රෝද තුනේ දඟකාරයාට නියාමනයක් ගෙනා ත්‍රීවීල් පනත | Page 2 | සිළුමිණ

රෝද තුනේ දඟකාරයාට නියාමනයක් ගෙනා ත්‍රීවීල් පනත

ගී ප්‍රවාහන සේවා සහ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම සහ අවසර පත්‍ර නිකුත් කිරීම යන මැයින් පසුගියදා පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබුණේ, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ගේ අත්සනින් යුතුව ය.

ඊට අනුව, බස්නාහිර පළාත් සභාව තුළ කුලී රථ සේවාවේ යෙදෙන සියලුම ත්‍රිරෝද රථ හිමියන් ගාස්තු තුනක් යටතේ, ලබන ජූලි මස 31 වැනි දිනට පෙර ලියාපදිංචි විය යුතු වේ. මෙයින් ත්‍රීවිල් රථ නියාමනයක් සිදු කිරීම බලාපොරොත්තු වන අතර, එම නියාමනය උදෙසා හයර් දුවන සියලුම ත්‍රිරෝද රථ ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ. 

මේ පිළිබඳ ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් දක්වන අතර, සමස්ත ලංකා ත්‍රීවිල් රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ මෙවැන්නකි.

“මේ තමයි සමස්ත ලංකා ත්‍රීවිල් රියැදුරන්ගේ වෘත්තීය සමිතිය හැටියට 2000 වසරේ සිට මේ දක්වා වසර 23 ක කාලයක් තිස්සේ, කුලී ත්‍රිරෝද රථ මගී ප්‍රවාහනය විධිමත් නියාමනයට යටත් කරන්න යැයි කියමින් අප කරගෙන ආ අරගලයේ ජයග්‍රාහී අවස්ථාව.

අවුරුදු විස්සක් ඇතුළත අවස්ථා පහක දී මේ ත්‍රීවිල් නියාමනය සඳහා ප්‍රකාශ නිකුත් කළා. එක එක පියවර ගත්තා. නමුත් යථාර්ථයක් වූයේ නැහැ. අපි එක දිගට කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් විදියට වර්තමාන ආණ්ඩුකාරවරයා ගේ ඍජු මැදිහත් වීමෙන් පළාත් සභාව මේ කටයුත්ත ආරම්භ කර, ඊට අදාළ නිවේදනය පසුගිය 28 වැනිදා නිකුත් කළා.

ඒ අනුව, ඉදිරි මාස දෙක තුළ බස්නාහිර පළාතේ කුලී ත්‍රිරෝද රථ සියල්ල ලියාපදිංචි විය යුතුයි. එසේ නොවන අයට මේ බස්නාහිර පළාතේ හයර් දුවන්න බැහැ, කියන නිල නිවේදනයයි මේ නිකුත් කර තිබෙන්නේ. මගී ප්‍රවාහන සේවයේ උන්නතිය වෙනුවෙන් ගත් සාධනීය පියවරක් ලෙසයි, මා මෙය දකින්නේ. ත්‍රිරෝද රථ රියැදුරන් සහ මගීන් කියන දෙපාර්ශ්වයම වෙනුවෙන් කළ යුතු දේ ඔවුන් කර තිබෙනවා. ඉතිරි වගකීම තිබෙන්නේ ත්‍රිරෝද රථ රියැදුරන් අතේ.

විශේෂයෙන් කියන්න ඕනේ, ඇතැම් ත්‍රිරෝද රියැදුරන්ගෙන් කුමන විදියේ ප්‍රතිචාර ආවත් විරෝධතා මොනවා වුණත්, වෘත්තීය ගරුත්වයෙන් රස්සාව කරන අයට සහ මගීන්ට මේ තමයි, දෙන්න පුළුවන් ලොකුම ගෞරවය.

ඒ වගේම මේ ලියාපදිංචිය කළ පසු ටැක්සි බෝඩ් එක අනිවාර්යයි. ගාස්තු මීටරය, ගාස්තුව ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි. පළාත් සභාවේ ලාංඡනය සහිත පළාත් සභා ස්ටිකරය ද තිබිය යුතුයි.

