නමකට අකුරු තෝරද්දී අප රැවටෙන තැන් ගැනත්දැනගන්න | සිළුමිණ

නමකට අකුරු තෝරද්දී අප රැවටෙන තැන් ගැනත්දැනගන්න

නැකතට දිනයට ලග්නයට අකුරු තෝරද්දී  ඉතා සැලකිලිමත් විය යුතුයි

සිංහල භාෂාවේ  එක සමාන රූපයෙන් යුතු වෙනස් අකුරු නිසා රැවටෙන්න පුළුවන්

 

ජීවිතයේ සැම කටයුත්තක්ම අප කළ යුතු වන්නේ සතිසම්පජන්‍යයෙන් හෙවත් මනා සිහියෙන් යුතු ව යි. කරන කටයුත්තෙහි මනා ව සිහිය පිහිටුවා නොකළ හොත් එය අවුල් වියවුල් වී යෑම නො වැළැක්විය හැකි ය. ජීවිතයෙහි ඉතා වැදගත් අවස්ථා පිළිබඳව අප එසේ මනා සිහියෙන් තොරව කරන කටයුතු ඇතැම් විට මුළු දිවියට ම අයහපත් බලපෑමක් කරන්නට ද ඉඩ තිබේ. නාමකරණය හෙවත් නම් තැබීම - විශේෂයෙන් අලුතින් උපන් බිලිඳකුට නමක් තැබීම ද එබඳු කටයුත්තකි. එය මනා සිහියෙන් යුතුව සියුම් ලෙස පරීක්ෂා කොට කළ යුතු වන්නකි. කවර හෙයින් ද කිවහොත් දරුවකුට තබන නම මුළු ජීවිතයටම බල පවත්නා එකක් වන බැවිනි.

නාමකරණයේ දී මනාව පරීක්ෂාකාරී නොවීම නිසා සිදු වන වැරදි කිහිපයක් දැන් විමසා බලමු. නම් තැබීමේ දී දරුවකු උපන් නැකතට අයත් අකුරු ප්‍රධාන කොට ගැනෙන බව කලින් ලිපියක දක්වන ලදි. එසේම, දිනයට ලග්නයට අයත් අකුරු කෙරේද ඇතැමුන් ගේ සැලැකිල්ල යොමු වන බවද දක්වන ලදි. මෙසේ නැකැතට, දිනයට, ලග්නයට අකුරු තෝරා ගැනීමේ දී අප ඉතාම සැලැකිලිමත් විය යුතුය. කවර හෙයින් ද යත් සිංහල භාෂාවේ එක සමාන රූපයෙන් යුතු වෙනස් අකුරු ගණනාවක් විද්‍යමාන වන බැවිනි.

නිදසුනකින්ම මේ කරුණ විමසීම වඩාත් යෝග්‍ය වනු ඇත. සිංහලයේ ව, ච යන අකුරු දෙක රූපයෙන් බෙහෙවින් සමාන ය. වෙනස නම් ‘ච’ යනු ලිවීමේ දී අකුර මුල එන ගැටයට පසුව ඉතා කෙටි ඉරි කැබැල්ලක් යෙදීම පමණි. එ සේ නැතහොත් මේ අකුරු දෙක එකම ය.

ඇතැම් දෙමාපියන් හෝ දරුවාට නම් තබන්නන් හෝ මෙවැනි අකුරු එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනීමට අපොහොසත් වන බව පෙනේ. පුරාණ ශබ්ද ශාස්ත්‍ර මූල ග්‍රන්ථවල පෙන්වා දී ඇති පරිදි චු, චෙ, වො අස්විද නැකැතටත්, ච, චි රේවතී නැකතටත්, ව, වි, වු රෙහෙණ නැකැතටත්, වෙ, වො මුවසිරස නැකැතටත් අයත් වේ. නිසි ලෙස පරික්ෂා කොට මේ අකුරු හඳුනා නොගන්නා ඇතැමුන් චු, චෙ, වො වෙනුවට වු, වෙ, වො ද ච, චි වෙනුවට ව, වි ද ව, වි, වු වෙනුවට ච, චි, චු ද වෙ, වො වෙනුවට චෙ, චො ද ලෙස සලකා නම් තබනු දැකිය හැකි යි.

මෙයින් සිදු වන ඉමහත් වරද නම් අකුරු වැරදි ලෙස මාරු වීමේ දී දරුවාට ප්‍රත්‍යාරි හෙවත් සතුරු අකුරුවලින් ද නමක් තැබීමට ඉඩ තිබීම යි. සතුරු අකුරකින් තබන නම කෙනෙකුට බාධා පමුණුවනු ඇතැයි ශබ්ද ශාස්ත්‍රයට අනුව කියැ වේ. මෙහි දී අපරික්ෂාකාරීත්වය අනුව කියැවේ. අපරික්ෂාකාරීත්වය නිසා දෙමාපියන්ම නැතහොත් නම් තැබූ තැනැත්තාම දරුවාට කර ඇත්තේ සතුරුකමෙකි.

වඩාත් ම ගැටලුකාරී තත්ත්වයක් වී ඇත්තේ මුද්‍රණ දෝෂ නිසා ඇතැම් ලේඛනවල පවා මෙසේ අකුරු මාරු කොට දක්වා තිබීම යි. මෙයින් ශබ්ද ශාස්ත්‍රය පිළිබඳ අනවබෝධය ඇති අය මුළාවේ වැටිය හැකි ය. එහෙත් තමන් පරික්ෂාකාරී වී නිසි උපදෙස් ලැබුව හොත් එබඳු ගැටලු මග හරවා ගැනීමට හැකියාව ඇත.

එ-ඵ, ස-ඝ, බ-ඛ, හ-භ වැනි අක්ෂර යුගලවල ද මෙ බඳු මහත් සමානතාවක් දැකිය හැකි ය. මේ අතුරින් (මහාප්‍රාණ) භ සහ හ අකුරු මාරුව නිරතුරු ව සිදු කෙරෙන්නකි.

නමකට අකුරු තෝරාගැනීමේ දී ශබ්ද ශාස්ත්‍රීය සිද්ධාන්ත කෙරෙහි සැලැකිලිමත් වන තරමට ම ඒවායෙහි රූපය ආදි සාමාන්‍ය ව්‍යාවහාරික ලක්ෂණ කෙරෙහි ද සැලැකිලිමත් විය යුතු බව අවධාරණය කළ යුතු ය.

 

සමන්ති අහුබුදු

Comments