රට විරුවන්ගේ විදෙස් ප්‍රේෂණ උපරිමයට ළඟාවීම සතුටට කරුණක් | Page 2 | සිළුමිණ

රට විරුවන්ගේ විදෙස් ප්‍රේෂණ උපරිමයට ළඟාවීම සතුටට කරුණක්

මේ වනවිට මෙරට ආර්ථීකය ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට අර්බුදයකට මුහුණ දෙමින් පවතී. මේ අර්බුදයට මූලික හේතු කිහිපය අතරින් ප්‍රමුඛ හේතුවක් ලෙස පසුගිය දශක ගණන­ාවක් පුරා පැවැති හිඟ අය-වැය ප්‍රතිපත්තිය හඳුනාගත හැකිය. පසුගිය දශක කිහිපය පුරාම ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීමට සැලසුම් සැකසී තිබීමෙන් ඒ වියදම් පියවා ගැනීමට අනිවාර්යෙන්ම රජය මධ්‍යම බැංකුව හරහා නව මුදල් මුද්‍රණය කිරීම සිදු විය. ඒ නිසා අතිවිශාල ලෙස උද්ධමනය පිළිබඳ තෙරපුමක් රටේ ඇති විය. එමෙන්ම අපනයන කරන ප්‍රමාණයට වඩා සාමාන්‍යයෙන් ආනයනික වියදම ඉහළ යෑම තවත් හේතුවකි. ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 12ක් පමණ අපනයනය කරනු ලබයි. එහෙත් ඩොලර් බිලියන 23- 24ක් පමණ ආනයනය කිරීම සිදු විය.

මේ හිඟය පියවා ගැනීමට ආනයනික මුදලින් උපයා ගැනීම සිදු විය. මේ ක්‍රමිකව පැවැති ක්‍රමවේදය පුපුරා යෑම සිදු වූයේ මේ දෙක අතරේ උපරිම අර්බුදකාරී තත්ත්වය මත දෝලනය වන විට මේ ව්‍යසනය ද පැමිණීම නිසාය. මේ දෙක අතර පවතින හිඟය පියවාගෙන අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් වියදම් කරන ප්‍රමාණය අඩු කළ යුතුය.

ඒ අනුව ආනයන වියදම මාසයකට ඩොලර් බිලියන 400කින් පමණ සීමා කළ යුතුය. එහි සාධනීය හෝ සාධනීය නොවන ප්‍රතිඵල ඇත. එහි සාධනීය නොවන ප්‍රතිඵලයක් වන්නේ අපි ආනයනය කරමින් තිබූ අන්තර් භාණ්ඩ සීමා කිරීමයි. ඒ සීමා කිරීම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනයේදී අපේ කර්මාන්තවලට යම් ආකාරයක ඍණ ආකාරයට බලපානු ලබයි. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම විශාල ලෙස ජනතාවට බලපානු නොලැබේ. ආනයනය සීමා කිරීමෙන් පසුව ඩොලර් සැපයුම වැඩි කර ගැනීමට උත්සාහ කළ යුතුය.

ඒ සඳහා මැදි හා දිගුකාලීන ක්‍රමවේද මඟින් කඩිනම් විසඳුම් සෙවිය නොහැකිය. එසේ නම් ඒ සඳහා ගත යුතු කඩිනම් සහ කෙටිකාලීන විසඳුම වන්නේ විදෙස් ප්‍රේෂණ වැඩිකර ගැනීමයි. එය සිදු කෙරෙන ප්‍රධාන මාර්ග දෙකක් වෙයි. එනම්, සංචාරක කර්මාන්තය සහ විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදෙස් ප්‍රේෂණ ය.