ඒ වගේම, රියැදුරු ලියාපදිංචි වීමෙන් පසු ඔහුට ද හැඳුනුම්පතක් ලැබෙනවා. එලෙසම රියැදුරු ආසනය පිටුපස රියැදුරු ගේ ඡායාරූපය සහිතව සියලු විස්තර ප්‍රදර්ශනය කළ යුතුයි.

ඉදිරියේ දී වාහනයත්, රියැදුරාත් එහි යන මඟියාගේත් විස්තර දැන ගැනීමේ ක්‍රමවේදයක් මේ වැඩපිළිවෙළ තුළ අන්තර්ගතයි. ඉන් සුරක්ෂිතභාවය පිළිබඳ තහවුරුවක් ලැබෙනවා. නමුත් මේ වැඩේට හැමෝම එකඟ නැහැ. වසර විස්සකට පෙර මේ ඉල්ලීම කළ වෙලාවෙත් මේ විරෝධතා එයාකාරයෙන්ම තිබුණා. අයාලේ යන දෙයක වාසි දකින්නේ ඉන් ප්‍රයෝජන ගන්නා අයයි. අවිධිමත් දෙයක වාසිය දන්නේ අවිධිමත් භාවයෙන් වාසි ලබන අයයි. එදත් ඒක වුණා. අදත් ඒකම තමයි මේ සිද්ධ වෙන්නේ.

ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රියැදුරන් ගේ හා කර්මාන්තකරුවන් ගේ සංගමයත් ආරම්භයේ දී මීට විරුද්ධ වුණා. අද ඒ සංගමය, ත්‍රිරෝද නියාමනය ක්‍රියාත්මක කරන්න කියන සටනේ පෙරමුණේ ම ඉන්නවා. ඒ ගැන අපිට සතුටුයි. ජන ජීවිතය, ආර්ථිකය හා බැඳුණු මේ ත්‍රීවිල් කර්මාන්තය තවදුරටත් අයාලේ යන්න දෙන්න බැහැ. සෘජුවම ක්‍රියාත්මක කරන්න ඕනේ. කුමන විරෝධතාවක් ක්‍රියාත්මක වූවත් මේ අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. ජූලි 31 වැනිදායින් පසු ලියාපදිංචිය අවසානයි. ඉන්පසු බස්නාහිර පළාත තුළ හයර් දුවන්නට අවස්ථාව ලැබෙන්නේ ලියාපදිංචි වූ ත්‍රිරෝද රථ හිමියන්ට පමණයි.

ඒ වගේම කිවයුතු තවත් දෙයක් තිබෙනවා. මේ නියාමනය කළ ත්‍රීවිල් දුවන ඩ්‍රයිවර් කෙනකුට වෘත්තීය සුදුසුකමක් සහිත රියැදුරෙක් බවට පත්වීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම, අංශ ගණනාවක් යටතේ සෙත සැලසෙනවා.

බස්නාහිර පළාත තුළ දළ වශයෙන් ලක්ෂ තුනහමාරක් පමණ හයර් දුවන ත්‍රීවිල් තිබේ යැයි අප අනුමාන කරනවා. රටේම ත්‍රීවිල් දසලක්ෂ හැටදාහක් තිබෙන බව QR Code එක ක්‍රියාත්මක වීමේ දී දැනගන්නට ලැබුණා. නමුත් හැමෝම කිය කියා හිටියේ දොළොස් දහසක් තිබෙන බවයි. යමක් නිය­ාමනය කිරීමෙන් පමණයි, හරි තොරතුරු දැන ගැනීමට හැකි වන්නේ.

අනිත් කාරණාව බොහෝ අය ලොකුවට කියනවා, අඩු වයසින් ත්‍රිරෝද රථ රස්සාවට එනවා, කර්මාන්තවලට යන්නෙ නැහැ කියලා. පළමුවෙන්ම මේ අයට මෙයින් සිදුවන පළමුවැනිම

යහපත තමයි, හයර් දුවන සහ නුදුවන

ත්‍රිරෝද රියැදුරන් හඳුනා ගැනීමට ලැබෙන අවස්ථාව.

