අභියෝගවලට අභියෝග කරන පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්වරිය කුෂානි රෝහණදීර | Page 3 | සිළුමිණ

අභියෝගවලට අභියෝග කරන පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්වරිය කුෂානි රෝහණදීර

අභියෝග මැද වුවත් හරි දේ කරනවා නම් අනිවාර්යයෙන් ජයග්‍රහණය ලැබෙනවා

ටේ උත්තරීතර ව්‍යවස්ථාදායක ආයතනය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරියා වන මහලේකම්වරයා පත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු සභාවේ එකඟතාව ඇතිව ජනාධිපතිවරයා විසිනි. මහලේකම්වරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පරිපාලකයා මෙන්ම ගිණුම් නිලධාරියා ද වන අතර, ව්‍යවස්ථානුකූලව පැවරී ඇති වගකීම් රැසකි. එවැනි භාරධූර මහලේකම් ධුරයට දෙවැනි වරටත් කාන්තාවක් පත්වී ඇත. හිටපු මහලේකම් ධම්මික දසනායකගේ ධුර කාලය නිම වීමෙන් පසු ඉකුත් දා අභිනවයෙන් එම ධුරයට පත් වූයේ නියෝජ්‍ය මහලේකම් ධුරය දැරූ කුෂානි රෝහණදීරය. ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවැනි කාන්තා මහලේකම්වරියයි. 

කුෂානි රෝහණදීර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආගන්තුක චරිතයක් නොවේ. 1999 වසරේදී පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට බැඳුණු ඇය සහකාර ප්‍රධාන නිලධාරී, නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී, සහකාර මහලේකම්, නියෝජ්‍ය මහලේකම් යන ධුර පසුකරමින් දැන් මහලේකම් අසුනට පැමිණ තිබේ. උත්සාහය, කැපවීම සහ ආත්ම ශක්තිය ජීවිතය දිනාගත් බොහෝ ගැහැනුන්ගේ දිදුලන චරිත ලක්ෂණ වේ. අභියෝගවලින් පිරි දුෂ්කර මඟක් ඔස්සේ පැමිණ ජයග්‍රාහී ඉලක්කයක් කරා ළඟා වූ කුෂානි රෝහණදීර ඒ අතීතය සිහි කරන්නේ සොම්නසිනි.

"කාන්තාවකට වගකීම් දැරිය නොහැකි බව සිතා කටයුතු කරන පුද්ගලයන් නිසා මටත් ඇතැම් අවස්ථාවල මානසික පීඩාවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් මම මගේ වගකීම් උපරිමයෙන් ඉටු කළා. වෘත්තිය ගමනේදී මානසිකව වැටෙන හැමවෙලාවකම මාව ශක්තිමත් කළේ මගේ අම්මා. ඒ වගේම රැකියාවේ වගකීම් නිසා මම ඉතා අවිවේකී වෙද්දී දරුවන්ගේ සහ නිවෙසේ කටයුතු කළමනාකරණය කරගනිමින් ඒ හැමදේකම බර වැඩිපුර දැරුවෙත් දරන්නෙත් මගේ සැමියා. මගේ ජයග්‍රහණය ගැන මටත් වඩා සතුටු වෙන්නේ ඔහු. ඒ වගේම දරුවන්ගෙනුත් මගේ වෘත්තිය ජීවිතයට ලොකු සහයෝගයක් ලැබෙනවා.”

කුෂානි රෝහණදීරගේ සැමියා ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්ත රෝහණදීර ය. ඔහු විශිෂ්ට ඉතිහාසඥයකු, පුරාවිද්‍යාඥයකු හා සාහිත්‍යවේදියකු වූ ආචාර්ය මැන්දිස් රෝහණදීරයන්ගේ පුතුණුවන්ය. කොළඹ ඉපදී අම්බලන්ගොඩ ජීවත් වූ කුෂානිගේ පියා ලේටඩ් ද සිල්වා ගුරුවරයෙකි. මව උදුලා ද සිල්වා විශ්‍රාමලත් විදුහල්පතිනියකි. කුෂානිගේ වැඩිමහල් සහෝදරයා උපුල් ඉන්ද්‍රජිත් දැන් වෙසෙන්නේ ඇමෙරිකාවේය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කුෂානි, ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන්නේ ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙමිනි. ශිෂ්‍ය නායිකාවක් ලෙස ද කටයුතු කළ ඇය කලා සහ ක්‍රීඩා කටයුතුවලින් ද දක්ෂතා දැක්වූ සිසුවියකි. 1987 වසරේදී ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනී සිටි ඇය බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමේ සිහිනය සැබෑ කරගන්නේ විධායකයකු ලෙස සම්පත් බැංකුවේ කාර්ය මණ්ඩලයට එක්වෙමිනි. වසර 3ක් පමණ එහි සේවය කිරීමෙන් පසු ඇය කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ 1991 වසරේදීය. ඇයට සිය ජීවන සහකරු හමුවන්නේ ද සරසවි බිමේදීය.

