මීළඟ බිල්ල ඔබ වෙන්න කලින් මිදෙමු ඩෙංගු අවදානමෙන් | Page 2 | සිළුමිණ

මීළඟ බිල්ල ඔබ වෙන්න කලින් මිදෙමු ඩෙංගු අවදානමෙන්

- මෙවර වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්
- හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25ක් පාසල් යන වයසේ පසුවන අතර, සියයට 60ක් පමණ ක්‍රියාකාරී වයසේ පසුවන්නන්
- ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදු වුණොත් රෝගීන් කළමනාකරණය කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට විශේෂ පුහුණුවක්

කුත් අප්‍රේල් මස සිදු කරන ලද නවතම ඩෙංගු පර්යේෂණවලට අනුව මේ වන විට DEN - 3 ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරි දිනවල ඩෙංගු රෝගීන්ගේ වේගවත් පැතිරීමක් සිදු විය හැකි බවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීවවිද්‍යා අධ්‍යයන ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර අනතුරු අඟවන බව සිළුමිණ වාර්තා කළේ ඉකුත් ඉරිදාය. මෙය ලියන සිකුරාදා වන විට මේ වසරේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 33,124කි. මැයි මස මුල් දින 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,907ක් වාර්තා වී තිබූ අතර දින දෙකකට පසු එම සංඛ්‍යාව 3,416 දක්වා ඉහළ ගොස් තිබුණි. ඒ අනුව ඩෙංගු අවදානම් තත්ත්වයක් බව හැඟවෙන ලකුණු පහළ වී ඇත.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග විද්‍යා ඒකකයේ තොරතුරුවලට අනුව මෙරට පළමුවරට ඩෙංගු 3 ප්‍රභේද කාණ්ඩය හේතුවෙන් ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන තත්ත්වය සහිත වසංගත තත්ත්වයක් වාර්තා වී ඇත්තේ 1989- 1990 කාලයේදීය. එතැන් සිට නියත කාල පරාසයන්වලදී ක්‍රම ක්‍රමයෙන් රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩි වීමක් සහ වඩාත් තීව්‍ර ඩෙංගු රක්තපාත හා කම්පන තත්ත්ව සහිත වූ වසංගත තත්ත්වයන් ශ්‍රී ලංකාව තුළ වාර්තා වී තිබිණ. විශේෂයෙන්ම වඩාත් නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශවල වසර මුළුල්ලේම ඩෙංගු පැතිර යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර, මැයි මස සිට ජූලි මස අතර කාලයේදී සහ ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලයේදී වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ. 

වයිරසයක් මඟින් බෝවන ඩෙංගු රෝගයේ වාහකයා වන්නේ මදුරුවාය. ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්ත්වයන් ඉතා විශාල පරාසයක් තුළ විහිදෙන අතර, සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, තවත් කොටසකට රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වයිරස් උණ තත්ත්වයේ සිට ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්ත්වයක් ඇතිවිය හැකිය. ඩෙංගු රෝගය කලින් හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ලබා දීම මඟින් ඩෙංගු රෝගයේ සංකුලතා හා අසාධ්‍ය තත්ත්වය අවම කළ හැකි බව වෛද්‍ය මතයයි. විශේෂයෙන් මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුල වීමේ අවදානමක් තිබෙන බැවින් රෝගය පාලනය කිරීම සඳහා ඒ පිළිබඳ මහජනතාවගේ අවධානය සහ සැලකිල්ල විශේෂයෙන් යොමු විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න පැවසීය.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩි වීමක් පෙන්නුම් කරන අතර වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න පවසන්නේ අධි ජනඝනත්වය සහිත ප්‍රදේශයක් වීම බස්නාහිර පළාත තුළ රෝගය පැතිර යෑම වේගවත් වීමට හේතුවන බවයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇත ද රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතාව සතු සමාජීය වගකීම පිළිබඳ ද වෛද්‍යවරයා විශේෂයෙන් අවධාරණය කළේය.

