බබාට නමක් තියද්දී | සිළුමිණ

බබාට නමක් තියද්දී

ශබ්ද ශාස්ත්‍රය සිද්ධාන්තය සහ නමේ අර්ථය අවශ්‍යමයි

සමහරුන්ගේ කැමැත්ත අලංකාර ශබ්දවලට පමණයි

දෙවියන්ට කියන නම්වලට සමාන නම් බබාලාට තැබීම හොඳ නෑ

දරුවකුට නමක් තැබීමේ දී ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කරුණු දෙකක් ඇත. එකක් නම් නාමකරණයට අදාළ වූ ශබ්ද ශාස්ත්‍රීය සිද්ධාන්ත යි. අනෙක නමෙහි අර්ථාන්විත භාවය යි. ඇතැමුන් අලංකාර ශබ්ද කෙරෙහි පමණක් සැලකිල්ල දක්වන නමුදු බුද්ධිමත්ව නම් තබන බොහෝ දෙනා නමෙහි අරුත ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙති.

එසේ සිය දරුවා ගේ නමෙහි ගැබ් විය යුතු විශේෂ අර්ථ ලෙස වැඩි දෙනකු සලකන්නේ බුද්ධිමත් භාවය, ප්‍රඥාවන්ත භාවය ආදිය යි. තවත් ඇතැම්හු ශක්තිය, බලය, ධෛර්යය වැනි ගුණාංගයන් ගැන කියැවෙන නම්වලට වඩාත් රුචි කරති. ඒ අතර මනුෂ්‍යත්වය ඉක්මවන, දෙවියන් හා සම්බන්ධ වූ දේවත්වය ගැන කියැවෙන නමක් දරුවාට තබන්නට අපේක්ෂා කරන සුළු පිරිසක් ද වෙති.

අප රටේ වැඩි දෙනකු ගේ අදහස වන්නේ දෙවියන් හා සම්බන්ධ නම් තම දරුවාට තැබීම යෝග්‍ය නොවන බව යි. එය දෙවියන් හා සමාන වීමට කරන වෑයමක් බව ද එයින් යම් හානියක්, උපද්‍රවයක් සිදු විය හැකි බව ද ඔවුන් සිතන අයුරු පෙනෙන්නට ඇත.

එහෙත් බොහෝ දෙනෙක් නොදැනුම්වත්ව ම මෙන් දෙවියන් හා සම්බන්ධ නම් භාවිත කරති. නිදසුනක් ලෙස ගතහොත් සමාජයේ ඉතා ප්‍රකට නාමයක් වන මාධව යනු විෂ්ණු දෙවියන් හඳුන්වන නමෙකි. එසේ ම ශ්‍රීපති, ශ්‍රීනාත්, උවිඳු, උපේන්ද්‍ර, කේශව, ගොවිඳු ආදි අද සමාජයේ දක්නා ලැබෙන නම් විෂ්ණු දෙවියන් ගේ අන්වර්ථ නාම වේ. කාන්තාවන් සඳහා යෙදෙන කමලා, කමලිනී, පද්මා, පද්මිනී ආදිය ද ලක්ෂ්මි දේවිය (විෂ්ණු භාර්යාව) ගේ අන්වර්ථ නාම යි.

හිරුට සබැඳි නම් තැබීමට ද ඇතැමුන් පසුබට වන බව දක්නා ලැබේ. එහෙත් සමාජයේ බහුලව යෙදෙන දිනිඳු, දිනිසුරු, බාසුර, දිනපති, දිනේන්ද්‍ර ආදි බොහෝ වචන සූර්යවාචී (හිරුට සමාන) පද වේ.

හින්දු සංස්කෘතියෙහි දී නම් දෙවියන් හා සම්බන්ධ නම් තැබීමට ජනයා අතිශයින් පෙලඹී ඇති බවක් පෙනේ. භාරතීය සමාජයෙහි බහුතර පුද්ගල නාම දෙවියන් හා කවර හෝ සම්බන්ධයක් ඇති නම් බව පෙනේ. මෙරට වුවද ද්‍රවිඩ හින්දු ජනතාව අතර බහුතරයක් නම් දෙවියන් ගැන කියැවෙන නම් වේ. උදාහරණ ලෙස සෙල්වම්, මුරුගන්, ලක්ෂ්මී, ලෙච්චමී, සිවදාසන් ආදිය දැක්විය හැකියි. මෙහි දී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් නම්, නාමකරණය පිළිබඳ මූල ග්‍රන්ථවල නාමකරණ සිද්ධාන්ත ගැන විනා නමෙහි අරුත කුමක් විය යුතු ද යන්න ගැන සඳහන් නොවන බව යි.

යට කියන ලද පරිදි දෙවියන් හා හිරු ආදි අරුත් හි යෙදෙන නම් පිළිබඳව ඇති සමාජීය මත නාමකරණය පිළිබඳ මූල ග්‍රන්ථවල සඳහන් අදහස් පදනම් කොට ගෙන ගොඩ නැඟුණු මත නොවන බව සැලකිය යුතුය.

සමන්ති අහුබුදු

Comments