අනික ත්‍රිරෝද රථ රිය­ැදුරන්ටත් අසාධාරණකම් සිදුවන අවස්ථා තිබෙනවා. මගීන්ගෙන් සිදුවන වැරැදිවලදි පවා හයර් දුවන ත්‍රීවීල් එක අත්අඩංගුවට ගන්නවා. මේ වන විටත් ඕනෑ තරම් පොලිසි උසාවිවල නඩු තිබෙනවා. හිරේ ගිය ත්‍රීවිල් රියැදුරන් සිටිනවා. නැවක, ගුවන් යානයක මොන හොර බඩු ආවත් නැවේ කපිතාන්ව වත් ගුවන් යානයේ පයිලට්ව වත් අත්අඩංගුවට ගන්නේ නැහැ. නමුත් ත්‍රීවිල් රියැදුරන් අත්අඩංගුවට ගන්නවා. සුදුසුකමක් සහිත පිළිගැනීමක් ඇති තැනකට ත්‍රීවීල් රස්සාව ගෙනාවොත් මගින් කරන වැරැදිවලට ත්‍රිරෝද රථ රියැදුරාට වගකියන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේක රුපියල් සතවලට වඩා රැකවරණයක් ලැබෙන දෙයක් ලෙසයි මම දකින්නේ. කොටින්ම අපි ගෙවන මුදලට වඩා මේ ලැබෙන අගය වැඩියි. එවිට අපි වෙනුවෙන් කතා කරන්න ආයතනයක් තිබෙනවා.

ආණ්ඩුව සිස්ටම් චේන්ජ් කියලා ලොකු ගමනක් යන්න හදන මේ වෙලාවේ, අවුරුදු හතළිහක්ම කෙරුණු විදියට ත්‍රීවිල් මග නොහැර ගත් මේ තීරණයට අපි බොහෝ සෙයින් ස්තුතිවන්ත වනවා. මේ අය විධිමත් කර, සිස්ටම් එකකට නතු කර ත්‍රිරෝද ප්‍රජාව සහ ඔවුන්ගේ සේවාව, මගීන්ටත් ඔවුන්ටත් යහපත සැලසෙන ආකාරයට නියාමනයකට ලක් කර එයින් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ කියන එකයි මම කියන්නේ...”

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මේ පිළිබඳව මෙසේ පැවසී ය.

“ගමනාගමන කොමිෂන් සභා පනතේ කොතැනකවත් ත්‍රීවිල් නියාමනයක් ගැන සඳහනක් නැහැ. ඒ නිසා අපි මේ වන විට ත්‍රීවිල් කියන කැටගරියත් ඊට ඇතුළත් කරන්න කියා පණත් සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. තව මාස කිහිපයක් ඇතුළත එය අපට ලැබේවි. එවිට අපිට පුළුවන් ත්‍රීවිල් නියාමනය පිළිබඳ කතා කරන්න. එවිට අපට අවසර ලැබෙනවා, මෙම නියාමනය ක්‍රියාත්මක කරන්න. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ත්‍රීවිල්, පළාත් සභාවේ විෂයක් ලෙස ගන්න පුළුවන්. ඒ අනුව තමයි මේ තීරණයට බස්නාහිර පළාත් සභාව එළඹෙන්නට ඇත්තේ. කෙසේ වෙතත් අදාළ නීතිමය රාමුව ක්‍රියාත්මක කරන්නට සිදු වන්නේ සහ පැහැදිලි අදහසක් දක්වන්නට වෙන්නේ මෙම සංශෝධනය අප වෙත ලැබුණාට පසුවයි...”

මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා කාර්ය සාධන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අමල් කුමාරගේ මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“මේ කරන්න යන නියාමනය ගැන මට ලොකු පැහැදීමක් නැහැ. කරන්න යන්නේ කුමක් ද කියන එක ගැන කිසිදු සමාජ දැනුම්වත් කිරීමකුත් නැහැ. මොකද, මේක අවුරුදු දෙකකට කලින් ප්‍රකාශයට පත් වූ ගැසට් පත්‍රිකාවක්. ඉතින් මේ වෙලාවේ එය ක්‍රියාත්මක කරන්නේ ඇයි ද කියන ප්‍රශ්නය මට තිබෙනවා. ඒ වගේම, බස් හෝ කුලී රථ වෙනුවෙන් අප මේ අනුගමනය කරන්නේ ඉතා යල් පැනපු ක්‍රමයක්. අද තාක්ෂණය එක්ක ගත් විට, සෘජුවම සේවා සපයන්නා සහ ඉල්ලුම ඇති කරන මඟියා අතර ඍජු සබඳතාවක් තබාගනිමින්, නියාමනය කියන දේ නොපෙනී සිදු කිරීම තමයි සාර්ථක ප්‍රවාහන නියාමනයක ලක්ෂණ.

