
අපගේ දියර පොහොර මිල දී ගැනීමට විමසන්න. 0770 104230
ගහක් ඵලවැල පුබුදන්නේ එහි අග්‍රඵලය ලෙසිනි. එය ශාකයක ශක්තියේ උපරිමය වන අතර, සිය පරපුර ඉදිරියට රැගෙන යන මහා ශක්ති කදම්භය ද වේ.
එනම්, ඒ උපරිම අග්‍ර ඵලය තුළ තවත් පරම්පරා ගණනාවක් ඉදිරියට තම වර්ගයා බෝ කිරීමට අවශ්‍ය එන්සයිම සහ හෝමෝන ඇතුළු සියලු ශක්තීන් අන්තර්ගත බැවින් එම එන්සයිම සහ හෝමෝන වෙන් කර ගත් විට ගහක් වැඩීමට අවශ්‍ය සාරවත් පොහොරක් නිෂ්පාදනය කර ගත හැකි බව ගාල්ලේ රජ්ගම බී. ලෝරන්ස් ද සිල්වා, සිය පර්යේෂණ තුළින් තහවුරු කර ගත්තේ මීට දශක දෙක තුනකට ඉහත දීය.
ඇල්බීසියා, වල් සූරියකාන්ත, බිං තඹුරු, කොහොඹ වැනි කොළ වර්ග ගණනාවකුත්, කසළ තේ ඇතුළු කහට වර්ගත්, කුරුඳු අළු ඇතුළු, අළු වර්ග කිහිපයකුත් සමඟ තවත් රහස් අමුද්‍රව්‍යයකුත් මිශ්‍ර කර ඉහත කී එන්සයිම සහ හෝමෝන ද ඇතුළත් කර 'ලෝරන්ස් ගේ දියර පොහොර' නිෂ්පාදනය කරන්නට ඔහු පෙළැඹුණේ මේ සැඟවුණු සත්‍යය වටහා ගත් නිසා ය.
" ඉබේ වැවෙන ගහක මල් කොළ දලු හට ගන්නේ කවුරුවත් පොහොර දාලා නෙවෙයි. මේ සොබා දහමේ ක්‍රියාවලියක්. ගහකින් හට ගන්නා ඵලයක් තුළ ඊළඟ පරම්පරාව බෝ කිරීමට අවශ්‍ය සියලු ශක්තීන් ඇතුළත්. ගහේ වැඩීමට අවශ්‍ය එන්සයිම හෝමෝන සියල්ලත් එහි ඇතුළත්. පර්යේෂණාගාරයක දී එම එන්සයිම සහ හෝමෝන විශ්ලේෂණය කර ජාන වෙන් කර ගත්තොත්, ගහේ වර්ධනයට අවශ්‍ය සංඝටක තෝරා වෙන් කරගන්න පුළුවන් කියන එක මට හැම වෙලාවෙම හිතුණා. එම වර්ධක ද්‍රව්‍ය මං හැදූ දියර පොහොරවලට එක් කළා.
මං වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක්. 70 ගණන්වල ජේවීපී කළ බව පවසා මගේ රැකියාව අහිමි වුණා. ඊට පස්සේ මම තේ කොළ ව්‍යාපාරයක් කළා. තේ කොළ බිස්නස් එකේ දී, ඉවත් කරන තේ කොළ මම බිලිං ගහක් යටට දිනපතා හැලුවා. කාලයක් යද්දී බිලිං ගහ කහ පාට වෙලා මැරිලා ගියා. මම ඒ දිරච්ච ද්‍රව්‍ය තව කාලයක් එහෙම ම තියෙන්න ඇරලා ඒ කොටස් අරගෙන තක්කාලි, මිරිස් ඇතුළු එළවළු පාත්ති ටිකක් හැදුවා. හොඳ අස්වැන්නක් ලැබුණා. ඒ අස්වැන්නෙන් පස්සේ මට ආසා හිතුණා, වගාව සහ පොහොර පිළිබඳව යමක් කරන්න. ඒ කාලේ මං හුඟක් පොතපත කියෙව්වා. මට ලැබුණා, ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබඳ ලියැවුණු පරණම පොතක්.
