අපි දැන් Natural Farming වෙත යා යුතුයි | Page 2 | සිළුමිණ

අපි දැන් Natural Farming වෙත යා යුතුයි

අපගේ කාබනික නිෂ්පාදන මිල දී ගැනීමට විමසන්න. 0714 074199

මහනුවර ප්‍රිම්රෝස් ගාඩ්න් හි පිහිටි බයෝ නැචුරල් ෆුඩ්ස් පුද්ගලික සමාගම, කාබනික පොහොර නිෂ්පාදනයෙහි ලා වෙනස් මඟක් ගත් දේශීය සමාගමකි. මීට අමතරව ස්වාභාවික වගාව හරහා ආහාර නිෂ්පාදනය, වියළි එළවළු හා පලතුරු නිෂ්පාදනය, අඩු වියදම් ආහාර වියළන යන්ත්‍ර නිෂ්පාදනය, කුළු බඩු නිෂ්පාදනය ද සිදු කරයි. මේවා දේශීය හා විදේශීය ව අලෙවි කරයි. විශේෂත්වය වන්නේ, මෙම සියලුම නිෂ්පාදන 100%ක් කාබනික වීම යි . 

දියර පොහොර, සත්ත්ව දියර පොහොර (ෆිෂ් ටොනික් හෙවත් මාළු දියර පොහොර චිකන් ටොනික්, පිග් ටොනික් වැනි ) හා ශාක දියර පොහොර, ජෛව දියර පොහොර, කාබනික ඝන පොහොර සහ ක්ෂුද්‍ර ජීවී ද්‍රාවණ,‚ කොල කොඬවීම සුවපත් කිරීම සඳහා කාබනික දියර‚ පළිබෝධ හා කෘමී විකර්ශක නිෂ්පාදන පෙළක් ම හඳුන්වා දී ඇති එම සමාගමේ සභාපති ආචාර්ය සනත් කුමාර මුණසිංහ මහතා, දේශීය කාබනික වගාව වෙනස් මඟකට යොමු කිරීම සඳහා පෙරමුණ ගෙන සිටියි. එනම්, Zero Budget Natural Farming හෙවත් 'ස්වාභාවික වගා කිරීමේ' සංකල්පය හඳුන්වා දී තිබේ.

මෙම සංකල්පය තුළ ප්‍රධාන රාජකාරිය ඉටු කරන්නේ කෘෂි කර්මාන්තයට හිතැති ක්ෂුද්‍ර ජීවීන් විසිනි. දූෂිත නොවූ රිටිගල, සිංහරාජය වැනි වැසි වනාන්තරවලින් සොයාගෙන විත්, ඔවුන්ට ජීවත් වීමට සුදුසු පෝෂක සංඝටක සහිත වගා මාධ්‍යයක් මත වර්ධනය වන්නට හැර, රසායනාගාර තුළ වගා කොට, දියර හෝ කැට වශයෙන් සකසා ගොවීන් අතට පත් කිරීම මෙම Natural Farming සංකල්පයේ ස්වභාවයයි. මෙම ස්වාභාවික වගාවේ දී ජෛව දියර පොහොර හැර කිසිදු බාහිර යෙදවුම් අවශ්‍ය නැත. එනම්, සී සෑම් හෝ පස බුරුල් කිරීමක් නැත. මෙහිදී සිදු වන්නේ පැළ හෝ බීජ සිටුවීම, වසුන් යෙදීම හා ජෛව දියර පොහොර යෙදීම පමණි.

ආචාර්ය සනත් කුමාර මුණසිංහ මහතා ඒ පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි.

"අපේ නිෂ්පාදනවල විශේෂත්වය තමයි ස්වාභාවික ක්‍රමවේදයකට අනුව ම පමණක් සියලු පොහොර වර්ග සකස් කිරීම. ඒ අනුව, වෙනත් ජෛව දියර පොහොර හෙක්ටයාරයකට ලීටර 15ක් යොදද්දී ගුණාත්මක බවින් වැඩි අපේ දියර පොහොර යෙදිය යුත්තේ හෙක්ටයාරයකට ලීටර 7.5 යි. එනම් හරි අඩක් පමණයි.

ඒ වගේම, නව වගා බිමක් ආරම්භයේදී අපේ කාබනික දියර පොහොර හෙක්ටයාරයකට ලීටර 15ක් යෙදිය යුතුයි. කාබනික ඝන පොහොර නම් හෙක්ටයාරයකට ටොන් 200 ක් අවශ්‍ය වනවා. ඉන් පසු ඊළඟ කන්නයේ සිට අපේ ජෛව දියර පොහොර පමණක් ප්‍රමාණවත්. මේ වන විට අපේ සුවිශේෂී ම නිෂ්පාදනය වන ජෛව දියර පොහොර විශේෂය, ක්ෂුද්‍ර ජීවීන් සහිත ඝන කැටයක් බවට පත් කර තිබෙනවා.

පොහොර පරිහරණයේ දී සිදු වන පරිසර දූෂණය අවම කිරීමේ එක් පියවරක් ලෙසයි, එය කැටයක් බවට පත් කළේ. නැත්නම් වෙන්නේ පාවිච්චි කළාට පසු කොහේ හෝ ඇළකට දොළකට දියපහරකට මේ ප්ලාස්ටික් බෝතල් විසි කර දමන එක. එයට විසඳුමක් ලෙසයි, ජෛව දියර පොහොර කැටය නිර්මාණය කළේ.

ලෝකයේ කෘෂිකර්මය පටන් ගත් මුල් කාලය ගත් විට සාමාන්‍ය පරිසර තත්ත්වයන් යටතේ පමණයි මිනිස්සු වගා කළේ. හේන් සුද්ද කළා. ගිනි තැබුවා. බෝග ටික දැම්මා. සරු අස්වනුත් ගත්තා. ඒ පසට සහ පරිසරයට අනුවර්තනය වෙච්ච ශාක ප්‍රජාවක් තමයි පැරැන්නෝ හැම වෙලාවෙම තෝරා ගත්තේ. වස විස කිසිවක් පසට එකතු කළේ නැහැ. එහිදී ශාකයට අවශ්‍ය ක්ෂුද්‍ර හා මහා මූල ද්‍රව්‍ය නිපදවා ගැනීමට උදව් කළේ පරිසරයේ සිටින ක්ෂුද්‍ර ජීවීන්.

නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පුපුරන ද්‍රව්‍ය රැසක් ඉතිරි වුණා. නයිට්‍රික් ඇසිඩ්, පොස්පරික් ඇසිඩ්, සල්ෆර්, පොස්පරස්, යූරියා... වැනි රසායනික ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍යය. ඒ රසායනික ද්‍රව්‍ය ඉතිරිව තිබූ රටවල් මේවා විකුණා ගන්න පාවිච්චි කළ උපක්‍රමය තමයි, Modern Agriculture.

මේ මොඩර්න් කෘෂිකර්මය එක්ක තමයි, නූතන කෘෂි විශ්වවිද්‍යාල බිහි වෙන්නේ. ඒ Modern Agriculture එක්කම පිටුපසින් එනවා, Research & Development කිසිවක් නොකර නිෂ්පාදනය කරන ලද කෘෂි යන්ත්‍රෝපකරණ පෙළක්. ඊට පිටුපසින් එනවා, හයිබ්‍රිඩ් බීජ හෙවත් දෙමුහුන් බීජ.

ඔය සේරම ජාත්‍යන්තර සමාගම්වල එකකට එකක් බැඳුණු උපක්‍රම. ඒ අය බලෙන්ම අපේ ගොවීන්ට මේ සියල්ල පුරුදු කරවනවා. ඊට අනුගත වුණාට පස්සේ යූරියා ඕනෙමයි. ඊළඟට MOPත් ඕනෑ. තවත් මොනවා හරි පොහොරක් දාන්නත් ඕනෑ වනවා. ස්වයංව වැඩෙන ගහක් වෙනුවට, අදියරෙන් අදියරට පොහොර අවශ්‍යයයි.හැම දේම අතට පයට කරලා දුන්නාම බිහි වන ඔතෑනි දරුවෙක් වගේ තැනට ගහත් පත් වනවා. තමන්ගේ ශක්තියෙන් වල් පැළෑටි එක්ක සටන් කරලා නැඟෙන්න වර්ධනය වෙන්න ඒ ගස්වලට බැහැ. ඉතින් වල්නාශකත් ගහන්න ඕනෑ. ඊළඟට කෘමි නාශකත් ඕනෑ.

ගණනය කිරීමකින් තොරව මේ විදියට රසායනික ද්‍රව්‍ය මහ පොළොවට දැම්මත් සමහර පසකට නයිට්‍රජන් අවශ්‍ය නැහැ. පොටෑසියම් අවශ්‍යත් නැහැ. ඒවා ඒ පසේ තිබෙනවා. ඒ තිබියදීත් එක්කෝ පොහොර සහනාධාරයට දෙන නිසා ආයෙත් හලනවා. ඊළඟට වෙන්නේ, කල්ප කාලාන්තරයක් මේ විදියට හලලා හලලා පස මුඩුබිමක් බවට පත්වෙන එක. එහෙම වෙච්ච රටවල් තිබෙනවා.

ඊළඟට ඔවුන් කියනවා, 'මේ හයිබ්‍රිඩ් එකට මේ පොහොරයි ඕනේ...' කියා. මේවා ඒ උපක්‍රමවල තවත් දිගුවක්. ඔය විදියටයි, අපේ රටේ දේශීය බීජ ටික ඔවුන් ඈත් කරලා ම දැමුවේ. අන්තිමට ගොවි මහත්තයා ඔය බාහිර යෙදවුම් ගොඩ මිලදී ගන්න ණයකරුවෙක් බවට පත්වුණා. එනම් තමන්ග්ම ගොවි බිමේ ණයකාරයෙක් වුණා. කුඹුරු උකස් කළා. ණය ගෙවා ගන්න බැරිව සමහරු වහ බීලා මැරුණා. මේවා දාන නිසා නිෂ්පාදන වියදම ඉහළ ගියා. ඒ එක්කම ගොවියා ලෙඩ වුණා. වකුගඩු සහ පිළිකා රෝග හැදෙන්න ගත්තා. මේ පොහොර දාලා හැදූ දේ කාපු බීපු මිනිස්සු ලෙඩ වුණා. මේ විනාශයෙන් ගැළවෙන්න තමයි, ලෝකයේ බොහෝ රටවල් වගේම අපේ රටත් කාබනික වගාවට ටිකෙන් ටික තල්ලු වුණේ.

හැබැයි ඉතින් කාබනික යෙදවුම් වුණත් මිල ඉහළයි. ගොවියාට මේකත් දරා ගන්න අමාරුයි. එහෙනම් යන්න තිබෙන හොඳම විකල්පය තමයි ස්වාභාවික වගාව හෙවත් Natural Farming කියන්නේ.

අපේ රට වටේම මුහුද නිසා ඕනෑ තරම් මුහුදු මාළු තිබෙනවා. මාළු අපද්‍රව්‍ය ටික අරගෙන ෆිෂ් ටොනික් හදාගන්න පුළුවන්. මේ ෆිෂ් ටොනික්වල තිබෙන්නේ ඇමිනෝ ඇසිඩ්. ගහකට අවශ්‍ය නයිට්‍රජන් ටික ඒ හරහා ලාභයට සහ පහසුවට ලැබෙනවා. සාර්ථක ප්‍රතිඵල ගන්න නම්, ඉර තදින් පායන්න කලින් අපි කියන අනුපාතවලින් පත්‍රවල යටි පැත්තට ෆිෂ් ටොනික් ස්ප්‍රේ කරන්න ඕනේ.

අපි හදන Biofertilizer කියන්නේ, ගහේ වර්ධනයට අවශ්‍ය වසර මිලියන ගණනක් පස මත සිටිමින් එම ක්‍රියාවලියට අනුවර්තනය වූ පෝෂකාංශ නිපදවා දෙන හිතකර ක්ෂුද්‍ර ජීවීන් පිරිසක්. ස්වාභාවික වනාන්තරවලින් ක්ෂුද්‍ර ජීවීන් සොයා ගෙනැවිත් ලැබ් එකේ වර්ධනය කර ඉන් පස්සේ ද්‍රාවණ හෝ කැට වශයෙන් සකස් කර ගොවීන්ට මුදා හරින සුවිශේෂී ම පොහොර වර්ගය මෙයයි. එය යෙදූ විට ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වන්නට පටන් ගෙන පසේ ඇති සංකීර්ණ ද්‍රව්‍ය ටික, සරල ද්‍රව්‍ය බවට පත් කර ගහට උරා ගන්නා තත්ත්වයට පත් කර දෙනවා.

ඇත්තටම ලංකාව කියන්නේ කිසිම අකාබනික හෝ කාබනික යෙදෙවුමක් නොයොදා හොදින් වගා කළ හැකි පසක් සහිත රටක්. අවශ්‍ය වන්නේ හොද ක්ෂද්‍ර ජීවි ද්‍රාවණයක් ගොවි බිමට යෙදීම පමණයි. මෙය හොදින්ම පැහැදිලි වන්නේ අතීතයේදී එනම්, මහා පරාක්‍රම බාහු රජ සමයේදී ශ්‍රී ලංකාව ලෝකයේ පෙරදිග ධාන්‍යාගාරය වීමයි. ඒ කාලයේ යූරියා හෝ වෙනත් කෘත්‍රිම රසායනික වස විස තිබුණේද නැහැ.

ලංකාව කියන්නේ, වාරිමාර්ග ක්‍රමයක් යටතේ ඕනෑම වගාවක් කිරීමේ හැකියාව ඇති මහපොළොවක් සහිත රටක්. ලංකාවේ වසර පුරාම තිබෙන්නේ ප්‍රශස්ත උෂ්ණත්වයක්. ප්‍රශස්ත හිරු එළියක්. ඒ නිසා අපිට සරලව ඕනෑම දෙයක් වගා කර ගන්න පුළුවන්. මේ පසට යූරියා ඇතුළු රසායනිකද්‍රව්‍ය දාලා පස විස නොකර කාබනික ද්‍රව්‍ය ටික පමණක් යොදනවා නම්, ක්ෂුද්‍ර ජීවීන් යහමින් ඉන්නවා. උන්ගේ ක්‍රියාකාරීත්වය නිසා පරිසර දූෂණයක් ඇති වන්නේ නැහැ. ක්ෂුද්‍ර ජීවියාට ගහෙන් කෑම ටික ලැබෙනවා. ඊට ප්‍රතිඋපකාරයක් ලෙස ක්ෂුද්‍ර ජීවියා ගහට අවශ්‍ය පෝෂක සංඝටක ටික හදලා දෙනවා. ඒ නිසා බාහිර යෙදවුම් අවම කරලා හොඳ ක්ෂුද්‍ර ජීවී ද්‍රාවණයක් පසට යෙදීම ප්‍රමාණවත්. Natural Farming කියන්නේ මම එසේ දියුණු කළ ක්‍රමවේදයක්.

තවත් විදියකට කිව්වොත් කාබනික වගා යෙදවුම් මිල ඉහළ නිසා, ඉන් එහාට ගිය මිලෙන් අඩු ප්‍රතිඵල වැඩි ස්වාභාවික වගා ක්‍රමවේදයක් මම අත්හදා බැලුවා. එහි තිබෙන එකම දේ Biofertilizer පමණම යි.

