එදත් බූරුවා අදත් බූරුවා නාට්‍ය සමඟින් වේදිකාවට එන අනුර මාපිටිගම | සිළුමිණ

එදත් බූරුවා අදත් බූරුවා නාට්‍ය සමඟින් වේදිකාවට එන අනුර මාපිටිගම

රංගන ශිල්පියෙකුට පාසල් වේදිකාව කියන්නෙත් සුවිශේෂී ස්ථානයක්. එයට හේතුව ඔවුන් පළමු පියවර අරඹන්නේ පාසල් වේදිකාව මතින් නිසා. අනුර මාපිටිගම කියන සොඳුරු නාට්‍යවේදියාව නිර්මාණය කරන්නෙත් ඔහුගෙ පාසල් වේදිකාව විසින්මයි. ක්ෂේත්‍රයේ වසර 45ට එහා ගිය අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන අනුර මාපිටිගම නම් වූ සෞන්දර්යවේදියා හරි අපූරුවට ජීවන චරිත හා සිද්ධි වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරනවා.

ඔබ වේදිකාවෙන් මතු වූ රංගන ශිල්පියෙක් .. ඒ අතීතය ගැන සිහිපත් කළොත්?

1985 අවුරුද්දේ පාසල් නාට්‍ය හරහා වේදිකාවට පිවිසුණත්, ඊට පෙර ටවර් හෝල් නාට්‍යවල ළමා චරිත නිරූපණය කරන්න ලැබී තියෙනවා. ධර්මාශෝක, ශ්‍රී වික්‍රම, විදුර, මකුළු දැලක් වගේ නාට්‍යවලත් රංගනයෙන් දායක වෙන්න ලැබුණා. අනතුරුව අනුර වරාගොඩගේ ධර්මිෂ්ඨලා, විජිත් අල්විස්ගේ දුම්මල වරම, සිල්ගත් කොක්කු, සුනිල් වීරසිංහගේ පැන්ෂන් මහත්තයා ආදී නාට්‍ය ඉන් කිහිපයක්.

මේ සම්බන්ධව මට ආභාසය ලැබුණේ අපේ පවුල් පසුබිම තුළින්මයි. විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රයේ නමක් දිනා සිටි චන්ද්‍රරත්න මාපිටිගම කියන්නේ මගේ ලොකු අයියා. රවින්ද්‍ර මාපිටිගම, කියන්නෙ මගෙ තවත් සහෝදරයෙක්. ඒ වගේම සෙනරත් මාපිටිගම අනෙත් සහෝදරයා මේ සේරම අපේ පවුලේ සාමාජිකයන් වීම මට විශාල ශක්තියක්.

වේදිකාවට ගෙනා ඔබේම නිර්මාණ මොනවාද?

මම මුලින්ම රචනා කර නිෂ්පාදනය කරන්නෙ ‘පරපෝෂිතයා‘ කියන නාට්‍යය. මේ වෙද්දි ඒ නාට්‍යය ලංකාවේ හැම පළාතකම වගේ ප්‍රදර්ශනය කළා. අවුරුදු 35ක් කාලයක් පුරා ඩෙංගු රෝගය සඳහා පාසල් ළමුන් දැනුම්වත් කිරීම තමා මෙම නාට්‍යයේ ප්‍රධාන අරමුණ වුණේ.

මගේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය අතර, බ්‍රොයිලර්ස්ලා, රොබෝ පැංචා, ස්ටෙලා, ආදී නාට්‍ය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පෙර පාසල් දරුවන් සඳහා “සුටි සහ නෝටි” කළා. ඒ වගේම “වේදිකාවෙන් මහ පොළොවට” නාට්‍ය ඇගැයීමකට ලක් වුණා. මගේ අලුත්ම නාට්‍යය මැයි 21 ටවර් රඟහලේදී ප්‍රදර්ශනය කරන්න නියමිතයි. ඒ “එදත් බූරුවා අදත් බූරුවා“ නාට්‍යය.

රංගනයේ යෙදෙන විට වේදිකාවේ අමතක නොවන සිදු වීමක් තියෙනවද?