පස සහ පොහොර පිළිබඳ ලියැවුණු ඒ පොතේ පස හැදෙන හැටි, පසේ ලවණ වර්ග, ඛනිජ වර්ග, පී.එච්. අගය හැදෙන හැටි ඇතුළු විශාල තොරතුරු ගණනාවක් ඇතුළත් වුණා. ඒ පොත කියෙව්වට පස්සේ මට පස සහ පොහොර පිළිබඳ ලොකු අවබෝධයක් ලැබුණා. මම කාබනික පොහොර වට්ටෝරුවක් හැදුවා. කසළ තේ කොළවල එන්.පී.කේ. අගය තිබෙන බවත්, මැග්නීසියම් සහ පොටෝ කැල්සියම් අවශ්‍යතාව සපුරාගන්න ඩොලමයිට් අවශ්‍ය බවත්, පොස්පරස් සහ අමතර කැල්සියම් සඳහා ගෙරි කටු යොදා ගත හැකි බවත් දැනගෙන මම වැඩේට අතගැහුවා. කුරුඳු යොදා ගත්තේ දිලීර නාශකයක් විදියට. ඇත්තටම මේ පොහොර වර්ගය ඉතාම සාර්ථක වුණා.
නමුත් ඒ, රසායනික පොහොර ලංකාවේ රජ වෙලා තිබූ යුගය. කාබනික පොහොරවලට තැනක් තිබුණේ ම නැති තරම්. ඒ නිසා, මගේ මේ කාබනික පොහොර ව්‍යාපාරය ගොඩක් ඉදිරියට කරගෙන යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අන්තිමේ මං හිත හදා ගෙන ඒ පොහොර වට්ටෝරුව රත්මලානේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට විකිණුවා. ඒත් කාබනික පොහොර හදන්න තිබුණු ආසාව හිතෙන් ගියේ නැහැ.
මං දියර පොහොර නිෂ්පාදනයට අත ගැහුවේ 2000 දශකයේ. ගස්වල පොතු කොළ අරන් වංගෙඩියේ දාලා කොටලා ඉස්ම ගත්තා. මම ම අත්හදා බැලූ සංඝටක සමඟ මිශ්‍ර කර, ඒවා බෝතල්වල දමා ගේ පිටුපස්සේ දින සති ගණන් පැහෙන්න තැබුවා. එක එක බෝතල්වල දැමූ දියර වර්ග ගණනාවක්. සමහර බෝතල් ඇතුළේ ගෑස් හැදිලා පිපිරිලාත් ගියා. සමහර ඒවායෙන් දුගඳක් හැමුවා. අපේ ළමයි පවා ඒවා ගඳ බව කිව්වා. නමුත් මම වැඩේ අත්හැරියේ නැහැ. පත පොත කියවලා ලබපු දැනුම සහ අත්දැකීම් නිසා මට ඕනෙ වුණා මේක කොහොමහරි සාර්ථක කර ගන්න. මම ඒක කළා.
අපේ දියර පොහොරවල විශේෂත්වය තමයි, අප යොදා ගන්නා එක අමුද්‍රව්‍යයක් නිසා, වර්ධක හෝමෝන අවශ්‍ය පමණට ගහට උරා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබෙනවා. ඒ සඳහා තමයි අපිට පේටන්ට් බලපත්‍රය තිබෙන්නේ.
අනික තමයි, අප යොදන ඒ එන්සයිම සහ හෝමෝන ගහට උරා ගැනීමේ හැකියාව වැඩි පුරම තිබෙන්නේ පත්‍රවලින්. මුල්වලිනුත් පුළුවන් වුණාට අපේ දියර පොහොර හදා තිබෙන්නේ විශේෂයෙන් පත්‍රවලින් උරා ගන්නා ආකාරයට. ඒ නිසා අපේ දියර පොහොර පත්‍රවලට ගැහුවට පස්සේ පොහොර අපතේ යන ප්‍රමාණයත් ඉතාම අඩුයි. මොකද, පැය බාගෙකටත් අඩු කාලයක දී එහි ගුණය පත්‍රවලට උරා ගන්නවා.
කිසිදු වස විසක් නැති මේ කාබනික දියර පොහොර ගඳයි කියා කෙනකුට හිතුණත් ගුණයෙන් ඉහළයි. ඒ සැර ගතිය නිසා වගා හානි කරන කෘමි සතුන් එන්නේත් නැහැ. මොකද, කොහොඹ පල් කළාම එන්නේ ඉතාමත් සැර ගඳක්. එළවළු පලතුරු පල් කළත් ඒ වගේම සැර ගඳක් එනවා. නමුත් මේවායෙන් ගහට ලැබෙන පෝෂණය සහ ගුණාත්මක බව ඉතා ඉහළයි.
