ඉකිබිඳින මිහිමඬලට ගෙන දෙමුද සැනසුමක් | Page 2 | සිළුමිණ

ඉකිබිඳින මිහිමඬලට ගෙන දෙමුද සැනසුමක්

ගෝලීය ඝන අපද්‍රව්‍ය වැඩිවීමේ පුරෝකතනයන්ට අනුව 2030 වන විට දකුණු ආසියාවේ ප්‍රක්ෂේපිත අපද්‍රව්‍ය වසරකට ටොන් මිලියන 466 ක්

මීට වසර 51කට පෙර ඇරඹි ලෝක පරිසර දිනය යෙදී ඇත්තේ ජූනි මස 5 වැනිදාටය. ‘ප්ලාස්ටික් ව්‍යසනය පිටු දකිමු‘ තේමාව කරගත් මෙවර පරිසර දිනයේදී අවධානයට ලක් කළ යුතු කරුණු කාරණා බොහෝමයකි. වර්තමානයේ අවධාරණයට ලක් කළ යුතු පාරිසරික ප්‍රශ්න අතරින් ප්‍රධාන වන්නේ අපේ පරිසර පද්ධතීන්ට සිදුවන විනාශයයි. පරිසරවේදීහු පවසන්නේ මේ විනාශය හේතුවෙන් ජෛව විවිධත්වයට එල්ල වී ඇත්තේ බරපතළ තර්ජනයක් බවයි. මීට අමතරව කුණු බැහැර කිරීමේ ප්‍රශ්නයේ සිට ප්ලාස්ටික් දූෂණය දක්වාවූ විවිධ පැතිකඩ හරහා බරපතළ අවදානමකට මුහුණ දී ඇති පරිසරික තර්ජනයන් බොහෝය.‍ 

“ ප්‍රධානම පරිසර ප්‍රශ්න හතරක් තියෙනවා. එයින් පළමුවැනි හා ප්‍රධාන ප්‍රශ්නය වන්නේ පරිසර පද්ධති විනාශයයි. තෙත්බිම් පරිසර පද්ධති සිට වනාන්තර දක්වාත්, අනිත් පැත්තෙන් කඩොලාන සිට පතන් දක්වා සිදුවන පරිසර විනාශය ගැන අවධාරණයට ලක් කළ යුතුයි. අද විනාශයට ලක් නොවූ පරිසර පද්ධති දකින්නට නැහැ. දෙවැන්න විනාශ වන පරිසර පද්ධති නිසා සතුන් හා ශාක විනාශ වී යෑමේ ප්‍රශ්නය, එනම් ජෛව විවිධත්ව හායනය හා ජෛව විවිධත්ව විනාශය, තුන්වැන්න ලෙස පරිසර දූෂණය වීම, සිවුවැන්න ආගන්තුක ආක්‍රමණික ජීවීන් ලංකාව තුළට පැමිණීම. දිනෙන් දින රතු දත්ත පොත දිගුවී යාමේ අවදානම වැඩියි. පරිසර දූෂණයේදී සමුද්‍ර, ජල , ප්ලාස්ටික් දූෂණය යන විවිධ පැතිකඩ තියෙනවා. මේ ගොඩබිම පරිසර දූෂණය බොහෝ හේතුවල සම්ප්‍රයුක්ක ප්‍රතිඵලයක්. මීට අමතරව ආගන්තුක සත්ත්ව හා ශාක පැමිණීම නිසා මෙරට පරිසර පද්ධති තුළ වෙසෙන ආවේණික සත්ත්ව හා ජීවීන්ට සිදුවන හානිය වැදගත්. ලංකාවේ ප්ලාස්ටික් පරිසර දූෂණය සිදුවන ප්‍රධාන ප්‍රභව දෙකක් වන්නේ යෝගට් ප්ලාස්ටික් බඳුන් හා ක්ෂුද්‍ර ප්ලාස්ටික්. අද මහා පරිමාණ සමාගම් නිෂ්පාදනය කරන ඒවා පසෙක ලා කුඩා පරිමාණ නිෂ්පානදයන් තහනමට ලක් කෙරෙනවා. අපි නීති රීති සෑදිය යුත්තේ ජනතාවට හා රටේ පරිසර පද්ධති ආරක්ෂා වන ආකාරයටයි. එසේ නොමැතිව සමාගම් රැක ගැනීමේ අරමුණින් නීති රීති සකස් වෙනවා නම් අපි ඊට විරුද්ධ වෙනවා....“පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන පවසන්නේය. 

