ජීවිතයක් රැක ගන්න ඔබටත් පුළුවන් | Page 3 | සිළුමිණ

ජීවිතයක් රැක ගන්න ඔබටත් පුළුවන්

සියදිවි නසා ගැනීම පිළිබඳ අදහස තනි හේතුවක ප්‍රතිඵලය නොවන අතර, ජීවිතයේ විවිධාකාර හැලහැප්පීම්, චිත්තවේග හා බාහිර කාරණා යනාදියේ එකතුවකි

 

“මට නම් දැන් හිටියා ඇති කියලා හිතෙනවා." ඇතමකු එසේ ඉඳහිට හෝ පවසනු අසා ඇතුවාට සැක නැත. ඊට එවේලේ ප්‍රතිචාර දැක්වූ ආකාරයද ඔබේ මතකයේ තිබෙනු සැක නැත. සමහර විට ඒ ප්‍රතිචාරය ලබා දුන්නේ හාස්‍යයෙන් වන්නටද , නොඑසේ නම් දාර්ශනිකව හෝ නොසැලකිල්ලෙන් වන්නටද පුළුවන.

 

සියදිවි හානි කර ගැනීම පිළිබඳ අදහස ගිනි පුපුරක් මෙනි. ඇතැම් විට ඉඟිය ඉතාම පුංචිය. වැදගැම්මකට නැති තරම්ය. එහෙත් එය යම් නොසිතූ මොහොතක මහා ගිනි ජාලාවක්ව සියල්ල විනාශ කර දමන්නටද සමත් ය. එබැවින් සියදිවි නසා ගැනීම පිළිබඳ ඉඟි නිවැරැදිව තේරුම් ගැනීම සියලු පුරවැසියන්ගේ වගකීම වෙයි. එහෙත් ඊට පිළියම් යොදන්නට අප හැම කෙනකුටම නොහැකිය. එසේ වුවද ඔවුනට ඒ මානසික ගැටලුවෙන් මිදෙන්නට උපකාර කළ හැකි මඟක් පෙන්වන්නට හෝ අදාළ හැකියාවැති තැනැත්තන් හෝ ආයතන ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරන්නට අපට පුළුවන.

සියදිවි නසා ගැනීම හා එසේ කරන්නට උත්සාහ ගැනීම ගැන අද දවසේ අපට වැඩි වැඩියෙන් අසන්නට ලැබීම කනගාටුවට කාරණයකි. එය ළාබාල වයසේ තරුණ ප්‍රජාවගේ සිට වයෝවෘද්ධ අවධිය දක්වාම වයස් සීමා, තරාතිරම ආදී සීමා ඉක්මවමින් අසන්නට ලැබෙන කනගාටුදායක තත්ත්වයකි. එයට පෞද්ගලික හේතු මෙන්ම සමාජයීය හේතු ද ප්‍රබල ලෙස දායක වෙයි.

අවාසනාවන්ත තත්ත්වය නම් එය වසංගතයක් තරමට සමාජයේ මුල් බැස ගනිමින් තිබෙනු දැකීමය. එබැවින් මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුම්වත් ව සිටීම කාට වුවද වැදගත් බව කිව යුතුය. බොහෝ දෙනා කල්පනා කරන්නේ සියදිවි නසා ගැනීම හුදෙක් පෞද්ගලික චර්යාවේ ගැටලුවක් පමණක් බවය. එහෙත් සමාජයීය හා ආර්ථික කාරණා හේතුවෙන් අන්තයේදී පුද්ගලයන් එහි ගොදුරක් බවට පත් වනුද දැකිය හැකිය.

එබැවින් අප වටහාගත යුතු වන්නේ සියදිවි නසා ගැනීම පිළිබඳ අදහස තනි හේතුවක ප්‍රතිඵලය නොවන බවත්, ජීවිතයේ විවිධාකාර හැලහැප්පීම්, චිත්තවේග හා බාහිර කාරණා යනාදියේ එකතුවක් බවත්ය. එබැවින් "උඹට මොන ප්‍රශ්නද බං" යැයි ඔලොක්කුවට ඇසීම කොපමණ තකතීරුකමක්දැයි දැන් වැටහෙනු ඇත.

