දරු සම්පත ගැන කියන දරු පල රේඛාව | සිළුමිණ

දරු සම්පත ගැන කියන දරු පල රේඛාව

සුළැඟිල්ලේ තුන්වැනි පුරුකෙන්ද දරු පල ගැන අනාවැකි

ලැබෙන පිරිමි සහ ගැහැනු දරුවන් ගණන ගැන කියන‍ රේඛා හඳුනා ගන්නේ මෙහෙමයි

අල්ලේ රේඛා කීපයකින්ම දරු පල ගැන‍ දැනගත හැකියි

 

 

විවාහ ජීවිතයකට එළැඹුණු යුවළකගේ එකම ආශාව බාලාපොරොත්තුව වනුයේ දරු සම්පතක් පිළිබඳවයි. සමාජයේ පැවැත්මට මෙන්ම ක්‍රමික විකාශනයද සිදු වනුයේ දරුවාගේ පැවැත්මෙනි. සමහරු දරුවන් නැතිව පසු තැවෙති. තවත් සමහරු බිහිසුණු දරුවන් නිසා දුක් විඳිති. මේ හැම දෙයක්ම සිදු වනුයේ පෙර ආත්මයේ තමන් කළ පින් පවු අනුවය. අපිට දරුවන් අහිමි වේවිද? ලැබෙන දරුවන් වාසනාවන්ත අය වේවිද? මෙවැනි නොයෙක් ආකාරයේ සිතිවිලි නව යුවළකගේ මනස තුළ ඇති වීම ස්වාභාවිකය. මෙවැනි ගැටලුවලට විසඳුම් ඔවුන්ගේ අත්වල පිහිටි දරු පල රේඛා තුළින් පැහැදිලි කරගත හැකිය.

අල්ලේ පිහිටන දරු පල රේඛා අල්ලේ ස්ථාන කිහිපයකින් හඳුනා ගත හැකිය. පළමුවෙන්ම අපි විවාහ රේඛාවෙන් පෙන්නුම් කරන දරු පල පිළිබඳව සලකා බලමු. සුළැඟිල්ලත්, හෘදය රේඛාවත් අතර ප්‍රදේශයේ විවාහ රේඛාවන් පිහිටා තිබෙන බව පසුගිය ලිපිවලින් ඔබ දැනුවත් වූ බව මතක ඇතැයි සිතමි. එසේ නම් දැන් ඔබේ අවධානය එම රේඛා දෙසට යොමු කරන්න. මේ සමඟ පළ වූ පළමු වන රූප සටහනින් එම රේඛාවල පිහිටීම තේරුම් ගත හැකි වේවි. එම රේඛා මත (1) සුළැඟිල්ල පැත්තට ( උඩු පැත්තට) විහිදෙන සියුම් රේඛා දරු පල රේඛා වශයෙන් බටහිර හස්ත රේඛා විශේෂඥයෝ හඳුන්වති. සමහර අයගේ මෙම රේඛා හෘදය රේඛාව පැත්තටත් විහිදිය හැකිය.

දැන් ඔබ කළ යුත්තේ එම ස්ථානයේ සටහන් වී ඇති දීර්ඝ හා සෘජු රේඛාවලින් පිරිමි දරුවන්ගේ ගණනත් කෙටිව ඇද වූ රේඛාත් වෙන වෙනම නිරීක්ෂණය කරන්න. දීර්ඝ හා සෘජු රේඛාවලින් පිරිමි දරුවන්ගේ ගණනත්, කෙටි හා ඇද වූ රේඛා තුළින් ගැහැනු දරුවන්ගේ ගණනත් දැනගත හැකිය. රූප සටහනේ දැක්වෙන ආකාරයට වමේ සිට දකුණට මෙම රේඛා ගණන් කළ යුතුය. මේ අනුව කුලුඳුල් පුතා හෝ දුව වෙනුවෙන් වැටෙන රේඛාව පිටි අල්ල පැත්තෙන් මුලටම පිහිටන බව දැන ගත යුතුය.

