බලශක්ති අර්බුදයට සතු‍ටු හිතෙන විකල්පයක් | Page 2 | සිළුමිණ

බලශක්ති අර්බුදයට සතු‍ටු හිතෙන විකල්පයක්

වැට එඬරු, ඉවතලන පිසුම් තෙල්වලින් ජනනය කරන ලද ජෛව ඩීසල් යොදා ත්‍රීවීලරය ධාවනය කරන අයුරු සහ ඉස්සල්ලම පලතුරුවලින් නිපද වූ ජෛව එතනෝල් ත්‍රීවීල් ධාවනයට යොදා ගන්නා ආකාරය.

දිනපතා උග්‍ර වන බලශක්ති අර්බුදය හමුවේ විවිධ රටවල් විවිධ විකල්ප හොයන පසුබිමක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පර්යේෂක කණ්ඩායමක් ඉවතලන පලතුරු සහ කෑම පිස ඉවතලන තෙල් භාවිතයෙන් ජෛව එතනෝල් සහ ජෛව ඩීසල් නිපදවීමේ ක්‍රමවේදයක් සොයා ගෙන තිබේ. 

එම පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දුන් ආචාර්ය උදාර ආරච්චිගේ අදහස් දැක්වූයේ මෙලෙසිනි. " අපි ජෛව ඉන්ධන හෙවත් Bio Fuel ගැන පර්යේෂණ දෙකක් කළා. එකක් Bio Diesel. ඒ කියන්නේ සාමාන්‍ය ඩීසල් වෙනුවට විකල්පයක්. අනික Bio Ethanol. ඒ කියන්නේ පෙට්‍රල් සඳහා ආදේශකයක්.

අපි Bio Diesel හෙවත් ජෛව ඩීසල් ව්‍යාපෘතිය කළේ ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් මිලියන 25ක ප්‍රදානයකින්. Bio Ethanol හෙවත් ජෛව එතනෝල් ව්‍යාපෘතිය කළේ, විශ්වවිද්‍යාලයෙන් ලැබුණු රුපියල් මිලියන දෙකක ප්‍රදානයකින්. සාමාන්‍යයෙන් එලෙස ලංකාවේ වාර්ෂිකව අපතේ යන පලතුරු ප්‍රමාණය දළ වශයෙන් ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක්. අපිට කොහොමටත් පුළුවන් 10%ක් පෙට්‍රල් ඉතිරි කරන ආකාරයට Bio Ethanol 10%ක් මිශ්‍ර කර වාහනය ධාවනය කරන්න. වාර්ෂිකව කෙසෙල් නිෂ්පාදනයෙන් මෙට්‍රික් ටොන් 135,000ක් පමණ ප්‍රයෝජනයකින් තොරව නාස්ති වී ඉවත දමනවා. අපගේ විද්‍යාගාරය තුළ නිපදවා ගත් එම එතනෝල් සාම්පල Industrial Technology Institute Of Sri Lanka හෙවත්, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනයෙන් විශ්ලේෂණය කරවා ගත්තා. අධිශෝෂක භාවිතයෙන් සංයෝග විශ්ලේෂණය කිරීමේ තාක්ෂණය හෙවත් FID- Chromatography තාක්ෂණය යි.

