විෂ්ණු දෙවියන් පුදන දිව්‍යමය මන්ත්‍රය | සිළුමිණ

විෂ්ණු දෙවියන් පුදන දිව්‍යමය මන්ත්‍රය

උදෑසන 6ට පෙර සහ සවස 6න් පසු පූජාව සිදු කරන්න

දින 21ක් කළොත් ඔබ පුදුම වන ප්‍රතිඵලයක්

දිනකට තුන් වතාවක් කියවන්න

සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත අද දින ඉදිරිපත් කරනු ලබන දිව්‍යමය සිත් පහදන මෙම උතුම් පූජාව විභාගවලින් ජය ප්‍රාර්ථනා කරන සහ එදිනෙදා ජීවිතයේ දී ප්‍රතිපත්තියක් ලෙස පුරුදු පුහුණු කර ගැනීම තුළ ජීවිතයේ අපමණ බාධා දුරු කරගෙන සියලු සෞභාග්‍යය ළඟා කර ගත හැකි ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය පූජාවයි.

මෙම පූජාවන් තම නිවසේ හෝ අයතනයේ තෙරුවන් වන්දනා කරන ස්ථානයක් තිබේ නම් ඒ ස්ථානයේ දී හෝ එසේ නොමැතිනම් ඒ වෙනුවෙන් සූදානම් කර ගත් පිරිසිදු ස්ථානයක ඉතා පහසුවෙන් සිදුකර ගත හැක. එදිනෙදා තෙරුවන් වන්දනාව සඳහා ඔබ යොදා ගන්නා පූජා ද්‍රව්‍යයන් තථාගතයන් වහන්සේ උදෙසා සුපුරුදු පරිදි ම පූජා කර ගන්න.

ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් උදෙසා ඔබ සූදානම් කරගත යුතු වන්නේ ගිතෙල් ස්වල්පයක් යෙදූ පහනක්, මදුරුතලා ගසක් හෝ ගසක කුඩා අත්තක් (තුල්සි) පානීය පරිභෝජනය සඳහා ප්‍රමාණවත් පූජා කිරීම සඳහා සුදුසු පැන් බඳුනක්, දෙව් සිත් පහදවා ආශිර්වාද ලබා ගැනීමට කැමති බැතිමතුන්, මිල මුදල් හෝ ආර්ථික ලාභ හා තිසරණයට හානි වන අකටයුතු දෑ අපේක්ෂා නොකළ යුතුය.

ඔබ තෙරුවන් සරණ යාමෙන් අනතුරුව ආරක්ෂා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පන්සිල් සමාදන් විය යුතුය. ඉන් අනතුරුව තෙරුවන් වන්දනා කර, හැකි පමණින් එක් මලක් හෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කර ඉන් අනතුරුව තෙරුවන් සමාකර ගන්න.

දැන් ඔබ ආර්යකාන්ත බුද්ධ ශ්‍රාවක දිව්‍ය රාජවරු සහ දිව්‍ය අප්සරාවන් සමඟ මනසිකව කටයුතු කිරීමේ කායික මානසික පාරිශුද්ධභාවය ලබා ඇත.

ඉන් අනතුරුව සූදානම් කළ ගිතෙල් පහන ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් උදෙසා බැතිබරව ප්‍රාර්ථනා හදවතේ තබාගෙන දල්වන්න. සූදානම් කර ගත් මදුරුතලා ගස හෝ අත්ත තවත් වනමල් කිහිපයක් ( නිල් මල් නම් වඩාත් සුදුසුය) සමඟ උන්වහන්සේ උදෙසා පූජා කර පිරිසිදු පැන් භාජනය ද ශ්‍රී විෂ්ණු දෙව් රදුන් උදෙසා පූජා කරන්න. ඉන්පසු උන්වහන්සේට පින් පිණිස කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරන්න.(එක් වරක් පමණක් ප්‍රමාණවත් වේ)

මේ සියල්ල පිළිවෙළින් නිමවා මෙම ගාථාව එක් වරක් කියවා ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ට පින් දෙන්න.

සම්බුද්ධ සාසන වරං යතිපුංගවංච

සම්පාලනාය පටිලද්ද වරෝ යසස්සී

පුඤ්ඤාණි මාණි අනුමොදිය වාසු දේවෝ

පාලේතු මං සතත සහත හිතා වහන්තෝ

මෙසේ පින් දීමෙන් අනතුරුව පහතින් අප සඳහන් කරනු ලබන ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය මන්ත්‍රය පූජාවන් පවත්වන එක් දිනක තුන් වතාවක් කියවා තමාට සිද්ධි බල පිහිටවා ගන්න.

කිසිදු ගුරු මුෂ්ටියක් නොමැතිව පරපුරෙන් පරපුරට අප විසින් රැකගෙන ආ මෙම උතුම් දිව්‍යමය මන්ත්‍රය තමා වෙනුවෙන් පමණක් යොදාගත යුතු අතර, වෙනත් අයෙක් වෙනුවෙන් හෝ මිල මුදල් හෝ වෙනත් ලාභ අපේක්ෂාවෙන් සෙත් ශාන්ති වෙනුවෙන් යොදා නොගත යුතු බව තරයේ සිහිපත් කරමි.

ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ගේ දිව්‍යමය සුබ මූර්තය උදා වන්නේ රාත්‍රී සහ දහවල් 12.12 සිට 12.24 දක්වාය. ඔබගේ නිවසේ හෝ අායතනයේ මෙම වේලාවන් තුළ පූජාවන් සිදු කළ නොහැකි බැවින් උදෑසන 06.00ට පෙර හෝ සවස 06.00න් පසූ සුදුසු වේලාවක මෙය සිදු කළ හැක.

අඩුම තරමින් 21 දිනක් මෙම උතුම් පූජාව සිදු කර ගත හැකි නම් ඉන් ලැබෙන සැනසීම පිළිබඳ ඔබ මවිත වනු ඇත. මෙම දිව්‍යමය මන්ත්‍රයෙහි "වන මා දෙස බලා" යන තැනට තමාගේ එදිනෙදා භාවිත වන නම යොදාගන්න.

ශ්‍රී විෂ්ණු දෙව් රදුන් නාමාක්ෂරයට බල පිහිටවන උතුම් දිව්‍යමය මන්ත්‍රය මෙයයි.

"ඕම් ශ්‍රී මහා විෂ්ණු නාරායන සතපත්‍ර නේත්‍රධාරි ශ්‍රිමත් ශ්‍රී කුමරි අම්මා හාමිනා...

වන මා දෙස බලා වෛකුන්ට නාරායනේ ජය ජය සිද්ධි සිද්ධි ස්වාහා ඕම්."

මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් කරනුයේ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ට පින් පිණිසයි. ඔබට සියලු ජයග්‍රහණ හිමි වේවි. මෙය අවභාවිත නොකරන්න.

 

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ

(වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී,නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති, කොළඹගම පොඩි හාමුදුරුවෝ)

Comments