මොකද, ඊට අවශ්‍ය තාක්ෂණය තිබෙනවා. පාරිභෝගිකයාටම පුළුවන් ඒ සේවාව යම්තාක් දුරකට ඇගයීමක් කරන්න.

මෙතැනදි ත්‍රිරෝද රථය ලියාපදිංචිය සඳහා ගාස්තුවක් අය කරනවා. මඟී ප්‍රවාහන සේවා අවසර පත්‍රය ගන්න තව ගාස්තුවක් ඉල්ලනවා. රියැදුරා ලියාපදිංචිය කිරීමට තවත් ගාස්තුවක් අය කරනවා. බස්නාහිර පළාතේ ත්‍රීවිල් ලක්ෂ හතරක් පමණ ඇති. ඉන් ලක්ෂ දෙකක් කුලී රථ තිබුණත් මේ ගාස්තු වර්ග තුන ලක්ෂ දෙකෙන් වැඩි කළාම මෙතැන සැලකිය යුතු ආදායමක් එනවා.

අපි බලන්න ඕනේ මේ රාජ්‍ය ආයතන මේ වගේ ප්‍රයත්නයක් දරන්නේ මොන අරමුණින්ද කියලා.

එක් පැත්තකින් රාජ්‍ය ආයතනයක් තමන්ගේ ආදායම පියවා ගන්න මෙවැනි දෙයක් කරනවා නම්, මම හිතන්නේ එය ක්ෂේත්‍රයට කිසිම ඵල ප්‍රයෝජනයක් නැති කරදරකාරී ක්‍රියාවක්. ගෝලීය වශයෙන් බැලුවොත් අද නියාමනය සඳහා මෙවැනි ආකාරයේ ක්‍රමවේද ක්‍රියාත්මක කරන්නේ නැහැ. විශාල ආයතන හදාගෙන විශාල කාර්ය මණ්ඩල නඩත්තු කරගෙන, ලොකු පිරිවැයක් දරා ගෙන කරන දෙයක් නෙවෙයි නියාමනය කියන්නේ. එතකොට මේ ආකාරයෙන් අය කරගන්නා මුදල්වලින් ත්‍රීවිල් රියැදුරන් සහ මගීන්ට හොඳ සේවාවක් ලබා දෙන්නේ කොහොමද කියන එක අනිවාර්යයෙන් සමාජගත කරන්න ඕනේ. ඒක තමයි රජයක් විදියට විසි එක් වැනි ශත වර්ෂයේ කළ යුතු දේ. ගැසට් එකක් දාලා නිකම්ම රුපියල් දාහක් එක්දහස් පන්සියයක් ගන්න එක නෙවෙයි කරන්න ඕනේ. මේක නම් ආයතනයේ වියදම සඳහා මුදල් ලබා ගැනීමක් බවයි මට පේන්නේ. ඒ මුදලින් යම් සේවාවක් කෙරෙනවා නම් ඒ සේවාව කුමක්ද කියන එක නිවේදනයක නැති වුණත් අඩුම තරමේ සමාජගත කරන්න ඕනේ.

මේ ක්‍රමය යටතේ අඩුම තරමින් එක් ත්‍රීවිලරයකින් රුපියල් තුන්දාහක් වත් අය කෙරෙනවා. එවැනි ත්‍රීවිල් ලක්ෂ දෙකක් හිටියොත් මේ මුදල එක්තැන් කළ විට සැලකිය යුතු මුදලක්. එම මුදල් වියදම් කරන්නේ කෙසේද, ත්‍රිරෝද රථ නියාමනය කරනවා කියමින්, නම ගම පදිංචිය database එකකට දැම්මට කාටවත් සෙතක් වන්නේ නැහැ.

මේ සම්බන්ධව මඟීන්ගෙන් කොතෙකුත් පැමිණිලි තිබෙනවා. ඒ පැමිණිලි බාර ගන්නේ කොහොමද, පැය 24 ම ක්‍රියාත්මක hotline එකක් තිබෙනවාද, එසේත් නැත්නම් මඟියාට සහනයක් දිය හැකිද, ඒ පැමිණිල්ල විභාගයට ගත් පසු අධිකාරිය මඟින් යම්කිසි නීතිමය පියවරක් ගන්නා බවට පොරොන්දුවක් තිබේද...?

