ගමට රැකවරණය රැගෙන ගිය සණස Life | සිළුමිණ

ගමට රැකවරණය රැගෙන ගිය සණස Life

පසුගිය 2020, 21සහ 22 වසරවල සණස life ගෞරවාදරයට පත් වූයේ අඛණ්ඩවම ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන රක්ෂණ සමාගම ලෙසිනි. එමෙන්ම සණස life යනු, වර්තමානයේ ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් අතර අට වැනි ස්ථානය හිමි කරගෙන සිටින රක්ෂණ සමාගමයි. වැඩිමනත් අඩු වරප්‍රසාද සහිත ජනතාව සමඟ ගනුදෙනු කරන සණස life, සණස සමූහයට අයත් ව්‍යාපාර 17න් සුවිශේෂී සමාගමකි.ශක්තිමත් සාමාජිකත්වයක් සහ ශක්තිමත් මූල්‍ය සංචිතයකින් හෙබි සමාගමක් ලෙස සණස life, එකම තැනකින් විසඳුම් රාශියක් ලබා දෙන ජනතාවගේ සමාගමක් ලෙස පෙරට එමින් සිටී. 

විශේෂයෙන් දැවැන්ත සමාගම් කිසිවකගේත් අවධානය‍ට ලක් නොවු විවිධ සමාජ තලවල සිටින පාර්ශ්වයන් වෙත වටිනාකමක් එක් කරන සණස life පිළිබඳ, එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධි්කාරී යසරංග ගොඩවෙල මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

සණස ආරම්භය ගැන මතක් කරමු...

සණස ආරම්භ වන්නේ ග්‍රාමීය ණයගැති භාවය ඉතාමත් උග්‍ර වූ කාල පරිච්ඡේදයක. එනම් 1976 දී පමණ ලංකාවේ තිබුණා, 'එක්සත් සහකාර ණය ගනුදෙනු පිළිබඳ සමූපකාර සමිති' නමින් සමිති 935ක්. මේ සමිති ඈවර කරන්නට දින නියම වී තිබූ අවස්ථාවේ, සණස ව්‍යාපාරයේ නායක ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මැතිතුමා ගේ අවධානය ඊට යොමු වුණා. එතුමා දුටුවා, ග්‍රාමීය ණයගැති භාවය නිසා ජනතාව පීඩාවට පත්ව සිටින ආකාරය.

අඩු වරප්‍රසාද සහිත ජනතාවට ණයක් ගන්න වගේම, පහසුවෙන් ගෙවාගෙන යන්නත්, ඔවුන්ගේ ජීවනෝපාය වර්ධනය කරගන්නත් සුවිශේෂී අවස්ථාවක් සණස ව්‍යාපාරයේ ආරම්භයත් සමඟ ගමට උදා වුණා.

අද සණස කියන්නේ සාමාජීය වශයෙන් ඉතාමත් ශක්තිමත් සහ මූල්‍යමය වශයෙන් ශක්තිමත් රට පුරා ව්‍යාප්ත වූ සමිති 8,000කට ආසන්න දැවැන්ත ව්‍යාපාරයක්. ඒ ආකාරයට ව්‍යාපාරය පුළුල් වෙත්ම රක්ෂණ කටයුතු සඳහා අපටම විසඳුමක් අවශ්‍ය වුණා. ඒ නිසා තමයි, 1991 වසරේ රක්ෂණ සමාගම ආරම්භ කළේ. ඒ, වරකාපොළ උපදිසාපති කොට්ඨාසයේ සමිති හත අටක එකමුතුවක් සමඟ කරන ලද පර් යේෂණ යක ප්‍රතිඵලයක් ලෙසින්.

ග්‍රාමීය ජනතාවගේ මූලික වුවමනාවන් හා අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයක් පූරණය කිරීමට උපක්‍රමයක් වශයෙන්.

මෙහිදි ග්‍රාමීය අවමංගල්‍යාධාර සමිතියේ ක්‍රියාකාරිත්වය සණස රක්ෂණ සමාගමේ සියුම් අවධානයට ලක්වුණා. ඉන් නොනැවතී නව තාක්ෂනික ශිල්ප ක්‍රම හා ප්‍රවණතා හඳුනා ගනිමින් යාවත්කාලීන පරිපූර්ණ රක්ෂණ විසඳුම් සහිත ආයතනක් ලෙස ගොඩනැඟීමට අපට හැකි වුයේ බිම් මට්ටම් ප්‍රායෝගිකත්වය නිසි ලෙස අධ්‍යයනය කළ නිසාවෙන්.