"විශ්වවිද්‍යාල ජීවිතේ අවසන් කාලයේ මම නැවතිලා හිටියේ ඉතාම ආරක්ෂිත විනයානුකූල පරිසරයක් සහිත කොළඹ ශාන්ත අන්තෝනි කාන්තා නේවාසිකාගාරයේ. එහි සිටි මගේ මිතුරියෝ බොහෝ දෙනෙක් නීති පීඨයේ ඉගෙනගත් අය. විභාගය කිට්ටු වෙද්දි උස, කෙට්ටු තරුණයෙක් නිතර එහි ආවා ගියා මගේ මිතුරියන්ගෙන් ඔහුට මඟහැරුණු නෝට්ස් ඉල්ලගන්න. එක දවසක් මගේ මිතුරියෝ ඒ තරුණයාත් මාවත් ගෝල්ෆේස් එකේදී මුණගැස්සුවා. යාළුවො එදා මගෙන් කරපු එකම ඉල්ලීම “අදින් පස්සේ මෙයාව හම්බ වුණේ නැතිවුණත් කමක් නෑ, හැබැයි අද රෑ මෙයා අපිට කෑම අරන් දෙන්න හැදුවොත් එපා කියන්න නම් එපා”. කොහොමහරි එදා අපි විසි දෙනෙකුට විතර නානාගේ කඩපේළියෙන් කෑම අරන් දෙන්න ඒ තරුණයාට සිදුවුණා. ඊට පස්සේ අපි දෙන්නා දවස් කිහිපයක් හමුවෙලා කතා කරද්දි මගේ අදහස් එක්ක ඔහුගේ අදහස් ගැළපෙනවා කියලා දැනුණා. එහෙම තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ"

ඒ ආදර කතාවේ පෙම්වතා හරිගුප්ත රෝහණදීර එකල නීති උපාධියේ අවසන් විභාගයට සූදානම් වෙමින් සිටියේය. නීති උපාධිය සම්පූර්ණ කර ඔහු නීතිඥයකු ලෙස කටයුතු කරද්දී 1995 වසරේදී දෙවැනි පෙළ සාමාර්ථයක් සහිතව ඇය ද උපාධිය සමත් වන්නීය. ඔවුන් විවාහ දිවියට එළැඹෙන්නේ 1996 වසරේදීය. එතැන් සිට පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය දක්වා ආ ගමන ගැන අපි ඇය විමසුවෙමු.

"විවාහ වෙලා වසරක් ගතවෙද්දි මට ලොකු පුතා ලැබෙන්න හිටියෙ. මට ඕන වුණේ ආයෙමත් බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් කරන්නයි. හැම බැංකුවකම විභාගවලින් සමත් වුණත් අන්තිම සම්මුඛ පරීක්ෂණයට ගියාම මාව ප්‍රතික්ශේප වුණා. කාන්තාවක් වීම නිසා මුහුණ දෙන්න වෙන ගැටලු මුල් වතාවට මම අත්වින්දේ ඒ කාලයේ. උපාධියක් ඇතුළු මොන තරම් සුදුසුකම් තිබුණත් මම ගැබිනියක් නිසා රැකියාවට ගන්න කැමති වුණේ නැහැ. ඒ අතරෙදි තමයි හරිතගුප්තගේ තාත්තා මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන් එතුමාගේ මිතුරකු මාර්ගයෙන් මාව ජාතික අධ්‍යාපන ආයතනය වෙතට යොමු කළේ. එහිදී මට ආචාර්ය හේමමාලි පලිහක්කාර මහත්මියගේ ව්‍යාපති සහකාර නිලධාරිනියක ලෙස කටයුතු කිරීමට ලැබුණා. ඇය ඉතා කාරුණික, පරමාදර්ශී චරිතයක්. පාර්ලිමේන්තු ලිපිකරු තනතුරට මම අයැදුම් කළේ පුවත්පතක් දැන්වීමකට අනුවයි. ඒ දවස්වල පුතා කුඩා දරුවෙක්. නිවස තිබුණෙත් පාර්ලිමේන්තුව කිට්ටුව. ඒ කරුණු දෙක විතරයි මම ඒ තනතුරට අයැදුම් කරද්දි හිතුවේ. නමුත් එය උපාධිධාරී අයැදුම්කරුවන් තුන් දහසක් පමණ පෙනී සිටි ඉතා තරගකාරී විභාගයක්. කෙසේ හෝ අවසන් විභාගයේ ලකුණු සහ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු අනුව මම තුන්වැනි ස්ථානයට තේරුණා. ඒ අනුව මට ඒ රැකියාව ලැබුණා."

