
ක්‍රි.පූ. 3 වන සියවසේ මැද හරියේදී ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමියන් විසින් බුදුදහම මෙහි ගෙනෙන ලදැයි සම්මත මතයයි යන්න ආචාර්ය වල්පොළ රාහුල හිමියන් ලියූ ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය පොතේ දැක්වේ!. මෙය නිල වශයෙන් නියම වශයෙන් සිදු වූවකි. බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ දහම ගැන තොරතුරු ඊට පෙර ලාංකිකයන් දැන සිටින්නට ඇත. සෙනරත් පරණවිතානයන් රාජකීය ආසියාතික සංගමයට ලියූ ප්‍රාග් බෞද්ධ යුගයේ ඇදහිලි ලිපියෙහි ද ඒ වග සනාථ වෙයි.
මහින්දාගමනය ගැන ලියැවුණු ප්‍රබල සාහිත්‍ය කෘතීන් ඇත. දීපවංසය, සමන්තපාසාදිකාව, මහාවංසය, මහා බෝධිවංසය වැනි පාලි කෘති මෙන්ම පූජාවලිය සිංහල බෝධි වංසය වැනි සිංහල කෘති සේ ම රජගලින් හා මිහින්තලයෙන් සොයා ගත් සෙල්ලිපි දෙකක් ද තිබේ. මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම සිදු වූයේ බුදු පිරිනිවීමෙන් වසර 236ක් ගතවූ තැන සිදු වුණු පොසොන් පුන් පොහෝ දිනකය. එම වසර දේවානම්පියතිස්ස රජුගේ ප්‍රථම රාජ්‍ය වර්ෂයයි. ඉන්දියාවේ පාලක ධර්මාශෝක අධිරාජයාගේ දහ අටවැනි රාජ්‍ය වර්ෂයයි. එදවස නැකැත් කෙළි, දඩකෙළි සඳහා වූ කාමෝත්සවයකැයි කියැවේ. උත්සව - සැමරීම් ප්‍රාථමික මිනිසුන් දඩයම් කරගත් පසු සියල්ලන්ට ම පවතින භෝජනයන්ගෙන් පටන් ගත්තා යැයි මතයයි. බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ.බී. ටයිලර් 1871 ප්‍රාථමික සංස්කෘතිය නමින් පොතක් ලියුවේය. එහි මුල් පිටුවේම සංස්කෘතිය ගැන නිර්වචනයක් ඇත. සමාජයක සාමාජිකයන් හැටියට ඔවුන් විසින් උකහා ගන්නා දැනුම, විශ්වාස, භාෂාව, නීතිය, කලාව, සදාචාර, ඇබ්බැහිකම් පුරුදු ආදි සමස්තය සංස්කෘතියයි. එය ඉගෙන ගත යුත්තකි.
එමෙන්ම සංස්කෘතිය භෞතික හා අභෞතික වශයෙන් ද දෙකකට බෙදෙයි. එක තැන පල් නොවෙන සංස්කෘතිය නම් ජීවන උරුමය නිති වෙනස්වීම්වලට ලක්වෙයි. මහින්දාගමනය නිසා සිරිලක නව සංස්කෘතිකමය නවෝදාවක් ඇති වූ බැව් පැහැදිලි වන්නේය. සමාජමය පරිවර්තනයක්, දේශපාලනික ආර්ථිකමය නව හැඩතල, අලුත් මුහුණුවර රැසක් සිදුවූ බවට කිසිදු සැකයක් නැත. එකල සිරිලක වෘක්ෂ වන්දනා, බ්‍රාහ්මණ ආගම, අග්නි පූජා, යක්ෂ යක්ෂණීන් පිදීමත්, ආජීවක, පරිබ්‍රාජක, නිගණ්ඨ, දෙවි දේවතා ඇදහීම් රාශියෙන් ගහන රටකි. මිහිඳු මාහිමියන් විසින් මුලින්ම රජු හමු වී චූලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරන ලදි. මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයට අයත් මේ සූත්‍රයෙහි අන්තර්ගතයේ කොටස් දෙකකි. ජානුස්සෝණි බ්‍රාහ්මණයා සහ පිලෝතික පරිබ්‍රාජක අතර ඇතිවූ සාකච්ඡාව මෙහි එක් කොටසකි. දෙවන පියතිස් රජ සමයේ මෙරට පැවති ආගමික විශ්වාස දෙකක් වූ බ්‍රාහ්මණ, පරිබ්‍රාජක දෙඅංශය මෙහිදී රජුගේ සිහියට නංවනු ලැබේ. පිලෝතික උපාසකගේ උදෑසන අවදි වීම් පහන්දොර බුදුරදුන් කරා ගොස් උවටැන් කිරීමට එහි ගොස් එන අවස්ථාවක ජානුස්සෝණි බ්‍රාහ්මණයා හමුවී බෙදා හදාගත් සිරිත් විරිත් දැනුම සැදැහැව නැංවීම, නුවණ පෑදීම ආදිය දෙවන කොටසයි. පැරණි රජ දරුවන් හස්ති ශිල්පය දැන සිටි නිසා සුළු ඇත්පද උවමින් බොහෝ කරුණු දැනගන්නට රජුට ඉඩකඩ සැලසිණි. දෙවැනි දින දහවලේ රජ මාලිගයට වැඩම කළ මිහිඳු මාහිමියන් වහන්සේ අනුලා බිසව ප්‍රධාන පන්සියයක් ස්ත්‍රීන්ට හා රජුට පේතවත්ථු, විමානවත්ථු හා සච්ච සංයුත්තය දේශනා කළහ.
