ල හා පුද පඬුරු එවූ බවත් වංශ කථාවන්හි සඳහන් වේ. දේවානම් පිය (දෙවන පෑ) යනු දෙවියන්ගේ මිත්‍රයා යන්න අර්ථවත් වේ. මෙරට රාජාවලියේ මුටසීව රජුගේ දෙවැනි පුත්‍රයා වු දෙවැනි පෑතිස් රජු අතර වූ මිතුදම ලක්දිව අාධ්‍යාත්මික පරිවර්තනයකට මඟ පෑදූ බවත් එය සිංහලයාගේ අාධ්‍යාත්මික හා බාහිර දේශමාමකත්වයටත් ආගමික සහජීවනයටත් දොරටු විවර කළේය. ඒ අනුව සිංහලයාගේ කලාව, සාහිත්‍ය, ලේඛනය, සන්නිවේදනය, රාජ්‍ය පාලනය හා කෘෂි කර්මාන්තය වැනි දසත විහිදුණු කාර්ය සඵලතාවන්ට මඟ විවර විය.

මහින්දාගමනයට පෙර තුන් වතාවක් බුදුන් ලක්දිවට වැඩි බව වංශ කථාවල සඳහන් පුවත ගැන විවිධ මත පළ වේ. කෙසේ වෙතත් මෙරට රජෙකු හා ජනතාව සත්‍ය ලෙසම බෞද්ධයෙකු බවට පත් වූයේත් බෞද්ධ දර්ශනය හා ඉගැන්වීම් මත පිහිටා නව මාවතකට අවතීර්ණ වූයේත් මෙතැන් සිට බවට අවිවාදාත්මක පිළිගැනීම සිදු වේ. එයට හේතුව මහින්දාගමනයට පෙර ඔප්පු කළ හැකි සාධක හෝ නටබුන් නොමැති බවය.

එකල දඹදිව මගධ දේශයේ වීදිසාවේ සිටි අශෝක රජුගේ බිරියට දාව උපන් මහින්ද පුතු හා සංඝමිත්තා දියණිය නුවණින් අගතැන්පත් වූවන් වන අතර, ඔවුන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවිය කැප කිරීමට තම පියාගේ ඉල්ලීමට එකඟ විය. ධර්මාශෝක රජුගේ ධර්ම ප්‍රචාර න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානයක් වූයේ ලක්දිව බැවින් ඒ සඳහා පැවිදි බව ලබාගත් මහින්ද ස්ථවිර මෙරටට එවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට අශෝක රජු කටයුතු කළහ. ඒ අනුව මිහිඳු හිමියන් සහ අනෙකුත් රහතුන් වහන්සේලා අහසින් වැඩම කළ බව කියැවේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 236කට පසු පැවැත්වූ තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අනුබුදු මහින්ද මහ රහතන් වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නම් රහතුන් වහන්සේලා සිවුනම ද සුමන සාමණේර හිමි ද, භණ්ඩුක උපාසක ද සමඟින් ලක්දිවට වැඩියහ. මුව දඩයමේ යමින් සිටි තිස්ස රජු මිහිඳු හිමි හමුව මිහින්තලාවේදී සිදු විය. ඔවුනොවුන් මුණගැස්වූ දූතයා මුවාය. මුවා බෞද්ධ සාහිත්‍ය හා දේව කාථාවන්හි නිතර හමුවන චරිතයකි. රාම, සීතා කථාවේ රාවණා සහ සීතාවන් අතර හමුවට දූතයා වන්නේ රන් මුවෙකි.

ඉන්දීය දේශ සීමාව තුළ පමණක් නොව අවට මිත්‍ර රට රාජ්‍යයන් හටද බුදු දහමේ ශාන්ත පණිවුඩය යැවීමට ධර්මාශෝක රජු කටයුතු කළ ආකාරය ඔහුගේ ශිලා ලේඛනවල සඳහන් වේ. මහින්දාගමනයට පෙර සිංහලයාට නිශ්චිත ආගමක් නොතිබූ බව 7 වැනි ශත වර්ෂයට අයත් හියුංසාංගේ දේශා‍ටන වාර්තාවල සඳහන් වේ.

මිහිඳු හිමි හා තිස්ස රජු අතර පළමු හමුවේදී මිහිඳු පවසන්නේ "සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා, තවේච අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා" යනුවෙනි. එහි අරුත, "මහරජ අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු " යන්නයි. අනතුරුව අඹගස් ගැන ප්‍රශ්න විචාරීම සිදු විය. දීර්ඝ කථාබහකින් අනතුරුව තිස්ස රජුගේ බුද්ධිය අවබෝධ කොටගත් මිහිඳු හිමි චුල්ල හත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ අතර, එය ඇසූ රජු ඇතුළු පිරිස මෙරට පළමු තෙරුවන් සරණ ගිය පිරිස වේ. සත්‍ය ලෙසට මෙරට බුදු දහමේ අත්තිවාරම මෙය බව විචාරක මතයයි. මෙරට සංස්කෘතියේ නව මඟක් ආරම්භ වන්නේ මෙතැන් සිටය. මෙතැන් පටන් මිහිඳු හිමියන්ගේ උපදෙස් අනුව රජු කටයුතු කළ අතර, මෙරට ථේරවාදී බුදු දහමේ ආරම්භයත් සමඟ උරුම වූ දායාද රැසකි. ලක්දිව වාස්තු විද්‍යාවේ ආරම්භය මෙතැන් සිට ව්‍යාප්ත වන අතර, තිස්ස රජු මිහිඳු හිමියන්ට පූජා කළ මහමෙවුනා උයනේ ඉදි කළ කාල ප්‍රාසාදය ඉතිහාසගත සිද්ධියකි. මහමෙවුනා උයනේ බිම් සකස් කොට සීමා මායිම් ලකුණු කිරීම ද මිහිඳු හිමියන්ගේ උපදෙස් අනුව සිදු විය. වර්තමාන අටමස්ථානය ද උන්වහන්සේගේ උපදෙස් අනුව සකස් වූවකි. වෙහෙර විහාර, සංඝාරාමවලින් සැදුම් ලත් ශුද්ධ නගරයක් බවට පත් අනුරාධපුර නගරය තුළ හැට දහසකට ආසන්න භික්ෂුන් සංඛ්‍යාවක් වාසය කළ බව පාහියන්ගේ වාර්තාවල සඳහන් වේ. මෙරට පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය ද මෙය වන්නේය.

