පොසොන් සිහිලෙන් බැබළෙන ‘ධර්ම රශ්මි’ පොසොන් කලාපය 5 දා දක්වා | Page 3 | සිළුමිණ

පොසොන් සිහිලෙන් බැබළෙන ‘ධර්ම රශ්මි’ පොසොන් කලාපය 5 දා දක්වා

පොසොන් අසිරියෙන් නැහැවෙන ලක්වාසීන්ගේ 2331ක් වූ පොසොන් පොහෝ දිනය අර්ථවත් කරමින් ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාපය මේ වන විට බෞද්ධයන් වෙනුවෙන් විවෘත වී ඇත්තේය. එය ජූනි 3 වැනිදා සිට 5 වැනිදා දක්වා විවිධ පොසොන් තොරණ, අලංකාර කූඩු ඇතුළත් දර්ශනීය කලාපයක් වශයෙන් පැවැත්වෙන්නේ මිහින්තලයේදී පැවැත්වෙන පොසොන් උත්සවයට සමගාමීවය.

පොසොන් පොහෝ දින‘ධර්ම රශ්මි ‘ පොසොන් කලාපය පැවැත්වෙන්නේ හෝමාගම පිටිපන නගර ආශ්‍රිතව කිලෝ මීටර 10ක පමණ වපසරියකය. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ උපදෙස් මත ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ ජනසන්නිවේදන අමාත්‍යාංශය, මහා මාර්ග අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම රාජ්‍ය ආයතන, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන් මෙන්ම සියලු සංගම් එක්ව ධර්ම රෂ්මි වෙසක් කලාපය සඳහා පූර්ණ සහභාගිත්වය ලබා දී ඇත. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු නීලගිරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය පොසොන් පුන් පොහෝදා සිට දින තුනක් පුරාවට හෝමාගම ‘ ධර්ම රශ්මි ‘ පොසොන් කලාපයේදී දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාව බෞද්ධයන්ට හිමිවෙයි, මේ ධාතුන් වහන්සේලා ඉදිරියේදී දැනට ප්‍රතිසංස්කරණය කරන නීලගිරි මහ සෑයේ තැන්පත් කිරීමට නියමිතය. 3,4 හා 5 යන තෙදින උදෑසන 9 සිට රාත්‍රී 12 දක්වා වසර මෙම සර්වඥ ධාතු වන්දනා කිරීමට බැතිමතුන්ට අවස්ථාව සැලසෙයි.

නීලගිරි සර්වඥ ධාතූන් වහන්සේලාට ආරක්ෂාව සැපයීම පනාගොඩ යුද හමුදා මූලස්ථානය හරහා සිදුවන අතර බැතිමතුන්ගේ වන්දනාමාන වෙනුවෙන් හා මියගිය රණවිරුවන් වෙනුවන්ට පින් පිණිස පනාගොඩ යුද හමුදා කඳවුරේදී අවුකන බුදු පිළිම අනුරුවක් ප්‍රදර්ශනය කෙරෙයි. හරිත සරසවිය විසින් සංවිධානය කරන වෛද්‍ය සායනය, ලේ දන්දීමේ ව්‍යාපාර , රූකඩ සන්දර්ශන මෙන්ම හැට දහසකට අධික පිරිසකට මහ බත් දන්සල් ගොඩගම සිට මීගොඩ දක්වා වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්ද පැවැත්වෙයි.

හෝමාගම, පිටිපන, හරිත සරසවි පෙදෙස, මීගොඩ හා ගොඩගම යන ප්‍රධාන නගර 5 ආවරණය වන පරිදි පොසොන් කලාප තුනක් වශයෙන් ක්‍රියාත්මකය. හෝමාගම පිටිපන, පනාගොඩ ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානය, මාහේන හරිත සරසවිය, මීගොඩ, ගොඩගම‘ධර්ම රශ්මි‘ පොසොන් කලාපයේදී තොරණ, අලංකාර වෙසක් පහන් කූඩු, ආගමික වැඩ සටහන්, බොදු බැති ගී සන්දර්ශන ද පැවැත්වෙයි.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් පොසොන් කලාපය තුළ විනාඩි 15න් 15ට විශේෂ බස්රථ සේවාවක් නොමිලයේ දියත් කරන අතර දුරබැහැර සිට සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන අය වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ රාත්‍රී 12 දක්වා විශේෂ දුර බැහැර බස් රථ ධාවනයට කටයුතු යොදා ඇත. අධිවේගී මාර්ගය හරහා පැමිණෙන බැතිමතුන් මාකුඹුර බහුවිධ සේවා මධ්‍යස්ථානයට පැමිණ එම ස්ථානයෙන් ආරම්භ කරන බස් රථ සේවාව හරහා හෝමාගම නගරය, සුගත බිම්බාරාම විහාරස්ථානය, පිටිපන හන්දිය, මහින්ද රාජපක්ෂ විදුහල, හරිත සරසවිය, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය, ගොඩගම හන්දිය හරහා හයිලෙවල් මාර්ගය ඔස්සේ යළි මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණිය හැකිවෙයි. අනෙක් බස් රථ සේවාව කොට්ටාව නගර මධ්‍යයෙන් ආරම්භ කිරීමට නියමිත අතර ඒ හරහා හෝමාගම නගරය, සුගත බිම්බාරාම විහාරස්ථානය, පිටිපන හන්දිය, මහින්ද රාජපක්ෂ විදුහල, හරිත සරසවිය, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය, ගොඩගම හන්දිය හරහා යළි කොට්ටාව නගරයට පැමිණීමට නියමිතය.

ධර්ම රශ්මි පොසොන් කලාපය වඩාත් අලංකාර කරමින් දින තුන පුරාවට බොදු බැති ගී සන්දර්ශන පැවැත්වීමට නියමිත අතර ඒ සියල්ල දින තුනේම රාත්‍රී 10-12 දක්වා ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සේවාව හරහා විකාශය වෙයි. හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල් ක්‍රීඩාංගණයේදී රාත්‍රී පොසොන් මහ බත් දන්සල් පැවැත්වෙන අතර, භක්ති ගීත NSBM පරිශ්‍රයේදී පැවැත්වෙයි.

පොසොන් කූඩු තරග, පොසොන් සැරසිලි ඇතුළත් මේ දර්ශනීය පොසොන් කලාපය රාත්‍රී 7 සිට 12 දක්වා පැවැත්වෙන අතර මේ සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනය, බුදුසරණ පුවත්පත, ස්වාධීන රූපවාහිනී ආයතනය, ජාතික රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාව ලබාදෙයි.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම(ලේක්හවුස්) ස්වාධීන රූපවාහිනියේ විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ඇතිව සංවිධානය කරන පොසොන් පහන් කූඩු තරග ද ජුනි 3,4,5 දිනවල “ධර්ම රශ්මි “හෝමාගම පිටිපන පොසොන් කලාපයේ දී පැවැත්වෙයි. මෙම තරඟයේ පළමුවන ස්ථානය රුපියල් 500,000, දෙවන ස්ථානය රුපියල් 250,000 තුන්වන ස්ථානය 125,000 හතරවැනි ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් විසිපන්දහස බැගින් ත්‍යාග ලබා දෙයි.

Comments