මෙදින දහවල් දන් වළඳා අවසානයේ රජුගේ ඇත්හලෙහි පනවන ලද අසුනෙහි වැඩ සිට රැස්වූ මහජනතාවට දේවදූත සූත්‍රය දේශනා කළහ. නන්දන වනෝද්‍යානයෙහි පනවන ලද ආසනයෙහි වැඩහිඳ ආසිවිසෝපම සූත්‍රය දේශනා කළහ. බාල පණ්ඩිත සූත්‍රය, අනමතග්ග සංයුත්තය, අග්ගික්ඛන්ධොපම ඛජ්ජනීය සූත්‍රය, අප්පමාද සූත්‍රය, රාජෝවාද සූත්‍රය වැනි සූත්‍ර දේශනාවෙන් දැනුම ලබා දුන්හ. ඉන් රජු, බිසව ඇතුළු පොදු ජනතාව ධාර්මික කිරීම, බුද්ධිය ප්‍රඥාව, ශ්‍රද්ධාව අවදි කිරීමෙන් ධර්මිෂ්ඨ ප්‍රජා පාලනයත් පුරවැසිභාවයත් මෙරට ඇති කිරීමෙන් ජන සමාජයේ සංස්කෘතියේ ශිෂ්ටාචාරයේ ගමන් මඟ ප්‍රඥාගෝචර මංපෙතකට අවතීර්ණ කිරීමට හැකි වීම ජයග්‍රහණයකි. රාග, දෝෂ, මෝහ, ක්ලේශයන්ගෙන් අලෝක අදෝෂ, අමෝහය කරා සේන්දු විණ. චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණය පින කුසල ගැන දැනුම පැතිරිණ.
සංස්කෘතියක විශිෂ්ටම අංගය භාෂාවයි. සිංහල භාෂාවේ සාහිත්‍යයේ අක්ෂරකරණයේ, වර්ණමාලාවේ සංශෝධනය අලුත් ආකල්ප විකල්ප, ආචාර විචාර, භාෂණය, ලේඛනයෙහි ඇතිවූ සමස්ත වෙනස්කම් නව සංස්කෘතික උදාවක ලක්ෂණ මතු කෙරිණ. එය මිහිඳු සංස්කෘතිය පොසොන් සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය කවර වදනකින් හෝ හැඳින්විය හැකිය. පැදි බඳිනවා නම් බුදුසිරිත තේමාකොට ගන්නැයි සියබස්ලකරේ කියැවිණි. එය එහි මුල් කෘතිය වූ කාව්‍යාදර්ශයේ නොමැති අදහසකි. සසදාව, මුවදෙව්දාව, බුත්සරණ, අමාවතුර, පූජාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාවලිය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව, ගුත්තිල කාව්‍ය, ජාතක කථා වැනි පොත් ගැන අප බොහෝ දෙනා අසා ඇත්තෙමු. අඩුගානේ මාර්ටින් වික්‍රමසිංහගේ සිංහල සාහිත්‍යයේ නැඟීම, පුංචිබණ්ඩාර සන්නස්ගලගේ සිංහල සාහිත්‍ය