
- ඉදිරි වළල්ලේ සිට කොවිඩ් පාලනය වෙනුවෙන් කළ සේවයට බ්‍රිතාන්‍යයේ ඉහළම සම්මානය
- ඔහු මේ වන විටත් යුක්රේනයේ යුද්ධයෙන් අවතැන් වූවන් සඳහා සේවය සපයයි
- උත්සවයේ සාක්ෂිකරුවකු වීමට ලැබීම මට භාග්‍යයක්
මැයි හයවැනි දා වෙස්ට්මිනිස්ටර් ආසන දෙව් මැඳුරේ දී තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය පැවැත්වූයේ ලොව රටවල රාජ්‍ය නායකයන් ඇතුළු ඉහළම පෙළේ ප්‍රභූන්ගේ සහභාගිත්වයෙනි. මේ අතර තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙන බව පවසමින් රාජාභිෂේකයට පෙර එරට සංස්කෘතික ඇමැති ලූසි ෆ්‍රේසර් පවසා සිටියේ මහජන සේවය වෙනුවෙන් තම ජීවිතය කැප කළ පුද්ගලයන්ට ද ජාතියේ ආචාරය පිරිනැමීම සඳහා ඊට ආරාධනා කර ඇති බවය. ඒ අනුව තෙවැනි චාල්ස් රජුගේ හා කැමිලා බිසවගේ රාජාභිෂේකය වෙනුවෙන් සහභාගි වෙන 2000 කට ආසන්න ප්‍රභූන් අතරට එක්වන්නට අති දුලබ අවස්ථාවක් උදාකරමින් ශ්‍රී ලංකාවේ උපන් දැනට බ්‍රිතාන්‍යයේ පදිංචි ලාංකික වෛද්‍යවරයකු වන හරීන්ද සිල්වාට ද රාජ්‍ය නායකයන් ඇතුළු ලොව ඉහළම තලයේ සම්භාවනීය අමුත්තන් අතරට එක්වන්නට සුවිශේෂි ආරාධනාවක් ලැබුණි.
පුංචි අපේ රටට මහා ගෞරවයක් අත්කර දුන් ඔහු කවරුන්ද?
දකුණු යෝක්ෂයර්හි ඩොන්කාස්ටර් හි දුගී ගම්මානයක ජීවත්ව වෛද්‍ය වෘත්තිය හදාරා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සේවය වෙනුවෙන්ම කැප වූ මේ ශ්‍රී ලාංකික වෛද්‍යවරයා වෛද්‍ය හරීන් ද සිල්වාය. ඔහු සිය ඉන්ටර්ග්‍රෑම් ගිණුමේ සඳහන් කර ඇත්තේ තමන් මේ වන විටත් යුක්රේනයේ යුද්ධයෙන් අවතැන් වූවන් සඳහා සිය සේවය ලබා දෙමින් සිටින බවකි. සෞඛ්‍ය අවශ්‍යතා තක්සේරු කිරීම හා මූල්‍ය විශ්ලේෂණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයකු ලෙස මහජන සේවයේ කැපවී සිටින වෛද්‍ය හරීන් පසුගිය වසරේ රැජිනගේ උපන්දින උපහාර උලෙළේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් පිදුම් ලබන්නට තරම් වාසනාවන්ත වූවාය. ජීවිතයේ ලද දුලභ අවස්ථා උරුම කරගන්නට ඔහු වාසනාවන්තයකු වූයේ උපතින්ම නොව දුෂ්කර කොරෝනා වයිරස් අභියෝගය හමුවේ නයිටිංගේල් වෛද්‍යවරයකු ලෙස ඉදිරි වළල්ලේ සිට කළ විශිෂ්ට මෙහෙවර වෙනුවෙනි. ඒ අනුව රාජකීය පවුලේ නිල වෙබ් අඩවියේ ආචාර්ය හරීන් ද සිල්වාගේ නම ද සඳහන් වන්නේ ඔහු කළ සේවය වෙනුවෙන් විශේෂ ආරාධිතයකු ලෙස රාජාභිෂේකයට එක්වන්නට ආරාධනා කරමිනි. මෙවැනි රාජකීය පදක්කම්ලාභීන් 450කට මෙවර ආරාධනා ලැබ තිබුණි.
“තුන්වැනි චාල්ස් රජුගේ රාජකීය රාජාභිෂේක උලෙළේදී සේවා අගය කිරීම විශේෂ තැනක් ගත්තා. මම සතුටු වෙනවා, බ්‍රිතාන්‍ය රජුගේ මෞලි මංගල්‍යයට ආරාධානාවක් ලැබීම හා ඊට සහභාගි වීමට හැකිවීම සම්බන්ධව. තුන්වැනි චාල්ස් රජුත් ඔහුගේ කාලය, ධනය වෙන් කළේ මහජන සේවය වෙනුවෙන්. ඒ සේවය එතුමා අගය කරන නිසාවෙනුයි මාවත් මේ රාජකීය උත්සවයට ගෙන්වා ගත්තේ.....“ වෛද්‍ය හරීන් පවසන්නේය.
වෛද්‍ය හරීන් මහජන සේවය වෙනුවෙන් කැපවූ වෛද්‍යවරයෙකි. කොවිඩ් අවධියේ ඔහු විශිෂ්ට සේවාවක් කළේය. සිරියානු , යුක්රේන යුද්ධ පැවති රටවලට ගොස් සේවය කරන්නේ ඉදිරි වළල්ලේ සිටය.