ඊට මඟ පාදන හේතු අතරේ මුලින්ම ඇත්තේ ආතතිය ඇතුළු මානසික රෝගී තත්ත්වයන්ය. ඊට පෙර සියදිවි නසා ගන්නට යම් උත්සාහයක් දරා ඇත්තේ නම් එය ද මේ ලැයිස්තුවට එකතු කළ යුතු වෙයි. එමෙන්ම පවුලේ මානසික සෞඛ්‍ය ඉතිහාසය ගැන ද අවධානය යොමු කිරීම වැදගත් ය. එය ද යමකු සියදිවි නසා ගන්නට පෙලඹීම කෙරෙහි බලපාන්නා වූ එක් හේතුවක් වන්නට ඉඩ තිබේ.

මේ සඳහා යමකු පොලඹවන තවත් එක් හේතුවක් වන්නේ නිදන්ගත රෝගී තත්ත්වයකින් පෙළීමය. එය බලපාන්නේ දෙයාකාරයකිනි. එකක් දරාගත නොහැකි මට්ටමෙන් අත් විඳින්නට සිදු වන කායික වේදනාවය. අනෙක එකී රෝගී තත්ත්වයෙන් කිසි දිනෙක තමාට මිදෙන්නට ඉඩක් නොලැබෙන බව තදින් කල්පනා කිරීමය.

අනෙක් අතට එබඳු තත්ත්වයක පසුවන්නකු කල්පනා කරන්නේ තමා පවුලේ අනෙක් සාමාජිකයන්ට බරක් හෝ කරදරයක් හෝ වශයෙනි. එබැවින් එබඳු කායික රෝගී තත්ත්වවලින් පෙළෙන්නන් ගැන වැඩි අවධානයකින් හා අවබෝධයකින් කටයුතු කරන්නට අපිට සිදු වෙයි.

හිංසාකාරී පීඩාකාරී අත්දැකීම් දරාගත නොහැකි මට්ටමකට පැමිණීම ද ඊට හේතුවකි. ශාරීරික වශයෙන් හෝ ලිංගික වශයෙන් විවිධාකාරයේ අඩන්තේට්ටම්වලට ලක් වූ පුද්ගලයන් සියදිවි නසා ගන්නා බව අප අසා තිබේ. එබැවින් ඔවුන්ටත් වඩා මේ ගැන අවධානයෙන් පසු වීමේ වගකීම පැවරෙන්නේ පවුලේ අනෙක් සාමාජිකයන්ටය. මේ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ ලොව පුරා දිනපතාම පාහේ නව අධ්‍යයන සිදු වෙයි. දිවි නසා ගැනීමේ හැඟීම් ඇති වීම වළක්වා ගැනීමේ ලා මෙන්ම එබඳු තත්ත්වයන්ට පත්වූ පුද්ගලයන් යළි සාමාන්‍ය ජීවිතයට ගෙන එන්නේ කෙසේදැයි විමසා බලනු පිණිස මේ අධ්‍යයන බොහෝ ගණනක් වෙන් වෙයි. ඒ අතරින් මෑතකදී සිදු කළ එක්තරා අධ්‍යයනයකදී ඉඟි කෙරුණේ දීර්ඝකාලීන ප්‍රමාණවත් නොවන නින්ද මානසික ගැටලුවලින් පෙළෙන පුද්ගලයන් සියදිවි නසා ගැනීමට යොමු කරවන සිතිවිලි ඇති කිරීම සඳහා වක්‍රාකාර හේතුවක් වන බවයි.

