ආධ්‍යාත්මයේ ගැඹුර හඳුනන ටීනා ටර්නර් | Page 2 | සිළුමිණ

ආධ්‍යාත්මයේ ගැඹුර හඳුනන ටීනා ටර්නර්

බටහිර සංගීත ලෝකයේ පුරාවෘත්තයක් සේ සැලකුණු ටීනා ටර්නර්ගේ අභාවය පසුගිය දිනවල සංගීත ලෝලීන් තුළ මහත් කම්පාවක් ඇති කළ සිදුවීමක් වුණා. මෙම සුපිරි ගායිකාව හැඳින්වුණේ ‘රොක් ඇන්ඩ් රෝල්’ සංගීතයේ රැජින හැටියට යි. 83 වැනි වියෙහි පසු වූ ඇය මියගොස් තිබුණේ ස්විට්සර්ලන්තයේ කුෂ්නාක්ට් හි පිහිටි ඇයගේ නි‍ෙවසේදම බවයි සඳහන් වුණේ.

කාලයක පටන්ම ටීනා විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳිමිනුයි සිටියේ. 1978 සිටම ඇය අධිරුධිර පීඩනයෙන් පෙළුණු අතර ඒ සඳහා නිසි ආකාරයෙන් ප්‍රතිකාර නොගත් බවටත් කතාවක් තිබෙනවා. මෙම තත්ත්වය තුළ ඇය වකුගඩු අක්‍රිය වීමකට පවා ලක් වුණා. 2013 වසරේ ඇයගේ දෙවැනි විවාහයෙන් සති තුනකට පසු ටීනා ආඝාතයට ගොදුරු වූ අතර ඇවිදීමට පවා අපහසු තත්ත්වයක් ඇතිව තිබුණා. 2016 වසරේ ඇයට බඩවැල් ආශ්‍රිත පිළිකාවක් වැලඳී ඇති බවත් සොයා ගැනුණා.

සුව නොවන රෝග ආදියෙන් වේදනා විඳිමින් සිටින අයට වෛද්‍යවරයකුගේ සහාය ඇතිව ජීවිතය අවසන් කර ගැනීමට ඉඩ දීමේ ක්‍රමයක් ස්විට්සර්ලන්තයේ තිබෙනවා. ටීනා ඒ සඳහා පහසුකම් සපයන ආයතනයක ලියාපදිංචි වී සිටි බවත් පැවසෙනවා.

සංගීත ලෝකයේ ඉහළම හිණි පෙතට ළඟා වූ කෙනෙකු වුවත් ටීනාගේ ජීවිතය කුඩා කාලයේ සිටම බොහෝ දුක් කම්කටොලුවලින් පිරි එකක් වුණා. තරුණ වියේදී තමා මුහුණ දුන් අත්දැකීම් නිසා ඇති වූ මානසික කඩා වැටීම්වලින් ගොඩ එන්නට තමාට හැකි වූයේ බුදු දහම නිසා බව ටීනා බොහෝ අවස්ථාවල පවසා තිබෙනවා.

ටීනාගේ මුල් නම වූයේ ඇනා මේ බුලොක් (Anna Mae Bullock). ටීනා ටර්නර් යන නම ඇයට ලබා දී තිබුණේ ඇයට සංගීත ලෝකයට පිවිසීමට උදවු කළ අයික් ටර්නර්. ටීනා මුලින්ම ගීත ගැයීමට පටන් ගත්තේ ද අයික් නායකත්වය දුන් Kings of Rythm නමැති සංගීත කණ්ඩායමක යි. හැටේ දශකයේ ඇය ගායනා කළ Proud Mary සහ River Deep, Mountain High වැනි ගීත හරහා ටීනා කෙමෙන් ජනප්‍රිය වීමට පටන් ගත්තා. මේ අතර ආදරයෙන් බැඳී සිටි ටීනා සහ අයික් 1962 වසරේ යුග දිවියට ද ඇතුළත් වුණා.

ටීනාගේ සංගීත දිවියට අයික්ගෙන් දායකත්වයක් ලැබුණත් ඔහු ඉතා දරුණු, ආධිපත්‍යධාරී, ප්‍රචණ්ඩ සැමියකු බවයි පැවසුණේ. මෙම කාලය තුළ ඇය ඔහුගෙන් විවිධ වධහිංසාවලට පවා ලක්ව තිබූ බව පැවසෙනවා. පහර දීම්, පිලිස්සීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට තමා ගොදුරු වූ බව ටීනා ප්‍රකාශ කර තිබුණා. දිගින් දිගටම මෙවැනි කටුක අත්දැකීම්වලට මුහුණ දෙද්දී ඇය විශාදය (depression) නමැති මානසික ව්‍යාධියට ද ගොදුරු වූ අතර 1968 වසරේ නිදි පෙති වැඩිපුර ගැනීමෙන් දිවි නසා ගැනීමටත් උත්සාහ කළා.