අප සණස රක්ෂණ සමාගමේ පළමු අරුනැල්ල නැඟී එන්නේ වර්ෂ 1989 දී රාජ්‍ය නොවන සංවිධානයක් වන Forum of Development - (FOD) ආයතනය මඟින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි.

ඒ වෙලාවේ අපේ රටේ රක්ෂණය ක්‍රියාත්මක වුණේ ඉහළ පංතියට පමණක් සීමා වූ දෙයක් ලෙසින්. ගමේ ගොවියාට සහ අඩු වරප්‍රසාද සහිත ජනතාවටත් රක්ෂණයක් අවශ්‍ය නේද කියන කාරණය කාටවත් එතරම් වැදගත් වුණේ නැහැ. අපි ඒ සඳහා පර්යේෂණාත්මකව විසඳුම් හෙව්වා. රක්ෂණයක් නොපතන, එහෙත් දැඩි අවදානමක් තිබෙන ජනතාව ඉලක්ක කරගෙන සණස life ජීවිත රක්ෂණ සමාගම ආරම්භ කළේ එලෙසින්.

සමස්ත ලංකා අන්‍යෝන්‍ය ආරක්ෂණ සංවිධානය හෙවත් Almao සංවිධානය අප ආරම්භ කළා. රු.5, 10 සහ 50 වැනි පොඩි මුදලකට රක්ෂණයන් ගන්න අවස්ථාව සලසා දුන්නා. ගමේ ගහෙන් වැටුණු මනුස්සයෙක්, නැත්තම් කැත්තේ උදැල්ලේ වැඩ කරද්දි අනතුරක් වෙච්ච කෙනෙක්, සර්පයෙක් දෂ්ට කළ මනුස්සයෙක්.. වැනි ගම්මු මුහුණදෙන අනතුරු සඳහා කිසිදු රක්ෂණ සමාගමක් නොබලපු වෙලාවක සණස ආයතනය ඉදිරිපත් වී ඒ වෙනුවෙන් විසඳුමක් ලබා දුන්නා.

ඇත්තටම, අපි පළමු රක්ෂණ හිමිකම දුන්නේ ගහකින් වැටිලා කොන්ද වැදුණු කෙනකුට. අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු කළ නිසාත්, බෙහෙත් හේත් කිරීමට අතට රක්ෂණ මුදලත් දුන් නිසා ඒ කෙනා හොඳින් ප්‍රතිකාර ගත්තා. අදත් ඔහු ජීවත් වෙනවා.

ග්‍රාමීය ජනතාවට සණස life වඩාත් සමීප වූයේ කෙසේද...

අපිට ගමේ සණස සමිතිය තිබෙනවා. රක්ෂණ ආයතනය තිබෙනවා. කරදරයට පත් රක්ෂිතයා වෙත ඉක්මනින් ළඟා වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අවශ්‍ය උපකාරය ඉක්මනින්ම කරන්න පුළුවන්. මොකද, රක්ෂණ නියෝජිතයා ගමේම ඉන්නවා. රක්ෂණයක් නොපතන ජනතාවට පිහිට වෙන්න මේ ක්‍රමය ඉතාම සාර්ථක වුණා. ඒ වගේම දිගින් දිගටම අපේ සාමාජිකත්වය ඉහළ ගියා. අද වන විට ග්‍රාමීය ජනතාවගේ කිට්ටුම රක්ෂණ සමාගම බවට පත්වන්නට සණස life අපට හැකි වී තිබෙන්නේ මේ නිසා.

සණස life ඉන්ෂුවරන්ස් ගැඹුරින් මුල් බැසගත් සමුපකාර වටිනාකම් සමඟ රට පුරා විසිරි සිටින අඩු වරප්‍රසාදිත බිම් මට්ටමේ ප්‍රජාවන්ට සේවය කිරීමට කාලයාගේ ඇවෑමෙන් කැපවී සිටි ශීඝ්‍රයෙන් විකාශය වන ව්‍යාපාරික පරිසරයක සමාජ වෙනසක් සඳහා අපි සැමවිටම උත්සාහ කළා.