වංසය, ආනන්ද කුලසූරියගේ සිංහල සාහිත්‍යය වැනි පොත් කියවා හෝ දැකබලා හෝ අතපත ගා ඇති කෙනකුට වුවද මතක් වන බෞද්ධ සාහිත්‍යය ගද්‍ය, පද්‍ය චම්පු සාහිත්‍ය ග්‍රන්ථ මිහිඳු සංස්කෘතියෙන් මතු වූ ප්‍රතිඵල නොවේද? මහා විහාර, අභයගිරි, ජේතවනාරාම සම්ප්‍රදාය. අෂ්ටමූල ආයතන ආදී අධ්‍යාපනික නිකේතන භික්ෂූන් මෙහෙයැ වුවද එහදි ගිහියන්ගේ වාංමාලාව, දැනුම් කෝෂය, ජීවත් වීමේ කලාව ශිල්පය වර්ධනය කිරීමට හේතු විණි. උපත, වැඩිවිය පැමිණීම, විවාහය, මරණය යනු විසින් දැක්වෙන ජීවිතයේ ද්වාර කර්ම අවස්ථා, සංක්‍රාන්තික අවස්ථා සකස්වීමේදී බුදු දහම ආලෝචනා ගෙන දුණි. කාය චිත්ත ප්‍රතිකාර, රෝග පීඩා, බෙහෙත් හේත් ආධ්‍යාත්මික සංවර්ධනය, සමථ, විපස්සනා ආදී භාවනා, දාන සීලයෙහි ඇවතුම් පැවතුම්, ආමිස ප්‍රතිපත්ති, චාරිත්‍ර වාරිත්‍ර සැකසුණේ බුදු දහමින් සරු වෙමිනි.
මිහිඳු මහරහතන් වහන්සේගේ මෙහෙයවීමෙන් පළවූ සිංහල පොත්පත් සියල්ලම ගොඩ ගැසූ කල මධ්‍යම ප්‍රමාණයේ ඇතුන් සත් දෙනකුගේ පිට තරමට උස්වේ යැයි පූර්වාචාර්යයන් කියන ලද බව පැරණි පාලි පාඨයක දැක්වෙයි. ක්‍රි.ව. පස්වැනි සියවස වන විට විවිධ ආචාර්ය පරම්පරාවන්ට අයත් අටුවා සිංහල භාෂාවෙන් ලියැවී තිබුණි. අල්පේච්ඡතාව, චාම්කම, පරිසරයට සැලකීම, පිවිතුරු හික්මුණු සිත කය සකස් කිරීමට බුදුසමය උපයෝගී විණි. පාලි, සිංහල, සංස්කෘත ග්‍රන්ථ සැකසිණ. අභිලේඛන - සෙල්ලිපි, ගෘහ නිර්මාණ වාස්තු කර්මාන්ත, කලා ශිල්ප ප්‍රභවය ලැබීම මෙරට නොපැවති දෑ නිර්මාණය වීම ගැන බොහෝ නිදසුන් සඳහන් කළ හැකිය.
ලංකාවේදී ලියැවුණු පළමුවැනි බුදු ගුණ ගී සොයා ගෙන ඇත්තේ රුහුණෙනි. ඒවා සෙල් ලිපි ගණයට වැටේ. පළමුවැන්න හඳුන්වනු ලබන්නේ කිරින්දේ ගිරි ලිපිය ලෙසිනි. ක්‍රි.පූ. තුන්වන සියවසේදී අපරිමිත බුධ පද්‍යයේ සිංහල අදහස මෙසේය.