විවාහ රේඛාවට අමතරව දරු පල පිළිබඳව සටහන් වෙන තවත් ස්ථාන කිහිපයක් ඔබේ අත පරීක්ෂා කිරීමෙන් දැකිය හැක. මහපට ඇඟිල්ලත් එක ස්ථානයක් වෙයි. මහපට ඇඟිල්ල පාමුල (2) මහපට ඇඟිල්ල හා සිකුරු මණ්ඩලය වෙන් කරන රේඛාව පිහිටා ඇත. යවාකාර (වී ඇට ලකුණු) වී ඇට මාලයක් ලෙසින් එය පිහිටා ඇති බව රූප සටහනින් පැහැදිලි වනු ඇත. එහි දිස්වෙන ලොකු වී ඇටවලින් පිරිමි දරුවන්ගේ පුංචි වී ඇටවලින් ගැහැනු දරුවන්ගේ ගණනත් තීරණය කළ යුතුයි. මෙම රේඛාද ගණන් කළ යුත්තේ උඩ සිට පහළටයි. පැහැදිලිව පෙනෙන වී ඇටවලින් විශේෂ දියුණුවක් ලබන දරුවන් ගැනත් නොපැහැදිලි වී ඇටවලින් දියුණුවෙන් අඩු දරුවන් ගැනත් ප්‍රකාශ වෙයි.

දරුවන් ගැන සටහන් වන තවත් ස්ථානයක් නම් සුළැඟිල්ලේ තුන්වැනි පුරුකයි (3) එම පුරුකේ කෙළින් අතට විහිදෙන සියුම් රේඛා තුළින් ද දරු පල ගැන අනාවැකි පැවසිය හැකි බව හස්ත රේඛා විශේෂඥයෝ සොයාගෙන ඇත. එහිදීද එම රේඛාවල ප්‍රබලතා හා දුබලතා අනුව පිරිමි, ගැහැනු වශයෙන් දරු පල තීරණය කළ යුතුය.

රූප සටහනේ 4 අංකයෙන් පෙන්වා ඇති අතේ මැද ඇඟිල්ලේ මැද පුරුකට අයිති කොටසද දරු පල පිළිබඳව අනාවැකි කිව හැකි තවත් ස්ථානයකි. මෙම පුරුකට අයිති කොටසේද සියුම් රේඛා ඇත්තේනම් එම රේඛා ගණන් කර තමන්ට හිමි වන දරු පල ගණන නිශ්චය කර ගත හැකිය.

රූප සටහනේ පස්වැනි ස්ථානය මහපට ඇඟිල්ල පහළින් සිකුරු මණ්ඩලය මත වැටෙන කෙටි රේඛා සලකුණු දැන් ඔබ නිරීක්ෂණය කරන්න. එහි දැක්වෙන ගැඹුරු හා ශක්තිමත් රේඛාවලින් පිරිමි දරුවන්ගේ ගණනත් දුර්වල රේඛාවලින් ගැහැනු දරුවන්ගේ ගණනත් තීරණය කර ගත හැකිය. මෙම රේඛාද උඩ සිට පහළට ගණන් කළ යුතුය. මෙම සියලු දරු පල රේඛා මත කළු ලප, දූපත් ලකුණු, විකෘති වී ගිය රේඛාවලින් අයහපත් තත්ත්වයෙන් යුත් දරුවන් බිහි වන බවත් දැනගත යුතුය. එකම ස්ථානයකින් දරුපල රේඛා දෙකක් ගොඩ නැඟුණොත් නිවුන් දරුවන් විය හැකිය.

දරු පල අනාවැකි පැවසීමේදී පළමුවෙන්ම මතක තබා ගත යුතු දෙයක්නම් සිකුරු මණ්ඩලය පරීක්ෂා කිරීමය. අල්ලේ දරු පල රේඛා පිහිටා තිබුණත් සිකුරු මණ්ඩලය දුර්වලනම් දරු පල නොලැබිය හැකිය. එම ස්ථානය බලවත්නම් අනිවාර්යෙන්ම දරු පල වාසනාව හිමි වේ. එමෙන්ම හෘදය රේඛාවේ කෙළවර ඉදලක ආකාර සලකුණක් ඇතිනම් එවැනි සලකුණක් ඇති ගැබිනි මාතාවන් ප්‍රවේශම් වීම වැදගත්ය. මේ අයුරින් අඹු සැමි දෙදෙනාගේම අත් පරීක්ෂා කිරීමෙන් නිවැරදිවම දරු පල ගණන කිව හැකි බව ඔප්පු වී ඇත. දරු පල රේඛා ඉතා සියුම් බැවින් බොහෝ විට ඒවා පියවි ඇසට නොපෙනෙන්නට පුළුවන. මේ නිසා ඒ සඳහා වු කැඩපතකින් පරීක්ෂා කිරීම වැදගත් වේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

Comments