“ කොවිඩ් කාලය හරිම අසීරු කාලයක්. කොවිඩ් එන්නට පෙර මම විදේශ රටකට යෑමටයි සූදානම් කර තිබුණේ. නමුත් කොවිඩ් පැමිණීම නිසා ඒ ගමන යාමට මට ලැබුණේ නැහැ. කොවිඩ් පැමිණීමත් සමඟ මම ඉදිරි වළල්ලේ සිට පූර්ණකාලීනව කොවිඩ් මර්දන කටයුතු වෙනුවෙන් කැපවුණා.
මම ඒ වෙනුවෙන් මගේ සම්පූර්ණ කාලයම කැප කළා. මම 2023 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ යුද්ධය පවතින යුක්රේනයේ ඈත නැගෙනහිර ප්‍රදේශවලට ගියා. ඒ ගිහින් යුද්ධයෙන් අසරණ වූ පීඩාවට පත්වූ සාමාන්‍ය පුරවැසියන්ට දේශන පැවැත්වුවා. මේ අතර නීතීඥයන්, පාසල් ගුරුවරු, විමර්ශන නිලධාරින් මෙන්ම යුද්ධයේ සෘජු බලපෑමට ලක්වූ අය මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලය ද සිටියා. මම යුක්රේනයට පමණක් නොව ඉරාකය, සිරියාව වැනි යුද්ධයෙන් පීඩාවට පත්වූ රටවලටත් ගිහින් මගේ සේවය ලබා දුන්නා. සිරියාවේදී අපි ඇඳන් 24ක් ඇති සරණාගත කඳවුරක පිහිටි රෝහලක සේවය කළා. එහි 58,000ක් වූ පදිංචිකරුවන්ට මම සේවය කළා. එය හරිම පීඩනකාරී කාල පරිච්ඡේදයක් වුණා.
මෙය පැය 24ම එක දිගට සේවය කරන සිරියාවේ එකම රෝහලයි. මේ හරහා මම ප්‍රජාවට විශිෂ්ට සේවයක් ඉෂ්ට කළා. ඒ සේවාව අගය කිරීම සඳහා රාජකීය සම්මානයක් හිමි වූවා සේම මේ ගෞරවනීය අවස්ථාවට එක් වීමටත් හැකිවුණා. “ වෛද්‍ය හරීන් පවසන්නේය.
“ මේ අවස්ථාවේ මගේ දෙමවුපියෝ සිහි වෙනවා. එයාලා මට හැමදාම ශක්තියක්. මම ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙක්. ලන්ඩනයේ දුප්පත්ම ප්‍රදේශවලින් එකක හැදී වැඩුණේ. සෞඛ්‍ය අවශ්‍යතා තක්සේරු කිරීම හා මූල්‍ය විශ්ලේෂණය තමයි මගේ විශේෂඥ අංශය වුණේ. ඉදිරියටත් මගේ සේවය ලබා දෙන්නේ ජනතාව වෙනුවෙන් “වෛද්‍ය හරීන් පවසන්නේය.
වෙස්ට්මිනිස්ටර් ආසන දෙවුමැඳුරේදී පැවැති චාල්ස් රජුගේ රාජාභිෂේකයෙන් අනතුරුව ඔහු පවසා සිටියේ ඒ අවස්ථාවේ කොටස්කරුවකු වීමට ලැබීම භාග්‍යයක් බවය.
“උත්සවයේ සාක්ෂිකරුවකු වීමට ලැබීම මට භාග්‍යයක්. මගේ පවුලේ අයට වගේම අනාගත පරම්පරාවටත් එදින මා දුටු ඓතිහාසික දේ පැවැසීමට හැකිවෙනවා. ඒ වගේම කිසිදාක නොසිතූ මෙවැනි රාජකීය උත්සවයකට මට ආරාධනා ලැබීමෙන් මට තේරුණේ මම සමාජයේ වටිනා සාමාජිකයකු බවයි. මා ගැන මට ඇත්තේ ඉමහත් ආඩම්බරයක්. ලන්ඩනයේ දුප්පත්ම ප්‍රදේශවලින් එකක හැදී වැඩී පසුව එළිසබෙත් මහ රැජිනගෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමක් ලබා ගැනීම දක්වා ආ දිගු ගමනක ප්‍රතිඵලයක් “ ඔහු පවසා තිබුණි.
වෛද්‍ය හරීන් ද සිල්වා සිය වෘත්තීය කාලය තුළ, දකුණු යෝක්ෂයර්හි ඩොන්කාස්ටර් හි නිවාස නොමැති අයට රැකවරණය ලබා දෙන වීදි වෛද්‍යවරයකු ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අතර, උදේ සහ දහවල් සැත්කම් අතර දිවා ආහාර විවේකයේදී, කොස්ටාරිකාවේ ළමා ගම්මානයේ පුණ්‍යායතනයේ වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇත. ඔහු ලන්ඩනයේ NHS නයිටින්ගේල් රෝහලේ තවමත් සේවය කරන්නේය.
ඔහු 2017 වසරේදී ෂේෆ්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයෙන් මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ පුහුණුව ලබා ඇත්තේය.