සෙනරත් රජු සහ ඇරැව්පලේ ලියනරාල භාවිත කළ මහා සූර්යරාජ දපන යන්ත්‍රය | සිළුමිණ

සෙනරත් රජු සහ ඇරැව්පලේ ලියනරාල භාවිත කළ මහා සූර්යරාජ දපන යන්ත්‍රය

සත් කෝරලයට අයත් පූරාණ නගරගම් අලුත් නුවර, පරණ නුවර, ගල්බඩ නුවර, කිඳිගොඩ නුවර, බෙලිගල් නුවර, දැදිගම් නුවර, කාරියගම් නුවර හා අම්බුලුගල නුවර යන නමින් හඳුන්වා ඇත. එයින් කිඳිගොඩ නුවර ගැන විස්තර කවියෙන් මෙසේ දක්වා ඇත.

දෙමට වෙල ඇළත් මීපිටි ඇළ බැඳුණු

බිඳුම් කඩ පටන් නෙක සල්පිල් සැදුණු

දෙසින් නෙක වෙළඳ දන කරන ගනුදෙනු

උතුම් නුවර කිඳිගොඩ නාමයෙන් දුනු

වර්තමානයේ දෙමටවල නමැති ගම දෙටවල නමින්ද දෙවටවල ඇළ නමින්ද ප්‍රසිද්ධය. මෙහි විසූ පැරණි පෙළපතක් දෙමටවලගම් පලද්දෝ නමින් හඳුන්වා ඇත.

කොළඹ නුවර පාරේ පනස් එක් වැනි සැතපුමේ කරඬුපාන කඩපෙළ පිහිටියේ සාමාන්‍යයේ කිඳිගොඩ නුවර පිහිටි භූමි භාගයේය. සෙනරත් රජතුමාගෙන් අණ ලත් ඇරැව්පළේ ලියනරාල විසින් කිඳිගොඩ නුවර ආරමයෙහි භික්ෂුන් වහන්සේ තෙනමක් නැවැත්වූ බව සතර කෝරලයේ විත්ති ග්‍රන්ථයේ පෙන්වා ඇත.

දෙවැනි රාජසිංහ රජු කල විසූ දෙමට පිටියේ රාලගේ මුනුපුරෙක් වූ යුද්ධ සෙනවියෙක් කිඳිගොඩ නුවර වාසය කළේය. රඹුක්කන හුරීමළුව නමැති ගමේ ඉඩමක්ද කරඬුපනේහි ඉඩමක්ද තෑගි වශයෙන් ලැබූ මෙම සෙනවි තැන කිඳිගොඩ නුවර හැර ගොස් කරඬුපන ඉඩමේ වාසය කළේය. නුවර සිට පැමිණියවුන් වාසය කළ නිසා ඔහුගේ ගෙය "නුවරගේ" නම් විය. ඔහුගේ දරු මුනුපුරන් විසූ "හුරිමළුවේ" ඉඩම කිඳිගොඩ නුවරින් පැමිණියවුන් නිසා කිඳිගොඩ හේන නම් විය.

කිඳිගොඩ කෝරලය යන වචනය සඳහන් වන ආදීම ලේඛනය කිඳිගොඩ කෝරලයේ රඹුක්කන නගරය අසල කුඩගම හෙවත් මැදගොඩැල්ලේ පිහිටි මොට්ටප්පුලියේ කෝවිල පිළිබඳ ශිලා ලේඛනයයි. "ශ්‍රී පරාක්‍රම බාහුට සවනු පිහිටවනු ලද මේ ශිලා ලේඛනයෙන් කිඳිගොඩ කෝරලය බද "මෙට්ටප්පුලිය කෝවිල" යන වගන්තිය ඇත්තේය.

වර්තමානයේ මේ කෝවිල රඹුක්කන නගරයේ අශෝක බෝධිරුක්ඛාරාමය යනුවෙන් නම් කර ඇතත් අතීතයේ මෙම කෝවිලට අරක් ගත් දේවතාවන්ගේ හා බෝධිරාජයාණන්ගේ හාස්කම් තිබූ බව පාරම්පාරික ප්‍රදේශවාසින් අතරද අදත් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධව ඇත්තේ මෙම දේවාල භූමියෙන් මතුවූ රන් පිළිමයක් හා ගලින් නෙළන ලද ගොන් මූර්තියක් මෙන්ම පුරාණ නටබුන් වන ගල් කුලුනු දැකීමෙන් හා පුද පූජා පිදීමෙන්ය.