අපේ දියර පොහොර වී ගොවිතැනේ දී යොදන්න ඕනේ, බණ්ඩි ගොයම ලෙස පීදෙන්න කලිනුයි. ඒ කියන්නේ දවස් හතළිස් දෙකෙන් පොහොර ගහන්න ඕනේ. ඒක තමයි බණ්ඩියට කලින් අවධිය. ඒ වෙලාවේ ගැහුවාම ගොයම් ගහ පීදෙන්න කලින් පෝෂණය ලැබෙනවා. ඒ වගේම පොහොරවල තිබෙන සැර දුර්ගන්ධයට යුෂ උර බොන කෘමීන් එන්නෙත් නැහැ. ඒ කියන්නේ, කෘමි විකර්ශකයක් ලෙසත් මේ දියර පොහොර ක්‍රියාත්මක වනවා.
දෙවැනි වර පොහොර ගහන්න ඕනේ බණ්ඩිය කිට්ටු කරලා. එවිට වී ඇට හොඳින් පිරිලා හැදෙනවා. වීවල හොඳ බරක් තිබෙනවා. ඒ කියන්නේ ගහට අවශ්‍ය ශක්තිය හොඳින් ලැබුණා ම ගහ උපරිම ඵලය දෙනවා.
එළවළු සහ වීවලට එක් වර්ගයකුත් බුලත් සහ පළා සඳහා තවත් වර්ගයකුත් ලෙස, දියර පොහොර දෙවර්ගයක් අප නිෂ්පාදනය කරනවා. එළවළුවලත් ගහ හැදීගෙන එන විට තමයි දියර පොහොර ඉසින්නට ඕනේ. අතු ඉති විහිදිලා ගහේ වර්ධනය හොඳින් වනවා. දෙවැනි වතාවට ගහන්න ඕනේ මල් පීදීගෙන එන විටයි. හැබැයි ඒ අතරට කෘෂිරසායන හෝ රසායනික පොහොර කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ.
විශේෂයෙන් කියන්න ඕනේ, මේ දියර පොහොරවලින් කීර කොටුවලට අවශ්‍ය පෝෂණය දෙනවා නම්, අනවශ්‍ය බැරලෝහ මනුෂ්‍ය ශරීරයට යන්නේ නැහැ. මැල්ලුමට ගන්නා පළා කොළවලට විශාල වශයෙන් රසායනික පොහොර ඉසින විටයි, මේ බැර ලෝහ ශරීර ගතවී වකුගඩු ප්‍රශ්න එන්නේ. අද නම් විස නැති පළා කොළ ටිකක් දරුවකුට දෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා ද... අක්කර ගණන් රසායනික පොහොර දමලා, ඒ කොළවලින් මැල්ලුම් ටිකක් හදලා දුන්නොත් පොඩි දරුවාටත් බැර ලෝහ ශරීර ගත වනවා. මොන තරම් අපරාධයක් ද.
සාමාන්‍යයෙන් අපේ මේ දියර පොහොර, අක්කරයකට ලීටර තුනක් සෑහෙනවා. ගොවීන් මේක නොකරන්නේ එය ටිකක් මහන්සි වී කරන්න ඕනේ දෙයක් නිසා. ඔවුන් කැමති නැහැ, කරදරකාරී වැඩවලට. මොකද යූරියා නම් ඕනෑ තරමක් ලේසියෙන් අතින් ඉහින්න පුළුවන්. සති දෙකෙන් දෙකට කොළ කඩන්න ත් පුළුවන්.
නමුත් කාබනික දියර පොහොර බෝතලය අරන් හොඳින් හොල්ලලා ටැංකියට දමා ඉහින එක එකත් ටිකක් වෙලා යන වැඩක්. ස්ප්‍රේ කරන්න වෙනම ශ්‍රමයක් මහන්සියක් වැය වනවා. සති දෙකෙන් දෙකට එසේ කළ යුතුයි. ඔය සියල්ල නිසා ගොවීන් ඒක කරන්න කැමැති නැහැ. ඉක්මනින් ලේසියෙන් මුදල් හෙව්වත් මනුෂ්‍ය ශරීරයට බර ලෝහ යනවා නම් ඇති ඵලය කුමක්ද. මේ තරම් හොඳ දියර පොහොරක් හදා තිබියදී කීර කොටු වවන අයත් ඒ ගැන පොඩ්ඩක් හිතන්නට ඕනේ.
මේ රටේ කීදෙනෙක් රසායනික පොහොර නිසා වකුගඩු රෝගවලින් දුක් විඳිනව ද. මට ඕනේ මේ රටේ මිනිස්සු වස විස කාලා ලෙඩ වෙන එක නවත්වන්න.
