කළු දුවගෙන ඇවිත් ගල් තලාව මත වාඩි වුයේය. ඔහුගේ මුළු ගතම ගැහෙන්නට විය. පන්සල් භුමියේ එල්ලා තිබූ කොඩි වැලෙන් කඩා ගත් එක් කොඩියක දවටා තිබූ කාසි පොදිය ඔහු ගල් තලාව මත තැබුවේය.
“රුපියල්.. පහයි.. රුපියල් දහයයි... රුපියල් විස්සයි...”
වෙවුලන ඇඟිලි තුඩුවලින් කාසි හා නෝට්ටු ගොඩ එකින් එක ගණන් කර වෙන් කිරීමට පටන් ගත්තේය. කීප වතාවක්ම ඔහුට කාසි ගණන් කිරීමේ පිළිවෙළ වැරදුණි.
ඔහුට විහාර මන්දිරය සිහි විය. වෙනදා මෙන් කළු අද ද එහි ගියේ විහාර භුමිය ඇම ද පිරිසුදු කිරීමටය. එහෙත් කෙදිනකවත් නොසිතූ ලෙසට, කෙදිනකවත් නොකළ ලෙසට ඒ දෙයට සිත යොමු වූයේ ඇයි දැයි කළුට සිතාගත නොහැකිය. පින් පෙට්ටිය මත තිබූ පන්සලේ යතුරු කැරැල්ල කළු දුටුවේ අහම්බෙනි. පොඩි හාමුදුරුවන්ට එය අමතක වී ගොස් ඇති බව කළුට සිතුණි.
“ම්... අද නම්.. සල්ලි ගොඩක් ඇති ...ම්..මේ සල්ලි ගත්තොත්...?”
කළු එවෙලෙහි සිතුවේය. එසේ සිතමින් ඔහු පින් පෙට්ටිය මත අත තැබුවේය .
“බෑ...බෑ...මට ඕනි නෑ..මට මොනවටද සල්ලි...?”
පින් පෙට්ටිය මතින් අත ඉවතට මෑත් කර ගනිමින් කළු තමාටම කියා ගත්තේය.
“පොසොන් කූඩුවක්...?උඹ ඉල්ලන හැම දෙයක්ම අරන් දෙන්න දැන් මං ළඟ සල්ලි නෑ. ඊයේ ඉස්කොලේ ගෙනියන්න පැස්ටල් පෙට්ටියක් ඉල්ලුවා. දැන් කියනවා පොසොන් කූඩුවක් හදන්න සව් කඩදහි ඕනලු..මං ළඟ සල්ලි නෑ....”
බෝපත් සෙලවෙන හඬ මකාගෙන ඒ හඬ කළුගේ කන් දෙක ළඟට ඇවිත් වැටුණි. ඒ සමඟම තම පියාගේ දෙඇස තමා ඉදිරියේ රවුමට රවුමට කරකැවෙන්නා සේ කළුට පෙණුනි. කළුට හෙට උදා වන පොසොන් දිනය සිහිපත් විය. පින් කැටය තුළින් මතු වී ආ විචිත්‍රවත් පොසොන් කූඩුවක් ඔහුගේ දෑස ඉදිරියේ නතර විය.
“ම්...ඒ..වුණාට..මේක ලොකු පාපකර්මයක් වේවිද..? නෑ..නෑ..මං මේ සල්ලිවලින් නරක වැඩක් කරන්නෙ නෑනේ..?”
කළුගේ සිත නොයෙක් සිතුවිලි අතර දිව්වේය. ඒ සමඟම ඔහුගේ සිතට ආවේ අමුතුම ධෛර්යයකි. ඔහු මුළු වෙර යොදා පින් පෙට්ටියේ දොරගුළු හැරියේය. කළු වට පිට බැලුවේය. පේන ඉසව්වක කිසිවකු නැත. ඔහුගේ සිත වර්ණවත් ලෝකයක අතරමං විය.
විහාර මන්දිරයේ ඉදිරිපිට එල්ලා තිබූ කොඩිවැල ලතාවකට සුළඟත් සමඟ සෙලවුණේය.