අද වන විට පවතින දැඩි පාරිසරික තර්ජන නිසාවෙන් වඳ වීමේ දැඩි අවදානමට ලක් වූ සත්ත්ව විශේෂ බොහෝය. වන ජීවි දෙපාර්තමේන්තු හා ස්වභාව ආරක්ෂණ සංගම් දත්තයන්ට අනුව 2010 වසරේ සිට මේ දක්වා කොටි 106 දෙනෙක් දිවි හැර ගොස් ඇත්තේ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙනි. කොටියා මෙන්ම කළු කොටියාත් අවාසනාවන්ත ලෙස මරණයට පත්වන්නේ අද ඊයේ නොවේ. IUCN දත්ත වාර්තාවන්ට අනුව කොටියා රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ 2008 වසරේදීය. බොහෝ පරිසරවේදීහු පවසන්නේ වන ජීවීන්ට සිය වන ජීවි කලාපය තුළ නිදහසේ ජීවත් වීමට නම් ආශ්‍රිත ලඳු කැළෑ ප්‍රදේශ විනාශ නොවී තිබිය යුතු බවයි.

ඉතිහාසය අවුරුදු මිලියන සියයකටත් අධික කාලයක් පුරා දිව යන කැස්බෑ සම්පතටද ඇත්තේ මෙවන් පාරිසරික තර්ජනයන්ය. කැස්බෑවන් මිනිස් මැදිහත්වීමකින් තොරව ස්වභාවික පරිසරය තුළ නොනැසී ජීවත් වීමටත්, ඔවුන්ගේ පරිසරය තුළ ස්ථායී වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රමාණවත් දැනුම්වත්භාවයක් නැත. IUCN රතු දත්ත වාර්තාවට අනුව කැස්බෑවුන් අවදානමට ලක්විය හැකි, වඳවී යෑමේ තර්ජනයට ලක්වූ, උග්‍ර ලෙස අවදානමට ලක්වූ සත්ත්ව කාණ්ඩ විශේෂයන්ට ඇතුළත්ය. 2012 රතු දත්ත ලැයිස්තුවට අනුව දාර කැස්බෑවුන් දුර්ලභ සත්ත්ව විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම කැස්බෑවුන්ගේ ගහනය කොතෙක් දුර්වල ද කියතහොත් පසුගිය වසර දෙක තුන තුළ මොවුන් බිත්තර දැමීම සඳහා අපේ වෙරළ තීරයට පැමිණ ඇත්තේ වසරකට අවස්ථා දෙකකදී පමණී.

හුදකලා වී මියැදෙන ලංකාවේ සද්දන්තයෝ ද බොහෝය. 2019 වසරේ අලි මරණ- 407, 2020 වසරේ අලි මරණ- 328, 2021 වසරේ අලි මරණ- 375, 2022 ජනවාරියේ සිට සැප්තැම්බර් දක්වා 28 දෙනෙක් මිය ගොස් ඇති අතර අලි මිනිස් ගැටුම ද ඒ හා සාමානව දුරදිග ගොස් ඇත. ලංකාවේ අලි මිනිස් ගැටුම ද නිමා නොවන වංසගතයක් බඳුය. පාරිසරික තර්ජන ඉස්මතු කරමින් මේ වන විට අලි ගහන ප්‍රදේශ දිනෙන් දිනම අඩු වෙමින් පවතියි.

පාරිසරික ප්‍රශ්නයන්ට අවධානය යොමු කරද්දී කුණු ප්‍රශ්නය ද පාරිසරික තර්ජන ද ඉස්මතු කරන්නෙකි. කුණු කන්දකට ජීවිත රැසක් අහිමි කරවූ අතීතයක් අපට ඇත. ගෝලීය ඝන අපද්‍රව්‍ය වැඩිවීමේ පුරෝකතනයන්ට අනුව 2030 වන විට දකුණු ආසියාවේ ප්‍රක්ෂේපිත අපද්‍රව්‍ය වසරකට ටොන් මිලියන 466 ක්ද, 2050 දී ටොන් මිලියන 661ක් ද උත්පාදනය වියහැකි බව පුරෝකථනය කරයි.

ලංකාවේ වසරකට ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 8000 ක් ජනනය වන අතර පළාත් පාලන ආයතනවලට මෙහිදී විශාල වගකීමක් පැවරුණත්, පළාත් පාලන ආයතනවලින් 50% ක් ඝන අපද්‍රව්‍ය දිනකට එකතු කරන්නේ මෙට්‍රික් ටොන් 5 කටත් අඩු ප්‍රමාණයකි.

පරිසරය සුරැකීමේදී ගොඩබිම පමණක් නොව මහ සයුර ද ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේය. අද මුහුදට එකතු වන අපද්‍රව්‍යවලින් 85%ක් එන්නේ ගොඩබිමිනි. 10%ක් පමණ එන්නේ නැව්වලිනි. ලොව වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක් මහ මුහුදට එකතු වන බව පුරෝකතනය කිරීම හේතුවෙන් මෙවර ප්ලාස්ටික් දූෂණය අවම කිරීම අප පාරිසරික දිනයේ තේමාවද විය. ලංකාවේ මුහුදට වසරකට කිලෝ ග්රෑම් මිලියන 33 ක් මුහුදට අපද්‍රව්‍ය එකතුවන අතර, මෙවැනි අපද්‍රව්‍ය නිසා ලංකාව වටා සමහර මුහුදු කලාපයන්හි මාළු නොමැති මළ මුහුදු ( Dead Zone) තත්ත්වයට පත් වී ඇත.

“ දේශගුණ විපර්යාස නිසා ඇති වී ඇති සිදුවීම්, ජෛව විවිධත්ව හායනය හා වායු, මිහිතලය හා ජලය ඇතුළත් පරිසර දූෂණය පාරිසරික තර්ජන ගැන කතා කරද්දී වඩාත්ම අවධානයට ලක්කළ යුතු අංශ තුනක්. ලංකාවේ වන විනාශය, භූමිය හායනය වීම, ජලජ හා මුහුදු පරිසර හායනය වීම අපි හඳුනාගත යුතු ප්‍රධාන පරිසර ප්‍රශ්න. ලංකාවේ වූ ප්‍රධාන පරිසර ප්‍රශ්න තුනෙන් එකක් වන්නේ ජෛව විවිධත්ව හායනය. කඩොලාන විනාශ වීමත් එයින් එක් කොටසක්. ප්ලාස්ටික් දූෂණය ගැන කතා කරන්නට සිදුවී ඇත්තේ එය අවභාවිතය නිසායි. ගොඩබිම ප්ලාස්ටික් මුහුදට යාමෙන් මුහුදු ජීවීන්ගේ පරිසර පද්ධති විනාශ වී යනවා. මුහුදේදි සිදුවන ප්ලාස්ටික් දූෂණය වැඩි රටවල් පහෙන් එකක් ලෙස අපේ රට හඳුනාගෙන තියෙනවා. එකස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූයේද මේ තත්ත්වයක්. මේ සිදුවීමෙන් පසු මයික්‍රො ප්ලාස්ටික්ද පරිසර දූෂණය සිදු විය හැකි දෙයක් ලෙස හඳුනාගෙන තියෙනවා. අපේ පරිසර ප්‍රශ්න සියල්ලම එකට බද්ධයි. දේශගුණ විපර්යාස අපිට තදින්ම දැනෙනවා. විශාලම ප්‍රශ්නය වන්නේ පරිසරය ආරක්ෂා කිරීම හා සංවර්ධනය අතර සිදුවන ගැටීම. මෙහිදි පරිසරය ආරක්ෂා කිරීම පැරදී ආර්ථිකය ජයගන්නවා“ ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශය මීගමුව ප්‍රීතිපුර ඇතුළු වෙරළින් ප්ලාස්ටික් දූෂණය ආරම්භව රට පුරා වෙරළ තීරයන් ආක්‍රමණය කළේ ලොව සිදුවූ විශාලතම පරිසර හානිය මතු කරමිනි. වෙරළ පවිත්‍රතා කටයුතු සිදු වූයේ අධික මිනිස් ශ්‍රමය යොදා ගනිමිනි. ප්ලාස්ටික් කැට, ප්ලාස්ටික් ප්ලේට්ස් ඇතුළු අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් ගණනින් එකතු විය. අදටත් මේ සිදුවීම බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහුණක් වුවද පරිසරවේදීහු පවසන්නේ රසායනික හා ප්ලාස්ටික් විෂකාරක දෙකම එකවිට මුහුවූ ලොව සිදු වූ දරුණුතම ව්‍යසනය මෙය වන බවත්ය.

පරිසර හානිය ගැන කතා කිරීමේදී පසුගිය කාලයේ පරිසරවේදීහු නිරන්තරයෙන් ජෛව විවිධත්වයන් සුරැකෙන පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැඟූහ. මන්නාරම් වන්කාලෙයි අභය භූමිය, මුතුරාජවෙළ, වෙඩිතලතිව් වැනි සංවේදී පරිසර කලාප අපේ පරිසර පද්ධතියේ හදවත බඳු නිසාය.

