ලෝක බැංකුවේ මහ පුටුවට ගිය කවුද මේ අජේ බංගා... | Page 3 | සිළුමිණ

ලෝක බැංකුවේ මහ පුටුවට ගිය කවුද මේ අජේ බංගා...

මේ දිනවල ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත්තේ ලෝක බැංකුවේ මුල් පුටුවට ඉන්දීය ජාතිකයකු පත්වීම ගැනය. අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටා ඇති දශක අටකට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන ලෝක බැංකුවට අසල්වාසි ඉන්දියාවේ උපත ලැබූ අමෙරිකානු පුරවැසියකු පත්වීම පොදුවේ ආසියාවේම අභිමානයට කාරණාවක් වන බැවින් ඒ පිළිබඳ ආසියාතික රටවල අවධානය කොහොමත් වැඩිය. අජේ බංගා නොඑසේ නම් අජේපාල් සිං බංගා නමැති 63 හැවිදිරි නව සභාපතිවරයා මූල්‍ය ප්‍රධානියකු ලෙස ගෝලීය වශයෙන් ඉහළම මට්ටමේ ප්‍රතිරූපයකට ද හිමිකම් කියන්නෙකි. 

විශේෂයෙන් ලොව අසීමාන්තික දරිද්‍රතාව පිටුදැකීම හා තිරසර අභිවෘද්ධිය මූලික ඉලක්ක කරගත් ලෝක බැංකුව ඉන්දීය ජාතික සභාපතිවරයකු යටතේ ඉදිරි වසර 5ක කාලසීමාවේදී කටයුතු කරන ආකාරය කෙබඳුදැයි යන්න වැඩි කතාබහටත් ලක් වී තිබේ. දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ආසියාතික රටවල මෙන්ම අප්‍රිකානු රටවලත් අජේ බංගා ගැන ඇත්තේ දැඩි ප්‍රසාදයකි.

අජේ බංගා ලෝක බැංකුවේ 14 වැනි සභාපතිවරයා ය. 1944 වසරේදී ආරම්භ වූ ලෝක බැංකුවට අජේ බංගාගේ නම නිර්දේශ කරනු ලැබුවේ අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ය. ලෝක බැංකුවේ සභාපතිවරයා නිර්දේශ කිරීමට අමෙරිකාවට ඇති අයිතිය නම් එහි විශාලතම කොටස් හිමියා අමෙරිකාව වන බැවිනි. වසර 2019 දී හැර ඉතිහාසය පුරා ලෝක බැංකුවේ මුල් පුටුවේ අසුන් ගත්තේ අමෙරිකාව විසින් නිර්දේශ කරනු ලැබූ පුද්ගලයන් විසිනි. 2019 දී කෙටි කාල සීමාවකට වැඩ බලන සභාපතිනිය ලෙස බල්ගේරියානු ජාතික ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පත්ව සිටියේ විධායක මණ්ඩලයේ අනුමැතියෙනි. ඇය දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය වේ. වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක ණය ආධාර සපයන ලෝක බැංකුවේ නව සභාපති ලෙස අජේ බංගා පත්වීමෙන් පසු මුලින්ම සුබ පැතුවේ අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ය.

අජේ බංගා සමඟ ඉදිරියේදී ඉතා සමීපව හා සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කියන බයිඩ්න් ඔහුගේ සභාපතිත්වය යටතේ දිළිඳුකම ලෝකයෙන් තුරන් කිරීමට හා දේශගුණික විපර්යාස වැනි ගෝලීය අර්බුදවල අභියෝග ජයගැනීමට අජේ බංගාට උපරිම සහයෝගය දක්වන බවත් දැනටමත් ප්‍රකාශ කර තිබේ.