“වේදිකාවෙන් මහපොළොවට” නාට්‍ය කරන කාලයේ මගේ කොන්ද පණ නැති වුණා. මගෙ අසනීපය හේතුවෙන් නිරූපණය කළ චරිතය ඉවත් කර ඒ වෙනුවට ආබාධිත පුද්ගලයෙකු විදිහට චරිතය වෙනස් කර එකතු කළා. ඒ වගේම උපුල් වීරසිංහගේ වේදිකා නාට්‍යයකදී මට ප්‍රධාන චරිතය කරන්න ලැබුණා. ඒ දවසෙදි මගෙ අම්මා සිය දිවියෙන් සමුගන්නවා. නමුත් අතිවිශාල ප්‍රේක්ෂකාගාර අපව බලාපොරොත්තුවෙන් ඉදිද්දි මට රංගනය අත හරින්න පුළුවන් වුණේ නෑ. අවස්ථාවේ හැටියට දුක සඟවාගෙන එහි හා‍ෙස්‍යාත්පාදන චරිතය රඟපෑවා. හිතට එකඟව නොවුණත්, වෘත්තියක් හැටියට එවන් අවස්ථාවන් මඟ හරින්න පුළුවන් කමක් අපට නැහැ. එය මගේ ජීවිතයේ කිසි දිනක අමතක නොවන සිදු වීමක් වගේම ලොකු අභියෝගයක් වුණු මොහොතක්.

ඔබ සිනමා නළුවෙක් ලෙසත් විවිධ චරිත නිරූපණය කර තිබෙනවා නේද?

මම මේ වන විට චිත්‍රපට පහක පමණ රංගනයෙන් දායක වී තියෙනවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෝරිල්ලා සහ කළු කුකුල් පැටියා නිර්මාණය කළා. “දෙමිට්ටෝ” නමින් ළමා කතන්දර පොතක් ද ලියා පළකර තිබෙනවා. මූර්ති, කැටයම්, මපට් වගේ නිර්මාණ මේ සියල්ල මට සහජයෙන් උරුම වු හැකියාවන් මේ සඳහා මට කිසිම ගුරුවරයෙක් නම් නැහැ. මගේ නාට්‍යවල අංග රචනය, පසුතල නිර්මාණය පවා කරන්නෙ මා විසින්මයි.

මා නිර්මාණය කළ ටෙලි නාට්‍ය 02ක් ජාතික රූපවාහිනිය විකාශය කළා. එකක් “පුංචි තොටියා” අනෙක රිද්මයේ “අඬහැරය” මීට අමතරව යූ ටියුබ් චැනල් එකක් කරනවා. එකේ නම (ලැන්ගා) කොමඩි ගණයට අයත් එකක්. ගීත නිර්මාණත් 20 කට වඩා රචනා කරන්න ලැබුණා.

පවුලෙ විස්තර කොහොමද? උපන් ගම පළාත හා ඔබේ තොරතුරු?

මගේ උපන්ගම වැල්ලම්පිටිය, කොටිවල පාසල් ගියේ සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයට. මම විවාහකයි. මගෙ බිරිය ස්වර්ණලතා මාපිටිගම. ඇය තමයි මගෙ සාර්ථකත්වය පිටුපස සිටින දක්ෂ ගැහැනිය. නාට්‍යයට අදාළ පසුතල හා ඇඳුම් නිර්මාණය වෙන්නෙත් ඈ අතින්.

මට ඉන්නෙ පුතාලා දෙන්නෙක්. දෙදෙනාම විදෙස්ගතව ඉගෙනුම බලනවා. මා කලා කටයුතුවලට අමතරව නිමි ඇඳුම් ව්‍යාපාරයක නිරතවෙලා ඉන්නවා. බිරිය ස්වර්ණලතා ඒ සඳහා මට බොහෝ උදවු කරනවා.

මම නාට්‍ය ඉගෙන ගත්තේ ආචාර්ය සොලමන් පොන්සේකා ගුරු පියාගෙන්. ඒ නිසා විවිධ ආකෘතීන් හරහා නව නිර්මාණ කරන්න මට හරිම පහසුයි. මේ වෙනකොට නාට්‍ය 60ක නිෂ්පාදන කටයුතු සිදු කර තිබෙනවා. වසර 45ක් පුරා මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නෙ කලාවට ඇති ආශාවත් ආදරයත් නිසා.

සමන්ති මිරියගල්ල

Comments