"අප අවට පරිසරය පිරිසුදුව තබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. විශේෂයෙන් ඩෙංගු මදුරුවාට වාසස්ථාන ඇති වීම වළක්වා ගැනීම මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන විනාශ කිරීමත් වැදගත්. ගේ ඇතුළත සහ ගෙවත්තේ ජලය රැඳෙන ස්ථාන පිරිසිදු කිරීම වසංගතය පැතිර යාම පාලනය කිරීමට විශාල රුකුලක්. ඩෙංගු පාලනය කිරීම සෞඛ්‍ය නිලධාරින්ට සහ බලධාරින්ට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි. "

දැනට වැඩි ඩෙංගු අවදානමක් දක්වන බස්නාහිර පළාත තුළ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇති අතර, ඉකුත් අප්‍රේල් 28 වැනිදා සිට මැයි 2 වැනිදා දක්වා ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂාව, දැනුම්වත් කිරීම් සහ ඩෙංගු පොකුරු වශයෙන් හමුවන ස්ථානවල ස්ථාන පරීක්ෂාව, ධුමායන කටයුතු ආදිය සිදු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු සඳහන් කළේය.

"නිවෙස් සහ ගෙවතු පරීක්ෂාවට අමතරව ආගමික ස්ථාන, පාසල්, ඉදිකිරීම් ස්ථාන, කර්මාන්තශාලාවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සිදු කළා. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විශේෂයෙන් උපදෙස් දී තිබෙනවා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් විසින්ම තමන්ගේ දිස්ත්‍රික්කයේ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට. ඊට අමතරව ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුවුණොත් ඒ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා රජයේ සහ පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරු සහ හෙදියන් පුහුණු කිරීමේ කටයුතුත් ආරම්භ කර තිබෙනවා. මේ වන විට හෙදියන් 400ක් පමණ විශේෂයෙන් පුහුණු කර තිබෙනවා. ඊට හේතුව ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වැඩි වුණොත් සාමාන්‍ය කළමනාකරණයකට එහා ගිය යාවත්කාලීන වූ දැනුමක් අවශ්‍ය වෙන නිසයි."

මදුරුවන් මර්දනය සඳහා ධුමායනව පිළිබඳ ඇතැම් අය විවිධ අදහස් දක්වන බැවින් අප ඒ පිළිබඳ ද වෛද්‍යවරයාගෙන් විමසීමක් කළෙමු.

"ධුමායනය සිදු කරන්නේ වැඩිහිටි මදුරුවන් මර්දනය කිරීමටයි. ඩෙංගු පාලනය කිරීමට මදුරුවන් බෝවන ස්ථාන විනාශ නොකර සුහුඹුල් මදුරුවන් පමණක් විනාශ කිරීම ප්‍රමාණවත් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගේම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේත් ප්‍රතිපත්තිය අනුව ප්‍රමුඛත්වය මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමටයි. නමුත් ප්‍රදේශයේ බිම් මට්ටමේ සෞඛ්‍ය නිලධාරීන් වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ කීට විශේෂඥයන් යම් කිසි අවස්ථාවක ඩෙංගු වසංගත අවදානමක් ගැන අනතුරු ඇඟවීමක් කළොත් වහාම ධුමායනය සඳහා ප්‍රමුඛතාව ලබා දෙනවා. එසේ නැතිව ධුමායනය සීමා කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිම චක්‍ර ලේඛයක් නිකුත් කර නැහැ."

දැනට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25ක් පමණ පාසල් යන වයසේ පසුවන අතර, සියයට 60ක් පමණ රටේ ආර්ථිකයට දායක වන ක්‍රියාකාරී වයසේ පසුවන්නන්ය. ඩෙංගු රෝග තත්ත්වය ඇති වූ විට කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු වීමේ වැදගත්කම පිළිබඳ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මෙසේ පැහැදිලි කළේය.