Schizophrenia Bulletin මේ පිළිබඳ අපූරු පැහැදිලි කිරීමක් එක්කොට තිබුණි. එනම්, සයිකෝසියාවෙන් (මුල් අවධියේ) පෙළෙන එහෙත් ගුණාත්මක හා ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නා පුද්ගලයකු තුළ සියදිවි නසා ගැනීමේ හැඟීම් ඇතිවීමේ ඉඩකඩට වඩා එකී තත්ත්වයෙන් පෙළෙන, එහෙත් ප්‍රමාණවත් නින්දක් නොලබන පුද්ගලයකු තුළ එබඳු සිතිවිලි ඉස්මතු වන්නට දාහතර ගුණයක ඉඩ තිබෙන බවය. ඔගස්ටා විශ්වවිද්‍යාලයේ ආචාර්ය බ්‍රයන් ජේ. මිලර් පවසන්නේ සයිකෝසියා රෝගීන් සඳහා කෙරෙන ප්‍රතිකාරවලදී අනිද්‍රාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවය. ඔවුන් විසින් සිදු කරන ලද අධ්‍යයනයේ මූලික අනාවරණයක් වූයේ එබඳු රෝගීන් තුළ සියදිවි නසා ගැනීමේ සිතිවිලි ඇති වීම වළක්වනු පිණිස කළ යුතු මුල්ම ප්‍රතිකර්මය විය යුත්තේ අනිද්‍රාවටත් නින්දට ඇතිවන අනෙක් බාධාවලටත් ප්‍රතිකාර සෙවීම බවය.

අනෙක් අතට දිගටම ගුණාත්මක නින්දක් නොලැබීම හා අනිද්‍රාව සියදිවි නසා ගැනීමේ සිතිවිලි ඇති වීම සම්බන්ධ රෝග ලක්ෂණ ලෙස ද හඳුනාගත හැකි බව ඔහු පවසයි. ඇතැම් ඇස්තමේන්තුවකට අනුව ස්කිසෝෆ්‍රීනියා වැනි මානසික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන තැනැත්තන්ගෙන් 50%ක් පමණ දෙනා අනිද්‍රාවෙන් දුක් විඳින බවය.

අධ්‍යයනයන් කීපයක්ම පෙන්වා දී ඇත්තේ එය ඔවුන්ගේ රෝගී තත්ත්ව වඩා අසීරු අඩියකට පත් කරන්නට හේතු වන බවය. මිලර් ඇතුළු ඔහුගේ සහායක පිරිස උත්සාහ කළේ සයිකෝසියාවේ මුල් අවධියේ පසුවන තැනැත්තන්ටද නින්දේ අඩුව ඒ ආකාරයෙන්ම බලපාන්නේ දැයි සොයා බැලීමටය.

මේ අධ්‍යයනය සඳහා පුද්ගලයන් හාරසිය තුන්දෙනකු පිළිබඳ වාර්තා ඔවුන් අතින් පළමුව අධ්‍යයනයකට ලක් විය. ඒ සියලු දෙනාම ස්කිසෝෆ්‍රීනියාවේ මුල් අදියරට ප්‍රතිකාර ගෙන සුවය ලැබූ අය ( Recovery After an Initial Schizophrenia Episode - RAISE) වූවෝය. මේ තත්ත්වය සලකා බලා, එහි ස්වභාවය සැලකිල්ලට ගෙන සයිකෝසියාවේ මුල් අදියරේ රෝගීන් කණ්ඩායමක් යොදා ගනිමින් ඔවුහු මේ අධ්‍යයනය ආරම්භ කළහ. මේ තැනැත්තන්ගේ රෝග ලක්ෂණ කෙමෙන් යටපත් කරනු පිණිස පළමුව අනිද්‍රාවට පිළියම් කිරීම ඔවුන්ගේ අරමුණ විය. මේ රෝගීන් වයස අවුරුදු 15ත් 40ත් අතර වයස් කාණ්ඩවලට අයිති විය. සයිකෝසියාව මුල් අවධියේ පසුවනවාට අමතරව ස්කිසෝෆ්‍රීනියාව ආදී වෙනත් මනෝ ව්‍යාධිවලින් ඔවුන් පෙළුණේ නමුදු මෙහිදී සැලකිල්ලට ගැනුණේ උක්ත රෝගී තත්ත්වය පමණකි.