අනතුරුව උප ජනාධිපති කමලා හැරිස් ඔහුට සුබපැතුම් එක් කළාය. ඇය ද ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවක බැවින් දෙදෙනා අතර ඉතා සමීප හිතවත්කමක් ද ගොඩනැඟී ඇත්තේ දිගු කාලයක සිටය. ඊට හේතු වූයේ 2015 වසරේ එවකට අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ වෙළෙඳ ප්‍රතිපත්ති සඳහා වන ජනාධිපති උපදේශක කමිටුවේ ප්‍රබල සාමාජිකයකු ලෙස අජේ බංගා කටයුතු කිරීම වන්නට ඇත.

නව සභාපති ධුරය සඳහා වූ කෙටි ලැයිස්තුවට අජේ බංගා සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකුගේ නම් නිර්දේශ වනු ඇතැයි වසර මුලදී වාර්තා වී තිබුණ ද, නාමයෝජනා බාර ගන්නා අවසන් දිනය වූ පසුගිය මාර්තු 29 වැනිදා වන විට ඉදිරිපත් වූයේ අමෙරිකාවේ ජනාධිපති ඉදිරිපත් කළ අජේ බංගාගේ නම පමණි. එබැවින් නව සභාපති තෝරා පත් කරගැනීමට ලෝක බැංකුවේ විධායක කමිටුවට එතරම් අසීරු කාරණාවක් නොවූ අතර, සාමාජිකයන් 25 දෙනකුගෙන් සමන්විත ලෝක බැංකුවේ විධායක කමිටුවේ පූර්ණ අනුමැතිය ඔහුට ලැබී තිබිණි.

අජේ බංගාට මේ වනවිටත් දසතින් ලැබෙන සුබපැතුම් පණිවුඩවල නිමක් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය ක්‍රිස්ටලිනා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ටෙඩ්රොස්, විවිධ රටවල රාජ්‍ය නායකයන්, තානාපතිවරුන්, ප්‍රකට දේශපාලනඥයන් හා නොම්මර එකේ ව්‍යාපාරිකයෝ ඒ අතර වෙති.

ඉන්දියාවේ පූනේ නුවර උපන් අජේ බංගා කලක් ලෝක ප්‍රකට මාස්ටර් කාඩ් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාය. ඔහු දශකයක පමණ කාලයක් මාස්ටර්කාඩ් සමාගමේ රැකියාව කළා පමණක් නොව එම සමාගමේ වාර්ෂික ආදායම තුන්ගුණයකින් ඉහළ දැමීමට ද සමත්වූයේ විස්මිත ආකාරයකිනි. ඔහු ලොව පුරා ප්‍රකට චරිතයක් බවට පත්වූයේ එලෙසින් බව සඳහන් වේ.

අජේ බංගාගේ ඉන්දීය ඉතිහාසය හාරා ඇවිස්සීමේදී හෙළි වන්නේ ඔහු එරට කීර්තිමත් පවුලක සාමාජිකයකු බවය. අජේගේ පියා හර්බජන් සිං බංගා නමැති ඉන්දීය හමුදාවේ හිටපු ලුතිනන් ‍ෙජනරාල්වරයෙකි. එබැවින් ඔහුගේ පවුල් පසුබිම ඉතා සංවිධානාත්මක හා විනයගරුක එකකි. ඔහුගේ බාල සොහොයුරු එම්. එස්. බංගා ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු ලෙස නමක් දිනා සිටින්නෙකි.

හයිද්‍රබාද් නුවර ජාතික පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ අජේ ෂිම්ලා නුවරදී වැඩිදුර අධ්‍යාපනය ලැබූ අතර, නවදිල්ලි නුවර සාන්ත ස්ටීවන් විශ්වවිද්‍යාලයේ ආර්ථික උපාධිධාරියෙකි. අධ්‍යාපනයට නොතිත් ආසාවකින් පෙළුණු හෙතෙම ඉන් අනතුරුවත් විවිධ උපාධි ගණනාවකට හිමිකම් කීවේය.

පළමුව නෙස්ලේ සමාගමෙත්, අනතුරුව පෙප්සිකෝලා සමාගමෙත් ඉහළ මට්ටමේ තනතුරු දැරූ අජේ බංගා කලක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු මාස්ටර්කාඩ් සමාගමට එක් වූයේ ඉන් පසුවය.