එහිදී ප්‍රමුඛ කාර්ය භාරයක් විදෙස් ශ්‍රමිකයන් විසින් සිදු කෙරෙන බව ඉතා පැහැදිලිය. නමුත් අපි අර්බුද අවස්ථාවක සිටින හෙයින් එකවර එය සිදු කළ නොහැකිය. ඩොලර් උපයා ගැනීමේ කෙටිකාලීන සහ සාධනීය ප්‍රතිඵල ගෙන එන ක්‍රමවේද අතරින් රටවිරුවන් විසින් එනම්, විදෙස් ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන මුදල් ප්‍රමුඛ වෙයි. විදෙස් ප්‍රේෂණ සංචාරක කර්මාන්තය හරහා ද උපයා ගැනීම ඉතා වැදගත් වෙයි. මේ ක්‍රමවේද දෙක හරහා ප්‍රධාන වශයෙන් කෙටිකාලීනව ලබා ගන්නා ඩොලර් ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකි වෙයි. මේ වනවිට කිසියම් ආකාරයකට රට යම් ස්ථාවරත්වයකට පැමිණ ඇතත් පෙර තිබූ ආසන්න මට්ටමටවත් විදෙස් ප්‍රේෂණ ලැබීම් මේ වන තෙක් පැමිණ නැත. අර්බුදයේ සෙවණැලි තවමත් පවතින බව අපි දනිමු. කෙටි කාලයකදී විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්ත හරහා මුදල් උපයා ගැනීම සිදු කළ යුත්තේ කෙසේදැයි වඩා සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් විදෙස් ප්‍රේෂණ හරහා අපිට ලබා ගත හැකි උපරිමයට අපි ළගා විය යුතුය. 2020 වන විට විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබුණ ප්‍රේෂණවල උපරිමය මාසකට ඩොලර් මිලියන 800ක් පමණ විය. එය ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ ලැබුණු වර්ෂයයි. 2021 වන විට එය ඩොලර් මිලියන 300ක් පමණ පහත වැටුණි. නමුත් මේ වන විට මසකට විදෙස් ප්‍රේෂණ ලැබීම 400ක් 500ක් අතර පමණ වෙයි. මෙය දෙගුණ කර ගත හැකිය.

වර්තමානයේදී වසරකට ලක්ෂ තුනක් පමණ, විදෙස් ගත වෙයි. මිලියන 2ක ආසන්න ප්‍රමාණයක් දැනටමත් විදෙස් ගතව සිටියි. මේ සියලු දෙනා පිළිබඳ තොරතුරු අදාළ අංශවල පවතින්නේ ද යන්න ගැටලුවකි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ සම්බන්ධයෙන් වඩා විශාල වගකීමක් ඇත. මේ විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් සියලු දත්ත එක් රැස්කර ගැනීමට නම් විදේශ ශ්‍රමිකයන් සියලු දෙනා දැනුම්වත් කිරීමක් අත්‍යවශ්‍ය වෙයි. මේ සඳහා නව දත්ත පද්ධතිය පිළිබඳ කථිකාවක් ගොඩනැඟිය යුතුය. ඇතැම් විට මැද පෙරදිග රටවලට යන පිරිස ඉතාමත් පීඩා විඳින අවස්ථා වෙයි. ඔවුහු මාස තුන හතරක කාලයක් ඇතැම් රටවල පීඩා විඳිති. මේ සෑම රටකම අපේ රටේ තානාපති කාර්යාල වෙයි. විධිමත් නොවන ආකාරයට රට යන ක්‍රමවේදයන් පැවතෙන්නේ තරගකාරීත්වය තුළයි. විදෙස් සේවා නියුක්ති කාර්යංශයට ද මේ සම්බන්ධයෙන් කාර්ය භාරයක් පවතී.

ඒ සඳහා ආර්ථික බුද්ධි තොරතුරු ඒකකයක් අත්‍යවශ්‍ය වෙයි. මේ අය සම්බන්ධයෙන් සියලු දත්ත සම්පාදනය කෙරෙන පද්ධතියක් සකස් කර මේ පිළිබඳ සොයා බැලිය යුතුයි. අඩුපාඩු සිදු වන්නේ ද යන්න පිළිබඳ තොරතුරු රැස් කර ගැනීමට ප්‍රමාණික දැනුම ඇති පිරිසකගෙන් සමන්විත ආර්ථික බුද්ධි ඒකකයක් සැකසීම වඩා වැදගත් වෙයි. විදේශ රැකියාවන්ට යන අය කුමන ක්ෂේත්‍ර සඳහා විදෙස් ගත වන්නේ ද යන කරුණ පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. කුඩා ආදායම් උපයා ගන්නා සහ කඩිනමින් සොයා ගන්නා රැකියාවලට නිරතවන වැඩි පිරිසක් විදෙස් ගතවුවත් අපිට ලැබෙන ආදායම ඒ හා අනුපාතිකව වැඩි කරගත නොහැකිය. ඒ නිසා යුරෝපා රටවලට කුමන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ද ඉල්ලුම පවතින්නේ යන කාරණාව ගැන වඩා සැලකිලිමත් විය යුතුය.