එයින් වසර අටකට පසු, 1976 වසරේ ටීනා සුළු මුදලක් ද රැගෙන නි‍ෙවසින් පලගියා. එයින් පසු ඇය මිතුරු මිතුරියන්ගේ නිවෙස්වල සැඟවී කාලය ගත කළ බවත් පැවසෙනවා. 1978 වසරේ ටීනා සහ අයික් එකිනෙකාගෙන් දික්කසාද වුණා.

කෙසේ නමුත් ටීනාගේ සංගීත ජීවිතය අවුල් කිරීමට මේ කිසිවකට හැකි වූයේ නැහැ. ඇය පෙරටත් වඩා ජවයෙන් යුතුව සංගීත කටයුතුවල නිරත වීමට පටන් ගත් අතර නවසිය අසූව අනූව දශකවල ඇයගේ ජනප්‍රියත්වය සහ සාර්ථකත්වය තවදුරටත් ඉහළ යාමට පටන් ගත්තා.

ටීනා ගායනා කළ The Best, What's Love Has to Do With It, Let's Stay Together, Steamy Windows, Private Dancer වැනි ගීත රසික රසිකාවියන් උන්මාදයට පත් කිරීමට සමත් වුණා. Golden Eye නමැති ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයට ඇය ගැයූ තේමා ගීතයත් දැඩි ආකර්ෂණයක් දිනාගත් නිර්මාණයක්. තමාගේ කට හඬ, ගායන විලාසය මෙන්ම ජවසම්පන්න ප්‍රසාංගික ඉදිරිපත් කිරීම් ද හරහා ඇය බටහිර සංගීත ලෝකය තුළ සුවිශේෂී මුද්‍රාවක් සනිටුහන් කිරීමට සමත් වූ බව කිව හැකියි.

ඇයගේ සංගීත ඇල්බම ලොව වැඩිම අලෙවියක් වාර්තා කළ ඇල්බම අතරට අයත් වූ අතර ග්‍රැමී සම්මාන අටක් දිනා ගැනීමට ද ඇය සමත් වුණා. සංගීත ලෝකයේ ඉහළම සම්මානයක් වන ග්‍රැමී සම්මාන සිනමාවේ ඔස්කාර් සම්මානවලට සමාන සම්මානයක් ලෙසයි සැලකෙන්නේ. වර්තමානයේ බටහිර සංගීත ලෝකයේ ජයකෙහෙලි නංවා සිටින රියානා, බියොන්සේ, ජැනට් ජැක්සන් වැනි අය ටීනාගෙන් විශාල අභාසයක් ලැබූවන් ලෙස සැලකෙනවා.

විවිධ දුක් ගැහැට නිසා කඩා වැටුණු ජීවිතය යළි ගොඩ නගා ගන්නට තමාට උදවු වූයේ බුදු දහම බව ටීනා නිතර පැවසූ කතාවක්. ‘බුදු දහම ඉගෙන ගනිද්දී මා තුළ විශාල පරිවර්තනයක් සිදු වීමට පටන් ගත්තා. ජීවිතය පිළිබඳ මගේ ප්‍රවේශය වඩාත් සන්සුන්, අවබෝධයෙන් යුතු එකක් වීමට පටන් ගත්තා. විවිධ සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් වුණා. උදාහරණයක් හැටියට ඉස්සර මම ඉක්මනින් කේන්ති ගන්නා කෙනෙක්. නමුත් බුදු දහම අවබෝධ කර ගනිද්දී මේවා වෙනස් වුණා. ඉක්මනින්, කලබලයෙන් ප්‍රතිචාර දක්වනවා වෙනුවට සන්සුන්ව සිටිමින් ප්‍රශ්න තේරුම් ගැනීම මට ඉතා පහසු වුණා. බෞද්ධ ඉගැන්වීම් වඩ වඩාත් අවබෝධ කර ගනිත්ම මගේ ආධ්‍යාත්මයේ වඩාත් ගැඹුරට ගමන් කරමින් මගේ ජීවිත ගමනට බාධා කළ හැකි ආකල්ප සහ පුරුදු වැනි දේවල් ඉවත් කරලා සිත වඩාත් පිරිසිදු කරගන්න පුළුවන් වුණා’ වරක් ඇය සම්මුඛ සාකච්ඡාවකදී එසේ පවසා තිබුණා.

Comments