අනෙක් පැත්තෙන් ත්‍රිරෝද රියැදුරු හිමියන්ට යම් පහසුකමක්, යම් වෘත්තීයමය පුහුණුවක් හෝ රක්ෂණයක් ලැබෙනවාද කියන එක පැහැදිලිව කියන්න ඕනේ.

ත්‍රිරෝද රථ හිමියා මේ මුදල ගෙවූවත් පස්සෙ මගියාගේ ගාස්තුවට එය එකතු නොකරන බවට තිබෙන සහතිකය කුමක්ද? නැතිනම් අන්තිමට වෙන්නේ ඔය ගාස්තුවත් ත්‍රිරෝද රථ රියැදුරු අනිවාර්යෙන් ම මගියාට පවරන එක. ත්‍රිරෝද රියැදුරන් මේ ගාස්තුව ගෙව්වත් අන්තිමේ බර යන්නේ මගියාට නම් මේ නියාමනයේ සෙත කුමක් ද. පිටින් පේනවාට වඩා දෙයක් මේ කතාව ඇතුළේ තිබෙන බවයි පෙනෙන්නේ.

එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල තිබූ සාම්ප්‍රදායික නියාමන රාමුව තුළ තමයි තවම මේ අය ඉන්න හදන්නේ. ඩිජිටල්කරණයත් එක්ක බලද්දී මේවා කෝපි කාලේ නියාමනයන් ලෙස තමයි හඳුන්වන්නට පුළුවන්. ලෝකේ රටවල් පියවරෙන් පියවරට ඉදිරියට යනවා. හරි සේවාවක් දෙන්නේ නැතිව තවමත් සාම්ප්‍රදායිකව කර ගෙන ඉන්න දේම තව තවත් කරගෙන යාමෙන් වෙන්නේ, දිගු කාලීනව ත්‍රිරෝද රථ නැති වේගෙන යන එක. බස් රථ නැති වේගෙන යන එක. පොදු ජනතාව පුළු පුළුවන් විදියට පුද්ගලික වාහන ගන්නවා. ඊළඟට වාහන ගෙන්වන්න විශාල මුදලක් වැය වනවා. ඒවාට තෙල් ගෙන්වන්න තවත් මුදලක් වැය වනවා. වැඩි වන වාහනවලට පාරවල් හදන්න තවත් මුදලක් යනවා. පාරවල් හදන්න බැරි වුණාම මාර්ග තදබදය ඇති වනවා. ඉන්ධන දහනය පරිසර දූෂණය වැනි විශාල ආර්ථික පාඩු රැසක් සිදු වනවා.

සමස්තයක් ලෙස ගත් විට මෙවැනි ප්‍රවාහන ප්‍රතිපත්තීන් ත්‍රිරෝද රියැදුරන්ට කිසිසේත් සෙතක් සිදුවන්නේ නැහැ. විසිඑක් වැනි ශතවර්ෂයේ ඉන්න ශ්‍රී ලාංකිකයෙකුට කිසිසේත් සෑහීමකට පත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ.

ගාස්තුවක් ගන්නවා නම්, එම අදාළ ආයතනය විසින් නිසි අධ්‍යයනයක් කළ යුතුයි, මෙය කුමක් සඳහා ද වියදම් කරන්නේ සහ එම වියදම තුළින් එහි ප්‍රතිඵලය එම ක්ෂේත්‍රයට ආපහු ලැබෙන්නේ කෙසේද කියන එක ගැන. ඒ පිළිබඳ කිසිදු පැහැදිලිතාවක් නැහැ. මෙය විශාල සමාජ කතිකාවක් ඇති කරවන දෙයක් වේවි. දුරකතනය හෝ නව තාක්ෂණය භාවිතයෙන් මෙය පිළිවෙළකට කරනවා නම් එය හොඳ මූලාරම්භයක් වේවි. නමුත් මේ තුළ එවැනි කිසිදු සාධනීය දෙයක් මට නම් පෙනෙන්නට නැහැ...”