සමස්ත සමාජ පද්ධතියේ මිනිසුන් වෙනුවෙන් අසම සම රැකවරණයක් දායාද කරන්නට කැපවු සණස ලයිෆ් වන අප මුළු මහත් මානව වර්ගයාගේම රැකවරණය වෙනුවෙන් කොන්දේසි විරහිතව ඉදිරිපත් වී සිටිනවා.

සණස life වටා සෘජු හා වක්‍රව කොයි තරම් පිරිසක් සිටිනවා ද...

සමිති ව්‍යාපාරය තුළ ලක්ෂ 37ක් ඉන්නවා. මේ වෙනකොට අපට පුළුවන් වී තිබෙනවා, ඉන් වැඩි පිරිසකට විවිධ පැතිවලින් රක්ෂණ ආවරණ ලබා දෙන්න. අපේ මූලික පරමාර්ථය තමයි සාමාජිකයන් සියල්ලන්ටම, ඒ කියන්නේ සෘජු හෝ වක්‍ර ප්‍රතිලාභ ලබන සියල්ලන්ට ම අපගේ සණස රක්ෂණාවරණය ලබා දීම.

ඒ වගේම, අපගේ සැලසුම් නිර්මාණය කර තිබෙන්නේ විශේෂයෙන් අඩු ආදායම් ලබන ජනතාව ඉලක්ක කරගෙන. නමුත් දුප්පතුන් වගේම මධ්‍යම පංතිය සහ ඉහළ ආදායම් ලබන්නන්ටත් ගැළපෙන ආකාරයට සමාජයේ සෑම පාර්ශ්වයක් ම නියෝජනය වන පරිදි විවිධ රක්ෂණ සැලසුම් ක්‍රම අප ඉදිරිපත් කර තිබෙනවා. එයින් මෙතෙක් ප්‍රතිලාභ ලැබූ පිරිස ද ලක්ෂ ගණනක්.

ලංකාවේ ක්‍රියාත්මක රක්ෂණ සමාගම්වලින් කොයි තරම් පිරිසක් ආවරණය වී තිබෙනවා ද...

ඇත්තටම ලංකාවේ ක්‍රියාත්මක රක්ෂණ සමාගම් සියල්ල ම ගත්තත් මුළු ලංකාවේම ආවරණය වී තිබෙන්නේ 20% ගණනක් විතරයි. ඉතිරි 80% කියන්නේ සාමාන්‍ය ජනතාව. විශේෂයෙන් ගම්වල ජීවත් වන අඩු ආදායම් සහ මැදි ආදායම් ලබන මිනිස්සු . නමුත් එතැන ලොකු රික්තකයක් තිබෙනවා. අපි පුරවන්න උත්සාහ කරන්නේ ඒ හිඩැස. ලොකු ගණන් ගෙවා ගන්න බැරි ජනතාවට රක්ෂණය පහසු කරවන්නත්, කරදරයක දී රක්ෂණයේ ප්‍රතිලාභ ඔවුන්ට ද හිමි විය යුතු බව දැනුවත් කරන්නත් අපි ලොකු උත්සාහයක් ගන්නවා. කොටින්ම රක්ෂණයක් පිළිබඳ කිසිදු අදහසක් නැති ජන කොට්ඨාසයකට රක්ෂණ ප්‍රතිලාභයක් ලබා ගත හැකි මඟකට ඔවුන් පෙළැඹවීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා.

මොකද අපි දකිනවා, ගමක මිනිස්සුන්ට කරදරයක් වෙලා ඒ රක්ෂණ මුදල දෙන්න ගෙදරට ගියාම ඒ ගෙවල්වල තත්ත්වය. සමහරවිට ගෙදර උපයන එකම පුද්ගලයා තමයි මිය ගිහින් තිබෙන්නේ. වර්තමාන උද්ධමනයත් එක්ක ජීවත් වීම ම සටනක් ව තිබිය දී, පවුලේ ආදරණීයන් ගේ මළගමක දී ගෙදර අය කබලෙන් ලිපට වැටෙනවා. එවැනි අවස්ථාවලදී යි, සණස life ඔවුන්ගේ පිහිටට ඉන්නේ.