බුද්ධ ප්‍රතිමා නිර්මාණය, චෛත්‍ය නිර්මාණය ද චෛත්‍ය අවට කලා කෘති නිර්මාණය ද මහින්දාගමනයේ ප්‍රතිඵල වේ. බුදු සමයේ ආභාෂය ලත් මෙරට චිත්‍ර, මූර්ති, කැටයම් ව්‍යාප්තිය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණි. බුද්ධ ප්‍රතිමා අතර, මහමෙවුනාවේ සමාධි පිළිමයත් තොලුවිල පිළිමයත් අවුකන හිටි පිළිමයත් භාරතීය ප්‍රතිමා ලක්ෂණ අභිභවා අාධ්‍යාත්මික වටිනාකමක් ගන්නා බව විචාරක මතයයි. මෙම ප්‍රතිමා සඳහා පසු කලෙක ඉන්දීය ගන්ධාර මථුරා හා අමරාවතී සම්ප්‍රදායන් ද ගුප්ත කලා ලක්ෂණයන් ද මිශ්‍ර විය.

ප්‍රතිමා වන්දනයට පෙර බෞද්ධයාගේ වන්දනීය ස්ථානය චෛත්‍යයයි. චෛත්‍ය අතර රුවන්වැලි මහ සෑය මෙන්ම ථූපාරාමය අතිශය වැදගත් ස්ථානයකි. දින විසිහයක් මහමෙවුනාවේ වැඩ සිටි මිහිඳු හිමි සමඟ වූ ධර්ම දූත පිරිස වස් විසීමට වැඩම කරන ලද්දේ චේතිය ගිරියටය. එය වර්තමාන මිහින්තලාවය. වස් වසන දින තිස්ස රජුගේ බෑනණුවන් වන අරිට්ඨ කුමාරයා ඇතුළු පනස් දෙනකු පැවිදි බව ලබා ගත්හ. මෙරට බුද්ධ ශාසනයේ පැවිදි වූ මුල්ම සිංහලයා අරිට්ඨ කුමරු ඉතිහාස ගතවන අතර, මෙරට භික්ෂු සමාජයේ ආරම්භය ද මෙය වන්නේය.

වස් අවසානයේ මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි දඹදිවට වැඩම කළ සුමන සාමණේර හිමි බුදුන් වහන්සේගේ දක්ෂිණ අකු ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම කළ අතර, එය ථූපාරාම චෛත්‍ය ධාතු ගර්භය තුළ තැන්පත් කළහ. මෙරට ච්‍යෛය අතර බුදුන් වහන්සේ වැඩිම ධාතුන් වහන්සේලා සංඛ්‍යාවක් නිදන් කොට ඇත්තේ ථූපාරාම චෛත්‍යයෙහිය. එය මෙරට ඉදි කළ ප්‍රථම කුඩාම චේතිය ඝරයක් සහිත වන්දනාමාන කළ යුතුම චෛත්‍ය වේ. ඉසුරුමුණි විහාරයට අයත් චෛත්‍යයද වෙස්සගිරිය හා මිහින්තලා කණ්ඨක චෛත්‍ය අනෙක් චෛත්‍ය මෙන්ම වැදගත් වේ.

රුවන්වැලි මහ සෑයේ ‍ඓතිහාසික කථාව මීටත් වඩා දීර්ඝ වන අතර, එය බුදුන් වහන්සේ ජීවමානව සිටියදී කළ දේශනවලද සඳහන් වන අනාගත වංශ දේශනාව හා සම්බන්ධ වේ. මහින්දාගමනයෙන් පසු මෙරට සිත්තම් කලාව හා කලා ශිල්පවල ව්‍යාප්තිය සිදු වන්නේ සඝමිත් තෙරණිය, සිරිමා බෝධිය ගෙන එන විට සපැමිණි කලා ශිල්පීන්ගේ අනුග්‍රහයත් සමඟය. මේ අනුව මෙරට චිත්‍ර, මූර්ති, කැටයම් හා සියලු කලාවන් පෝෂණය වුයේ බුදු සමයේ ආභාසයත් සමඟය.

මෙයට අමතරව මෙරට බෞද්ධයාගේ ජීවන ගමන් මඟ වෙනස් වන්නේත් භක්ති මාර්ගයට යොමු වන්නේත් හේමමාලි හා දන්ත කුමරු දළදාව ගෙන එ්මෙන් පසුවය. අනුබුදු මිහිඳු හිමි එදා බුදු දහමේ ශාන්ත පණිවුඩය ගෙන ඒම මෙරට වැසියාගේ භාග්‍යයකි. එසේ නොවන්නට අප වෙනත් මඟකට යොමු වීමට අවකාශ තිබුණි. මිහිඳු මහ රහතන් වහන්සේට අප කළ යුතු උසස් ගෞරවය බෞද්ධ ප්‍රතිපත්තියට අනුව ජීවත් වීමය.

චාල්ස් රණතුංග, බස්නාහිර පළාත් හිටපු සෞන්දර්ය අධ්‍යක්ෂ

Comments