
අවුරුදු 60 යනු විශ්‍රාමික වයසක් යැයි කෙනකුට සිතුණත්, වයස 62 දී පිළියන්දල කහතුඩුවේ නිහාල් කන්නන්ගර මහතාට දැනුණේ, තම සිතට වද දෙන මේ ජාතික ගැටලුව විසඳීමට දායක වන්නට නම්, ඊට අදාළ කර්මාන්තයක් තමන් ද පටන් ගත යුතු බවයි.
එතෙක් කරගෙන ආ සිය ව්‍යාපාරය වූ, රණතිසර ප්‍රොපටීස් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ 2021 අප්‍රේල් මාසයේ දිනෙක The Compost Villa, කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරය ඔහු ආරම්භ කළේ ඒ අනුව ය.
ඔහුගේ සිතට වධ දුන් කාරණය නම්, අපේ රටේ ගාණක් මිම්මක් නැතිව වැඩි වන වකුගඩු රෝගීන් ගේ සංඛ්‍යාව ය. ඉන් අනේක දුක් විඳින රෝගීන් අතර රටට බත සැපයූ ගොවි ජනතාව මෙන්ම, ඔවුන් වැවූ බත බුලත, එළවළු පළා ටික ආහාරයට ගත් බොහෝ මිනිසුන් වකුගඩු රෝගීන් බවට පත්ව තිබීම ඔහුගේ සිත බොහෝ පීඩාවට පත් කළේය.
"ඇත්තටම, මායි මගේ නෝනයි මේ ගැන හුඟක් කල්පනා කළා. කතා කළා. මම කරමින් හිටියේ පිටකොටුවේ තේ කොළ ව්‍යාපාරයක්. ඒ මගේ තාත්තාගෙන් උරුම වූ ව්‍යාපාරය. අවුරුදු 60 විතර වෙනකොට මට හිතුණා, ඒ ව්‍යාපාරය දැන් ඇති කියලා. අලුතෙන් කර්මාන්තයක් පටන් අරන්, මහන්සි වෙන්න තරමේ වයසක නෙවෙයි කියලා කෙනකුට හිතුණත්, මම මේ වැඩේට අත ගැහුවා. ඒ වයස 62දී.
තේ කොළ බිස්නස් එක ලේසියි. Buying and Selling නමුත් කාබනික පොහොර කර්මාන්තයක් කරනවා කියන්නේ ටිකක් මහන්සි වෙන්න ඕනේ වැඩක්. මං ඒ වැඩේට අත ගැහුවේ බොහොම කැමැත්තෙන්. මොකද, මම කවදත් ආසා වුණේ මහන්සි වෙලා වැඩ කරන්න. ඒ වගේම ඒ දෙයින්, විෂ රසායනිකවලින් විනාශ වූ මේ මහපොළොව සුවපත් වනවා. මිනිස්සුන්ට වස විස කැවෙන එක අඩු වනවා.
මේ පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්න, කහතුඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම නිලධාරීවරයා මට හුඟක් උදව් කළා. උපදෙස් ලබා දුන්නා. අවසානයේ මට හැකි වුණා, Compost Villa නම් සුවිශේෂී කාබනික පොහොර නිෂ්පාදනය කරන්න.
කහතුඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයට සහ පුද්ගලිකව හදා ගත් වෙළෙඳ ජාලයක් ඔස්සේ අපගේ මේ කාබනික පොහොර ගොවි ජනතාව වෙත යනවා. ඊට අමතරව, සෘජුවම අපෙන් මිල දී ගන්නා ගොවීන් සහ ගෙවතු වගා කරන පිරිසකුත් සිටිනවා.
එළවළුවලට ම සැකසූ කිලෝ දෙක හමාරක ප්‍රමාණයේ එක් පොහොරකුත්, මඩ පොහොරක් ලෙස හාන්නට පෙර සහ හෑමෙන් පසු වීවලට ම සැකසූ තවත් පොහොරකුත් ලෙස කාබනික පොහොර දෙවර්ගයක් අප නිෂ්පාදනය කරනවා. මෙම මඩ පොහොර අක්කරයකට කිලෝ 250ක් ගත් විට ගොයම් කපන කල් ඒ ප්‍රමාණය හොඳටම ඇති. යොදන්නට අවශ්‍ය වන්නේ අවස්ථා දෙකක දී විතරයි. හාන්නට පෙර සහ පසු ලෙස අප මෙය සකසා තිබෙන්නේ, පස සරු කරන ක්ෂුද්‍ර ජීවී වර්ධනය හොඳින් සිදු විය යුතු නිසයි. ඇත්තටම මේ පොහොර වර්ගය යෙදූ පසු, අතර මැද කාලය තුළ ගොයමට දියර පොහොරක් වත් ඉසින්නට අවශ්‍ය වන්නේ නැහැ.