" උණ රෝගය වැලඳී දවස් දෙකක් ගත වෙලත් උණ බැස නොයනවා නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු වීම හෝ ළඟම ඇති රෝහලකට යෑම අනිවාර්යයයි. ඇතැම් අවස්ථාවල වෛද්‍යවරයා නිර්දේශ කළ වෛද්‍ය පරීක්ෂණ නෙගිටිව් වුවත් එම පරීක්ෂණ වාර්තා වෛද්‍යවරයාට පෙන්වා ඔහුගේ උපදෙස් ලබා ගැනීමත් අනිවාර්යෙන් කළ යුතුයි. ඒ වගේම වැඩි අවධානය යොමු කළ යුතු රෝගී තත්ත්වයක් වන්නේ ඩෙංගු රක්තපාත උණ තත්ත්වයයි. මෙය ඩෙංගු ආසාදනයේ තීව්‍ර රෝගී තත්වයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මේ තත්ත්වයට මුහුණ දෙන්නේ සුළු පිරිසක් වුණාට ඒ රෝගී තත්ත්වය භයානකයි. පෙර හඳුනා ගැනීමක් නොවුණොත්, අවශ්‍ය උවැටන් නොකිරීමෙන් රෝගියාට කම්පන තත්ත්වයට පවා පත් විය හැකි බැවින් රෝගියකු මේ තත්ත්වයට පත් නොකර බේරාගත හැකියි. ඒ නිසා තමන්ගේ නිවෙසේ උණ රෝගියකු සිටිනවා නම් ඒ ගැන දැඩි අවධානයෙන් සිටීම ඉතා වැදගත්. මදුරුවන් බෝ වන ස්ථාන සොයා පරීක්ෂා සිදු කරද්දි අපිට නිවෙස්වල සිටි ඩෙංගු යැයි සැක කරන රෝගීන් කිහිප දෙනෙකුත් හමු වුණා. ඒ නිසා එසේ තමන්ගේ ජීවිත නිකරුණේ අවදානමක නොදා සෞඛ්‍ය තත්ත්වය ගැන විමසිලිමත් වීම ඉතා වැදගත්. සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවන් වැඩිපුර දෂ්ට කරන්නේ උදේ කාලයේ සහ රාත්‍රී කාලයේ. මේ වෙලාවට කුඩා දරුවන්ට අනුමත මදුරු විකර්ශන භාවිත කිරීම සුදුසුයි."

ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ වෛද්‍යවරයා මෙසේ පැවසීය.

" වෛද්‍ය උපදෙස් අනුව පැරසිටමෝල් ඖෂධය පමණක් රෝගියාගේ බරට සරිලන නියමිත මාත්‍රාවෙන් ලබා ගැනීම, උණ දින දෙකකට වඩා පවතී නම් ළඟම රෝහලෙන් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ගේ උපදෙස් ලබා ගැනීම, වෛද්‍ය නිර්දේශ අනුව උණ වැලදී තෙවැනි දිනයේදී සම්පුර්ණ ලේ පරීක්ෂාවක් සිදු කිරීම, රෝගී අවස්ථාවේ හොඳින් විවේක ගැනීම, කිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් ආදී ලවණ සහිත දියර වර්ග පානය කිරීම, රෝගියාට ආහාර රුචිය ඇත්නම් සාමාන්‍යයෙන් ගනු ලබන ඝණ ආහාර ලබා දීම, රතු සහ දුඹුරු පැහැති ආහාර සහ බීම වර්ග ලබා දීමෙන් වැළකිය යුත්තේ රක්තපාත තත්ත්වයකදී මලපහ සමඟ රුධිරය පිටවුවහොත් එය හඳුනා ගැනීමට බාධාවක් විය හැකි නිසයි"

මේ වන විට ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා සමඟ කොවිඩ් රෝගීන් යම් කිසි සංඛ්‍යාවක් ද මෙරටින් වාර්තා වේ. 2019 දෙසැම්බර් 31 වැනිදා චීනයේ හුබෙයි පළාතෙන් පළමුවරට වාර්තා වූ අලුත් රෝග තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 ජනවාරි 7 වැනිදා දින නව කොවිඩ් වයිසරය ලෙස හඳුනා ගැණින. ජනවාරි 31 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ලොව පුරා රටවල් ගණනාවකින් රෝගීන් රැසක් හඳුනා ගැනීමත් සමඟය. වසර 3කට අධික කාලයක් ලෝකය පුරා පැතිරුණු කොවිඩ් වසංගත තත්ත්වයේ යම් නිමාවක් සටහන් කරමින් එතෙක් පැවැති හදිසි සෞඛ්‍ය තත්ත්වය අවසන් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉකුත් මැයි -04 වැනිදා නිවේදනය කරනු ලැබිණි.