“ දැනට තිබෙන පාරිසරික ප්‍රශ්න අතර කැළෑ විනාශය අංක එකට ඇතුළත්. එයටයි දේශගුණ විපර්යාසත් ඇතුළත් වන්නේ. ප්ලාස්ටික් දූෂණය ප්‍රතිඵලයක් ලෙස අති බහුතරයක් පරිසරයට මුසුව ලොව ප්ලාස්ටික් දූපත් නිර්මාණය වී තියෙනවා. ප්‍රධාන සාගර කලාපයේ ප්ලාස්ටික් දූපත් 7 ක් තියෙනවා. මේවා බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නවලට හේතු වෙනවා. අමතරව ඉඩම් මහ පරිමාණ ව්‍යාපෘතිවලට යොදා ගැනීමේදී අලි මිනිස් ගැටුම් බරපතළ ප්‍රශ්නයක් බවට පත්වී තියෙනවා. මහා පරිමාණ වාරි ව්‍යාපෘති, වගාවන් හඳුන්වා දීම මෙයට හේතුවක් වෙනවා. බොහෝ නගරවල කුණු ප්‍රශ්නය මූලිකයි. මේවා නැවත ප්‍රතිචක්‍රීකරණය සිදු නොවීම නිසා ජල පද්ධතියට එකතු වී සිදුවන පරිසර දූෂණය ඉතා විශාලයි. එක් පරිසර ප්‍රශ්නයක් වශයෙන් ගෙන ඊට අවධානය යොමුකර ගන්නා ප්‍රතිපත්ති තීන්දු දිගටම ක්‍රියාත්මක කරනවා නම් මේ ප්‍රශ්වලින් මිදීමට පහසුයි“ ඒ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩය.

මුහුදු තෘණ, කඩොලාන, මඩ තට්ටු හා ලවණ ලෙස පරිසර පද්ධති හතරකින් සැදි වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයේ හදවත කඩොලානය. මෙය රටේ ඉතිරිව ඇති අවසන් අඛණ්ඩ කඩොලාන බිම් තීරුවලින් එකකි. බොහෝ මත්සයන්ට, සාගර ජීවීන්ට අභිජනන කාර්යයන්ට පසුබිම් සකසන මෙන්ම මේ වන විට වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ඌරාට නිවහන සපයන මුහුදු තෘණ පරිසරයක් මැවෙන්නේ ද වෙඩිතලතිව් වලය. ලංකාව රැම්සාර් සම්මුතියට අත්සන් තබා ඇති රටක් හෙයින් මේ පරිසර පද්ධති ආරක්ෂා කිරීමට බැඳී සිටියද විදේශිය ඉස්සන්, කකුළුවන්, තිලාපියා හා කාෆ් මත්ස්‍යයින් වගා කිරීමට පෙලඹි ඇති නිසා මේ පරිසර පද්ධති දැන් දැන් හානි වීමට පසුබිම සැකසි ඇත.

මුතුරාජවෙල තෙත් බිම් පරිසර සංවේදි කලාපයක් වශයෙන් නම් කර එය ‘රැම්සා‘ තෙත් බිමක් වශයෙන් සංවර්ධනය කිරීම අවසන් ඉලක්කය කරගත්තකි. පරිසර පද්ධති ආරක්ෂා කිරීමේදී මුතුරාජවෙල සංරක්ෂණය ද අවශ්‍යතාවකි. මන්නාරම් වන්කාලෙයි අභය භූමිය ද මේ වන විට රැම්සාර් තෙත්බිමක් වශයෙන් නම් කර ඇත. මේ සියලු අගනාකම් පරයමින් මුදල ඉස්මතු වෙමින් ජෛව විවිධත්වයෙන් පිරිපුන් වූ මේ දූපතට දැන් කණ කොකා හඬන්නට පටන් ගෙන ඇතිබව පරිසරවේදීහු චෝදනා නඟති. 

බූන්දල, වන්කාලෛ, ආනවිලුන්දාව, විල්පත්තුව, මාදු ගඟ හා කුමන නමින් රැම්සා තෙත් බිම් 6 ක් නම් කර ඇත්තේ මෙම වටිනා පාරිසරික කලාප ආරක්ෂා කළ යුතු නිසාවෙනි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අභය භූමිය, බැද්දගාන තෙත්බිම් උද්‍යානය, කොළොන්නාව තෙත්බිම්, කොළඹ බේරේ වැව, තලවතුගොඩ දියසරු උයන කේන්ද්‍ර කරගත් තෙත්බිම් පද්ධතිය, තලංගම වැව පාරිසරික ආරක්ෂක කලාපය, බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමියද එසේ ආරක්ෂා කළ යුතු ජෛව විවිධත්ව භූමියන්ය. විවිධ සංවර්ධන කටයුතු හේතුවෙන් මෙවැනි වටිනා තෙත්බිම්වලට යම් තර්ජනද නැත්තා නොවේ.