මේ ව්‍යාපෘතියේ දී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස අප යොදා ගත්තේ Waste Cooking Oil හෙවත් කෑම පිස ඉවතලන තෙල් වර්ගයි. වාර්ෂිකව එසේ අවන්හල් මඟින් ඉවත් කරන තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000කට වැඩි මිස අඩු නැහැ. ඒ වගේම, මෙම ඉවතලන තෙල් ලීටරයකින් Bio Diesel මිලි ලීටර් 900ක් නිෂ්පාදනය කර ගත හැකි යි. ඒ කියන්නේ 90%ක්ම ප්‍රයෝජනයට ගත හැකියි. ප්‍රධාන ඛේදවාචකය තමයි, ලංකාවේ දැනට ඉවතලන තෙල් කියා වර්ගයක් නැහැ. වෙළෙඳපොළේ සන්නාමයක් සහිත පොල් තෙල් බෝතලයක් සහ මේ තෙල් සංසන්දනය කළොත් මේ තත්ත්වය හඳුනා ගත හැකි පැරා මීටරයක් තිබෙනවා. ලංකාවේ ආහාර සඳහා ක්‍රියාත්මක 1980 අංක 26 දරන ආහාර පනතේ ඉතා පැහැදිලිව පාම් ඔයිල්, පොල්තෙල්, ඔලිව් තෙල් ආදී ලෙස නම් වශයෙන්ම සඳහන් කර තිබෙනවා, මේ ප්‍රතිශතය තිබිය යුතු ආකාරය පිළිබඳ, 1980 පටන් රජය එවැනි පනතක් නිකුත් කොට තිබියදී තමයි, මේ ඉවතලන තෙල් වෙළෙන්දන් නැවත නැවත දහ දොළොස් වතාවක් බැද ජනතාවගේ ආහාරයට එකතු කරන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික අධිකාරිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෝ ආහාර සුරක්ෂිතතා කමිටු යන මේ හැමෝටම විශාල වගකීමක් තිබෙනවා, මේ කාරණය පිටුපස සැඟව ඇති ඛේදවාචකය සොයා ගන්න. ඉහත කී ආයතනවලට මේ දේ අපහසු නම් ඊට පහසුම විසඳුම තමයි අපි යෝජනා කරන්නේ. එනම්, 1980 අංක 26 දරන ආහාර පනත ක්‍රියාත්මක කරමින් රජයට පුළුවන් මේ Waste Cooking Oil විකිණීම තහනම් කරන්න. අපි මේ Bio Diesel ව්‍යාපෘතිය පිළිබඳ කලින් හිටපු උදය ගම්මන්පිල අමාත්‍යවරයාටත් ඉදිරිපත් කළා. නමුත් එතැනින් එහාට යමක් සිද්ධ වුණේ නැහැ. දැන් අපි රුපියල් මිලියන 25ම වියදම් කර අවසන්. ලෝක බැංකුව බලා ඉන්නවා මුදල් වියදම් කර විශ්වවිද්‍යාලය සොයාගත් මේ පර්යේෂණයේ ප්‍රතිඵල ශ්‍රී ලංකාව ප්‍රායෝගිකව යොදා ගන්නේ කෙසේද කියන එක දිහා. ඒ නිසා අපි රටක් හැටියට අනිවාර්යයෙන් ම ජෛව ඩීසල් හදන්න පටන් ගන්න ඕනේ. මේ සඳහා අපි පේටන්ට් බලපත්‍ර හතරක් ඉල්ලුම් කර තිබෙනවා. මේ වන විට ඔවුන් මුහුණ පා තිබෙන ප්‍රධාන ගැටලුව තමයි, අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය වන Waste Cooking Oil ලබා ගැනීමේ නොහැකියාව, දැනට ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඩීසල් අවශ්‍යතාවෙන් 30% ක් පමණ යන්නේ කර්මාන්තායතන සඳහා. ඒ නිසා එවැනි කර්මාන්ත සඳහා ඩීසල් ලබා දෙන්න විශේෂ අවසරයක් අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ කොළඹ අවට අවන්හල් සහ තරු හෝටල්වලින් විතරක් වාර්ෂිකව එසේ ඉවත් කරන තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 20,000 කට වැඩි මිස අඩු නැහැ. ඉවත් කරන ප්‍රමාණය නැති වුවත් අඩුම තරමේ ඔවුන් මිල දී ගන්නා ප්‍රමාණයවත් දෙන්නට ඔවුන් කැමැති වූයේ නැහැ. 

කොහොම වුණත්, ලංකාවේ ජෛව ඉන්ධන ගැන පර්යේෂණ කළ පළමු අවස්ථාව මෙය නෙවෙයි. 2007 දී මොරටුව විශ්වවිද්‍යාලය මේ පරීක්ෂණය කළා. රුහුණු විශ්වවිද්‍යාලයත් කළා. අපි මේ විශ්වවිද්‍යාල පරීක්ෂණය තුළ ඩිමෝ බට්ටා සහ ත්‍රීවිල් රථවලට මුලින් ජෛව ඩීසල් මිශ්‍ර කර, පසුව 100%ක්ම ජෛව ඩීසල්වලින් ධාවනය කර බැලුවා. අපි මේ පරීක්ෂණ සඳහා ගත් ත්‍රිරෝද රථයක හිමිකරුවකු අපෙන් නැවත නැවතත් ඒ Bio Diesel ඉල්ලා හිටියා. ඉන්ධන නැති කාලයේ ඔහු මාස තුනක්ම එක දිගට සිය ත්‍රිවිල් රථය ධාවනය කළේ අපේ Bio Diesel වලින්. අපි පේටන්ට් එක ඉල්ලුම් කර තිබෙන්නේ මේ අපතේ යන තෙල්වලින් විනාඩි 15කින් Bio Diesel හදන ක්‍රමයටයි. අපි එය ප්‍රායෝගිකව පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ තාක්ෂණය අප සතුයි. Bio Diesel හදන විට එහි තවත් එක් අතුරු ඵලයක් ලෙස, ග්ලිසරින් නිෂ්පාදනය කළ හැකියි. ග්ලිසරින් පිරිපහදු කරන තාක්ෂණයත් අප සතුයි. ආහාර සහ තීන්ත සහ sanitizer වැනි නිෂ්පාදන ක්ෂේත්‍රවලට මේ ග්ලිසරින් අත්‍යවශ්‍ය වනවා. ඒ වගේම, එය ලංකාවට ගෙන්වන දෙයක්. හැබැයි මේ ගෙන්වන අය පිළිබඳ හෝ ගෙන්වන ප්‍රමාණ පිළිබඳව හෝ දත්ත කිසිවක් ගන්න තැනක් නැහැ. ඒවා බොහෝ තැන්වල සැඟවුණු දත්ත සහ තොරතුරු.