විදේශ රටවල පුහුණු ශ්‍රම ඉල්ලුමට ගැළපෙන ආකාරයට අපි ශ්‍රමිකයන් පිටරට යැවීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතුය. ඒ සඳහා වහාම ශ්‍රමිකයන් පුහුණු කිරීම අත්‍යවශ්‍ය වෙයි. විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගත් විට ඉතා විශාල ඉල්ලුමක් වෙයි. සාමාන්‍ය දැනුමක්, පුහුණුවක් ඇති පිරිසට යුරෝපා රටවලට ඉතා පහසුවෙන් රැකියාවක් ලබා ගැනීමට හැකිය. අදාළ ආයතන විසින් ඒ අය උපයන ක්‍රම සකස් කිරීම අවශ්‍යයි.

මේ සියලු කර්තව්‍යයන් රජයට කළ නොහැකිය. ඒ සඳහා අවශ්‍ය ප්‍රාමාණික දැනුම් ඇති පිරිස් විශ්වවිද්‍යාලවල පුහුණු කෙරෙයි. එවැනි ක්‍රමවේදයන් සහ කිසියම් දැනුම්වත් කිරීමක් අවශ්‍යයි. ඒ හරහා රජය පාර්ශ්වයෙන් ගත් විට තානාපති සේවාවන් සහ විදෙස් දූත මණ්ඩල අමාත්‍යාංශ මේ පිළිබඳ දැනුම්වත් කිරීම් කළ යුතුය. රැකියා සම්බන්ධයෙන් ද යම් අවස්ථාවන් මේ ආයතනයන්ට සකස් කර දිය හැකිය. එය කෙටි කාලයකදී කළ හැකිය. එලෙස පුහුණු ශ්‍රමිකයන් යැවීමෙන් මෙරටට කඩිනමින් විදෙස් මුදල් උපයා ගැනීමට හැකි වෙයි.

මේ වන විටත් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් පිටරට රැකියාවල නියුතු වී ඇත. ඒ කෙටි මාර්ගවලින් යන පිරිසෙන් යම් පිරිසක් ආපසු පැමිණෙයි. කෙසේ වුවත් පෙර තිබු මට්ටමකට තවම මුදල් මෙරටට නොපැමිණෙයි. එසේ නම් මේ අය දිරිමත් කිරීමට කළ යුතු කරුණු මොනවාද යන්න සැලකිලිමත් විය යුතුය. විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබුණේ බැංකු ක්‍රමය සහ විධිමත් මුදල් ගනුදෙනු කරන ආයතන සහ නිල බලයක් ඇති තැපැල් කන්තෝරු හරහායි. මේ අර්බුදයට පෙර ආර්ථිකය කිසියම් ආකාරයකට ස්ථාවරව පැවැති නිසා මිනිසුන් අවධිමත් ක්‍රම සඳහා මුදල් එවන විට එහි තියෙන අවදානම පිළිබඳ දැනුම්වත් වී සිටියහ. ඒ නිසා අවදානම අඩු, විධිමත් ක්‍රමවේද හරහා විශාල ප්‍රමාණයක් මුදල් මෙරටට එවීම සිදු විය. පසුගිය කාලයේ රුපියල මත විශාල පීඩනයක් ඇති විය. ඩොලරය පිළිබඳ දැඩි අවධානයකින් අධිතක්සේරුවකින් සිටි බැවින් මුදල් ගනුදෙනු කරන තැරැව්කරුවන්ගේ පුරෝකතනය වී තිබුණේ ඩොලරය මීටත් වඩා ඉහළ යන බවයි. ඒ අනුව පසුගිය කාලයේ හවාලා, උණ්ඩියල් වැනි ක්‍රම ප්‍රචලිත වීම ආරම්භ විය. ඩොලර් මෙරටට එවීම සිදු වුවත් විධිමත් ක්‍රමයට නොවෙයි. අවිධිමත් වෙළෙඳපොළ තුළ විශාල ලෙස ඩොලර් සංසරණය වුවත් නිල වෙළෙඳපොළ තුළ එසේ නොවීමය. නිල ක්‍රමය මත අඩු රුපියල් ප්‍රමාණයක් ලැබෙන විට නොනිල ක්‍රමය මත වැඩි මුදලක් ලැබිණි. මේ තත්ත්වයන් පාලනය කිරීමට නම් රටකට සාර්ව ආර්ථික සමතුලිතයක් ඉතා අවශ්‍යයි. මේ සාර්ව ආර්ථික අසමතුලිතය අර්බුදයට පෙර පැවැතිණි. මේ වන විට ඩොලරය යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත. ඒ අනුව උණ්ඩියල්, හවාලා වෙළෙඳපොළ හැකිළීමක් සහ විවිධිමත් වෙළෙඳපොළ හරහා මුදල් එවීමටත් රට විරුවන් පෙලඹෙමින් ඇත. ඒ නිසා මේ අවස්ථාව ඉතාමත් සූක්ෂමව උපරිමයක් කරා ගෙන යෑම අවශ්‍ය වේ. ඒ නිසා එයට හොඳ වැඩපිළිවෙළක් රට තුළ තිබිය යුතුය. මුදල් අච්චු ගසාගෙන පොලී අනුපාතය කෘතිමව තබා ගත්තත් එහි අතුරු විපාක එතරම් සුබවාදී නොවෙයි.