"අපරිමිත ලෝකවල අර්ථයන් අතුරෙහි පරම දුර්ලභ බුදුන් හට සමයෙක් නැත්තේය. (ඒ බුදු රජ) සර්වඥතාවට පැමිණියේය. අනුත්තරය. ශාස්තෘ ය. මහ පිහිට ය. ලොවට ඇසක් බඳුය. බුද්ධ නම් ය. ස්වයම්භූය. බුද්ධානුස්සතිය, බුද්ධ වන්දනාව ජනතාවට පුරුදු පුහුණු විණ. කෙත් වතු, වැව් සමඟ දාගැබ් විහාර ඉදිවිණ. අනුරාධපුරය, රජරට ශිෂ්ටාචාරයේ සංස්කෘතියේ තෝතැන්නයි. මිහින්තලයේ නවෝදාවක ආලෝකය උදා කෙරිණ. පබස්සර ජීවිතයක වටිනාකම මෙත්තා, කරුණා, මුදිතාව, උපේක්ඛාව - පවු නරක දේ කරන්නට ලැජ්ජා භය ඇති කරීම - හිරිඔත්තප්පය ගැන කියාදීම දෛනික කාලසටහන සකස් වීම, ජීවිතයේ දින දසුන බොදු මුහුණුවරින් සැකසීම විශේෂත්වයකි. ශ්‍රී මහා බෝධිය රැගෙන ආවේ සංඝමිත්තා තෙරණිය වහන්සේ විසිනි. ශ්‍රී මහා බෝධිය, රුවන්මැලිසෑය, අටමස්ථාන, භික්ෂු ආයතන, ලෝවාමහාපාය, රෝහල් ඉදිවීම, දළදා වහන්සේ රැගෙන ඒම ඔරිස්සාවේ සිට ලාට රට සිට සිදු කරන ලද්දේ හේමමාලා හා දන්ත කුමරු විසිනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ මහාචාර්ය අබේ රත්නායක ලියා කියා ඇති පරිදි ගසක් ගැන වංස කතාවක් ලංකාවේ ලියැවිණ. ඒ බෝධිවංසයයි. දාගැබක් ගැන වංස කථාවක් ලියැවිණි. ඒ ථූප වංසයයි. දන්ත ධාතුව ගැන වංස කතාවක් ලියැවිණ. ඒ දාඨා වංසයයි. මේ ඉතිහාසය, පුරාවිද්‍යාව අමතක කොට කෙසේ නම් ඉදිරියට යා හැකි ද? සංස්කෘතිකමය සංචාරක ව්‍යාපාරය රැඳී ඇති ප්‍රමුඛතම කෞතුකාගාර, පුරාවිද්‍යා ස්ථාන අනුරාධපුර, පොලොන්නරුව, රුහුණුකරය ඇති දසනු දිසාවේ පවතී. දඹදිව වන්දනාව ඇරඹීමට පෙර අපේ මුතුන් මිත්තෝ වටවන්දනාවේ ගියහ. ඉන් ආස්වාදය ලැබූහ. සමාධි බුදුපිළිමය, පන්කුලිය, ගල්විහාර බුදුපිළිම, මහාථූප, කොරවක් ගල්, බෝධිසත්ත්ව රූප, සඳකඩ පහණ, ඇත්පවුර, මහා වෙෙහර, විහාර මතු කැරෙන භෞතික සංස්කෘතියේ මහිමය අපරිමිතය.
කවර වූ සංස්කෘතියක සංකේත පවතී, සංකේත සංඥා මඟින් සූචනය කරන අර්ථ ජීවිතයට ප්‍රයෝජනවත්ය. උත්සව සැමරුම් ආතතියට පීඩනයට, දුකට, සෝකයට, බියට පත් මිනිසුන්ට ප්‍රතිකාරයකි. චිකිත්සාවකි. මිහිඳු සංස්කෘතිය මෙරට පැවති සමාජ සංස්කෘතික ලක්ෂණ සමඟ සම්මිශ්‍රණය වෙමින් සෑදුණු නව සංස්කෘතියේ රමණීයත්වය - සෞන්දර්ය පවා ගෝලීය පුරවැසියන්ගේ අවධානය දිනා ඇත. ඒ අතරින් මතු වන අස්පර්ශනීය සංස්කෘතික උරුමය, ජනශ්‍රැති, ජන සම්ප්‍රදාය යුනෙස්කෝ වැනි ආයතන පිළිගෙන ඒවා පවත්වා ගැනීමට උපකාර කරනු ලැබේ. සංස්කෘතික උරුමය ඇසුරේ පවතින පිළිගත් සිද්ධාන්තයක් වන්නේ මෙය උසස්ය, අනෙක පහත්ය වැනි මානව කේන්ද්‍රවාදී චින්තනමය සදොස් බවය. ජාති ආගම් කුල භේද නිසරු ප්‍රලාප බවය. සංස්කෘතිකමය සාපේක්ෂතාව රටක දියුණුවට වැදගත් බවය. පටු කල්පනා ආකල්ප විකල්පයන්ගෙන් මොහඳුරින් අවදි වීම අවශ්‍ය බවය. මිහිඳු සංස්කෘතියේ වැදගත්කම එවිට ඔබ අපට අත්විඳිය හැකිය.
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර