නිවේදකයා කියන්නේ තමා නියෝජනය කරන ආයතනයේ අනන්‍යතාවක් | සිළුමිණ

නිවේදකයා කියන්නේ තමා නියෝජනය කරන ආයතනයේ අනන්‍යතාවක්

- ඉතාම අඩු කාලයකින් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කරන්න මට අවස්ථාව ලැබීම සතුටක්
- විවාහ වුණ මුල් කාලේ එකදිගට අවුරුදු තුනක් විතර අලුත් අවුරුදු දවසේ නැකත් වෙලාවට ගෙදර ඉඳලා නෑ

2014 වසරේ සිට මේ දක්වා ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයෙකු වශයෙන් කටයුතු කරන ඔහු ඉතාම කෙටි කාලයකින් ක්ෂේත්‍රයේ බොහෝ දුර ගමනක් පැමිණ තිබෙනවා. මේ වන විට ලේක්හවුස් ආයතනයේ ඩිජිටල් අංශයේ ද සේවය කරන ඔහු මෙරට නවක නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් පැවැත්වෙන වැඩමුළු වෙනුවෙන් දේශකයෙකු වශයෙන්ද සම්බන්ධ වී කටයුතු කරනවා. ඔහු නමින් චානක ඉනෝජ්.

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයෙක් වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව ලේක්හවුස් ආයතනයේ ඩිජිටල් අංශයේ වැඩකටයුතු ටිකත් කරගෙන මාධ්‍ය වැඩමුළු කිහිපයකත් දේශන කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

ඔබ ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ කොහොමද? 

මම 2013 වසරේදී ජාතික රූපවාහිනියේ දැන්වීමක් දකිනවා. නවක නිවේදක නිවේදිකාවන් බඳවා ගැනීම සම්බන්ධයෙන්. ඒකට මමත් අයදුම් කරනවා. එතැනදි 3000කට අධික අයදුම්පත් ප්‍රමාණයක් අතරින් සම්මුඛ පරීක්ෂණ සහ තිර පරීක්ෂණ කිහිපයකට පෙනී ඉඳලා අවසානයේදී 2014 වස‍ෙර්දී මට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයෙක් විදියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා.

ඔබේ පළමු ප්‍රවෘත්ති ප්‍රකාශයේ අත්දැකීම ගැන මතක් කළොත්?

2014 අප්‍රේල් පළමු වෙනිදා තමයි මම මුලින්ම ප්‍රවෘත්ති ප්‍රකාශනයක් කරන්නේ. එදා වගේම අදටත් ප්‍රවෘත්ති තේමා වාදනය යනකොට හිතට පොඩි චකිතයක් දැනෙනවා. සජීවී ප්‍රවෘත්ති විකාශය ආරම්භ වෙලා විනාඩි තුනක් හතරක් වගේ යනකල්ම අදටත් ඒ චකිතය ඒ තැතිගැන්ම දැනෙනවා. අපි හැමදාමත් ප්‍රවෘත්ති කියන්න කලින් හිතන්නේ මේ වෙනකොට කොච්චර ප්‍රවෘත්ති කියලා තියෙනවද කියන දේ නෙමෙයි. මේ අලුත් දවසක්. මේ ප්‍රවෘත්ති විකාශය අතරතුරදී වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා කියන දේ ගැනයි. හැම ප්‍රවෘත්ති විකාශනයක් තුළින්ම අලුත්ම අත්දැකීමක් තමයි අපිට ලැබෙන්නේ.

ප්‍රවෘත්ති නිවේදකයෙක් බිහි වෙන්න හොඳ හඬක් තිබීම විතරක්ම ප්‍රමාණවත්ද?

ඇත්තටම නෑ. අද වෙනකොට බිහි වෙන හැම ප්‍රවෘත්ති නිවේදකයෙක්ම නිසි පුහුණුවකින්ද මේ ක්ෂේත්‍රයට එන්නෙ කියන ගැටලුව තියනවා. කොහොම වුණත් ප්‍රවෘත්ති නිවේදකයෙක්ට වේවා වැඩසටහන් නිවේදකයෙක්ට වේවා නිසි පුහුණව කියන්නේ අවශ්‍යම දෙයක්. විශේෂයෙන්ම බාහිර පරිසරයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද, ආයතනයට කැළලක් නොවෙන විදියට වැඩකටයුතු කරන්නේ කොහොමද, ඒ වගේම විනය පද්ධතිය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න අවශ්‍යයයි. නිවේදකයා කියන්නේ තමා නියෝජනය කරන ආයතනයේ අනන්‍යතාවයක්.

ඔබ පාසල් අවධියෙත් නිවේදන කටයුතු වලට සම්බන්ධ වෙලා තියනවද?