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහත්මා මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“මධ්‍යම රජය විදිහට ත්‍රීවිල් නියාමනයට ආයතනයක් මේ වෙනකල් කොහෙවත් නැහැ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනට නියාමනය කරන්නේ මාර්ගස්ථ මගී ප්‍රවාහනය පමණයි. එනම්, ගොඩබිමෙන් බස් රථයකින් මගීන් එහා මෙහා රැගෙන යාම. එහි ඇති එක් කොන්දේසියක් තමයි වෙන් වෙන් වශයෙන් ගාස්තු අය කරගෙන යා යුතුයි කියන කාරණය. එය තමයි අපි නියාමනය කරන්නේ.

මේ වන විට කොමිෂන් සභාවේ කාර්‍යයන් පුළුල් කිරීම සඳහා පනත් සංශෝධනයකට ගිහින් තියෙනවා. මේකට අයිති වෙන්නේ, පාසල් වෑන් රථ, ත්‍රීවිල් රථ සහ කාර්යාල ප්‍රවාහන සේවයයි. ඔය තුන් වර්ගයම නියාමනය කිරීම සඳහා අපි සංශෝධනයක් ඉල්ලා තිබෙන්නේ. ඒක දාලා දැන් අවුරුදු 2කට වැඩියි. අදාළ කැබිනට් අනුමැතිය ලැබී, නීතිපති දෙපාර්තමේන්තුවට ගිහින් තිබෙන්නේ. තව පියවර කිහිපයකින් පසුව තමයි අදාළ සංශෝධනයන් අපේ ආයතනයට ලැබෙන්නේ.

සමහර පළාත් සභා ප්‍රඥප්තිවලට ත්‍රීවිල් නියාමනය ඇතුළත් කර තිබෙනවා. සමහර ඒවායේ නැහැ. එක එක පළාත් සභාවල එක එක විදිහ නිසා තමයි, අපි මධ්‍යම රජය විදියට ත්‍රීවිල් අපේ යටතට අරගෙන ඒවාට නීති හදන වැඩේට අත ගසා තිබෙන්නේ. ත්‍රීවිල් ගාස්තුව, ත්‍රිරෝද රථයේ තිබිය යුතු ප්‍රමිතීන්, ලියාපදිංචිය, මීටරය, රියැදුරු ගේ තොරතුරු ප්‍රදර්ශනය වැනි ආරක්ෂක කටයුතුත් නියාමනයකට ලක් කර හැම පළාතකටම බාර දෙන්න පුළුවන්. ත්‍රීවිල් ධාවනය සිදු වන්නේ පළාත් තුළ නිසා, මේ මෙහෙයුම් කටයුතු සිදු කළ යුත්තේ අදාළ පළාත විසින්මයි. සංශෝධනයෙන් බලය ආ පසු අපිට පුළුවන් ඊට අදාළ රෙගුලාසි නිකුත් කරන්න. විශේෂයෙන් කොට කලිසම්, ස්කිනී වගේ ඇඳුම් ඇඳගෙන ත්‍රීවිල් හයර් දුවන්න බැහැ. යම් විනයානුකූල ඇඳුමක් ඇඳීම පවා අපි අනිවාර්ය කරනවා. හැබැයි මේ කිසිවක් එක අවස්ථාවකින් නතර වන්නේ නැහැ. අඛණ්ඩවම නියාමනය වීමයි වැදගත්.

QR කෝඩ් එකට තෙල් දුන් වෙලාවේ බස් රථ හිමියන් වෙනුවෙන් අපි මැදිහත් වුණා. ඔවුන්ගේ අවශ්‍යතාව සපුරා දුන්නා. නමුත් ත්‍රීවිල්වලට එහෙම වගකිව කියන ආයතනයක් නැති නිසා, ඔවුන්ට යම් යම් දේ අහිමි වුණා. ත්‍රීවිල් නියාමනය ඉක්මන් කරන්න තව එක හේතුවක් වුණේ ඔවුන්ගෙන්ම ආ අඛණ්ඩ ඉල්ලීම.

අනෙක ත්‍රීවිල් රියැදුරන්ට තිබෙන බොහෝ චෝදනාවල දී ඔවුන් කියන්නේ, වැරැදි වැඩ සිදු කරන්නේ ඒ අය නෙවෙයි, හවසට වැඩ ඇරී ඇවිත් දෙවැනි රැකියාව විදියට හයර් දුවන අයයි කියන එක. එය හරි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මෙවැනි චෝදනා සියල්ලට මේ නියාමනය තුළින් පිළිතුරු ලැබෙනවා...”

