නිවසේ වාස්තු බලගන්වන අන්තරීක්ෂ ශක්තියේ මහිමය | සිළුමිණ

නිවසේ වාස්තු බලගන්වන අන්තරීක්ෂ ශක්තියේ මහිමය

සිසු දරුවන්ට ඊසානය, උතුර හා නැඟෙනහිර  දෙස බලා පාඩම් කටයුතු කිරීම සුබදායකයි

නිවෙසේ නිවැරැදි වාස්තු පිහිටීම් බලගන්වන අන්තරීක්ෂ ශක්තියේ (COSMIC ENERGY) උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට ගෙදරදොරේ ඊසාන දිශාවට මුළුතැන්ගෙය, වැසිකිළිය, ප්‍රධාන නිදන කාමරය, ගරාජය, පඩිපෙළ මෙන්ම එතරම් භාවිතයට නොගන්නා ගබඩා කාමර ද නොපිහිට විය යුතු බව නවීන වාස්තු විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් තහවුරු වී තිබේ.

සාම්ප්‍රදායික වාස්තු විග්‍රහය මෙසේ වෙතත් අන්තරීක්ෂ ශක්තිය (COSMIC ENERGY) සාපේක්ෂ වශයෙන් ඊශාන දිශාවෙන් ගලා එන බව සැලකීමේදී ඊශාන දිශාව පමණක් නොව නැඟෙනහිර හා උතුරු දිශාවන් ද මුළුතැන්ගෙය ආදී ඉහත දක්වා ඇති ගෘහ අංගයන් පිහිටුවීම සිදු නොකිරීමට වග බලා ගත යුතුව තිබේ. එයට හේතුව වන්නේ පෙර කී අන්තරීක්ෂ ශක්තියෙන් සැලකිය යුුතු ප්‍රමාණයේ සංරචකයන් උතුරෙන් හා නැඟෙනහිරෙන් ක්‍රියා කරන බැවිනි.

වර්තමානයේ අධ්‍යාපන කාර්යයේ පවත්නා තරගකාරිත්වය නිසා සිසු සිසුවියන්ගේ එදිනෙදා කටයුතු බරපතළ ලෙස සීමා කර ගැනීමට සිදු වී තිබේ. නෑ හිතවතුන් හමු වීම තබා පන්සලකට, දේවස්ථානයකට යෑම පවා සිදු නොවන තත්ත්වයකට ඔවුන්ගේ ජීවිත සංකීර්ණ වෙමින් පවතී. දිනකට පාඩම් කරනු ලබන පැය ගණන වැඩි කිරීම විභාගය සමත්වීමේ එකම නිර්ණායකය බවට පත්ව ඇති බව ද පෙනෙන්නට තිබේ. දකින දකින තැන අධ්‍යයන කාමරයේ බිත්තිවල පවා දක්නට ලැබෙන්නේ විවිධ විෂයයන්ගේ මතක තබා ගත යුතු දේ දැක්වෙන සටහන් බවට පත්ව තිබේ.

එසේ වුවත් මේ තත්ත්වයට කිසියම් අයුරක තුලනයක් කර ගැනීමට අවශ්‍ය වන බව බොහෝ විභාග ප්‍රතිඵල අත්දැකීම්වලින් අපට අවබෝධ කර ගත හැකියි. මෙයට අදාළ වාස්තුමය බලපෑම විග්‍රහ කොට ගැනීම මෙහිදී අතිශයින් වැදගත් යැයි හැඟෙනුයේ මෙබඳු පසුබිමකය.

වාස්තු න්‍යායයන් අධ්‍යාපනය කෙරෙහි කවර අයුරකින් බලපාන්නේ ද යන්න පළමු කොටම අපගේ අවධානයට ලක් කොට ගත යුතුව තිබේ. මේ අනුව සාම්ප්‍රදායික ඊශානය දෙස බලා අධ්‍යාපන කටයුතු සිදු කිරීම උචිතම වන බව දැක්වේ. එසේම මෙහිදී ඊශාන දිශාවට කිසිඳු වාස්තු දෝෂයක් නොපවතින අයුරින් නිවාස සකසා ගැනීම ද අතිශයින් වැදගත් වන බව සැලකිල්ලට ගත යුතු වේ.