මේ ක්‍රමවේදය තුළ BNF රන්දීර් කියන Biofertilizer බීජ සත්කාරයක් මා හදා තිබෙනවා. බිම් සකස් කර, බීජ සිටුවන්නට පෙර මේ රන්දීර් බීජ සත්කාරය තුළ පොඟවලා තමයි, එම බීජ පැළ කරන්නට ඕනේ. වී නම්, ඒ වී පැළ වුණාට පස්සේ බීජ සත්කාර ද්‍රාවණයේ ගිල්වා තැබිය යුතුයි. කිලෝ දහයක පැක් එක වතුර ලීටර 200 ක ප්‍රමාණයකට දිය කරගෙන එහි එහි පොඟවා ගත යුතුයි. එම ප්‍රමාණය හෙක්ටයාරයකට ප්‍රමාණවත්. මෑ, මුං, ඉරිඟු වගේ බීජ නම් ඒ ද්‍රාවණයේ විනාඩි දහයක් ගිල්වා තබා ගැනීම ප්‍රමාණවත්.

ඊළඟ පියවරේදී, BNF නිම්තක් ක්ෂුද්‍ර ජීවී ද්‍රාවණය යෙදිය යුතුයි. මෙය යෙදිය යුුත්තේ බීජ පැළ අතර වසුන මතටයි. ඒ අනුව, ක්ෂුද්‍ර ජීවි ද්‍රාවණය දවස් 7න්,14න් සහ 21න් යොදා ගෙන යන්නයි තිබෙන්නේ. එවිට අපි නිතරම වගාවට වසුනක් යොදා තිබෙනවා. එය හොඳටම ප්‍රමාණවත්. කොම්පෝස්ට් යෙදීම අවශ්‍ය නෑ. මොකද, සමස්ත ක්ෂුද්‍ර ජීවී වර්ණාවලිය ම ඒ තුළ ක්‍රියාත්මක වන නිසා.

Natural Farming කියන්නේ, ඇත්තටම වනාන්තරයේ සිදු වන ක්‍රියාවලියට සමාන දෙයක්. වනාන්තරයේ සතුන් මැරුණාට පසු ක්ෂුද්‍ර ජීවීන් ඒවා ඒ පොළොවටම දිරාපත් කරනවා. වැටෙන කොළ ටිකත් ක්ෂුද්‍ර ජීවීන් ම ක්‍රියාත්මක වෙලා දිරාපත් කර, ආපහු පසට උරා ගන්නා තත්ත්වයට පත් කරනවා. අපේ Natural Farming කැට හෝ දියර මාස 5ක් එක දිගට තේ වත්තකට යෙදුවොත්, ඒ තේ වත්ත එරෙන්න ගන්නවා. ක්ෂුද්‍ර ජීවීන් විසින් පස බුරුල් කර ඒ තුළ ක්‍රියාත්මක වන නිසා, ඒ පස ඉතා හොඳ තෙත සහිත පොළොවක් බවට පත් කරනවා.

කැලේ හැදෙන මහා යෝධ අලයක් ගැන හිතන්න. කවුද මේ අලය හැදෙන්න පස බුරුල් කළේ. කවුද පොහොර දැම්මේ. මොන තරම් ලොකුවට අල හැදෙනව ද... මම මෙවැනි අල ගොඩට අරන් ඒ අලේ ගෑවී තිබෙන පස් ලේයරවල ඉන්නා ක්ෂුද්‍ර ජීවීන් කවුද කියන එක පර්යේෂණ කර බලා තිබෙනවා. පසට අවශ්‍ය සියලු සංඝටක ලබා දෙන ක්ෂුද්‍ර ජීවීන් කණ්ඩායම ම එහි සිටිනවා. මහ කැලේ සිදු වන ක්‍රියාවලිය මේකයි.