එවකට මෙහි විසූ සෙනරත් රජු සහ ඇරැව්පළ ලියනරාල භික්ෂුන් වහන්සේ තෙනමක් මෙම කෝවිලට වැඩම කරවා රහසින් ඔවුනගේ ආරක්ෂාව හා දියුණුවට ඉණ බඳින පටි ගාංචුවේ හා තෙරුන් වහන්සේලා යට සිවුරු සාක්කුවේ මෙම යන්ත්‍රය සඟවා තබාගත් බව රහස් මන්ත්‍ර පත්ඉරුවල සඳහන්ව ඇත.

මෙම යන්ත්‍රය පුරපක්ෂයේ රවි දිනක රවි හෝරාව තුළදී නැගෙනහිර දිශාව බලා මරුට පිටුපා රන්, රිදී හෝ තඹ පතක ඇඳ මල් යහනාවක් තනා එහි බුලත් 33, රතු මල් හා කහ මල් වර්ග, ඉඹුල් කොළ, කඩුවක් තැඹිලි ගෙඩියක් තබා ගෝරෝචන, කස්තුරි, කුංකුමප්පු, හඳුන් මල්, සූර්යකාන්ත මල්, රේණු ඇට, ඇත් දළ කුඩු, ගල් නහර, ඉරරාජ, විෂ්ණු ක්‍රානිය, විජයපත්‍ර, මේවා සමව ගෙන දිවිතෙල් සහ හඳුන් තෙලින් අඹරා රන් තැඹිලි තෙල්වල අඳුන බහා ඉර අව්වේ පැයක් තබා මෙම මන්ත්‍රයෙන් 1008 වර ජප කර රත්රන් හෝ රිදී සුරයකට යන්ත්‍රය හකුළා බහා ඖෂධ අඳුන් ගුළිද ඇතුළුකර ඉරු දිනක රවි හෝරාව තුළදී පැලඳ හිරු දෙස බලන්න. ( ප්‍රාණ, පලිප්පු, දිෂ්ටි, පුඨ, සිඬි මන්ත්‍රවලින් 21 වර දිෂ්ටි කරගන්න.)

මන්ත්‍රය:-

ඕං නමඃ නමෝ නමඃ

ඕං ත්‍රිතය සුර්ය්‍ය කොටි දෝහඃ

ඕං ශ්‍රීං හ්‍රීං හ්‍රීං බ්‍රහ්මාස්තර බ්‍රහම් ඉන්ද්‍රජිත් ගම්බිර මාර්තණඩ සර්‍ව ග්‍රහඃ

විනාසනං සර්මන් සර්ව ජීවං රාඥාං කුරු කුරු සර්‍ව හුං හ්‍රාං හ්‍රීන් හ්‍රාන් හ්‍රීං හා සෞං හඃ

ඕං කේෂාභය සර්වන් දුෂ්ඨ දුර්ජන මුඛානි මුඛ බන්ද නීලය නීලය සෞ සෞ ෂා ෂා ඨං ඨං හුන් හුන් සුර්ය රාජ කුරු කුරු

එහි ඒහි සවඃ

මෙම රහස්‍ය එමෙන්ම ප්‍රබල යන්ත්‍ර රාජයා පැලඳීමෙන් දියුණුව සතුට සම්පත, සෞභාග්‍ය, අදහස් ඉටුවීම, ජන ප්‍රසාදය, රජුන් ඇමැතින්ගෙන් සිත් දිනීමට, සර්ව ජන වශියට, නඩුවට, තරගයට කේෂර සිංහයකුට මෙන් ජය ලැබේ. වාසනාවට ජීවිත ආරක්ෂාව ඉතාම යහපති.

මෙම යන්ත්‍ර රාජයා මා හට ලැබුණේ 1960 වර්ෂයේ අලුත් නුවර පාසලේ වැඩ විසූ අප ගුරු දේව අපවත් වී වදාළ පණ්ඩිත වාචිස්වර ෂඬ්භාෂා පරමේශ්වර කරහංපිටිගොඩ සුමනසාර හිමියන් විසිනි.

 

 

ජ්‍යොතිර්වේදී

රඹුක්කන

ජිනදාස එදිරිසිංහ

Comments