වැදගත්ම දේ, සාමාන්‍යයෙන් කාබනික පොහොරවල තිබිය යුතු 1%ක නයිට්‍රජන් ප්‍රමාණය වෙනුවට, අපගේ පොහොරවල 2.4%ක වැඩි ප්‍රතිශතයක් නයිට්‍රජන් අඩංගු බව ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් කරන ලද අලුත්ම පරීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී තිබෙනවා.
ඇත්තටම අපේ මඩ පොහොර යොදා හදන වී ඇටයේ හොඳ බරක් තිබෙනවා. වී ඇටය හොඳින් කිරි වැදී ඇති බව ඒ බරෙන් සහ රසයෙන් තේරෙනවා. පිරිසුදු කරද්දි වී ඇට බර නිසා අපතේ යන්නේ නැති තරම්.
කොහොමටත්, අප නිෂ්පාදනය කරන කාබනික පොහොරවල තත්ත්වය සහ ප්‍රමිතිය පිළිබඳ අප බොහෝ සැලකිලිමත්. ඒ නිසා තමයි, යොදා ගන්නා අමුද්‍රව්‍යවලින් මෙවැනි ඉහළ නයිට්‍රජන් ප්‍රතිශතයක් අපගේ පොහොරවලට ලැබෙන්නේ.
සාමාන්‍යයෙන් අපගේ මාසික නිෂ්පාදනයක් කාබනික ඝන පොහොර මෙට්‍රික් ටොන් 25ක් පමණ වනවා. ඒ ප්‍රමාණය වැඩි කරනවාට වඩා, කොලිටිය ආරක්ෂා කරගෙන මේ ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට අප කැමැති යි.
මේ සඳහා ගිණිසීරියා, වල් සූරියකාන්ත, වියළි සහ අමු තණකොළ, එප්පාවල රොක් පොස්පේට්, ගොම, එළු සහ කුකුළු පොහොර සහ කෙසෙල් කඳන් අමුද්‍රව්‍ය ලෙස අප භාවිත කරනවා. මේවා අඩි 20ක් දිග, අඩි 5ක් පළල සහ අඩි 4ක් උස තට්ටුවක් ලෙස සෑම වර්ගයකින් ම ලේයරය බැගින් සිටින සේ තැන්පත් කරනවා. එසේ තබා මාස තුනක් දිරාපත් වෙන්නට හරිනවා. නිසි කලට එම පොහොර තට්ටුව පෙරළීමෙන්, මිශ්‍ර කිරීමෙන් සහ වතුර දැමීමෙන් තමයි, මෙම කාබනික පොහොර සාර්ථකව හදා ගන්නට පුළුවන් වන්නේ. මේ අමුද්‍රව්‍ය එලෙසම යොදන්නේ නැතිව, මැෂින් ආධාරයෙන් කුඩුකර ගත් විට මාස තුනක් යන කාර්යය මාස එකහමාරකින් කරගන්නට පුළුවන්. ගුණය එලෙසමයි. ඒ නිසා දැන් අපි මේ දෙවර්ගයම කරනවා.
අනෙක තමයි, මේ ගිණිසීරියා සහ වල් සූරියකාන්ත කොළ තවමත් මේ කහතුඩුව අවට ඕනෑ තරම් තිබෙනවා. ගොම, කුකුළු සහ එළු පොහොර තමයි අපි සැපයුම්කරුවන් ගෙන් ලබා ගන්නේ. ඒවා මාසිකව කිලෝ 10,000කට වැඩි ප්‍රමාණයක් අවශ්‍යයයි.
පැටවුම් බෑම් වැනි කටයුතුවලට අමතරව, පොහොර තට්ටුව මිශ්‍ර කරන රාජකාරි සඳහා මේ අවට පුද්ගලයන් ගණනාවකට රැකියා ලැබී තිබෙනවා. ඊට අමතරව, ඇසුරුම් කිරීම වැනි කාර්යයන් සඳහා කාන්තාවන්ට ද රැකියා අවස්ථාව උදා වී තිබෙනවා. සැපයුම්කරුවන් ද ගත් විට, දැන් අපගේ පොහොර කර්මාන්තය නිසා යැපෙන කුඩා ජාලයක් නිර්මාණය වී තිබෙනවා. එය අපිට සතුටක්.