ලෝරන්ස්ගේ දියර පොහොරවල අනෙක් විශේෂත්වය තමයි අපිට පේටන්ට් බලපත්‍රයක්, රෙකමදාරුව සහ නිර්දේශය සමඟ ලයිසන් එකත් තිබෙනවා. කාබනික පොහොර නිෂ්පාදන ආයතනයකට මේ තුනම හිමි වන්නේ කලාතුරකින්. අපි මේ සුදුසුකම් තුනෙන් ම සම්පූර්ණ වූ කාබනික පොහොර සමාගමක්.
අපි මෙවර රජයේ පොහොර සහනාධාරයට දියර පොහොර ලීටර් ලක්ෂයක් ලෑස්ති කළා. රජය මේ වෙලාවේ එම තීන්දුව වෙනස් කළොත්, අපිට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මොකද, මේ දියර පොහොර හදන්න සෑහෙන අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හොයා ගන්න ඕනේ. කොළ වර්ග හොයාගෙන මැෂින්වලින් මිරිකලා ඉස්ම ගන්න ඕනේ. ඒවා පල්වෙන්න තබන්නට ඕනේ. ඊළඟට සංඝටක මිශ්‍රකර දියර පොහොර හදන්න ඕනේ.
සාමන්‍යයෙන් ලීටර ලක්ෂයක් හදන්න දිග කාලයක් යනවා. හුඟක් මහන්සි වෙන්න වෙනවා. ශ්‍රමයට ගෙවන්න වෙනවා. එහෙම හැදූ දියර පොහොර ලීටර ලක්ෂයක් තියාගෙන අපි මොනවා කරන්න ද... රජය නොගත්තොත් අපි වගේ නිෂ්පාදකයෝ හැමෝම විශාල ගැටලුවකට මුහුණ පානවා. ඒ විතරක් නෙවෙයි, අවුරුදු දෙක තුනක් දැන් මේ කරගෙන ආ මහපොළොව සුවපත් කරන සද්කාර්යයත් යළි ආ පස්සට යනවා.
ඒ වගේම, අපේ දියර පොහොර කර්මාන්තය හරහා මේ වන විට යැපුම් ජාලයක් හැදී තිබෙනවා. කොළ අතු ගෙනැවිත් දී කීයක් හෝ හොයා ගන්නා පවුල් මේ අවට සිටිනවා. මේ විදියට ගියොත් අපි ගමට හදපු ආර්ථිකය එහෙම පිටින්ම කඩා වැටෙනවා. පවුල් විස්සකට වඩා අපේ දියර පොහොර කර්මාන්තයත් එක්ක බැඳී හිඳිනවා.
අපි ගෙවුණු කන්න පහට දියර පොහොර ලීටර් ලක්ෂ පහක් හයක් ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට සපයා තිබෙනවා. ඔවුන් හොඳ අස්වනු ලැබුවා.
මම කියන්නේ ගොවීන් අතට යන්න ඕනේ හරි දේ. හොඳම දේ. නැත්නම් රජයේ උත්සාහය වත්, සැබෑ කාබනික පොහොරවල ශක්තිය හෝ මහා ගුණයවත් මහ පොළොවට ලැබෙන්නේ නැහැ.
වසංගතය කාලයේ මිනිස්සු ටික ටික හරි ගෙවල්වල වවා ගත්තා. මිනිස්සු වෙනස් වෙන්න නම්, රසායනික පොහොරවලින් තමන් ගේ දරුවන්ගේ ජීවිත පවා කෙටි වෙනවා කියන බය දැනෙන්න ඕනේ. ඒ බය එක්ක, හරි වැටහීමක් තිබෙන්නට ඕනේ. ඒ දේ වටහා ගත් කෙනා තමයි ඉතාම කැමැත්තෙන් කාබනික පොහොර යොදන්නේ.
අනික රටක් හැටියට අපි යැපුම් ආර්ථිකයෙන් වෙනස් වෙන්න ඕනේ. නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ. අපි පොහොර ටික නිවැරැදිව හදනවා නම්, ගොවියෝ එය අවබෝධයෙන් යොදනවා නම්, රටේ කෘෂි ආර්ථිකය මීට වඩා ශක්තිමත් වනවා.
මොකද, අපි ගොඩ නැඟුණේ හෙමි හෙමින්. ඒ කාලේ අපිට බැංකුවකින් ණයක් වත් දුන්නේ නැහැ. හදපු පොහොර ටික කඩයක් කඩයක් ගානේ ගිහින් හඳුන්වා දීලයි අලෙවි කළේ. හොඳ දේ සමාජගත කරන්න අමාරුයි. නමුත් අපි ඒ දේ කළා. එය ඉදිරියට පවතින්න නම් අලුත් පරම්පරාවේ ගොවීන් තුළත් ආකල්පමය වෙනසක් තිබිය යුතුයි.