පසුගියදා ඉන්දියාවේ දිල්ලි අගනුවරින් පැමිණි දූෂිත වායුව ලංකාවට දැඩි බලපැම් එල්ල කළ හැටි අපට අමකත නැත. දිල්ලි අගනුවර වූ වායූ දුෂණය ලංකාවට මීට පෙරද බලපෑම් එල්ල කරන්නට සමත් වූවකි. ඉන්දියාවේ සෑම වසරකටම ඔවුන්ගේ අස්වනු නෙළීමෙන් පසු සිය වගාබිම් සකස් කිරීමේදි මෙවැනි වායූ දූෂණයන් සිදුවුව ද එයින් මෙවැනි ආකාරයේ බලපෑමක් මීට පෙර එල්ල වූයේ 2019 වසරේ නොවැම්බර් මාසයේදීය.

“ අපි පරිසරයේ කොටසක් බව තේරුම් ගත යුතුයි. පරිසර සංරක්ෂණයේදී වැදගත් වන්නේ නීති නොව ආකල්ප සංවර්ධනයයි. අපි සොබාදහමට අභියෝගාත්මකවයි ජීවත් වන්නේ. උපදින දරුවාගේ සිට ආකල්පමය වෙනසක් සිදු කළ යුතුයි. මිනිසුන් උත්සාහ කරන්නේ තමන්ගේ පරිසර ප්‍රශ්නයෙන් මිදෙන්න මිසක් රටේ පරිසර ප්‍රශ්නවලින් මිදෙන්න නෙමෙයි. පුරවැසියකු ලෙස අපේ වගකීම ගැන කතා කළ යුතුයි. පරිසරය ආරක්ෂා කිරීම, සමාජ සංහිඳියාව ආරක්ෂා කිරීමේදී පුද්ගල සංහිඳියාව ඇති කරමින් වගකිව යුතු පුරවැසියන් බවට පත්විය යුතුයි. අපි සියලු දෙනාම මේ ප්‍රජාවේ කොටසක්. සියලු දෙනාම කතිකාවතක් ගොඩනැඟිය යුතු වෙනවා.“ එ් ශ්‍රී ලංකා හරික ව්‍යාපාරයේ සභාපති සුරංජන් කොඩිතුවක්කුය.

දේශගුණික විපර්යාස අපට පහසුවෙන් අමතක කළ හැකි තත්ත්වයක් නොවේ. මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකවද ඊට මැදිහත් වෙමින් පවතිණි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ලොව රජයයන් එකඟ කරවා ගැනීමට සෑම වසරකම එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව හෙවත් COPs පැවැත්වෙයි. 1992 දී එක්සත් ජාතීන්ගේ මුල් දේශගුණික ගිවිසුමට පාර්ශ්වකරුවන් ලෙස අත්සන් කළ රටවල් 200කට වැඩි ගණනක් මේ සඳහා සහභාගී වෙති.

“ ජෛව විවිධත්වය ඉහළ අගයක් ගැනීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ආඩම්බර විය හැකි කරුණක් වුවත්, පරිසර විද්‍යාත්මක සංරක්ෂණයේදී එය පුළුල් අභියෝගයක්. වැඩිවන ජනගහනයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා දිනෙන් දින වනාන්තර විනාශ කරමින් පාරිසරික ගැටලු සමුදායකට අත වනනවා. වනජීවි සංරක්ෂණය, වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පරිසරය ආක්ෂා කිරීම තනිවම කළ හැක්කක් නෙමෙයි. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම සියලු පුරවැසියන්ගේ සහභාගිත්වය ඒ සඳහා අත්වැල් බැඳ ගත යුුතු වෙනවා“ ඒ වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමය සභාපති ස්පෙන්සර් මැනුවල්පිල්ලේය.

අඩ සියවසකටත් අධික කාලයක සිට අපි පරිසරය රැක ගැන්ම වෙනුවෙන් කතා කරන්නෙමු. දිනයක් වෙන් කරන්නෙමු. එහෙත් ඒ සියල්ලම එක් දිනක තේමාවකට පමණක් කොටු වී ඇති සේය. අනාගත ලෝකයා වෙනුවෙන් පරිසරය රැක ගැන්මට මීට වඩා පුළුල් දායකත්වයක් දැක්විය යුතුය.

Comments