ඩොලර් බිලියන 6ක් පමණ විදෙස් ප්‍රේෂණ ලැබීමක් පසුගිය කාලවකවානුවේ පැවැතිණි. 2021 වන විට එය ඩොලර් බිලියන 3.5 පමණ ප්‍රමාණයට අඩු විය. 2022දී බිලියන 5ක් පමණ වාර්ෂිකව ලැබිණි. එම ප්‍රමාණය වැඩි කර ගත යුතුයි.

විදෙස් ගතවන තරුණ පිරිස වාර්ෂිකව ලක්ෂ තුනක් පමණ වන හෙයින් ඉදිරියේදී ඩොලර් ලැබෙන ප්‍රමාණය වැඩි වෙතැයි සිතිය හැකිය. කෙටිකාලීනව විදෙස් ප්‍රේෂණ වැඩි කර ගැනීමට නම් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකිකයන් පිට රට යා යුතුය. ඒ පිටරට යන අයගෙන් වැඩි ප්‍රමාණයක් පුහුණු ශ්‍රමිකයන් විය යුතුය. ඒ විදෙස් ගතවීමේදී අනුගමනය කරන ක්‍රමවේද ද අනිවාර්යෙන්ම විධිමත් විය යුතුය. මුදල් ලබා ගන්නා බැංකු පද්ධති, තැපැල් කන්තෝරු හා වෙනත් විදෙස් මුදල් වෙළෙඳපොළේ අනෙකුත් තැරුව්කරුවන් යන අය අතර අන්තර් සම්බන්ධතාවක් තිබීම අවශ්‍ය වේ.

රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගෙන්වා ගැනීමට නම් දැනට විදෙස්ගත වී සිටින රටවිරුවන්ට අප ආමන්ත්‍රණය කළ යුතුය. හොඳ අලෙවිකරණයක් කිරීමට නම් ඒ අය ආමන්ත්‍රණය කරන නියමාකාරයේ සන්නිවේදන ක්‍රමවේදයක් හඳුන්වා දීම කළ යුතුමය. රජයේ බැංකු සහ පුද්ගලික බැංකු විසින් ලබා දෙන වරප්‍රසාද සම්බන්ධයෙන් මාධ්‍ය තුළින් දැනුම්වත් කිරීම වඩා සුදුසුයි. රජයේ සහ පුද්ගලික බැංකු සහ පුද්ගලික ආයතන ඔවුන්ගේ ධාරිතාවය අනුව එය සිදු කළ ද රජයක් ලෙස මේ අයට ලබා දිය හැකි වරප්‍රසාද සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම ඉතා අවශ්‍යය. යම් කිසි සීමාවක් අභිභවා මාසික මුදල් එවන්නේ නම් ඒ අයට ලබා දිය හැකි විශේෂ ප්‍රතිලාභ පිළිබඳ යම් අවධානයක් යොමු කළ යුතුයි. කිසියම් සීමාවකට එහා ප්‍රමාණයකට මුදල් එවන විදෙස් ශ්‍රමිකයන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීම වැනි පියවර ගත හැකිය. එසේම නිවාස යෝජනා ක්‍රම හඳුන්වා දීම කළ හැකිය. ඔවුන් නිවාස ණය ලබා ගන්නා විට අඩු පොලියකට ලබා දිය යුතුය. මෙවැනි අයගේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී යම් ප්‍රමුඛ තාවයක් දී ප්‍රාදේශීයව හොඳ පාසලක් ලබා දීම කළ හැකිය. එමෙන්ම තාක්ෂණික පහසුකම් හරහා ඉතා ඉක්මනින් පිරිවැය අඩු කරන ක්‍රමවේද මඟින් මුදල් එවීමේ ක්‍රමවේද සකස් කළ යුතුය. එවිට පරිමාණය විශාල වී පිරිවැය අඩු වෙයි. තාක්ෂණික ක්‍රමවේද හරහා පොලි අනුපාත අඩු කළ යුතුය. වෙළෙඳපොළ තුළ මුදල් ලබා ගන්නා ආයතන අතර තරගකාරීත්වයක් ඇති කළ යුතුය. මුදල් එවීමේදී ඩිජිටල් තාක්ෂණ පහසුකම් ලබා දී අවධානය වැඩි කළ යුතුය. එසේම අවදානම නිසා මුදල් එවීම නොකරන අයගේ විශ්වාසය දිනාගත හැකි කැපී පෙනෙන ආයෝජන අවස්ථා හඳුන්වා දිය හැකිය.