නමුත් තවමත් අවාසනාවකට මධ්‍යම පන්තියේ බොහෝ අය පවා හිතන්නේ රක්ෂණය එතරම් අවශ්‍ය නොවන දෙයක් ලෙසයි. ඒ නිසා, අපේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් හරහා රක්ෂණයේ වැදගත්කම කියා දීමත් අපි සලකන්නේ වගකීමක් ලෙසයි.

මේ කටයුත්ත ඉටු කිරීම සඳහා මොන තරම් නියෝජිත ජාලයක් සිටිනවා ද...

3,000කට ආසන්න ප්‍රමාණයක් ගම වගේම නගරය කේන්ද්‍ර කරගෙන මේ සඳහා ඇප කැප ව වැඩ කරනවා. ගම වෙනස් කිරීමේ මේ කාර්යය සඳහා අප‍ගේ නියෝජිතවරු කාර්යය සඳහා පූර්ණ දායකත්වය ලබා දෙනවා. ඔවුන් හරහා අපිට පුළුවන් ගමේ ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න.

සාමාජිකයන් ඔවුන්ගේ අවශ්‍යතා ඉදිරිපත් කරන්නේ මේ නියෝජිත මහතාට. ඔහු ගමේ අවශ්‍යතාව හඳුනනවා. ගමේ ජනතාව හඳුනනවා. ඔවුන්ගේ අවශ්‍යතාවට අනුව නිර්මාණශීලී සැලසුම් ලබා දෙන්න රක්ෂණ නියෝජිතයා කටයුතු කරනවා. නමුත් එය රක්ෂණය සඳහා ම පමණක් සීමා වන්නේ නැහැ. ඔවුන්ගේ සංවර්ධන අවශ්‍යතා, ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතා, සමාජයීය අවශ්‍යතා... යන මේ ඕනෑම කාරණයක දී අපගේ නියෝජිතයන් සණස සමිති සහ සණස සාමාජිකයන් සමඟ සිටිනවා.

මෙය සංවර්ධන වැඩසටහනක් ලෙස කරගෙන යෑම අප ආරම්භ කළේ ගිය වසරේ. එනම්, මෙය ආර්ථීක අර්බුදයත් සමඟ පටන්ගත් සුවිශේෂී වැඩසටහනක්. 'රක්ෂණයට වැඩි යමක්...' කියන තේමාව පෙරදෑරිව, රක්ෂණය සඳහා මෙවැනි අවධානය යොමු විය යුතු කණ්ඩායම් පොළඹවා ගැනීමේ වගකීම පැවරෙන්නේ අපගේ රක්ෂණ නියෝජිත මහතුන්ට. ඔවුන් ඒ වගකීම ඉතා හොඳින් ඉටු කරනවා.

රක්ෂණයක අවශ්‍යතාව පිළිබඳ සණස සාමාජිකයන් තුළ තිබෙන ආකල්පය කෙබඳු ද... 

සණස සමිතියේ ආරම්භක තේමාව වන්නේ, 'අන්‍යෝන්‍යාධාරය සහ ආත්මාධාරය වෙනුවෙන්...' යන්නයි. ඒ කියන්නේ, 'මම සණස සමිතියට තැන්පතු වක් කරනවා, මම යළි ණයක් ගන්නවා. ඒ වගේම, මම දෙන තැන්පතු‍වෙන් තවත් සාමාජිකයෙක් ණයක් ගන්නවා...'යන අර්ථය යි. කණ්ඩායමක් හැටියට එකතුව එනම්, 'මමත් පිහිටක් ලබන ගමන් තවත් කෙනකුට උපකාරයක් කරනවා.' යන උතුම් අරමුණ පෙරදෑරිවයි.

