පාසල්වල අබලන් වූ ගොඩනැගිලි ඉක්මණින් පිළිසකර කෙරේ | Page 3 | සිළුමිණ

පාසල්වල අබලන් වූ ගොඩනැගිලි ඉක්මණින් පිළිසකර කෙරේ

බස්නාහිර පළාතේ පාසල්වල අබලන්වූ ගොඩනැගිලි පිළිසකර කිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් අරඹන ලෙස⁣ට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇත.
 
එමෙන්ම නිරන්තරයෙන්ම පාසල්වල ප්‍රථිඵල විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයක් සකසන ලෙසද අමාත්‍යවරයා අවධාරණය කළේය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති මිනුවන්ගොඩ හා ගම්පහ කලාපවල අධ්‍යාපන ව්‍යුහ කමිටුවලට සහභාගී වෙමිනි.
 
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 
මේවනවිට අඩක් නිම කළ ගොඩනැගිලි රාශියක් පාසල්වල තියෙනවා.අපිට ලොකු ආර්ථික ශක්තියක් නැහැ.ඒ නිසා ඒවා සම්පූර්ණ කර ගන්න ප්‍රතිපාදන නැහැ.මේව කලින් පටන් ගනිපු ඉදිකිරීම්.
 
ඒ වගේම සිසුන් අඩු පාසල්වලට ලොකු වියදමක් කරනවා. එහෙම වෙන්නෙ බැහැ. පාසලකට විදුහල්පතිවරයෙක් පත් කරන කොට ඔහු කලින් සිටි පාසලේ තත්ත්වය, ඔහුගේ මෙහෙවර, ජ්‍යෙෂ්ඨත්වය ගැන සලකා බැලීමක් සිදුවෙන්නේ නැහැ. ඇතැම්විට මේ නිළධාරින් හිතවත්කම් මත විදුහල්පති තනතුරු ලබා දෙනවා. ජ්‍යෙෂ්ඨත්වය තිබුණට වැඩ කරන්න බැහැ. මිනිස්සු පහුගිය කාලේ සිස්ටම් චේන්ජ් කියල කිව්වේ මේව වෙනස් කරන්න කියලයි.
 
පාසලේ විදුහල්පතිවරයා හරියට වැඩ කරන්නේ නැත්නම්, පාසලේ සිසුන් අඩු වෙනවනම් ඒ විදුහල්පතිවරයා ඉවත් කරන්න. ඒතෙන්ට අලුත් කෙනෙක් දාන්න. නිතරම පාසලේ ප්‍රථිඵල විශ්ලේෂණය කරන්න. ඒකට අලුත් ළමයි දාල පොඩි මෙහෙයුම් කාර්යංශයක් හදා ගන්න. තීන්දු ගන්න බය වෙන්න එපා.මම අමාත්‍යංශයේත් එහෙමයි. වැඩ කරන්න බැරි ජ්‍යෙෂ්ඨයෝ පැත්තකට දාල දෙවනි පරම්පරාව එක්ක වැඩ කරනවා. අපි අලුත් මිනිස්සු එක්ක අලුත් ගමනක් යමු.
 
අපි මේවට සම්බන්ධ නැහැ. නමුත් බැණුම් අහන්නෙ දේශපාලනඥයින්.අරගලකාරයො අපේ ගෙවල් මිස නිළධාරින්ගේ ගෙවල් ගිනි තිව්වෙ නැහැ. මේ හරි වැරදි ගැන කතා කරන්න අධ්‍යාපන ව්‍යුහ කමිටු රැස්කරන ඕන. මේ ව්‍යුහ කමිටුවලින් අපි අධ්‍යාපනයට බලපෑම් කරන්නේ නැහැ. හැබැයි ලැබෙන තොරතුරු අනුව අපි වැඩ කරනවා.
 
ඒ වගේම පාසලේ ඉදිකිරීම්වලින් විදුහල්පතිවරුන් අයින් කරපු එක හොඳයි. ඉදිකිරීම්වල බලය විදුහල්පතිවරුන්ට දුන්නම ඔවුන් කොන්ත්‍රාත් පස්සෙ යනවා. ඒ වගේම රටේ පවතින වාතාවරණයට ගැලපෙන විදියට වැඩ කරන්න. 
 
මම පළාත් සභාවේ ඉන්න කාලේ පටන්ගත්ත "අපේ පාසල - අපේ දෑතින් සුරකිමු" ව්‍යාපෘතිය ආපහු පටන්ගනිමු.
 
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෝකිලා හර්ෂණි ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන, මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ වජිර රණරාජා පෙරේරා, ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර ප්‍රේමලාල් මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
 

Comments