Bio Diesel හැදිය හැකි තවත් අමුද්‍රව්‍ය තිබෙනවා. වැට එඬරු සහ රබර් ඇට කියන්නේ තවත් එවැනි සාර්ථක අමුද්‍රව්‍ය දෙකක්.

මේ දෙකෙන් ම වාර්ෂිකව Bio Diesel මෙට්‍රික් ටොන් 8000ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ලංකාවේ රබර් අක්කර 125,000 ක් තිබෙනවා. ඒ සියලුම රබර්වලින් රබර් ඇට 40%ක ප්‍රමාණයක් ගත්තත් ඇති. 

ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් Bio Diesel භාවිතය ආරම්භ කර තිබෙනවා. ඒ අය මේ සඳහා යොදා ගන්නේ පාම් ඔයිල්. නමුත් අපිට මේ අමුද්‍රව්‍ය තුනෙන් කුමක් පාවිච්චි කළත් සාර්ථකව Bio Diesel ශ්‍රී ලංකාව තුළම නිපදවන්නට පුළුවන්..." 

මෙම ජෛව එතනෝල් නිපදවීමේ පර්යේෂණ ව්‍යාපෘතියේ දී ආචාර්ය උදාර ආරච්චිගේ සමඟ පර්යේෂණාගාර සහායක ලෙස සදීප් ජයසංඛ ද සිල්වා කටයුතු කර ඇති අතර, ජෛව ඩීසල් නිපදවීමේ පර්යේෂණ ව්‍යාපෘතියේ දී පර්යේෂණාගාර සහායක ලෙස කටයුතු කර ඇත්තේ විරාජ් මියුරංග ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ, ආචාර්ය උදාර ආරච්චිගේ ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කරන ලද මෙම පරීක්ෂණය පිළිබඳ, එහි පීඨාධිපතිනී මහාචාර්ය නිල්මිණි ලියනගේ පැවැසුවේ මෙවැනි අදහසකි.

ලෝක බැංකු ප්‍රදානයක් යටතේ අපේ පර්යේෂණ කණ්ඩායම සිදු කළ මෙම ව්‍යාපෘතිය ඉතාමත් වටිනා එකක්. බොහෝ වෙහෙස මහන්සි වී සාර්ථක කරගත් මේ පර්යේෂණයේ ප්‍රතිඵල රටට ලැබෙන්නට නම්, මෙය තවත් පත්‍රිකාවකට සීමා නොවී ඉදිරියටම යා යුතුයි. ජෛව එතනෝල් සහ ජෛව ඩීසල් යනු ඉන්ධන ප්‍රභවයක් නිසා, අපගේ මෙම පර්යේෂණයේ ප්‍රතිඵල අදාළ වන්නේ බලශක්ති අමාත්‍යාංශයටයි. ජෛව ඩීසල් නිෂ්පාදනයේ මූලිකම බාධාව වී තිබෙන Waste Cooking Oil ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව ඉතා ඉක්මනින් ගන්න කියා යෝජනා කරනවා.

මොකද, ඒ හරහා බයෝ ඩීසල් නිෂ්පාදනය කරන්නට හැකි වන අමුද්‍රව්‍ය සපයා ගැනීමට හැකි වන අතරම, දැනටත් වෙළෙඳපොළේ අලෙවි වන මිනිස් සිරුරට අහිතකර ලෙස නැවත නැවත බැදුණු තෙල් වෙළෙඳපොළෙන් ඉවත් වීමත් මේ තීරණය නිසා අනිවාර්යයෙන් සිදු වනවා.

දිනෙන් දින බහුල වන පිළිකා රෝගීන් ගේ තත්ත්වය යම් තරමකට හෝ අඩු වීම කෙරෙහි බලපෑමක් ඇති කරන්නට, අදාළ විෂය භාර ඇමැතිතුමා ගන්නා මේ තීරණය බොහෝ දුරට ඉවහල් වන බවත් කිව හැකියි."

Comments