මේ දේවල් අධීක්ෂණය කිරීමට ආර්ථික බුද්ධි ඒකකයක අධීක්ෂණය අත්‍යවශ්‍ය වෙයි. ඇතැම් ප්‍රමිතිගත නොවන ඒජන්සිකරුවන් හරහා යැවීම මඟින් මේ දේවල් අධීක්ෂණය කළ යුතුය. මේ ආකාරයට පිටරටවලට පිටත් කර හැරීමේදී රජයේ ආයතන ලබා දෙන සුරක්ෂිතතාව කුමක්ද යන්න ගැටලුවකි. මේ අසරණ තත්ත්වයන්ගෙන් රටවිරුවන් බේරා ගත යුතුය. විදෙස්ගත වන පිරිස සම්බන්ධයෙන් රජයේ ආයතන දැනුම්වත් වී පිටරටවලට පිටත් විය යුතුය. නියම තොරතුරු ලබා ගෙන විදෙස්ගත විය යුතුය. රජය මෙවැනි ආයතන පිහිටු වීම සම්බන්ධයෙන් විධිමත් අධික්ෂණයක් සහ එවැනි ආයතනවලට ආමන්ත්‍රණය කිරීම කළ යුතුය. නිසි තොරතුර රැගෙන රැකියා අවස්ථා ඇති ස්ථාන සොයා බලා තානාපති කාර්යාල මඟින් තොරතුරු ලබාගෙන විදෙස් ගත වීමට අවස්ථාව උදා කරගැනීමට කටයුතු කළ යුතුය. එවිට මේ රටවිරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත වෙයි. මුලික පහසුකම් සපයන්නේ නොමැති, වැටුප් නොගෙවන සහ ප්‍රමාද කරන සහ වෙනත් හිංසා සිදුවන අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දැනුම්වත් කළ හැකි ක්‍රමවේද සකස් කළ යුතුය. මේ සම්බන්ධයෙන් අදාළ රටේ නිලධාරින්ට පැමිණිලි කළ හැකි විය යුතුය. මුලින් සඳහන් කළ ආකාරයට පුහුණු ශ්‍රමිකයන් රටවලට යැවිය යුතුය.

වැඩි අගයක් ලැබෙන රැකියාවන්ට යැවීමට දිරිමත් කළ යුතුය. විශේෂයෙන් මැද පෙරදිගට වඩා යුරෝපා රටවලට, අමෙරිකාව, නවසීලන්තය, කැනඩාව වැනි රටවලට යැවීමෙන් විශාල වශයෙන් ඩොලර් අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාව ලැබෙයි. මැදපෙරදිග සිට වසර තුනක් සිට පැමිණෙන කෙනෙකු කිසියම් මුදලක් මෙරටට එවන්නේ නම් ඒ මුදල හොඳ ආයෝජනයකට දිරිමත් කිරීමට රජයට යම් මැදිහත් වීමක් කළ හැකිය. කිසියම් ආයෝජන අවස්ථාවක් සකස් කර දී එය අධීක්ෂණය කිරීමේ යම් වැඩපිළිවෙළක් සකස් කළ හැකිය. මෙවැනි දේවල් කළ හැකි රාජ්‍ය නිලධාරීන් මේ වනවිටත් ග්‍රාමීය මට්ටමින් සිටීයි. සංවර්ධන නිලධාරීන්, ග්‍රාමසේවා නිලධාරීන් වැනි අයගෙන් සැදුම් ලත් ක්‍රමවේදයක් සකස් කළ යුතුය. මේ සියලු දේවල්වල තොරතුරු ඒකරාශි කර ගැනීම කළ යුතුය. මේ සඳහා ආර්ථික බුද්ධි තොරතුරු ඒකකයක් ස්ථාපනය කිරීමත් ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගැනීමත් අවශ්‍ය වේ.

Comments