ඉතින් මෙවැනි ආකල්පයක් සමඟ වැඩකරන සණස සාමාජිකයන් රක්ෂණය පිළිබඳ දක්වන්නේ එවැනිම සාධනීය මතයක්. ඔවුන් මෙහි වටිනාකම සිය කණ්ඩායම තුළ කතාබහට ලක් කරනවා. දැනුම්වත් කරනවා. එය ඉතා හොඳ ප්‍රවණතාවක්. මෙතෙක් කලක් ඔවුන්ගේ කරදරයක දී උපකාරයට නොහිටි සමීපතමයෙක් ඔවුන් ළඟට ආවා වැනි හැඟීමකුයි ඔවුන්ට තිබෙන්නේ.

සණස 'වටිනාකම්' පිළිබදවත් යමක් කියන්න...

සණස අකුරු ටික හැදී තිබෙන්නේ, 'සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය...' යන අර්ථ දැක්වීමෙන්. ඇත්තටම සණස කියන්නේ අද බ්‍රෑන්ඩ් එකක් . සණස සංකල්පය තුළ සකසුරුවම අංක එක. මොකද, අද සකසුරුවමට වඩා ලැබෙන්න තිබෙන මුදලටත් ණය වෙන සමාජ රටාවකට මිනිස්සු පුරුදු වෙලා. නමුත් සණස ගමට පුරුදු පුහුණු කළ සකසුරුවම තුළ ඔවුන් ගොඩනැඟී ඇති ආකාරය අප දකිනවා. කුටුම්භ සංවර්ධනය සඳහා සණස සමිතියේ දායකත්වය තුළ ඔවුන් ගොඩනැඟී තිබෙන්නේ, ඒ සකසුරුවම නිසයි.

සකසුරුවම, අන්‍යෝන්‍යාධාරය සහ ආත්මාධාරය, 'අඩක් ගුණ ධර්ම- අඩක් ගනුදෙනු' සහ වැය අඩු කරමු- අය වැඩි කරමු... යන, සණස ව්‍යාපාරය හා බැඳුණු මේ සියලු සංකල්ප විතරක් නෙවෙයි, සමානාත්මතාව, ස්වයං වග වීම, සහයෝගීතාව, සැමට සාධාරණත්වය...යන තවත් බොහෝ කාරණා සණස වටිනාකම්වලට අයත්.

'අඩක් ගුණ ධර්ම- අඩක් ගනුදෙනු' සංකල්පය කුමක් ද...

සාමාන්‍යයෙන් ව්‍යාපාර පවතින්නේ ලාභය කියන පරමාර්ථය මත. නමුත් සණස කියන්නේ ලාභයෙන් ඔබ්බට ගිය, මනුෂ්‍ය වටිනාකම් සහ ආයතනික වටිනාකම් සමඟ කණ්ඩායමක් හැටියට යන ගමනක්. ඒ ගමන තුළ ව්‍යාපාරයත් යම් ලාභයක් උපයන අතර, සමාජ මෙහෙවරක් ද ඉටුකරනවා. විශේෂයෙන් වැඩි අවධානයක් යොමු නොවන ඈත ගම් දනව්වල දුක් විඳින ජනතාව ගේ ජීවිත නඟාසිටුවීමේ නිහඬ කාර්යයක සණස නියැළෙනවා.

එහි ප්‍රතිඵලය ලෙස හැමදාම දුප්පත්කමින් පීඩා විඳි ඔවුන්, සකසුරුවමින් වෙර වීරියෙන් යමක් ගොඩනඟා ගන්නා අතර, ඔවුන්ගේ ජීවිතවලට රැකවරණය ද ලබා ගන්නා තැනට පැමිණ තිබෙනවා. මෙවැනි දේ ව්‍යාපාරික අරමුණු ම කේන්ද්‍ර කර ගත් සමාගමකට කරන්න බැහැ. 'අඩක් ගුණධර්ම - අඩක් ගනුදෙනු' කියන්නේ, සණස ගමන මෙවැනි වටිනාකම් සමඟ යන නිසයි.

'වැය අඩු කරමු- අය වැඩි කරමු.' මේ සංකල්පය පිළිබඳ වත් පැහැදිලි කිරීමක් කරන්න...

වසර විස්සකට වැඩි කලක් ක්ෂේත්‍ර රාජකාරියේ ම යෙදී හිටි මට ජනතාවගේ ගැටලු පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. අප නිරන්තරයෙන් අපගේ නායකතුමා සමඟ මේ පිළිබද සාකච්ඡා කරනවා.