ඉහළට පැන ඉන් එක කොඩියක් කඩා ගත් කළු, කාසි සහ නෝට්ටු සියල්ල එහි දවටා ගත්තේය. ඔහු පන්සල් වත්තෙන් පැන කෙටි පාරකින් දිවගෙන ආවේ නිවෙසට යෑමටය. එහෙත් ගල් තලාවෙන් එපිටට අඩියක්වත් එසවීමට තරම් ශක්තියක් කළුට දැන් නොමැති සේය. තමාගේ මේ ක්‍රියාව මව කිසිවිටෙකත් අනුමත නො කරනු ඇතැයි කළුට සිතුණි.
කළු කලබලයෙන් වටපිට බැලුවේ ය. දෙපැත්තේ ඇති ගස් කොළන් විශාල යක්ෂයන් මෙන් ඔහුට පෙණුනි. කළු කාසි සහ නෝට්ටු පොදිය තව තවත් තුරුලු කරගෙන, දෙපා අතරේ මුහුණ හොවා ගත්තේය.
“මං... මං.. නරකාදියට යාවිද..? නෑ.. නෑ.. එහෙම වෙන එකක් නෑ... මං මේ සල්ලිවලින් ලස්සනම ලස්සන පොසොන් කූඩුවක් හදනවා...” කළු තමාටම කියා ගත්තේය. ඒ සමඟම මහත් වූ හැඩිදැඩි දෙඅතක් තම උරහිස මත රැඳෙනවා කළුට දැණුනි. කළු එකවරම ගැස්සී ගොස් දෙඇස් ඇරියේය.
“මොකද ..කළුවෝ..මෙතන...?”
ඒ හඬත් සමඟම කළු කලබලයෙන් හුන් තැනින් නැඟිට්ටේය. ඒ සමඟම කාසි පොදිය මහ හඬක් නඟමින් ගල් තලාව මත වැටුණි. සුළඟත් සමඟ නෝට්ටු ඒ මේ අත පා වී ගොස් ගල් තලාව මතටම වැටුණි. තැති ගත් කළු, කාසි සහ නෝට්ටු දෙසත් ඔහු ඉදිරියේ සිටගෙන සිටි සියදෝරිස් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.
“ආ...බං..මොනවැයි...මේ..? උඔට කොහෙන්ද මේවා...?”
ප්‍රශ්නාර්ථ ලකුණක් සියදෝරිස්ගේ දෙඇස් අතරේ සටහන් වී තිබුණි. ඔහු සිය දෙපා මුල වැටී තිබුණු කොඩිය අතට ගත්තේය.
“මේ..අර.. පන්සල් වත්තෙ කොඩිවැලේ කොඩියක් නේද ...? එහෙනම් උඔයි පින් පෙට්ටිය කැඩුවේ..?”
සියදෝරිස් ඇසුවේ කාසි සහ නෝට්ටු පොදිය දෙස බලාගෙනය. කළුට දැනුණේ උගුරේ යමක් හිර වී ඇති සෙයකි. ඔහු සියදෝරිස් දෙස බලාගෙන පසු පසට ගමන් කළේය.
“ආ..උඔ කොහෙද.. ඔය යන්නේ..? හොරකම් කරල පැනල යන්නද කල්පනාව...? මෙහෙ.... මෙහෙ වරෙන්..”
සියදෝරිස්ගේ හැඩිදැඩි අතකට කළුගේ අතක් හසු විය. ඒ සමඟම ඔහු අනික් අතින් කාසි සහ නෝට්ටු එකතු කර කොඩියට දමා එකතු කර කළුගේ එක අතකට දුන්නේය.
“වරෙන් යන්න පන්සලට. ලොකු හාමුදුරුවන්ට කියල උඹව පොලිසියට අල්ලලා දෙනවා..”
සියදෝරිස් කළුව ඇදගෙන ඉදිරියට ගමන් කළේය. පන්සල් භූමියට ඇතුළු වූ ඔහු නතර වුයේ ලොකු හාමුදුරුවෝ අසලය.
“අවසරයි ලොකු හාමුදුරුවනේ්...” තමාගේ අතින් කළුගේ අත මුදා හැරි සියදෝරිස් ලොකු හාමුදුරුවන්ගේ දෙපා වැන්දේය.