ඉකුත් මැයි 10 වැනිදා වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 6,72 232ක් වාර්තා වී තිබූ අතර 6,55 353ක් සුවය ලබා තිබුණි. මරණ සංඛ්‍යාව 16,850ක් විය. මේ දක්වා කොවිඩ් රෝගයෙන් මෙරට පිරිමි 9,502ක් මියගොස් ඇති අතර, කාන්තා මරණ සංඛ්‍යාව 7,348කි. මෙරට සමස්ත කොවිඩ් මරණ අතර අවුරුදු 30ට අඩු මරණ ප්‍රතිශතය සියයට 1.32ක් වන අතර 30ට අඩු ප්‍රතිශතය සියයට 22.39කි. වයස අවුරුදු 60ට වැඩි මරණ ප්‍රතිශතය සියයට 76.28කි.

මේ අතර පසුගිය දිනවල ද තවත් රෝගීන් කිහිප දෙනකු අලුතින් හඳුනාගෙන තිබූ අතර, එක් මරණයක් ද වාර්තා වී තිබිණ. තවදුරටත් කොවිඩ් අවදානම් තත්ත්වයක් තිබේද? ඒ පිළිබඳ නවතම තත්ත්වය පිළිබඳ අප වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ගෙන් විමසුවෙමු.

"ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය අවසන් කළ බව ප්‍රකාශයට පත් කළා කියන්නේ කොවිඩ් අවදානම සියයට සියයකින් අඩු වුණා කියන කාරණය නොවෙයි. වසංගත රෝගයක සාමාන්‍ය ස්වාභාවය වන්නේ එය අඩු වැඩි වෙමින් කාලයක් යනතුරු පැවතීමයි. ගෝලීය හදිසි තත්ත්වය අවසන් කළත් රටින් රටට වයිසරසයේ ව්‍යාප්තිය යම් ආකාරයට පැවතිය හැකියි. විශේෂයෙන් වැසි කාලයේදී ශ්වසන රෝගවල වැඩිවීමක් සිදු වෙනවා. ඒ නිසා නැවත යම් යම් ප්‍රදේශවලින් රෝගීන් හමුවිය හැකියි. මරණ ද සිදුවිය හැකියි. මේ සියල්ල අප අධ්‍යයනය කරමින් සිටිනවා. නැවත කොවිඩ් වසංගත තත්ත්වයක් බවට පත්වීම පිළිබඳ ජනතාව අනිසි බියක් ඇතිකර ගත යුතු නැහැ. නමුත් එයින් රෝග අවදානමෙන් ප්‍රවේශම් නොවී සිටිය යුතු බවක් අදහස් වන්නේ නැහැ. ගෝලීය තත්ත්වය අවසන් කළත් රටක් ලෙස අවශ්‍ය ක්‍රියාමාර්ග අප ගත යුතුයි. අවදානම පහවෙලා නැහැ. එය අඩු වැඩි විය හැකියි. ජනතාව කළ යුතු හොඳම දේ යහපත් සෞඛ්‍ය ක්‍රියාමාර්ග තවදුරටත් පිළිපැදීමයි. විශේෂයෙන් කොවිඩ් වැලඳීමේ අවදානම් කාණ්ඩයට අයත් ළදරුවන්, ගැබිනි සහ කිරිදෙන මවුවරුන්, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් තමාගේ සෞඛ්‍ය පිළිබඳ වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒ හැරුණු විට සෑම පුරවැසියෙක්ම යළිත් රට තුළ කොවිඩ් වසංගත තත්ත්වයක් ඇති නොවීම සඳහා තම සමාජීය වගකීම ඉටු කළ යුතුයි."

Comments