මේ අධ්‍යයනය මාස හයෙන්, දොළහෙන්, දහ අටෙන් හා විසි හතරෙන් ආදී වශයෙන් වූ විපරම් කිරීම් එහිදී සිදු විය. මේ කාල සීමාව තුළ මේ පුද්ගල කණ්ඩායමේ (RAISE) නින්ද හා සියදිවි නසා ගැනීමේ හැඟීම් අතර එකිනෙකට ඇති සහසම්බන්ධතාව සියුම් ලෙස නිරීක්ෂණය විය. ඒ සඳහා යොදා ගැනුණේ Calgary Depression Scale for Schizophrenia නම් ප්‍රශ්නාවලි ක්‍රමයකි. ඊට අමතරව Positive and Negative Syndrome Scale (PANSS) ක්‍රමය යටතේ ද අධ්‍යයනයට ලක් විය. දෑවුරුදු අධ්‍යයන කාලයෙන් පසුව ඔවුන්ට දැක ගන්නට ලැබුණේ අඩු නින්ද හා අනිද්‍රාව ඉහළ යත්ම සියදිවි නසා ගැනීමේ අදහස් ඇති විමේ අවදානම 5% සිට 15% දක්වා ඉහළ ගිය බවය.

අනිද්‍රාව මෙන්ම ප්‍රමාණවත් නින්දක් නොලැබීම පීඩාකාරී හා අනතුරුදායක වන්නේ දැනටමත් මානසික රෝගී තත්ත්වයකින් පසුවන්නන්ට පමණ දැයි දැන් යමකු අසනු ඇත. එය එසේ නොවේ.

තරුණ හා වැඩිහිටි වයස්වල සිටින කවරකු හෝ දිගුකාලීනව නිසි පරිදි ප්‍රමාණවත් නින්දක් ලබා නොගන්නේ නම් එය ඔවුන්ගේ මානසික සෞඛ්‍යය කෙරේ ඍජුව බලපාන බව වයස අවුරුදු 18ත් 23ත් අතර තරුණ පුද්ගලයන් යොදාගෙන 2017දී ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලය කළ අධ්‍යයනයක් පෙන්වා දී තිබේ.

ඊට අමතරව 2020 වර්ෂයේ ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලය ද එබඳුම අධ්‍යයනයක් සිදු කළේ තරුණයන්ට අමතරව වැඩිහිටි පිරිසක් ද යොදා ගනිමිනි. කෙසේ හෝ වේවා අපිළිවෙළ, නින්ද හා අනිද්‍රාව සියදිවි නසා ගැනීමේ සිතිවිලි හා ඒ ආශ්‍රිත ලක්ෂණ ඇතිවීම අතර සම්බන්ධයක් ඇති බව එකී අධ්‍යයනවලින් තහවුරු වී තිබේ.

මේ අධ්‍යයනවලින් හෙළි වී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ තරුණ පුද්ගලයන් හා වැඩිහිටි පුද්ගලයන්ට අනිද්‍රාව හා අපිළිවෙළ නින්ද බලපාන්නා වූ ආකාරය වෙන වෙනම සඳහන් වීමය. තරුණ පුද්ගලයන් තුළ මෙහිදී සියදිවි නසා ගැනීම පිළිබඳ අදහස් පහළ වී තිබුණේ මානසික ආතතිය පිළිබඳ රෝග ලක්ෂණයකින් තොරවය. එහෙත් අනිද්‍රාවෙන් පෙළෙන වැඩිහිටියන් තුළ සියදිවි හානි කර ගැනීම පිළිබඳ අදහස් සිත ඇති වී තිබුණේ මානසික ආතතියේ රෝග ලක්ෂණත් සමඟය.

වෙනත් අයුරකින් පවසතොත් අනිත් වැඩිහිටි පුද්ගලයන්ගේ අනිද්‍රාව හා අපිළිවෙළ නින්ද බරපතළ මානසික ආතතියට හේතු වන බවය. එය අප සිතනවාට වඩා බරපතළ තත්ත්වයකි.

ඒ කෙසේ වුවත් නින්ද තරාතිරමක් තොරවම කාට කාටත් තීරණාත්මකව බලපාන්නක් බව අපි අසා ඇත්තෙමු. ප්‍රමාණවත් හා ගුණාත්මක නින්දක් මොළයේ යහ ක්‍රියාකාරීත්වයට බෙහෙවින් වැදගත්ය. එය පුද්ගල ස්වභාවය හා පුද්ගල සෞඛ්‍ය කෙරේ ඍජුවම බලපාන්නක් ද වෙයි.

Comments