මම පොහොර ලෙස මුදාහරින්නේ ඒ හිතකර ක්ෂුද්‍ර ජීවීන්. මේ ක්ෂුද්‍ රජීවී ද්‍රාවණය යොදා හදන වගාවේ ප්‍රතිඵල දහ ගුණයකින් විතර වැඩි බව මම අත්දැකීමෙන් දන්නවා. ගොවීන්ට තිබෙන්නේ අපේ Natural Farming පැක් එක අරගෙන වතුරේ දිය කර දවසක් අඳුරේ තබා, බීජ සත්කාරය කර වසුනක් ලෙස යෙදීම පමණයි. ඊළඟට, අර දවස් 7න් 14න් සහ 21න් අපි කියන ආකාරයට නැවත යෙදීම පමණයි.

ලංකාවේ මහපොළොවට ඇත්තටම ඝන පොහොර අවශ්‍ය වන්නේ නැහැ. විවිධ පරිසරවල කාබනික අවශ්‍යතා වෙනස්. අපි බලෙන් ප්‍රමාණයට වඩා පොහොර යොදලා පසේ සංයුතිය වෙනස් කළොත්, පසේ සමතුලිතතාව බිඳ වැටෙනවා.

මේ ක්‍රමය තුළ අපිටත් හදන්න සිද්ධ වුණාට, මම කියන Natural Farming වල ෆිෂ් ටොනික් හෝ කොම්පෝස්ට් කියලා ජාතියක් නැහැ. තිබෙන්නේ, ක්ෂුද්‍රජීවී ද්‍රාවණය විතරමයි. මේ පාර රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළට දීම සඳහා මාත් ෆිෂ් ටොනික් ලීටර ලක්ෂයක් හැදුවා. කාබනික දියර පොහොරත් ඒ හා සමාන ප්‍රමාණයක්. ඝන පොහොර මෙට්‍රික් ටොන් 2,000ක් සහ පැලට් මෙට්‍රික් ටොන් 500ක් හැදුවා. ජෛව දියර පොහොර නම් ලංකාවටම වුණත් දෙන්න පුළුවන්.

අපි කාබනික ඝන පොහොර නිෂ්පාදනය කරන්නේ කුකුළු පොහොර, ගොම, ගිණිසීරියා... ඇතුළු නයිට්‍රජන් අධික ශාක ද්‍රව්‍ය ගණනාවක් එකතු කරලා. ෆිෂ් ටොනික් සඳහා මාළු අපද්‍රව්‍ය, සක්කර හෙවත් මොලෑෂස් සහ මී කිරි ඇතුළු තවත් අමුද්‍රව්‍ය කිහිපයක් ම යොදා ගන්නවා. සමහර ගොවීන් අවබෝධයක් නැතිව කාබනික පොහොරවලින් එන දුර්ගන්ධය පිළිබඳ කියනවා. ඒ දුර්ගන්ධය කියන්නේ වගාවට ආශිර්වාදයක්. පළිබෝධකයන් පළාතේ එන්නේ නැති, කෘමී විකර්ෂකයක් ලෙසත් මේ දුර්ගන්ධය ක්‍රියා කරනවා. ඒ කියන්නේ, ක්ෂුද්‍ර ජීවීන් හොඳින් ඒ මාධ්‍ය තුළ ක්‍රියාත්මක වනවා කියන එකයි.

ඒ වගේම Natural Farming ක්ෂුද්‍ර ජීවී ද්‍රාවණය හදන්නේ, ක්ෂුද්‍ර ජීවීන්ට ජීවත් වීමට අවශ්‍ය සීනි වර්ග, ඛනිජ ලවණ, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ විටමින් වර්ග සහිත මාධ්‍යයක් සාදා, ඒ තුළ ක්ෂුද්‍ර ජීවීන් වගා කර වර්ධනය කිරීමෙන්. එය පරිස්සමින් කළ යුතු සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් අපි එය සාර්ථකව සිදු කරනවා.