එවැනි හඳුනාගත් තවත් එක් අවස්ථාවක් සඳහා එතුමා දුන් විසඳුමක් තමයි මේ, වැය අඩු කරමු අය වැඩි කරමු. කියන සංකල්පය. වැය අඩු කරමු, කියනකොට ම එතැනින් සකසුරුවම පිළිබඳ කියැවෙනවා.

දෛනික ජීවිතයේ අපි මෙතෙක් පුරුදු පුහුණු වී සිටි තරමක් නාස්තිකාර ජීවන පුරුදුවලින් මිදී, සකසුරුවමට හුරු වන හැටියි, අප මෙතැනින් කතා කරන්නේ. ඊළඟට, අය වැඩි කරගන්නේ කොහොමද? කියන කාරණාව සලකා බැලිය යුතුයි. ගිය වසරේ සිට ගම්මාන 5,000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනකට අපි අතගැහුවා. අපේ සියලුම සණස ආයතන ටික එකතුව සාමූහික ප්‍රයත්නයක් ලෙසයි, මේ වැඩේ කරන්නේ.

මේ ගම්මානවල ජනතාව දිරියෙන් නැඟිටුවමින්, ඔවුන්ට සමීප වෙමිනුයි, ඉලක්කයක් කරා අප ඔවුන් ගෙන යන්නේ. විශේෂයෙන් වියදම් පාර්ශ්වය අඩු කරගෙන හොඳ සකසුරුවමක් සහිත නව ජීවන රටාවකට ඔවුන් හුරු කරවන්නයි මේ වැඩසටහනින් අප බලාපොරොත්තු වන්නේ.

මගේ අංශයට අයත් සණස සමිති ගත් විට, විවිධ සුබසාධන කාර්යයන්හි නියැළෙන අතර සෑම විටම අප ඉදිරියට එන්නේ පුංචි දරුවාගේ පටන් සකසුරුවමට හුරු කළ යුතුයි, යන අරමුණින්. පුංචි කාලේ පටන් ගමේ කටයුතුවලට සහයෝගය ලබා දීම, ඔවුන් තුළ ගුණධර්ම වර්ධනය කිරීම, විවිධ වූ අවස්ථාවන් යටතේ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීම, තීන්දු තීරණ ගැනීම... වැනි අවස්ථාවන් මේ සෑම කෙනකුටම සණස සමිති හරහා උදව් උපකාරී වනවා.

ඒ වගේම අපගේ නිලධාරීන් සියලු දෙනාම සණස සමිති සමඟ නිරන්තරයෙන් සිටින අය. ඔවුන් සමිති රැස්වීම්වලට යනවා. සාමාජිකයන් හමු වනවා. අධ්‍යක්ෂ මණ්ඩලවලට යනවා. සණස රැස්වීම්වලදී ගමේ ජනතාව ගේ අවශ්‍යතා සඳහා බොහොම ළඟින් සහ බැඳීමෙන් සෑම නිලධාරියකු ම කටයුතු කරනවා. ඇත්තටම සණස කියන්නේ එක පවුලක් මෙන් කටයුතු කරන ආයතනයක්.

මෑතක දී හඳුන්වා දුන් සණස life දිවිජය රක්ෂණ සැලසුම පිළිබඳවත් යමක් කියන්න...

අසාධ්‍ය රෝග ආවරණ 34ක් ආවරණය වන පරිදි මුදලත් සුරක්ෂිත වන, පොලියකුත් ලැබෙන සුරක්ෂිත ආයෝජනයක් ලෙස දිවිජය රක්ෂණ ආයෝජන සැලසුම හඳුන්වා දෙන්න පුළුවන්. සහතික කළ ප්‍රතිලාභ සමඟ ආයෝජනය කරන මුදලට උපරිම ආරක්ෂාව සහ පොලිය ලැබෙන විශේෂ රක්ෂණ ආවරණයක් මෙය. උදාහරණයක් ලෙස, අසනීපයක දී ඔබේ සේසතම දිය වෙන්නට නොදී ඔබ ආයෝජනය කළ රුපියල් ලක්ෂයට ලක්ෂයක් බෙහෙත් ගැනීම සඳහා ඔබට මෙම රක්ෂණාවරණයෙන් ලැබෙනවා.

