තමන්ගේ අභිමානය වර්ධනය කරගන්නේ මෙහෙමයි | සිළුමිණ

තමන්ගේ අභිමානය වර්ධනය කරගන්නේ මෙහෙමයි

හුඟ දෙනෙක් ළඟ තියෙන නරක පුරුද්දක් තමයි තමන් විසින්ම මානසිකව බිඳ වැටෙන එක. එහෙම වුණාම තමන්ට තමන් ගැන ඇතිවෙන්නේ මානසික කලකිරීමක්. අපි කාටත් මේ වගේ මානසික බිඳ වැටීම් තියෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ නිසා අද අපි කියන්න යන්නේ ඕනෑම ප්‍රශ්නයකදී ඔයා කොහොමද ඔයා ගැන අභිමානයක් ගොඩනඟා ගන්නේ කියලා.

1. ආත්ම විශ්වාසය

මෙහිදී ඔබ මුලින්ම ඔබ පිළිබඳ විශ්වාසය තබා ගන්න. ඒ කියන්නේ තමන්ටම සියල්ල තනිව කරන්න පුළුවන් බව තරයේ විශ්වාස කරන්න. හැමදාමත් බැහැ කියලා හැමදේකින්ම පසු බහින්නේ නැතුව නිතරම පුංචි හෝ දෙයක් තනිවම කරන්න උත්සාහ කරන්න. එයින් නිසැකවම ඔබට ඔබ පිළිබඳව ඇති ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඔබට හැමදාමත් එකම තැන පල් වෙවී තමයි ඉන්න වෙන්නේ.

 

2. සසඳන්න එපා

හුඟ දෙනෙක් කරන බරපතළ වැරැද්දක් තමයි තමන්ව වෙනත් අය සමඟ සංසන්දනය කරන එක. ඇත්තෙන්ම ඔබ නොදැනුවත්වම හෝ සංසන්දනය කිරීමෙන් වෙන්නේ ඔබ , ඔබ පිළිබදවම අවතක්සේරු කරගැනීමයි. මේ නිසා ඔබ ඔබේ සුවිශේෂීතාවය හඳුනා ගන්න. ඒත් ඒක නිකන්ම වැඩි දියුණු වෙන්නේ නැහැ. ඒ සුවිශේෂීතාවය තමන් විසින්ම වර්ධනය කරගත යුතුයි. එයින් ඔබට, ඔබ පිළිබඳවම අභිමානයක් ඇති වෙනවා නොඅනුමානයි.

ඒ නිසා හැම මොහොතකම ඔබේ හිතට එන සෘණාත්මක සිතුවිලි ඒ මොහොතේම ඉවත දමා, ධනාත්මක සිතුවිලි ඇති කරගන්න. ඒ වගේම අන් අය කියන හොඳ දේවල් පමණක් ඔබේ ජීවිතයට එකතු කරගන්න. කැපවීමෙන් සහ අධිෂ්ඨානශීලිව ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමේ මඟ සොයා යන්න.

 

3. මිතුරන් ගැන සැලකිලිමත්ව ඉන්න

බොහෝ පුද්ගලයින් තුළ අභිමානයක් ඇති කිරීම සඳහා තමන් ඇසුරු කරන පුද්ගලයන්ගේ හැසිරීම, ඔවුන්ගේ මතය යනාදිය බලපානු ලබනවා. ඔබ නිරන්තරයෙන් ඇසුරු කරන්නේ ඉතාමත් අලස කිසිදෙයකට උත්සහයක් නොගන්නා මිතුරන්ව නම් ඔබ තුළත් රෝපණය වන්නේ ඔවුන්ගේ සිත්වල දක්නට ලැබෙන අදහස් හා ආකල්පමයි. ඒ නිසා හැකි තරම් ධනාත්මකව සිතුම් පැතුම් ඇති මිතුරන් ඇසුරු කිරීමට පුරුදු වෙන්න. ඔවුන් නිසා නිරන්තර ඔබට ඔබ ගැන අභිමානයක් ඇති වේවි. යම් විටක ඔබ තුළ මානසික පසුබෑම් ගතියක් දක්නට ලැබුණත් ඒ මිතුරන් ඔබව එයින් මුදා ඔබේ ධනාත්මක සිතුවිලි වර්ධනය කරගන්නට සහාය දක්වාවි.

 

4. හීරෝ කෙනෙක් තියාගන්න

ඔබේ ජීවන ගමන් මඟට කවුරුන් හෝ පුද්ගලයෙක් මඟ පෙන්වන්නෙකු ලෙස තබා ගන්න. ඒකට නිකන්ම ඉන්න කෙනෙක් නම් හරියන්නේ නැහැ. ජිවිතය දිනාගත් සාර්ථක පුද්ගලයෙක් සෑම මොහොතකම ඔබේ ජීවිතයේ නියමුවා කරගන්න. ඔබේ ජීවිතය කඩා වැටෙන හැම තැනකදීම ඒ පුද්ගලයා උදාහරණයක් කරගෙන ජීවිතයේ ඉදිරියටම ගමන් කරන්න. මේ තුළින් නිරන්තරයෙන් ඔබ ළඟ නැති ආත්ම අභිමානයක් ඔබ තුළ ඇති වේවි.

 

අන්තර්ජාලය ඇසුරෙනි.

 

Comments