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මේ පිළිබඳ පැවසූයේ මෙවැනි අදහසකි.

“ත්‍රීවීල් රියැදුරන් යම් කිසි නියාමන ආයතනයකට ලක් කිරීමෙන් ඔවුන් බලපත්‍රලාභීන් වනවා. ඒ කියන්නේ ඒ අයට නීත්‍යනුකූල අවසරයක් හිමි වනවා, මගී ප්‍රවාහනයේ දී මුදල් උපයන්න. ඒ කියන්නේ මගී ප්‍රවාහනය කියන්නේ දැනටත් නියාමනයට ලක්වන ක්ෂේත්‍රයක් නිසා. එතැන දී අනිවාර්යෙන්ම අපේ නියාමනයට ඔවුන් ලක්වනවා. ත්‍රීවීල් රියැදුරාට වෘත්තීය සුදුසුකමක් ඇති වනවා.

ඒ වගේම, ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිරෝද රථ රිය­ැදුරන්ටත් යම්කිසි වෘත්තීය සුදුසුකමක් හදා දෙන්න.

ලංකාවෙම ත්‍රීවිල් ගත්තත් ලක්ෂ පහළොවක් පමණ තිබෙනවා. ඉන් බස්නාහිර පළාතේ ලක්ෂ තුනහමාරක් විතර තිබෙනවා. නමුත් හරියට කියන්න බැහැ ත්‍රීවිල් හයර් දුවන ප්‍රමාණය පිළිබඳ. මොකද, ඒ ගැන නිවැරැදි සංඛ්‍යා ලේඛනයක් කොතැනකවත් නැහැ. මේ ලියාපදිංචි තුළින් ඒ අඩුපාඩුවත් සම්පූර්ණ වෙනවා.

ඒ වගේම, අප අලුත් තාක්ෂණික ක්‍රමවේද මේ ඔස්සේ හඳුන්වා දෙනවා. ඒ අයගේ බිස්නස් එක සංවර්ධනය කරගන්න පුළුවන් ක්‍රමවේද අපි මේ තාක්ෂණය හරහා ඔවුන්ට ලබා දෙන්නත් බලාපොරොත්තු වනවා. රජයේ ලියාපදිංචිය ‍ත්‍රීවිල් රථයකට ලැබෙන විට එහි ගමන් කරන මගියාටත් ත්‍රීවිල් රථය පිළිබඳ විශ්වාසය වැඩියි. විශ්වාසයෙන් යුතුව ගමනක් යන්න ත්‍රීවිල් රථයකට ගොඩවීමට මේ හරහා ඔවුන්ට අවස්ථාව ලැබෙන එකම විශේෂ පිළිගැනීමක්. ඒක මාකට් කරන්න ත්‍රීවිල් රියැදුරන්ට මේ හඳුන්වා දෙන තාක්ෂණය හරහා පුළුවන්කම ලැබෙනවා.

හැබැයි මේ උපයන මුළු මුදලම ත්‍රීවිල් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා යොදවනවා යැයි අපි කියන්නේ නැහැ. මොකද, අපි රාජ්‍ය ආයතනයක්. අපි ඉන්නේ මේවා නියාමනය කරන්න සහ බදු අය කර ගැනීම වෙනුවෙන්. අනික මේ ත්‍රීවිල් රථ රියැදුරන් ආදායම් උපයන්නට මෙතෙක් පාවිච්චි කළේ රජයෙන් තැනූ මහා මාර්ග වැනි යටිතල පහසුකම්. ඉදිරියේදිත් ඔවුන් මේ යටිතල පහසුකම්වලින් ප්‍රයෝජන ගන්නවා. හැබැයි මේ අයගේ මේ අධ්‍යාපනික මට්ටම සහ දැනුම්වත්භාවය වැඩි කිරීමේ වගකීම අපට තිබෙනවා. ඒ නිසයි අපි NVQ වැනි වෘත්තීය සුදුසුකමක් හඳුන්වා දෙන්නට සූදානම් වන්නේ...”

Comments