හැබැයි ඔබට ඒ මුදල දුන්නා කියා, නියමිත කාලය අවසානයේ දී ඔබේ මුදල නැති වෙන්නේ නැහැ. එම මුදලත් පොලියත් නියමිත කාලය අවසානයේ දී යළි ඔබට ලැබෙනවා. ඒ වගේම හදිසි අනතුරකින් රක්ෂිතයා මිය ගියහොත් එම ඔහු ආයෝජනය කළ මුදල මෙන් දෙගුණයක් එවැනි අවස්ථාවක දී ආපහු ලබා දෙනවා. කොහොමටත් හදිසි අනතුරු මරණයක දී තමන් ආයෝජනය කළ මුදල මෙන් දෙගුණයක් මින් ලැබෙනවා.

සහතික කළ ප්‍රතිලාභ, අසාධ්‍ය රෝග ආවරණය, හදිසි අනතුරු මරණ ප්‍රතිලාභ, ජීවිත රක්ෂණ ප්‍රතිලාභ... කියන මේ සියලු දීමනා සණස life 'දිවි ජය' රක්ෂණාවරණයෙන් ඔබට ලැබෙනවා. එය රක්ෂණාවරණයක් මෙන්ම ඔබ කරන ආයෝජනයක්.

අනෙකුත් රක්ෂණ සමාගම්වලින් සණස life වෙනස් වන්නේ කෙසේද ..

අප සෑම විටම රක්ෂණයක් අපේක්ෂා නොකරන අය වෙත රක්ෂණය රැගෙන යන සමාගමක්. ඒ පිරිස වගේම රක්ෂණය අපේක්ෂා කරන පිරිසටත් ගැළපෙන ආකාරයට නිර්මාණශීලී සැලසුම් ලබා දෙනවා. අපි අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වනවා. ඒ කියන්නේ සමිති අංශය, ඍජු ව්‍යාපාර අංශය සහ කෝපරේට් හෙවත් ආයතනික ව්‍යාපාර අංශය ලෙසින් මේ අංශ තුන යටතේ තම තමන් ගේ ආර්ථිකයට තත්ත්වයට ගැළපෙන ආකාරයට සැලසුම් ක්‍රම හඳුන්වා දීමයි අපගේ විශේෂත්වය.

සාමාන්‍යයෙන් ඉන්ෂුවරන්ස් කියන්නේ, ගෙවන්න පහසු වුණත් ආපසු ගන්න අමාරු දෙයක්. සණස life ඉන් වෙනස් වන්නේ කොහොම ද...

සණස සමිති නියාමනය සිදු වන්නේ සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ. සණස සමිති සදහා නායකත්වය දෙන්නේ ගමේම අය. ඒ නිසා මුදල් පිළිබඳ ඉතාම විනිවිද භාවයකින් ඔවුන් කටයුතු කරනවා. එහෙම බලන විට සණස life කියන්නෙත් ඔවුන්ගේ ම කොටසක්.

ඒ වගේම, එකල සෑම ගමකම අවදානම් කමිටු සහ අහේතුක විපත් කමිටු වැනි සමිති ක්‍රියාත්මක වුණා. සණස සමිති පවත්වාගෙන ආවේත් ඔවුන් සමඟ සහයෝගයෙන්. සණස සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටිනවා. නියෝජිතයා සිටිනවා. කමිටු තිබෙනවා. අවදානමට ලක් වූ කෙනා පිළිබඳ ඒ කමිටු හරහා ඉතා ඉක්මනින් ඔවුන්ට තොරතුරු ලැබෙනවා. ඊළඟට, සණස සමිතිය ඉක්මනින් ක්‍රියාත්මක වන නිසා නියෝජිතයා හරහා ඉතා ඉක්මනින් කරදරයට පත් කෙනා වෙත ප්‍රතිලාභ යවන්න අපට හැකි වනවා. ඒ කියන්නේ, අවශ්‍ය වෙලාවට සණස නියෝජිතයා එතැන. ගම තුළ උපරිම විශ්වාසය රැකෙන එකම රක්ෂණ ආයතනය බවට සණස life පත්ව තිබෙන්නේ මෙන්න මේ, එකට එක බැඳුණු ස්වභාවය නිසා.