“හොරා මගේ අතටම අහුවුණා හාමුදුරුවනේ... මේ කොඩිය පන්සලේ කොඩි වැලෙන් කඩා ගත් එකක්. ඒක ඇතුළේ.. මේ... කාසි... මේ.. නෝට්ටු..” සියදෝරිස් වේගයෙන් කතා කළේය. කිසිවකු දෙස බැලීමට තරම් ශක්තියක් නැතිව කළු බිම බලාගෙන හුන් තැනම සිටියේය .
“අවසරයි.. හාමුදුරුවනේ.... කළුගෙන් අහන්න මේවා කොයින්ද කියල.?” සියදෝරිස්ගේ ඒ වදන් ඇසෙද්දී තම හදවත මහ හඬින් ගැහෙන හඬ කළුට ඇසුණේය. ඔහුට සිර කූඩුවේ යකඩ කූරු ද මතක් විය. දැන්.. දැන්.. ලොකු හාමුදුරුවෝ තමා පොලිසියට අල්ලා දෙනු ඇතැයි කළුට සිතුණි.
“කළුවට ඔය සල්ලි දුන්නෙ මමයි සියදෝරිස්... හෙට පොසොන් පෝය නේ.. කූඩුවක් හදනවා මං දැක්කා.. සව් කොළ එහෙමත් ගන්න ඕනි ඇති නේ.. පන්සලේම වගේ හැදෙන කොලුවනේ...”
ලොකු හාමුදුරුවන්ගේ හඬ කළුට ඇසුණේ සිහිනයෙන් මෙනි. එවදන් සිහිල් පවන් රොදක සේ ඔහුගේ සිතෙහි දැවටෙද්දී ඔහුට ඔහුගේම දෙසවන් විශ්වාස නැති බවක් දැනුණි.
“ආ..එහෙමනම් කමක් නෑ අපෙ හාමුදුරුවනෙ, මං හිතුවේ පන්සලේ පින් පෙට්ටිය කැඩුව හොරා මේකා කියල...”
සියදෝරිස්ගේ කටහඬ ඒ අතරට ඇසුණි. ඒ සමඟම ඔහු තමා ළඟින් ඈතට යන බවක් ද කළුට දැනුණි. හිස ඔසවා ලොකු හාමුදුරුවන් දෙස බලන්නට සිතුණද එයටද ශක්තියක් තමාට නැතැයි ඔහුට සිතුණි. මුළු ගතටම වාරු නැතිවා සේය.
“මට...සමාවෙන්න ..ලොකු හාමුදුරුවනේ...” තමාගේ සිත එසේ කියනවා ඇසුණද එම වචන කළුගේ මුවින් පිට වුයේ නැත. කළු සෙමින් සෙමින් හිස ඔසවා ගැහෙන ඇඟිලි තුඩුවලට මැදිකර ගත් කාසි සහ නෝට්ටු පොදිය ලොකු හාමුදුරුවන් දෙසට දිගු කළේය.
“මීටපස්සේ මේ වගෙ වැරදි වැඩ කරන්න හිතන්නවත් එපා දරුවා..”
ලොකු හාමුදුරුවන් පැවසුවේ එපමණය. උන් වහන්සේගේ දෙනෙත්වල කරුණාවන්ත බව කළුගේ සිත නිවා සනසාලන සුලුය.
“නෑ....නෑ.. ලොකු හාමුදුරුවනේ ... කවදාවත්ම...නෑ...”
කළු මිමිණුවේ දෙනෙතින් ගලන කඳුළු අතරිනි. හෙමිහිට ඉහළට එසවූ ඔහුගේ දෑස්වලට හසුවූයේ බෝපත් අතරින් ඉහළට නැඟෙන්නට සුදානමින් සිටින පොසොන් සඳ ආකාසයේ පැත්තකින් මෝදු වන අයුරුය. ඒ සමඟ සිහිල් සුළඟක් ඔහුගේ ගතේ දැවටුණේ සිත ද සැහැල්ලු කරමිනි. පොසොන් පහන් කූඩුවලින් ආලෝකවත් වූ විචිත්‍රවත් පරිසරයක් ඔහුගේ නෙත් අද්දර සිතුවම් විය.
චාන්දනී දේවිකා පුංචිහේවා