ඉක්මනින් වගාව කරලා සල්ලි ටිකක් අතට ගන්නවා ද? නැත්නම් වස විස නැති බත් ටිකක්, එළවළුවක් වවා රටට දෙනවා ද... කියන එක ගැන ඔවුන් සිතිය යුතු කාලය එළැඹිලා.
කහ පාට වෙලා තිබෙන ගොයම් ගහට අපේ දියර පොහොර ගැහුවොත් අනිවාර්යෙන් ම ගොයම කොළ පැහැයට හැරෙනවා. කොළ කොඩ වෙච්ච මිරිස් ගහකට ගැහුවොත් අනිවාර්යෙන්ම කොළ ටික නිරෝගීව හැදෙන්න ගන්නවා. කොළවලට එන ඕනෑම ලෙඩක් අපගේ දියර පොහොර නිසා සනීප වෙනවා.
අපි මේක මිශ්‍ර කරන්න කියන්නේ දියර පොහොර එකට අටේ පරිමාවට. ඒ කියන්නේ, දියර පොහොර ලීටරයකට වතුර ලීටර අටක්. එවිට පොහොර ලීටරයක් අක්කර කාලකට හොඳින් සෑහෙනවා. ගෙවතු වගා සඳහා අපි ලීටරයේ කුඩා බෝතල් සකසා තිබෙනවා.
තේවලට හදා තිබෙන විශේෂ පොහොරවලින් දලුවල බර හොඳින් හැදෙනවා. මේ පොහොර භාවිත කලාට පසු තේ අස්වනු නෙළන විට ඒ වෙනස ඉතා හොඳින් පැහැදිලි වනවා.
වී, තේ, බඩඉරිඟු සහ එළවළු ඇතුළු විසිතුරු පැළ සඳහා මේ පොහොර ගහලා විනාඩි විස්සක් ඇතුළත පත්‍ර වලට උරා ගෙන ඉවරයි. ඒ නිසා වර්ෂාවක් ආවත් කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඉර අව්ව අඩු උදේ හෝ හවස තමයි අපගේ මේ දියර පොහොර ඉසින්නට ඕනේ.
අපේ කර්මාන්ත ආයතනය යි, ෆාම් එකයි දෙකම තිබෙන්නේ ගාල්ලේ රජ්ගම. අපි හැමදේම මුලින්ම කළේ අපේ ගෙදර. බොහොම සීමා සහිත තැනක්. ඉඩ කඩ මදියි. නමුත් දැන් අපිට අක්කර තුනක භූමිභාගයක් තිබෙනවා.
අපේ අක්කර තුනක මේ විශාල භූමිය තුළ වර්ග අඩි 1200 x 2 ක පොලිටනල් දෙකක් ද තිබෙනවා. ඒවායේ බෙල් පෙපර්, මාළුමිරිස් සහ නයි මිරිස් වගා කෙරෙනවා. මේ වන විට මේ ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 90ක් අපි යට කර තිබෙනවා.
ඒ වගේම, අපගේ ගොවිපොළේ දවසකට පැකට් 300 ක් නිෂ්පාදනය වන american oyster සහ මාකඳුර බයිට් කියන හතු වගාවක් ද කෙරෙනවා. ඊට අමතරව වැටකොළු පතෝල, ගෝවා, වම්බටු වැනි එළවළු ගණනාවක් අපගේ ම කාබනික ඝන පොහොර සහ කාබනික දියර පොහොර යොදා ගෙන අප වවනවා. අපේ අවශ්‍යතාවට පමණක් අප කාබනික ඝන පොහොර හදා ගන්නේ අපේ දියර පොහොර හදා ඉතිරි වන ද්‍රව්‍යවලින්.
අපිට මේ තැනට එන්න ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චන්දන ලොකුහේවගේ මහත්මයා සහ මාකඳුර ගොවි පර්යේෂණ ආයතනයේ ප්‍රියංකා මහත්මිය බොහෝ ධෛර්යය දුන්නා. අද අපි ආවාට වඩා දුරක් ඉදිරියට යාමයි අපගේ අරමුණ.
මට දැන් වයස හැත්තෑ හයක්. මගේ සියලු සොයා ගැනීම් සහ අපගේ දියර පොහොරවල ගුණාත්මක බව ඊළඟ පරම්පරාවට ගෙන යන්න මගේ පුතා නිශාන් ද සිල්වා මේ කර්මාන්තය තුළ ඇප කැප වී වැඩ කරනවා. ඒ ගැන මට තිබෙන්නේ විශාල සතුටක්..."