ඔව්. මගේ පාසැල පානදුර රාජකීය විද්‍යාලය. මට දහය වසරේ ඉද්දි තමයි කැමැත්තක් ඇති වෙන්නේ නිවේදන කටයුතු සම්බන්ධයෙන්. මම පාසලේ මාධ්‍ය ඒකකයට ඇතුළත් වුණා. උත්සව කටයුතු වලදී නිවේදන කටයුතු කළා. ඒ වගේම මතක් කරන්න ඕන වස්කඩුව ශ්‍රී සූභූති දහම් පාසල. ඒ හරහාත් මගේ කුසලතා බොහෝමයක් වැඩි දියුණු වුණා.

ඔබේ මාධ්‍ය වැඩකටයුතු වෙනුවෙන් පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ පවුලේ ඉන්නේ බිරිඳ රොෂානි ඉශංකා, පුතා රොමෙත් සහ දුව පිනිදි. මගේ බිරිය ඇය මගේ වැඩකටයුතු සාර්ථක කර ගන්න විශාල ශක්තියක් වෙනවා. සමහර වෙලාවට ප්‍රවෘත්ති ප්‍රකාශ අවසන් කරලා ගෙදර එනකොට ගොඩක් රෑ වෙලා. උදෑසන සජීවී වැඩසටහන් වලට සහභාගී වෙනකොට නැවත පාන්දරම යන්න වෙනවා. කොහොම වුණත් ගෙදර ඉන්න තියන වෙලාව ඉතාම අඩුයි. මම විවාහ වුණ මුල් කාලේ එකදිගට අවුරුදු තුනක් විතර අලුත් අවුරුදු දවසේ නැකත් වෙලාවට ගෙදර ඉඳලා නෑ. ඉතින් ඒ දේවල් තේරුම් අරගෙන ඉන්න බිරිඳක් ලැබීම ඇත්තටම වටිනවා.

ඔබේ වෘත්තීය ජීවිතයේ අමතක නොවන සිදුවීම ගැන කතා කළොත්?

මේ සිදුවීම වෙන්නේ 2014 වර්ෂයේ යාල්දේවි දුම්රිය වසර ගණනාවකට පසුව නැවත ගමන් ආරම්භ කරන අවස්ථාව වෙනුවෙන් එවකට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විශාල උත්සවයක් පැවැත්වුණ අවස්ථාවක. එදා දවල් 12 ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරන කොටම නිෂ්පාදක අංශයෙන් මට කියනවා මල්ලි වීඩියෝවල පොඩි ප්‍රමාදයක් තියනවා විනාඩි 2 ක් 3ක් විතර යාල් දේවි ගැන මොනවා හරි කියන්න කියලා. දෙවෙනි තුන්වෙනි නිව්ස්වලට යන්නත් බෑ කියලා. ඇත්තටම ඒ වෙලාවේ මම ඒ අභියෝගය භාර ගන්නවා. පිටපතක් නැතුව මම විනාඩි තුනක් විතර මේ අවස්ථාව ගැන කතා කරනවා. ප්‍රවෘත්ති විකාශයෙන් පස්සේ නිෂ්පාදකතුමා මට කතා කරලා කිව්වා “මල්ලි ඔයා අලුත් නිවේදකයෙක් නිසා මට කිසිම විශ්වාසයක් තිබුණේ නෑ. මම ඇස් දෙක වහගෙන තමයි කැමරාකරුට ඔයාව ගන්න කිව්වේ. මම ඇත්තටම හිතුවේ ඔයා වැඩේ නා ගනියි“ කියලා. එහෙම කියපු නිෂ්පාදකතුමාගෙන් එදා මට ලොකු ඇගැයීමක් ලැබුණා. මම හිතනවා ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලා. ඉතාම අඩු කාලයකින් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කරන්න මට අවස්ථාව ලැබෙන්න ඒ සිදුවීමත් හේතුවක් වෙන්න ඇති.

ඔබේ වෘත්තීමය කටයුතු සහ පවුලේ කටයුතු මේ සියල්ල කොහොමද සමබරව පවත්වාගෙන යන්නේ?

මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඒ අයගේ වැඩ ගොඩක් කරන්නේ මගේ බිරිය. ඇත්තටම ඒක මට ලොකු ශක්තියක්. මම මගේ වගකීම් පැහැර හරින්නේ නෑ. ඒ විශ්වාසය රැකගෙන ඉස්සරහට යන්න මම උපරිම උත්සාහ කරනවා.

ඉදිරියෙදිත් රාජ්‍ය මාධ්‍ය නියෝජන කරමින්ම වෘත්තියේ නියැළීමටද බලාපොරොත්තුව ?

මම හැදුණේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක. ඒ වගේම රාජ්‍ය මාධ්‍ය ආයතනයක තියෙන හික්මීම සහ එහි ගරුත්වයට මට තෘෂ්ණාවක් තියනවා. රටක ජාතික කියන අනන්‍යතාවය ලැබෙන්නේ බොහොම කලාතුරකින්. රටේ ප්‍රධාන ජාතික මාධ්‍ය ආයතන දෙකක් නියෝජනය කරන්න ලැබීම මට සතුටක්.

දසුනි වත්සලා වික්‍රමසිංහ

Comments