ඔහුගේ බිරිය රිටු බංගා ද නිව්යෝක් නුවර අතිශය ජනප්‍රිය චරිතයකි. ඇය ඉතා සමාජශීලි පුද්ගලයකු වන අතර, නිව්යෝක් නුවර කේන්ද්‍ර කරගත් ලෝක ප්‍රකට Zoomdojo උපදේශන සමාගමේ සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකාව ද වන්නීය. එය උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට සහ උපාධිධාරින්ට සීමාවාසික පුහුණුව හා රැකියා පිළිබඳ තොරතුරු සපයන උපදේශන සමාගමකි. බංගා පවුලේ දියණියන්ම දෙදෙනෙකි. මේ දෙදෙනාම අද වනවිට අමෙරිකාවේ ප්‍රකට සමාගම් දෙකක විධායක ශ්‍රේණියේ රැකියාවේ නිරතව සිටින අතර, දෙදෙනාම විවාහ වී සිටින්නේ අමෙරිකානු ජාතිකයන් සමඟිනි. වැඩිමල් දියණිය අදිති විවාහ වූයේ ජොනතන් ෂෝවර්ට්ස් සමඟය. බාල දියණිය ජෝතිකා විවාහ වූයේ කොනර් වෙන්ට්සෙල් සමඟය. බංගා පවුලේ බෑනනුවන් දෙදෙනාත් එසේ මෙසේ පුද්ගලයන් නොවන අතර, අමෙරිකානු ව්‍යාපාරික ලෝකයේ ඉහළම මට්ටමේ ප්‍රතිරූපවලට හිමිකම් කියන්නෝ වෙති. 

වසර 2007 දී අමෙරිකාවේ පුරවැසිභාවය ලැබූ අජේ බංගා ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු එහි මුහුණුවර මුළුමනින්ම වෙනසකට ලක්වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. ඔහුගේ පස් අවුරුදු කාලසීමාව තුළ තාරුණ්‍ය බලගැන්වීමට වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි ද කියැවේ. ඔහුට පෙර එම තනතුරේ සිටි අමෙරිකානු ජාතික ඩේවිඩ් මල්පැස් දේශගුණික විපර්යාස සම්බන්ධව මතභේදයට තුඩුදෙන ආකාරයෙන් කටයුතු කිරීමේ හේතුවෙන් නියමිත ධුරකාලය සම්පූර්ණ වීමට පෙර තනතුර හැර යෑමට සිදු වී තිබිණි. එබැවින් නව සභාපතිවරයාට මෙවර එම අභියෝගයට සාර්ථකව මුහුණදීමට ද සිදුවනු ඇතැයි සඳහන් වේ.

ලෝක බැංකුවේ ප්‍රධානියා වීමට පෙර ඔහු විසින් දැරූ විවිධ තනතුරු රැසකි. දැනටත් ඔහු Glaxo Smith Kilne, Thomson Reuters සහ Marks & Spencer යන ආයතනවල විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි. මීට අමතරව බ්‍රිතාන්‍ය කර්මාන්ත සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සාමාජිකයෙකි. එබැවින් ගෝලීය උණුසුම පාලනය කිරීමට අජේ බංගා සිය ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රවීණත්වය මැනවින් භාවිත කරනු ඇතැයි වැඩිදෙනකුගේ විශ්වාසය වී තිබේ.

වසර 2016දී ඉන්දියාවේ ඉහළම පුරවැසියන්ට පිරිනැමෙන රාජ්‍ය ගෞරව සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ මේ අභිමානවත් ඉන්දීය පුත්‍රයා ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඉදිරියේදී කටයුතු කරන ආකාරය ඉන්දියාවට පමණක් නොව සමස්ත ආසියාවටම එකසේ වැදගත් වනු ඇත.

Comments