ලොව සලිත කරන ළමා ජාවාරමේ සුලමුල මෙන්න | Page 2 | සිළුමිණ

ලොව සලිත කරන ළමා ජාවාරමේ සුලමුල මෙන්න

- 2022 ළමා වෙළඳාම් කිරීම් 132ක්
- 2018 දී බරපතල ලිංගික අපයෝජන 375 ක්
- ළමයින් නොසලකා හැරීම වැඩියෙන්ම සිදුව ඇත්තේ 2022 වර්ෂයේ වන අතර, එය 2,005 ක්
- ළමයින්ට එරෙහි ක්‍රෑරත්වය වැඩියෙන්ම වාර්තා වන්නේ 2021දී, එය ප්‍රමාණයෙන් 2,741ක්

මා ජාවාරම මේ වන විට ගෝලීය වශයෙන් දැඩි අවධානයට යොමුව ඇති ගැටලුවකි. ඉකුත්දා ශ්‍රී ලාංකික දොළොස් හැවිරිදි දරුවකු සම්බන්ධයෙන් එවැනි පුවතක් වාර්තා වූයේ මැලේසියාවෙනි. මැලේසියානු යුවළක් විසින් දරුවකුට ආගමන විගමන බලපත්‍රයක් ලබා ගැනීමට යාමේදී ඇති වූ සැකය මත එරට ආගමන බලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මේ දරුවා ශ්‍රී ලාංකිකයකු බව හෙළිව තිබේ. මෙම යුවළ විසින් මෙලෙස දරුවන් ඩොලර් හැටදහසේ සිට අසූදහස දක්වා මුදලකට අලෙවි කර ඇති අතර, මැලේසියානු ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික ළදරුවන් යුරෝ තිස්දහසේ සිට පනස්දහස දක්වා මිලකට අලෙවි කර ඇත. මේ පිළිබඳ විමර්ශන සිදු කළ ජාත්‍යන්තර පොලිසිය විසින් ශ්‍රී ලාංකික ළදරුවන් එකොළොස් දහසකට අධික සංඛ්‍යාවක් යුරෝපයට විකුණා ඇති බව හෙළි කර ගෙන තිබේ. ඒ අනුව නෙදර්ලන්තයට පමණක් ශ්‍රී ලාංකික ළදරුවන් හාරදහසක් අලෙවි කර ඇති බව අනාවරණය විය. එසේම නිව්යෝක් ටයිම්ස් පුවත්පත ද මේ තොරතුරු පළ කර තිබුණු අතර, මැලේසියා මේල් පුවත්පත ද මෙයට අදාළ තොරතුරු හෙළි කර තිබුණි. 

ඒ අනුව 1948 වසරේදි ස්විට්සර්ලන්තයේ ඇලිස් හොනෙගර් (Alice Honegger) නම් සමාජ සුබසාධන ක්‍රියාකාරිනියක් සහ රුක්මනි තවනේසන් නම් ශ්‍රී ලංකාවේ නීතිඥවරියක් එකතුව නීත්‍යානුකූලව හදා ගැනීම සඳහා විදෙස් මාපියන්ට ශ්‍රී ලංකාවෙන් දරුවන් ලබා දීම සම්බන්ධයෙන් වැඩ සටහනක් දියත් කර තිබුණි. මෙලෙස ස්විස්ටර්ලන්තයේ අධිකාරියක් මඟින් මෙම දරුවන් හදා ගැනීම සඳහා විදෙස් මවුපියන්ට ලබා දීම නීත්‍යානුකූලව සිදු වි ඇති නමුත් ඇතැම් අවස්ථාවල සැකකටයුතු සිද්ධීන් ද වාර්තා වී තිබේ.

මෙම වැඩසටහන මඟින් දරුවන් භාරකාර මවුපියන්ට ලබාදීම නීත්‍යනුකූලව සිදු වුව ද, එම දරුවන් සැබෑ මවුපියන්ගෙන් ලබා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් යම් ගැටලු පවතින බව ඔවුන් පෙන්වා දෙයි. දරුවන් පැහැර ගැනීම, සැබෑ මාපියන්ගේ නිවැරදි තොරතුරු හෙළි නොකිරීම වැනි චෝදනා එල්ල වී ඇති බව මේ සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරීන් පවසන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ අනුව පෙනීයන්නේ මෙරට ළමා ජාවාරම අප සිතනවාට වඩා බරපතළ තත්ත්වයකට පැමිණ ඇති බවයි.