පොහොර නිෂ්පාදනය තවත් පුළුල් කරන්නට නම් සේවක ප්‍රමාණය වැඩි කර ගන්නට අවශ්‍යයයි. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍යයයි. නමුත් කණගාටුවට කාරණය නම්, කාබනික පොහොර නිෂ්පාදකයින්ට ලංකාවේ පුද්ගලික සහ රජයේ බැංකු ණය දෙන්නේ නැහැ. මම මේ කර්මාන්තය ආරම්භ කිරීමට ගෝනපල ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් ණයක් ගත්තේ, මගේ ඉඩම උකස් කරලා. ඇත්තටම අපිට උදව් කළේ ඒ බැංකුව විතරයි.
අනික තමයි, කාබනික පොහොර ගන්න පුරුදු වෙච්ච සීමිත පිරිසක් විතරයි, තවම මේ පොහොර මිල දී ගන්නේ. අලුත් පාරිභෝගික ජාලයක් හදා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු වගකිව යුතු අංශවලින් සිද්ධ වෙන්නේ නැහැ. අපි පුද්ගලිකව කියනකොට ඒක සමහර විට ජනතාව දකින්නේ වෙළෙඳ දැන්වීමක් ලෙස පමණයි. නමුත් රසායනික පොහොරවල ආදීනවත් කාබනික පොහොරවල වටිනාකමත් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අදාළ රාජ්‍ය ආයතනවල වගකීමක්.
රසායනික යූරියා කිලෝවක් රුපියල් 200ක් මිල වෙද්දී, මෙපමණ මහන්සි වී වස විස නැතිව හදන කාබනික පොහොර කිලෝවක් අපි දෙන්නේ රුපියල් 70 කට. ඒකටත් ගොවි ජන සේවා මධ්‍යස්ථාන සඳහා සැලකිය යුතු වට්ටමක් ලබා දෙනවා. එහෙම කළත් බොහොම ඇල්මැරුණු ස්වභාවයෙන් තමයි, බොහෝ ගොවීන් කාබනික පොහොර යෙදීම සිදු කරන්නේ. මේ සිදු වන විනාශයේ ප්‍රතිඵල රටට දැනෙන්නේ තව ඉස්සරහට. ක්‍රම ක්‍රමයෙන් රටම වකුගඩු රෝගීන් බවට පත් වන හැටි දැක දැකත් එය නතර නොකිරීම විශාල අපරාධයක්.
අනෙක සමහර ගොවීන් මිල අඩු වුණත් කාබනික පොහොර ගන්නේ නැහැ. හේතුව ඒවා කිහිප වරක් යොදන්න ඕනේ. අවධානයෙන් ඉන්න ඕනේ. ඒ අය කරදර වෙන්න කැමැති නැහැ. රසායනික පොහොර ඉසින එක ලේසියි. ඒත් ටිකක් කරදර වෙලා හරි කාබනික පොහොර ටික දැම්මා ම මහපොළොව සරු වෙනවා. ක්ෂුද්‍ර ජීවීන් හටගන්නවා. ගැඩවිලි පණුවන් ක්‍රියාකාරී වී පස සරු කරන්නට ගන්නවා. ඒවා සිද්ධවෙන්නේ හෙමි හෙමින්. නමුත් රසායනික පොහොරවල ප්‍රතිඵල සතියෙන් දෙකෙන් ලැබෙනවා. ගොවීන් ඒකට කැමැතියි. ලේසිය පහසුවට වඩා රට ගැන හිතනවා නම්, කාබනික පොහොර යෙදීමේ වගකීමෙන් කොටසක් ගොවින්ටත් තිබෙනවා.
ඇත්තටම මේ පිළියන්දල පළාතේ කීර කොටු බහුලව කෙරෙනවා. පහුගිය කාලේ කීර කොටුවලට කාබනික පොහොර යෙදීමේ යම් ප්‍රවණතාවක් ගොඩනැඟී ගෙන ආවා. නමුත් දැන් ආපහු කීර වගාකරුවන් රසායනික පොහොර පස්සේ දුවනවා. මොකද, දාන්න ලේසියි. අස්වැන්න හොඳයි. නමුත් මිනිස්සු විනාශ කරන ලේසිම ක්‍රමයක් තමයි මේ මැල්ලුම් පළාවර්ගවලට රසායනික පොහොර ඉසින එක. ඒ ගැන මට තිබෙන්නේ අසීමිත දුකක්. මේ මැල්ලුම් මිටියක් ගෙදර ගෙනියන අම්මලාට, ඒ මැල්ලුම දරුවන්ට කන්න දෙන්න වෙන්නේ බැරලෝහ එක්කමයි. මොන තරම් ඛේදවාචකයක් ද.