මොකද, මගේ විෂය පථය වන්නේ Bio Chemistry. එහි ශාක අංශයේ ස්වාභාවික වගාව තමයි, මම වැඩිදුර අධ්‍යයනය කර තිබෙන්නේ. කෘෂිකර්මය පිළිබඳ මගේ උසස් අධ්‍යාපනය සිදු කළේ කැනඩාවේ. ඒ වගේම මගේ ආචාර්ය උපාධිය තිබෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන්. බොහෝ කලක් කැනඩාවේ අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ලබා, කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියා කිහිපයක් කළ මගේ ජීවිත අත්දැකීම් අනුව මම ලෝකයේ නව ප්‍රවණතා දැක තිබෙනවා. ලෝකයේ දියුණු රටවල මිනිස්සු පවා ඕගනික් ආහාර ඉල්ලලා කෑ ගහද්දී අපේ රටේ බහුතර ජනතාවට තවමත් ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. ඉක්මන් ප්‍රතිඵල සඳහා ගොවීන් පවා රසායනික පොහොර මේ විදියට ඉල්ලන්නේ අපේ රටේ පමණයි. ඇත්තටම එය රටක් ජාතියක් හැටියට අපි මුහුණ දී තිබෙන විශාල ඛේදවාචකයක්.

දැන් කන්න කිහිපයක් ම කාබනිකව වගාව කරලා ඉන්න අපේ බහුතර ගොවීන් තුන්වැනි කන්නයත් එහෙම ම ගියා නම්, අර විස වෙලා තිබූ මහපොළොව යළි පණ ගහන්න ගන්නවා. ක්ෂුද්‍ර ජීවීන් අවශ්‍ය ලෙස වර්ධනය වීම සිදු වනවා. නමුත් තුන්වැනි කන්නයෙන් මේ දේ අත්හැරියොත් සියල්ල ආපහු පරණ තැනට වැටෙනවා. එහෙම ගියා නම් අපේ මහ පොළොව ක්ෂුද්‍ර ජීවින්ගෙන් බහුල නිසා, යළි පොහොර නැතුව වුණත් වගා කරන්න පුළුවන් තත්ත්වයට පත්වනවා.

කොහොම වුණත්, අපේ මේ කාබනික පොහොර කර්මාන්තය නිසා දෙසීයකට ආසන්න පිරිසකට රැකියා අවස්ථා හදා දෙන්න මට පුළුවන් වුණා. විශේෂයෙන් ගම්වල කාන්තාවන් දිනකට රුපියල් 2,000 උපයපු අවස්ථා තිබුණා. වක්‍රාකාරව තවත් සිය දෙනකුට විතර රැකියා ලැබුණා. අපේ මේ දේශීය දේ යොදාගෙන වී වගාව කළොත් රුපියල් 70කට වී කිලෝවක් නිෂ්පාදනය කරන්න පුළුවන්. අනික, රසායනික පොහොරවලින් අස්වනු බහුල වුණත් වැඩක් තිබෙනවා ද, ඒවා යොදා සකසන බව භෝග අනුභව කරන බහුතර මිනිසුන් ලෙඩ වෙනවා නම්. දීර්ඝකාලීන පිළිකා රෝගීන් සහ වකුගඩු රෝගීන් බවට පත් වෙනවා නම්.

ඒ නිසා රසායනික පොහොරවලින් අස්වනු වැඩියි, කියන මතය ගැන ගොවීන් තව දෙතුන් පාරක් වත් හිතන්න ඕනේ. ජාතියක්ම ලෙඩ්ඩු වෙනවා නම්, තමන්ගේ අස්වනු වැඩි වෙලා මොකටද?

මිනිස්සු සුවපත් වෙන්න නම් මේ රටට හරියන්නේ කාබනික වගාව. ඒ සඳහා අපේ ගොවි මහත්වරුන්ටත් ප්‍රඥාව පහළ වෙන්න ඕනේ. එහෙම නොවුණොත් ඔවුනුත් මේ විනාශයට වග කියන්න ඕනේ. ඒ වගේම, ජාතියක් හැටියට අපි ඉතාම නරක තැනකට වැටෙන බවත් කිව යුතුයි..."

Comments