මේ කරුණු අරභයා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා ලෙස ඔබේ වගකීම කුමක්ද...

ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති සණස සමිති 8,000ක් නියෝජනය කරන සාමාජිකයින් සහ සණස මරණා ධාර සමිති සියල්ල පවතින්නේ අප අංශය යටතේයි. ගමේ මරණාධාර සමිතිය කියන්නේ, විශාල වැඩ කොටසක් කරන්නට ලැබෙන අවස්ථාවක්. ඒ නිසා, ගමේ මරණාධාර සමිති සඳහා සුවිශේෂී වූ වැඩසටහන් ගණනාවක් අප හඳුන්වා දී තිබෙනවා. ක්‍රියාත්මක කරනවා. ඒ අනුව සියලුම සණස සමිති, සමූපකාර සමිති සහ මරණාධාර සමිතිවලට අවශ්‍ය රක්ෂණ අවශ්‍යතා සපයන්නේ අප දෙපාර්තමේන්තුවෙන්.

මෑතක දී හඳුන්වා දුන් කැපකරු රක්ෂණ ක්‍රමයක් පිළිබඳවත් ඔබ කීවා...

ඔව්. එහි එක් කොටසක් තමයි 'පින්සරු' වන්දනා සංකල්පය. සාමණේර ස්වාමීන් වහන්සේලා ගේ අධ්‍යාපනය සහ ඔවුන්ට රැකවරණය ලබා දෙන, අධ්‍යාපනයට ශක්තියක් වන වැඩසටහනක් මෙය. ඒ වගේම, ලංකාවේ සියලුම පිරිවෙන් සමග එක්ව කරන වැඩසටහනක්.

පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේලා ලංකාවේ 26,000කට වඩා සිටිනවා. අවශ්‍ය ඕනෑම අයෙකුට පුළුවන්, මෙම කැපකරු රක්ෂණාවරණයක් එම පිරිවෙන් අධ්‍යාපනය ලබන ඕනෑම හිමිනමක් වෙනුවෙන් ලබා ගන්න. එය, එක් දායකයකු එක් සාමණේර ස්වාමීන් වහන්සේ කෙනකු රැක බලාගන්නවා වැනි දෙයක්.

අනෙක් අතට, එක්තරා විදියක පින්කමක්. මේ ආකාරයෙන්, කිසිදු රක්ෂණ ආයතනයක් නොසිතන ආකාරයේ ආවරණ ලබා දෙන ක්‍රම අප හඳුන්වා දී තිබෙනවා.

ඒ වගේම, මේ වෙනකොට අපි ආරම්භ කර තිබෙනවා, මාසික වාරිකය එකවර දෙන්නට බැරි පුංචි ව්‍යාපාරිකයන් සඳහා විශේෂ වැඩසටහනක්. මේ යටතේ අපි ඔවුන්ගේ මාසික වාරිකය ඔවුන් වෙතට ගොස් දිනපතා එකතු කරනවා. උදාහරණයක් ලෙස, එය රුපියල් සියයක මුදලක් විය හැකියි. හැබැයි අවසානයේ මාසේ අන්තිමට ඔවුන්ටත් නොදැනීම වාරිකය ගෙවා අවසන්. සරල බව සහ ඉක්මනින් ගනුදෙනු කිරීමේ හැකියාව මේ තුළින් ලැබෙනවා. මොකද, සෑම ගමක් තුළ ම අපගේ නියෝජිතයකු සිටින නිසා. ඒ වගේම, රක්ෂණ ඒකකයක් තිබෙන නිසා.

'රක්ෂණයට වැඩි යමක්' කියන කාරණාව සාක්ෂාත් කරමින් රක්ෂිතයා ළඟට ම ගොස් ඔහුටත් නොදැනීම මෙසේ දිනපතා වාරික එකතු කිරීම තරමක් අසීරු කටයුත්තක් වූවත් අප එය කරනවා.

ගම තුළ ස්වයං රැකියා වැනි ආදායම් උත්පාදන මාර්ගවල යෙදෙන අය මේ සඳහා ඉතා හොඳින් සිය දායකත්වය දැන් ලබා දෙනවා. එය අපිට විශාල සතුටක්.

Comments