අනෙක් අතට අපි පොහොර ටික හදාගෙන ඉන්න කොට ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ආණ්ඩුවෙන් ම රසායනික පොහොර එවා තිබෙනවා. ඉතින් ගොවීන් රසායනික පොහොර මිස, අපේ කාබනික පොහොර මිල දී ගන්නේ නැහැ. අනික ඒවා ගෙන්වන්න මොන තරම් විදේශ විනිමය වැය වනවා ද...
රට ඇතුළේ හදන කාබනික පොහොර ටික මිල දී ගන්න කොට මහ පොළොව විතරක් නෙවෙයි, ඒ හරහා ගමේ ආර්ථිකයත් ගොඩ නැඟෙනවා.
මේ වයසට ගෙදරට වෙලා අපිට හොඳින් ඉන්න පුළුවන් කම තිබියදී, එසේ නොකර මෙවැනි කර්මාන්තයක් කරන්නේ ලාභ අපේක්ෂාවෙන් ම නෙවෙයි. එයින් රටට සිද්ධ වෙන යහපත ගැන හිතලා සහ ඉන් ලැබෙන ආත්ම තෘප්තියට. මවුපියන්ගෙන් පාරම්පරිකව ලැබුණු කහතුඩුවේ මේ අක්කරයක ඉඩමේ තමයි මගේ නිවහනත්, මගේ කර්මාන්ත ශාලාවක් දෙකම තිබෙන්නේ.
මේ දේ මට මේ තරම් සාර්ථක කර ගන්න පුළුවන් වී තිබෙන්නේ, මගේ බිරිඳ දක්වන සහයෝගය නිසා. අපේ දරුවො ලොකුයි. එයාලා අපිට වත් රටට වත් බරක් නැති හොඳ පුරවැසියෝ විදියට ජීවත් වෙනවා. අපි දෙන්නගෙ පූර්ණ කාලය මේ සඳහා යොදවන්න පුළුවන්කම ලැබී තිබෙන්නේ ඒ නිසයි.
අනික, කොම්පෝස්ට් විලා කියන්නේ මම හදපු බ්‍රෑන්ඩ් එක. ඒ මගේ මානසික සුවය. ඒ නිසා මේ පොහොර පාවිච්චි කරන ගොවීන්ට මම නිතරම කියන්නේ ඒවා යෙදූ පසු ලැබෙන ගුණාගුණ මට කියන්නට කියලයි. කරන දේ අවංකව කරන නිසා මමත් ලෙඩක් දුකක් නැති නිරෝගී පුද්ගලයෙක්.
මම ඉගෙන ගත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ. මොන දේ කළත් රට දැය ගැනත් හිතන්න අපි පුරුදු පුහුණු වුණේ ඒ පාසල් ජීවිතයේ පටන්ම යි. මම කියන්නේ කාබනික පොහොරවල ගුණාත්මක භාවය තව තවත් වැඩි කර අලුත් ක්‍රමවේදවලින් ගොවියා ගේ භාවිතාව පහසු කරවන ක්‍රම කියා දෙන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වී ක්‍රමවේද සැකසිය යුතුයි.
ඒ වගේම, සමස්තයක් ලෙස මුළු රට තුළ ම කාබනික පොහොර ප්‍රවර්ධනය මීට වඩා වැඩි කළ යුතුයි.
උදාහරණයක් ලෙස කහතුඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානය ට පුළුවන්, ගම අවට සිටින කාබනික පොහොර නිෂ්පාදකයින් ගමේ සැපයුම සඳහා පත් කරන්න. එවිට එම පොහොරවල වරදක් තිබේ නම් ගොවීන්ට සෘජුවම පවසන්නට කෙනෙක් සිටිනවා. නිෂ්පාදකයින්ටත් තමන් ගේ නිෂ්පාදනයේ ගුණාගුණ සහ ප්‍රතිඵල දැක ගන්නට පුළුවන්. දෙපාර්ශ්වයම ගම අවට සිටින නිසා ගොවිතැනත් දියුණු වී කාබනික පොහොර නිෂ්පාදකයාත් මීට වඩා සංවර්ධනය වනවා. ඇත්තටම මේ දේ හරි ලේසියෙන් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කරන්නට පුළුවන්. අපගේ පොහොර පිළිබඳ ඕනෑම තොරතුරක් 0777 614137 අංකයෙන් විමසන්නට පුළුවන්..."