එතැන් සිට අංශ කිහිපයක සේවය කිරීමෙන් ලත් අත්දැකීම් තුළින් එවකට සිටි මහලේකම් ධම්මික කිතුල්ගොඩගේ සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස ද කටයුතු කිරීමට කුෂානි රෝහණදීරට අවස්ථාව සැලසිණ. පාර්ලිමේන්තු කමිටු කාරක සභා කටයුතුවලට සහ සභා ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා තිබූ ඇල්ම නිසා පසුකලෙකදී ආයතන කාර්යාංශයට එක්වීමට ඇයට හැකි විය. එහිදී කථානායකවරයා සභාපතිත්වය දරන උපදේශක කාරක සභාවලට සහභාගි වීමෙන් ඒ පිළිබඳ නිපුණත්වය ලැබුවාය. ආයතන අංශයේ සේවය කරන විට පරිපාලන නීතිය පිළිබඳ දැනුමක් තිබීමේ අවශ්‍යතාව හඳුනා ගන්නා ඇය ඒ අනුව විවෘත විශ්විද්‍යාලයෙන් එම නීති උපාධිය ද ලබාගෙන පාර්ලිමේන්තු සේවයේ දිගටම නිරත වූවාය. කෙතරම් කාර්ය බහුල වුවත් සංකීර්ණ වුවත් රැකියාව තුළින් ලබන ආත්ම තෘප්තිය මිල කළ නොහැකි බව ඇයගේ හැඟීමයි.

සුදම්, යසිඳු සහ ජවන හංස හරිගුප්ත-කුෂානි යුවළගේ පුතුන් තිදෙනාය. රැකියාවේ වගකීම් අකුරටම ඉටු කරන්නට නිබඳ කැපවී සිටින ඇය 'පවුල' ජීවිතයේ අන් සියල්ලට ඉහළින් සලකන්නීය.

"කාන්තාවක් කොයිතරම් උසස් නිලතල දැරුවත් පවුලට ප්‍රමුඛස්ථානය දීමට අමතක නොකළ යුතුයි. පවුලේ සුබසිද්ධිය සඳහා කටයුතු කරනවා මිස එය විසිරෙන ආකාරයට කටයුතු නොකළ යුතුයි. මවක් ඉවසීමෙන් තීරණ නොගතහොත් පීඩාවට පත් වන්නේ දරුවන්. ඒ වගේම ඕනෑම ක්ෂේත්‍රයක නිරත වන කාන්තාවන්ට අභියෝග ඇතිවනවා. නමුත් ඒ බාධක මැද වුවත් නිවැරදිව කටයුතු කරනවා නම්, හරි දේ කරනවා නම් අනිවාර්යයෙන් ජයග්‍රහණය ලැබෙනවා. මම නිතරම හිතන්නේ අපේ පවුලේ සතුට. ගෙදරදි මම ජීවත් වෙන්නේ ගෘහණිය, මව සහ බිරිය කියන චරිත ඇතුළෙයි. ඉවුම්පිහුම්වලට මම හරිම කැමතියි. පුතාලා කැමතිත් මම උයන කෑම කන්නයි. ඒ නිසා විවිධ කෑම වර්ග හදනවා. මගෙ ලොකු පුතා මටත් වඩා හොඳට කෑම හදනවා. එක එක රටවල්වල කෑම ජාති රහට හදන්න එයා හරි දක්ෂයි. විවේකයක් ලැබෙන හැම මොහොතක්ම මම පවුල එක්කයි ගත කරන්නේ. චිත්‍රපටි බලන්න අපි හැමෝම කැමතියි. මහත්තයා කැමතියි පෞරාණික ස්ථාන බලන්න යන්න. පුතාලා ලස්සන තැන් බලන්න යන්න කැමතියි. අපේ ජීවිත හරිම සරලයි." ඇය පැවසුවේ නිබඳව මුවඟ රැඳෙන සුන්දර මඳහසිනි. ජීවිතය දිනාගත් කාන්තාවක ලෙස ඇයගේ හදවතේ රැඳි සැනසුම සහ අස්වැසුම ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට පහන් ටැඹක් වනු ඇත.

Comments