පොදුවේ වාස්තු සිද්ධාන්ත අනුව මෙවැනි ගෘහ අංක පිහිටුවීමක් මෙන්ම අධ්‍යයන කටයුතුවලට සුබ දිශාවන් ලෙස මුහුණලා පාඩම් කළ යුතු දිශාවන් ලෙස ද ඊශානය, නැඟෙනහිර හා උතුර දක්වනු ලැබ ඇතත් මෙයට අමතරව වාස්තු සිද්ධාන්ත ඇසුරෙන්ම අාධ්‍යාත්මික පිළිවෙත් රැසක් ද මෙයට ඇතුළත් විය යුතුව තිබේ.

අධ්‍යාපන කටයුතු සඳහා කාර්යබහුල වුවත් දිනපතා හිසෙහි මුහුණත හෙවත් සහස්‍ර වග්‍රය (CROWN CAAKRA) පිහිටි ස්ථානය මත දෙඅත් කුඩා කොට පිහිටුවා මිනිත්තු කීපයක් හෝ වන්දනා කිරීම ඒ සඳහා ගත වන කාලය අපතේ යෑමක් නොවන අතර අධ්‍යාපන විභවයක් හා අාධ්‍යාත්මික ප්‍රබෝධයක් ද ඇති කිරීමත් වනු නිසැකය.

මෙහිදී හිස මත පිරිමිඩයක් තැබූ විට ඇති වන බලපෑමට ආසන්න පිබිදීමක් සිසු සිසුවියනට අත්පත් කර ගත හැකි විස්මිත පිළිවෙතකි.

මෙයට අමතරව උදෑසන අවදි වීමත් සමඟ සිරුර පුරා අත්ලෙන් තට්ටු කිරීම (TAPPING) වැනි ක්‍රියාවකින් පසු මිනිත්තු කීපයක සරල භාවනාවක යෙදීම මනසට නොසිතූ විරූ පැහැදිලි බවක් හිමි කර දෙනු ලබන බව අත්දැකීමෙන් අවබෝධ කර ගත හැකියි.

මෙයට අමතරව සතියකට වතාවක්වත් බෝ ගසක් යටට ගොස් මිනිත්තු කීපයක් පෙර කී පරිදි දොහොත් මුදුන් කොට කොඳුඇට පේළිය ඍජු ලෙස පිහිටුවා ගත හැකි නම් මෙයින් ද බලවත් ආධ්‍යාත්මික ප්‍රබෝධයක් හා බලවත් අධ්‍යාපනික ප්‍රතිඵලයක් අත්කර ගත හැකි වනු නිසැකය. මෙවැනි අවස්ථාවක බෝ ගස් අවට පවත්නා ඍණ ආරෝපණ සහිත වටපිටාව අපගේ අාධ්‍යාත්මික තුලනය මැනවින් ගොඩනඟමින් සුවිසෙස් විවේකයක් හිමි කර දෙනු ඇත.

බෝ ගස් ඇසුරේ ලැබිය හැකි මේ ඍණ ආරෝපණයන්ගෙන් හිමි වන අධ්‍යාපනික හා අාධ්‍යාත්මික ප්‍රතිඵලය දිය ඇලි යට හා මුහුදු වෙරළෙහිදී ද ලද හැකි බව ඉහත පර්යේෂණයන්ගෙන් මේ වන විට තහවුරු වී තිබේ.

 ජනක ප්‍රියන්ත දයාරත්න

(සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල

බාහිර කථිකාචාර්ය, විද්‍යාත්මක

වාස්තු පර්යේෂණ

ආයතනයේ ප්‍රධාන දේශක)

Comments