පිරිසක් මාව බලහත්කාරෙන් වෑන් එකකට දාගෙන ගියා | Page 2 | සිළුමිණ

පිරිසක් මාව බලහත්කාරෙන් වෑන් එකකට දාගෙන ගියා

- මට පහර දෙන එක එයාලම වීඩියෝ කරලා යාළුවොන්ට දාලා
- එයාලා හිතන් ඉන්නේ එහෙම වුණේ මං නිසා කියලා ඒක තමයි මේකට මූලික හේතුව

පසුගිය දා බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණේ රූපවාහිනියේ මෙන්ම පුවත්පත්වල පළවුණු එක්තරා පුවතක් වෙතයි. ඒ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, තිර පිටපත් රචක ගාමිණී ප්‍රියන්ත සමරකෝන් පැහැරගෙන ගොස් පහර දී මහමඟ දමා ගොස් ඇති බව කියවුණු පුවතක්. කෙසේ වෙතත් සිදුවූයේ කුමක්ද යන්න විමසීමට ගාමිණී ප්‍රියන්ත හා කතා කළෙමු. 

“මං වැඩිපුර ඉන්නේ කොළඹ. මගේ ගම වැලිමඩ ඌව පරණගම. ඒ වුණත් අවුරුද්දට ගමේ ආපු ගමන් තවමත් මම ඉන්නේ ගමේ. පසුගිය 3 වැනිදා හවස මං ටවුන් එකට යද්දි තමයි මේ සිද්ධිය වුණේ. එකපාරටම වෑන් එකකින් ආපු පිරිසක් මාව බලහත්කාරයෙන් වෑන් එකක දාගෙන ගියා. මං අසනීපකාරයෙක්. කලින් රිය අනතුරක් වෙලා කකුලකට යකඩ කූරක් දාල තියන්නේ. තාමත් ඒකෙ සංකූලතා තියෙනවා. එපා කියද්දි ඔවුන් මට හොඳටම පහර දුන්නා. පසුව වැලිමඩ - හපුතලේ පාරේ මාව දාලා ගිහින් තිබුණේ. ප්‍රදේශවාසීන් තමයි මාව වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කළේ. ටවුන් එකේ මිනිස්සුත් දැකලා තිබුණා මාව බලෙන් වෑන් එකට දාගන්නවා. සමහරු 119 කෝල් කරලා කියලත් තිබුණා.“

පෞද්ගලික හේතුවක් මත මෙම පහරදීම සිදුකළා කියලා තමයි ආරංචිය. ඇත්තටම මොකක්ද මේ පහර දීමට හේතුව?

“මෙහේ හිටියා නිමේෂ් මාපා කියලා මගේ යාළුවෙක්. මං ටෙලි නාට්‍ය කරන නිසා එයාගෙ නෝනටත් රඟපාන්න ආසයි කියලා මගේ නාට්‍යයකට සම්බන්ධ කරගත්තා. එයාගෙ ළමයටත් සින්දු කියන්න අවස්ථාව දුන්නා. මගේ ඒ නාට්‍යයේ කැමරා ශිල්පියා විදිහට හිටියේ සදීප් ප්‍රසන්න කියලා කෙනෙක්. ටාසන් කියලා තමයි එයා ප්‍රසිද්ධ. ෂූටිං කරන අතරතුරේ නිමේෂ් ටාසන් එක්ක මිත්‍රත්වයක් ඇති කරගෙන තිබුණා. නිමේෂ්ට සල්ලි තියෙනවා. මගේ නාට්‍යය ඉවරවුණ ගමන්ම ටාසන් නිමේෂ් එක්ක එකතුවෙලා ලොකු වියදමක් දරලා ටෙලි නාට්‍යයක් කරලා තිබුණා මාසෙක වගේ කාලෙකින්. ඔවුන් එය මට කිව්වේ නැහැ. එයාලට මේ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් නෑ. කොහොමහරි ඒ ටෙලි නාට්‍ය රූපවාහිනි නාළිකාවලින් ප්‍රතික්ෂේප වෙලා. එයාල හිතන් ඉන්නේ එහෙම වුණේ මං නිසා කියලා. ඒක තමයි මේකට මූලික හේතුව.“

ඒ සිදුවීම පහරදීමක් දක්වා දුරදිග ගියේ කොහොමද?

පහුගිය කාලෙ මං කොමඩි ටෙලි නාට්‍යයක් කරන්න පටන් ගත්තා. එයාලගෙ එක ප්‍රතික්ෂේප වුණ නිසා එයාලට ඒකට ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ දෙන්න එකතු වෙලා මේක කඩාකප්පල් කරන්න එක එක දේවල් කරන්න පටන් ගත්තා. මගේ නාට්‍යයේ ශිල්පීන්ට කෝල් කරලා විවිධ දේ කියලා තිබුණා. ඔවුන් අපට නොයෙක් බාධා කළා. අැත්තටම මට ගොඩක් කේන්ති ගියා. මීට මාස දෙකකට විතර කලින් දවසක “මේ වගේ ජරා වැඩ කරන්න එපා“ කියලා මං බැණ්නා. “හරි අපි බලාගමුකො“ කියලා ඒ වෙලාවෙ එයාලා කිව්වා. ඒත් මං හිතුවෙ නෑ මෙහෙම දෙයක්. ඊට පස්සෙ තමයි මං ගමේ ආවම මේ සිද්ධියට මුහුණ දෙන්න වුණේ.

දැන් ඔබේ තත්ත්වය කොහොමද?

කලිනුත් අනතුරක් නිසා මගේ කකුලක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒකට යකඩ කූරක් දාලා. මේ පහර දීම නිසා ඒක ආයෙම ඩැමේජ් වෙලා. ඒ වේදනාව තමයි ඇඟේ වේදනාවට වඩා දැනෙන්නේ.“

ඔබට පහර දෙන වීඩියෝ එකක් මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. ඒක කොහොමද සිද්ධ වුණේ?

ඒක වෙලා තියෙන්නේ මට පහර දෙන එක එයාලම වීඩියෝ කරලා යාළුවොන්ට දාලා. ඔන්න අපි ඩිරෙක්ටර් කෙනෙක්ට ගැහුවා කියලා. කොහොමහරි ඕක කවුරුහරි පොලිසියටත් යවලා.

මේ සිද්ධිය දැන් ගොඩක් වයිරල් වෙලා තියෙන්නේ. මට වුණේ ලොකු අසාධාරණයක්. මේ වනවිටත් වැරදිකරුවන් අල්ලලා රිමාන්ඩ් කරලා.

ඔබ වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයටත් නිර්මාණ කළ කෙනෙක්. ඔබේ පළමු සිනමා අධ්‍යක්ෂණය දිරිය දෝණීට මොකද වුණේ?

1999 අවුරුදු සිහිනය ඒකාංගික ටෙලි නිර්මාණයෙන් තමයි මම කලාවට පිවිසුණේ. ඊට පස්සේ පිනිවැස්ස, සීත හිම මාලිගා, සඳ මැදියම, සිරිවාසල, සත්‍ය වගේ ටෙලි නාට්‍ය වගේම දේව වරම් සහ නෝනාවරු සමඟ මහත්වරු වැනි වේදිකා නාට්‍යත් නිර්මාණය කළා. මගේ පළමු සිනමා නිර්මාණය තමයි දිරිය දෝණි. ඒක ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ වගේම අශෝකමාලා චිත්‍රපටය ඉක්මනින් තිරගත කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. තවත් ටෙලි නිර්මාණ කිහිපයක් ඉදිරියේ දී විකාශයට නියමිතයි.


Comments