
මෙරට රාජ්‍ය නායකයන් කිහිප දෙනකුගේම කේන්දරවල කුජ - චන්ද්‍ර සංයෝග
මෙරට දෙවරක් අගමැති වූ රත්නසිරි වික්‍රමනායකගේ උප්පත්ති කේන්දරයේත් එම යෝගය
අද අප කථාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ කිසියම් උප්පත්ති කේන්දර සටහනක කුජ සහ චන්ද්‍ර යන ග්‍රහයන් එකම රාශියක තැන්පත් වීම හෝ කුජ සහ චන්ද්‍ර යන ග්‍රහයන් අතර සම්බන්ධයක් පැවතීම ජන්මියා කෙරෙහි බලපාන ආකාරය පිළිබඳවය. ප්‍රසිද්ධ කේන්දර සටහන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ යම් උප්පත්ති කේන්ද්‍ර සටහනක එවැනි ග්‍රහ තත්ත්වයක් පැවතීම දේශපාලන බලයක් ලබා ගැනීම සඳහා පවා ඉවහල් වන බවය.
නිදහස් ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍ය නායකයා වන ඩී. එස්. සේනානායකගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය "මිථුන" වන අතර චන්ද්‍රයා 6 වන භාවය තුළද, කුජ 7 වන භාවය තුළද තැන්පත්ව ඇත. ඒ අනුව ඔහුගේ කේන්දර සටහනේ චන්ද්‍රයාට යාබදව ඉදිරියෙන් ඇති රාශියෙහි කුජ ග්‍රහයා තැන්පත්ව ඇති බව පෙනේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ තවත් රාජ්‍ය නායකයෙකුව සිටි ඩඩ්ලි සේනානායකගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය "කන්‍යා" වන අතර චන්ද්‍රයා 6 වැනි භාවය තුළද, කුජ ග්‍රහයා 7 වැනි භාවය තුළද තැන්පත් වීමට අනුව චන්ද්‍රයාට යාබදව ඇති රාශියෙහි කුජ තැන්පත්ව ඇති බව පෙනේ.
ශ්‍රී ලංකාව පාලනය තුළ තවත් සුවිශේෂි රාජ්‍ය නායකයකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය "කුම්භ" වන අතර කුජ ග්‍රහයා 6 වන භාවය තුළද, චන්ද්‍ර ග්‍රහයා 10 වන භාවය තුළද තැන්පත්ව ඇත. ඒ අනුව ඔහුගේ උප්පත්ති කේන්ද්‍ර සටහනේ කුජ ග්‍රහයා චන්ද්‍රයාගේ රාශිය වන කටක රාශිය තුළද, චන්ද්‍ර ග්‍රහයා කුජගේ රාශියක් වන වෘශ්චික රාශිය තුළද තැන්පත් වීමට අනුව කුජ සහ චන්ද්‍ර යන ග්‍රහයන් අතර පරිවර්තන යෝගයක් නිර්මාණය වී ඇති බව පෙනේ. මෙරට සිටි තවත් රාජ්‍ය නායිකාවක වන සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය "කන්‍යා" වන අතර කුජ ග්‍රහයා චන්ද්‍රයාගේ රාශියක් වන "කටක" රාශිය තුළ තැන්පත් වීම තුළින් කුජ සහ චන්ද්‍ර යන ග්‍රහයන් අතර සම්බන්ධයක් ඇති වී ඇති බව පෙනේ.
මෙරට සිටි තවත් සුවිශේෂී නායකයකු වන ජේ.ආර්. ජයවර්ධනගේ උප්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය කන්‍යා වන අතර 12 වන භාවය තුළ කුජ, චන්ද්‍ර යන ග්‍රහයන් බුධ සමඟ තැන්පත්ව ඇති බව පෙනේ. ඔහුට ද බලයට පත්වීමට, ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්දර සටහනට අනුව කුජ සහ චන්ද්‍ර යන ග්‍රහයන් එකම රාශියක තැන්පත් වීම ද ඉවහල් වන්නට ඇතැයි සිතිය හැකිය. මෙරට හිටපු රාජ්‍ය නායකයකු වන රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය "මේෂ" වන අතර 11 වන භාවය තුළ කුජ සහ චන්ද්‍ර යන ග්‍රහයන් කේතු සමඟ සංයෝග වී ඇත. ඔහුට ද මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන්නට මේ ආකාරයට කුජ සහ චන්ද්‍ර යන ග්‍රහයන් එකම රාශියක තැන්පත් වීමද ඉවහල් වන්නට ඇත.