ඇත්තෙන්ම මෙය සංකීර්ණ හා අදෘශ්‍යමාන සමාජ ගැටලුවකි. කිසියම් ජන සමාජයක ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් එකිනෙක ගෙතුණු සාධක රාශියක් හේතුවෙන් පැන නැඟී ඇති මෙම ගැටලුවට මුහුණදීමේදී ළමා ආරක්ෂක ක්ෂේත්‍රය ඇතුළුව සමස්ත ජන සමාජය කෙරෙහි පැවරී ඇති වගකීම සුළුපටු නොවේ.

මෙහිදී ආදරය, සැලකිල්ල, රැකවරණය සහ මාපිය, භාරකරුවන්ගේ නිරන්තර ආරක්ෂාව දරුවන් කෙරෙහි යොමුවිය යුතු වේ. එමෙන්ම අධ්‍යාපනය, දරුවන්ට නඩත්තු හා මූල්‍යමය සහය ලැබිය යුතුය. ළමයින් විශේෂයෙන්ම අපරාධවලට හා උල්ලංඝනයන්ට පහසුවෙන් ගොදුරු විය හැකි නිසා විශේෂ රැකවරණයක් ඔවුන් වෙත දැක්විය යුතු අතරම, ඒවාට ගොදුරු වූ දරුවන් නැවත වතාවක් වින්දිතයන් බවට පත්වීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු වේ. එමෙන්ම නෛතික නියෝජනය සහ වෙනත් සේවා සඳහා ළමයින්ට නීතියෙන් හිමිකම් තිබිය යුතුය, ළමයින්ට අදහස් පුකාශ කිරීමට සහ තමන්ට ඇහුම්කන් දෙනු ලැබීමට අයිතියක් තිබේ. 

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) දක්වා ඇති ආකාරයට, ”ළමා අයිතිවාසිකම් පදනම් වී ඇත්තේ දරුවකුගේ පැවැත්ම, වර්ධනය, සහභාගීත්වය සහ ඔවුන්ගේ හැකියාවන් සපුරාලීම සඳහා අවශ්‍ය දෑ මත ය”. වාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගම කුමක් වුවත් එ්වා සෑම දරුවකුට ම එකසේ අදාළ වේ. ළමයාගේ අයිතිවාසිකම් විශේෂ ආකාරයකින් ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින්, 1989දී එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRC) සම්මත කරන ලදී.

ශ්‍රී ලංකාව 1990 ජනවාරි 26 වන දින ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් තබා 1991 ජූලි 12 වන දින එය අපරානුමත කළේ ය. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පිළිගැනීමත් සමඟ ශ්‍රී ලංකා රජය විසින් 1992දී ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය එළිදක්වා තිබේ.

ජාත්‍යන්තර මට්ටමින් සිදුවන ළදරු ජාවාරම් මැඬලීමට තීරණය කළ ලෝක ප්‍රජාව, 1993දී නෙලදර්ලන්තයේ හේග් නුවරට රැස්ව ඒ සම්බන්ධව සම්මුතියකට එළැඹුණෝය. දරුකමට හදා ගැනීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සැකසුණේ ඒ අනුවය. 1995 මැයි පළමුවැනිදා සිට ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වූ මෙම සම්මුතියට රටවල් 99ක් එකඟතාව පළකොට ඡන්දය දුන්හ. දකුණු කොරියාව, නේපාලය හා රුසියාව එහිදී ඡන්දය ප්‍රකාශ නොකළ මුත්, සම්මුතියට අත්සන් තැබුවේය.

මෙම සම්මුතියේ ප්‍රධාන අරමුණ වූයේ ළමයින් විකිණීම හා ළමා ජාවාරම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සිතා කටයුතු කිරීමට රාජ්‍යයන් එකඟ කර ගැනීමයි. ඒ අනුව යමින් ළමයින්ගේ සුබසිද්ධිය සඳහා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර, දරුවන් පැහැරගෙන යාම හා දරුවන් විකිණීමට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම සම්මුතියට එකඟව අත්සන් තැබූ රාජ්‍යයන් එකඟ විය.

ළමයින් වඩාත් ඵලදායි ලෙස හැදී වැඩෙන්නේ ජීවවිද්‍යාත්මක මාපියන් යටතේය. වෙනත් කිසිදු වර්ගයේ පවුලකට වඩා දරුවන්ට රැකවරණය සැලසෙන්නේ ජීවවිද්‍යාත්මක මාපියන් ළඟ බැව් බොහෝ විද්වතුන් කරන ලද පර්යේෂණ රාශියකින් සනාථ වී තිබේ.

දරුවන් මුහුණ පා සිටින මේ ඛේදනීය තත්ත්වය පිළිබඳව සිළුමිණ කළ විමසීමේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසා සිටියේ “ ළමා ජාවාරම අපරාධ වරදක් හැටියට දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන බවත්, එවැනි සිදුවීම් වාර්තා වූ විට ඒවා අපරාධමය වරදක් නිසා එකී අපරාධ කරුවන් අත් අඩංගුවට ගෙන විමර්ශනය කර අධිකරණයට ඉදිරිපත් කරන්න නීතිමය බලය පැවරෙන්නේ පොලිසියට බවයි. ළමා ජාවාරම, ළමයින් අතහැර දැමීම, ලිංගික කටයුුතු සඳහා විකිණීම, ශරීර අවයව ලබාගැනීමට විකිණීම වැනි කාරණා වරින් වර අප වෙත වාර්තා වී තිබෙනවා. ළමා ජාවාරම කියා කියන්නේ රටකින් තවත් රටකට රැගෙන යාම පමණක් නෙමෙයි. කිසියම් තැනැත්තකු විසින් තවත් තැනැත්තකුට දරුවකු විකුණනවා නම් එය ළමා ජාවාරමක්. මෙවැනි අපරාධමය වැරදිවලදී ඔවුන් අත් අඩංගුවට ගන්න; විමර්ශන කටයුතු සිදු කරන්න බලය පැවරෙන්නේ පොලිසියටයි. මෙහිදී අපගේ කාර්යභාරය වන්නේ එවැනි පැමිණිලි භාර ගැනීම සහ උචිත පරිදි අදාළ පාර්ශ්වයන්ට එම පැමිණිලි යොමු කිරීම හා ඒ පිළිබඳ නියාමනය කිරීමයි. මේ ආකාරයට 1929 හදිසි උපකාරක සේවය ඔස්සේ අප වෙත මෙවැනි පැමිණිල්ලක් ලැබුණු පසු අදාළ පැමිණිලි භාරගෙන අදාළ අංශ වෙත යොමු කරනවා. එසේම ලිඛිතව හෝ ඊමේල් පණිවිඩයක් මඟින් හෝ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණ හෝ පැමිණිල්ලක් භාරදිය හැකියි. එමෙන්ම කිසිවකුගෙන් පැමිණිල්ලක් නොලැබුණ ද මුද්‍රිත මාධ්‍ය මඟින් හෝ ජනමාධ්‍ය මඟින් හෝ සමාජ මාධ්‍ය මඟින් හෝ වින්දිතයා කවුද, චුදිතයා කවුද, නිශ්චිත දිනයක්, සිදුවීමක්, ස්ථානයක් ගැන තහවුරු කළ හැකි තොරතුරක් දැනගන්න ලැබුණොත් අප ආයතනය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. එලෙස ක්‍රියාත්මක වූ ආසන්නතම සිදු වීමක් ලෙස ගාථා වැරදුණා කියා සාමණේර නමකට දැඩි ලෙස පහර දීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සැරි සැරූ වීඩියෝව පෙන්වා දෙන්න පුළුවන්. ඒ තොරතුර කාගෙන්වත් ලැබුණු පැමිණි පැමිණිල්ලක් නෙමෙයි. 

නමුත් වාර්තා වූ ප්‍රවෘත්තිය පදනම් කරගෙන අප අදාළ පොලිසිය හඳුනා ගෙන අවශ්‍ය පියවර ගන්නා ලෙස එම පොලිසියට නියෝගයක් ලබා දුන්නා. ඒ අනුව එහි විමර්ශන කටයුතු සිදු කෙරුණා. එලෙස පැමිණිලි නියාමනය කිරීම, ප්‍රගතිය විමසීම හා අවශ්‍ය උපදෙස් ලබාදීම අප ආයතනය විසින් සිදු කෙරෙනවා. එසේම යම් සිද්ධියක් සම්බන්ධයෙන් තම ආයතනය දැනුම්වත් වූ පසු එය පැමිණිල්ලක් ලෙස සටහන් කර පොලීසිය හෝ අපරාධ විමර්ශන අංශයට භාරදී එකී විමර්ශන කටයුතු සමීපව නියාමනය කර එහි විමර්ශන කටයුතුවල ප්‍රගතියත්, නඩු කටයුතුවල ප්‍රගතියත් හා නඩු විභාග කිරීමේ ප්‍රගතියත් ඉතා විමශිලමත්ව සොයා බැලීමට කටයුතු කරන බවයි. බොහෝ පොලිස්ථාන මෙහිදී ඉතාම උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කරන බවත්, ඇතැම් පොලිස්ථාන සිය වගකීම පැහැර හරින බවත්” හෙතෙම අවධාරණය කළේය.

ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ බුද්ධික මනතුංග සිළුමිණට පවසා සිටියේ “ජාත්‍යන්තර පොලිස් විමර්ශන ඒකකය මඟින් මේ පිළිබඳව විමසීමට කටයුතු කරමින් සිටින බවයි. පොලිසිය වෙත ළමයකු පැහැරගෙන යාමක්, විකිණීමක් හෝ ලිංගික ක්‍රියාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු වහාම ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කරන බවත්, එහිදී ළමා ආරක්ෂක අධිකාරිය සමඟ ඉතා සමීපව අප කටයුතු කරන බවයි. පොලිසිය වෙත ඍජුව පැමිණිල්ලක් නොලැබුණත් පොලිස් විමර්ශන ඒකකය වෙත සමාජ මාධ්‍ය මඟින් හෝ හෝඩුවාවක් ලැබුණොත් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම පෙන්වා දුන්නේය. 

මේ සම්බන්ධයෙන් සිළුමිණ කළ විමසීමේදී සර්වෝදය ආයතනයේ සභාපති විශේෂඥ ‍වෛද්‍ය වින්යා ආරියරත්න ප්‍රකාශ කර සිටියේ “ මේ රටේ දරුවකු හදා වඩා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු මූලික නීතියක් තිබෙනවා. ඒ තමයි ස්වභාවිකව දරුවකු ලැබීමේ හැකියාවක් නොමැති අයකු විසින් නීතිය ඉදිරියට ගොස් දරුවකු හදා ගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පූර්ණ කරමින් ‘දරුවකු කුලවද්දා ගැනීම’ හෙවත් දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කිරීම. එහිදී ‘දරුවකු කුලවද්දා ගැනීම’ සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීතිය තමයි 1941 අංක 24 දරන ළමයින් දරුකමට හදා ගැනීමේ ආඥා පනත. මෙම පනත 1941, 1964, 1977, 1979 හා 1992 යන වසරවලදී වරින් වර සංශෝධනයට ලක් වුණා. එකී නෛතික ප්‍රතිපාදනයන්ට යටත්ව අදාළ කටයුතු සිදුවෙනවා නම් මා එහි ගැටලුවක් දකින්නේ නැහැ. මොකද එමඟින් දර­ුවකුට ලැබිය යුතු සියලු ආරක්ෂාව සලසාදී තිබෙනවා. මීට පිටින් යමක් සිදු වනවා නම් එහි වගකීම අදාළ අංශ වෙත පැවරෙන බවයි.

ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති, ළමා ආරක්ෂක සන්ධානයේ සම කැඳවුම්කරු වෛද්‍ය තුෂ් වික්‍රමනායක සිළුමිණ සමඟ පවසා සිටියේ “ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කිරීම තම සංවිධානයේ ප්‍රධාන අරමුණ බවය. ඒ අනුව යමින් ළමා අයිතීන් හා ආරක්ෂණය සම්බන්ධයෙන් මූලික වශයෙන් තම සංවිධානය කටයුතු කරන බවයි. තම සංවිධානය මඟින් නවසිය අසූ නවයේ සහ අනූ ගණන් වල කතා කරපු ඇතැම් සිදුවීම් ඉතාම මෑතක කරළියට පැමිණ ඇති බවත්, කොරෝනා සමයේ එක්තරා සංවිධානයක් මඟින් ඉතාම සංවිධානාත්මකව කළ ළමා ජාවාරමක් සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරිය දැනුම්වත් කිරීමෙන් පසු අදාළ ආයතනය තම ෆේස්බුක් ගිණුම හා ආයතනය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි. ඒ සම්බන්ධයෙන් මේ වන විට නඩුවක් විභාග වුවද එය සාර්ථකව සිදු නොවන බවත් ඕ පැවසීය.

Comments