පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා විහාරස්ථාන සංවර්ධනයට මිලියන 100ක් | Page 2 | සිළුමිණ

පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා විහාරස්ථාන සංවර්ධනයට මිලියන 100ක්

පොසොන් උත්සවයට සමගාමීව රුපියල් මිලියන 100ක පමණ මුදලක් යොදවමින් දිවයින පුරා පිහිටි විහාරස්ථාන සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ජනාධිපතිවරයා විසින් වෙන් කර දී තිබෙන බවත් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.

ආර්ථික අර්බුදය හමුවේ වුවද අනුරාධපුර දිසාපතිවරයා වෙත දැනටමත් ලක්ෂ 31ක ප්‍රතිපාදන යොමු කර තිබෙන බවද කී ලේකම්වරයා, මීට පෙර රාජ්‍ය වෙසක් උත්සවයක් සඳහා රුපියල් ලක්ෂ 250ක මුදලක් ලබා දුන්නත් පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය සඳහා ලබා දුන්නේ රුපියල් ලක්ෂ 50 ක් බවද මෙහිදී සඳහන් කළේය. ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ඉකුත් සිකුරාදා නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම, දහම් අධ්‍යාපනයෙන් දුරස්වන සියලු ආගම්වල දරුවන්, දහම් අධ්‍යාපනය වෙතට නැවත යොමු කරලීම සඳහා, පස් අවුරුදු සැලැස්මක් දැනටමත් ඉදිරිපත් කර තිබෙන බවද ලේකම්වරයා පැවසීය. ඒ අනුව පාසල්වල දහම් අධ්‍යාපනය ඉගැන්වීමේදී න්‍යායාත්මක කොටසද, දහම් පාසැලේ දහම් අධ්‍යාපනය ඉගැන්වීමේදී ප්‍රායෝගික කොටසද ලබා දිය යුතු යයිද කී ලේකම්වරයා ඒ සඳහා අවශ්‍ය අඩිතාලම දමා තිබෙන බවද කීය.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අදාළ ආයතන සමඟ සාකච්ඡා කරමින් මහානායක හිමිවරුන්ගේ සහ අනෙකුත් ආගමික නායකයින්ගේ අනුශාසනා පරිදි දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවද සඳහන් කළේය.

උපාලි කරුණාරත්න

Comments