මෙරට සිටි ඉතාම වාසනාවන්ත රාජ්‍ය නායකයකු ලෙස සැලකෙන ඩී.බී. විජේතුංගගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය "මිථුන" වන අතර "කුජ" සහ "චන්ද්‍ර" යන ග්‍රහයන් "කේතු" සමඟ දෙවන භාවය තුළ තැන්පත්ව ඇත. මෙහිදී කුජ සහ චන්ද්‍ර යන ග්‍රහයන් චන්ද්‍රයාගේ රාශිය වන "කටක" රාශිය තුළ තැන්පත් වීමට අනුව මෙම පිහිටීම තවදුරටත් ශක්තිමත් වී ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ දෙවරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ රත්නසිරි වික්‍රමනායකගේ උප්පත්ති කේන්දර සටහනට අනුව සහ ප්‍රසිද්ධියට පත්ව ඇති උපන් දින සටහනට අනුව චන්ද්‍ර සහ කුජ යන ග්‍රහයන් ගුරු සහ කේතු යන ග්‍රහයන් සමඟ සිංහ රාශිය තුළ තැන්පත්ව ඇත.
ඉහත කේන්දර සටහන්වලට අමතර ලෙස හිටපු රාජ්‍ය නායිකාවක වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව චන්ද්‍රයා 7 වන භාවය තුළද කුජ 10 වන භාවය තුළද තැන්පත්ව ඇතිතර නවාංශක සටහන තුළ කුජ, චන්ද්‍ර සංයෝගයක් ඇත. ඒ අනුව ඇයගේ උප්පත්ති කේන්ද්‍ර සටහන තුළ බැලූ බැල්මට කුජ, චන්ද්‍ර සංයෝගයක් නොමැති වුවද කුජ සහ චන්ද්‍ර යන ග්‍රහයන් අතර නියම චතුරස්‍ර දෘෂ්ටියක් පවතින බව පෙනේ. ශ්‍රී ලංකාව තුළ සිටි ඉතා විශේෂ ගණයේ රාජ්‍ය නායකයකු වූ මහින්ද රාජපක්ෂගේ උප්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය "කන්‍යා" වන අතර චන්ද්‍ර ග්‍රහයා 8 වන භාවය තුළද, කුජ ග්‍රහයා 11 වන භාවය තුළද තැන්පත්ව ඇත. ඒ අනුව ඔහුගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව චන්ද්‍ර සහ කුජ යන ග්‍රහයන් අතර පරිවර්තන යෝගයක් ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයකු වූ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය "තුලා" වන අතර කුජ ග්‍රහයා 10 වන භාවය තුළ තැන්පත්ව ඇත. ඒ අනුව ඔහුගේ උප්පත්ති කේන්දර සටහනේ කුජ ග්‍රහයා චන්ද්‍රයාගේ රාශිය වන කටක රාශිය තුළ තැන්පත් වීමට අනුව කුජ සහ චන්ද්‍ර අතර සම්බන්ධයක් නිර්මාණය වී ඇති බව පෙනේ.
ඉහත තොරතුරු අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය නායකත්වයට පත්ව ඇති බොහෝ පුද්ගලයන්ගේ කේන්දර සටහන් තුළ කුජ සහ චන්ද්‍ර අතර විශේෂි සබඳතාවක් පැවතී ඇති බවය. ඉහත සඳහන් නොකළ රාජ්‍ය නායකයන්ගේ උප්පත්ති කේන්දර සටහන් තුළ පවා අඩු වශයෙන් කුජගේ පූර්ණ දෘෂ්ටියක් චන්ද්‍රයාට ලැබීම හෝ චන්ද්‍රයාගේ පූර්ණ දෘෂ්ටියක් කුජට ලැබීම නිරීක්ෂණය කළ හැකිය.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස