වල්පොල රාහුල හිමියෝ අප කුඩා කාලයේ අප නිවෙසට වැඩියේ දානමය පුණ්‍යකර්මයක් සඳහාය. මෙම දානයට එවකට ලංකාවේ පත්‍ර කලාවේ ‘පෙරළිකාරයන්’ වූ පාලිත විදානගමාච්චි, පියල් වික්‍රමසිංහ, පෙරමුණේ තිලක, කරුණාසේන ජයලත්, ඩී. බී. සුරනිමල, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර හා ලංකාවේ පළමු පුවත්පත් කතුවරිය වු ශ්‍රියා රත්නකාර ආදීන් බොහොමයක් විය.
ධර්ම දේශනය ආරම්භ කළ වල්පොල රාහුල හිමියන් නිවෙසේ එල්ලා තිබූ පිලිප් ගුණවර්ධනගේ ඡායාරූපය දෙස බලා මිස්ටර් ලියනගේලාගේ ගෙදර ‘මහ කළු සිංහලයාගේ’ පිංතුරයක් තියෙන බව කිව්වේ එය අගය කරන්නාක් මෙන්ය. දානයට වැඩම කර සිටි මාදුළුවාවේ සෝභිත හිමියන් ද එය අනුමත කළේ හිස උඩටත් පහළටත් සොලවමින්ය. එවක දිනේෂ් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් රට පුරා ජාතිය අවදි කළ මව්බිම සුරකිමු සංවිධානයේ බොහෝ සංවිධාන කටයුතු සැලසුම් වූයේ සෝභිත හිමියන්ගේ කෝට්ටේ නාග විහාරයේය.
අද පරම්පරාව නම් පිලිප් ගුණවර්ධනගේ රූපයක් දුටු විට ‘මහ කළු සිංහලයා’ යැයි හඳුන්වනවා තබා ඔහුගේ නමවත් දැන සිටි දැයි සැක සහිතය.
අප පසුගියදා බොරලුගොඩට ගියේ පිලිප් ගුණවර්ධනගේ මල්ලි වු රොබට් ගුණවර්ධනගේ බිරියගේ සිය වැනි උපන්දිනය ගැන ලියන්නටය. අප එය බොරලුගොඩ වලව්ව ලෙස හැඳින් වූ විට රොබට්ගේ පුතා ඊට එකඟ වුයේ නැත.
“මේක වලව්ව නොවෙයි. බොරලුගොඩ මහ ගෙදර”
එතැනදී මට පිලිප් සහ රොබට් ගැන මා අසා ඇති අතීත සිදුවීමක් මතකයට ආවේය. පිලිප් හා රොබට් ගැන ඔවුන්ගේ පියා වු බොරලුගොඩ රාලහාමිට මේ කියමන කිව්වේ මඩුවන්වල මහ දිසාවය.
“අනාවැකි කියන්ඩ නම් මට එච්චර තේරුමක් නැති වුණත් අර දඟකාර කොල්ලෝ දෙන්නට නම් දවසක මේ රට හොල්ලන්ඩ පුළුවනි යැයි මම කියනවා” එවැනි කතාවක් කීමට හේතුව කුමක් දැයි බොරලුගොඩ රාලහාමි විමසු විට මහ දිසාව මෙසේ පිළිතුරු දුන්නේය. “මේ ගෙදෙට්ට මුල්ම දවසෙ මං ආපු වෙලාවේදී මං එක දෙයක් දැක්කනෙ. මේ කොල්ලො දෙන්නා එකතුවෙලා මේ මහගෙදර ඉස්සරහ තියෙන වැලිවල සුද්දන්ගේ රූප ඇඳලා, පොලු කෑලි අතට අරන් ඒ රූපවලට දිගට හරහට තඩි බෑවනෙ.”
පිලිප් 1972 දී මිය ගිය මොහොතේ හිටපු මුදල් අමාත්‍යවරයකු වු ඇන්. ඇම්. පෙරේරා පිලිප් ගැන සටහනක් තබා ඇත්තේ මෙසේය.
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පහන් තරුවක් මෙන් බැබැළි ‘බොරලුගොඩ සිංහයා’, ‘ලංකාවේ මාක්ස් වාදයේ පියා’, ‘ජීවමාන ට්‍රොස්කි’, ‘ආසියාවේ කුඩා ලෙනින්’ සහ ‘මහ කළු සිංහලයා‘ යන නොයෙකුත් නම්වලින් හඳුන්වන ලද දොන් පිලිප් රූපසිංහ ගුණවර්ධන 1901 වර්ෂයේ ජනවාරි 11 වැනිදා හේවාගම් කෝරලයේ බොරලුගොඩ ගමේදී උපත ලැබුවේය.
1935 දෙසැම්බර් 17 වැනිදා ලංකා සම සමාජ පක්ෂය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු සුපුරුදු දක්ෂ තාවයෙන් යුතුව කොල්වින් සභාපති පදවියට ඉදිරිපත් කළද පිලිප් ව්‍යාපාරයේ නායකයා බව අපි පිළිගෙන සිටියෙමු.
ලංකා දේශපාලන ඉතිහාසය පිරිස්සීමේදී වාමාංශික හා දක්ෂිණාංශික නායකයන් අපට දැකගත හැකිය. පිලිප්ගේ විශේෂත්වය වන්නේ ඔහු මිය ගියද මේ දෙපිලේම හදවත් තුළ පිලිප් ගුණවර්ධන නාමය සදා තැන්පත්ව තිබීමයි.
ලංකා විශ්වවිද්‍යාලයෙන් විසි වැනි වියෙහි ඉන්ටර් විභාගය සමත් වු පිලිප් බැරිස්ටර් කෙනකු කිරීම පිණිස එංගලන්තයට යැවීමට බොරලුගොඩ රාලහාමි තීරණය කළ නමුත් පිලිප්ගේ හිත ඇදී ගියේ අමෙරිකාව දෙසටය. පිලිප් මාක්ස්වාදියකු වුයේ, සටන්කාමියකු වුයේ අෙමරිකන් විරෝධියකු වුයේ ධනවාදී කඳවුරේ අග්‍රස්ථානය ගත් ලෝක පොලිස්කාරයා වු මේ අමෙරිකාවේ දීමය. අමෙරිකාවේ විස්කොන්සි විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය තියරිං විසින් කරන ලද දේශනයකට කන්දුන් පිලිප්ගේ ජීවිතයේ විශාල පෙරළියක් ඇති විය. ඔහු උග්‍ර මාක්ස්වාදියකු බවට පත් විය.
1925 වර්ෂයේදී අධ්‍යාපන කටයුතු අවසන් කළ පිලිප් නිව්යෝක් නුවරට යන විට මාක්ස්වාදියකු හැටියට හොඳ හැටි හංවඩු ගැසී සිටියේය. පිලිප් කරන හැම දෙයක්ම සොයා බැලීමට අමෙරිකන් රහස් පොලිස් භටයෝ පිස්සු බල්ලන් මෙන් පසු පස්සේ දිව්වෝය.
තරුණ පිලිප් ගුණවර්ධන එංගලන්තයට යන්නට ඕනෑ වු විට ඔහු වැද්ද ගැනීමට එංගලන්තය කැමති වුයේ නැත. අන්තිමේදී ඩී.බී. ජයතිලකගේ ඉල්ලීම පිට එංගලන්තයට යන්නට පිලිප්ට හැකි විය. පිලිප් එංගලන්තයේ සිටිය දී දිනක් ලංකාව ගැන සුද්දකු විසින් කරන ලද කතාවක් අසන්නට ගියේය. ලංකාව මිලෙච්ඡ මිනිසුන් ජීවත්වන රටක් බවත්, යන්තම් හෝ ශීලාචාරකම් පුරුදු කළේ සුද්දන් විසින් බවත් කතාවෙන් කියැවුණි. දත්මිටි කමින් කතාව අසා ගෙන සිටි මහා කළු සිංහලයා කෙළින්ම වේදිකාව වෙත ගියේය. සුද්දාගේ කන හරහා පහරක් දුන්නේය.
එංගලන්තය, අමෙරිකාව, ප්‍රංශය ආදී හැම රටකදීම භායානක අධිරාජ්‍ය විරෝධියකු වශයෙන් හංවඩු ගැසී සිටි පිලිප් ගුණවර්ධන ප්‍රංශයේ සිට ස්පාඤ්ඤයට යන්නට ප්‍රංශ බස හොඳ හැටි කතා කළ හැකිව සිටි පිලිප්ට පිහිට වුයේ මාර්ග සිතියමක් පමණකි. ජිවිතයේ කිසි දිනක නොගිය පාරක් ඔහු සිතියම අනුව සොයා ගෙන ගියේය. පිරනීස් කඳු වැටිය හරහා පැය 12ක් ගමන් කළ ඔහු අන්තිමේදී බාසිලෝනාවට ළඟාවූ විට පැය ගණනක් හිර භාරයේ ලගින්නට විය.
ලෝකය පුරා සවාරි ගැසු පිලිප් ආපසු ලංකාවට ආවේ නොම්මර එකේ රත්තකු හැටියටය. තමාට එංගලන්තයේදී මුණගැසුණු ඇන්. ඇම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන වැනි අය සමඟ මෙහි සමසමාජ ව්‍යාපාරය ආරම්භ කළේය. 1936 දී පැවැති මහ මැතිවරණයෙන් පිලිප් අවිස්සාවේල්ලේ ආසනය දිනා ගත්තේ සුළුපටු හපන්කමක් කරමින් නොවේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළමු වැනි කථානායක පොරැස්ටර් ඔබේසේකර මහතා පරාජය කරමිනි.
මේ 1953 හර්තාලයට දින 2කට පෙර පිලිප්ගේ කතාවක් හැන්සාඩ්වල වාර්තා කොට ඇති අන්දමය.
“කථානායකතුමනි, මේ විදියේ දරුණු අන්දමට ක්‍රියා කිරීමට, මිනිසුන්ට එළියට බහින්න බැරි වෙන තැනට කටයුතු කිරීමට පොලිසියට නියෝග කර තිබුණා. නෑ කියන්න එපා. මම දන්නවා මොකක්ද නියෝගය. වෙඩි තියපන්, ඒක තමයි නියෝගය. නෑ කියන්න එපා. කරුණු හදලා තියෙන්නෙ ඒ විදියටයි. මම දන්න හින්දයි කියන්නෙ, මේක නෑ කියලා අගමැතිතුමාට කියන්න පුළුවන්ද? ඒ හින්දා තමයි මේ මූලික ස්ථානයේ ඉන්න පොලිස් ජගතා මේ විදියේ දරුණු .... (බාධා කිරීම්)
කථානායකතුමා
මන්ත්‍රීතුමා ඔබේ භාෂාව ගැන සැලකිලිමත් වෙන්න.
පිලිප් ගුණවර්ධන මහතා
මගේ කටහඬ ටිකක් ශබ්ද වැඩියි.
කථානායකතුමනි,
අගෞරව වන විදියේ වචනයක් මා පාවිච්චි කළේ නෑ. එහෙම කළා නම් ඉල්ලා අස් කරගන්නම්. මා අගමැතිතුමාගෙන් අහන්නෙ ඒ විදියේ නියෝගයක් යවා තිබෙනවාද? නැද්ද? ඇයි දැන් මේකට උත්තර දෙන්න බැරි?
මේ අතර දිනක මන්ත්‍රණ සභාවේ කටයුතු කෙරෙන හැටි බැලීමට පැමිණි බොරලුගොඩ රාලහාමි දිනක් මහජන ගැලරියේ වාඩිවී සිටියේය. එදා පිලිප් පුතා කතා කළේ ගම්මුලාදැනි ක්‍රමය නැති කර දැමිය යුතු බව පෙන්වා දෙමින් ඊට දිගට හරහට පහර දෙමිනි. බොරලුගොඩ රාලහාමි ද විදානෙ ආරච්චි කෙනෙකි. පුතාගේ කතාව අසා සිටි ඔහු කෙළින්ම ගියේ කච්චේරියටය. විදානෙ ආරච්චිකමින් ඉල්ලා අස්වීමේ ලියවිල්ල ලියා භාරදී එදා ගෙදර ගියේය.
අධිරාජ්‍යවාදී පාලකයෝ හිරගෙදර පිලිප්ට හොඳ හැටි පුරුදු තැනක් බවට පත් කළේ ඔහුගේ කතාවටත් ක්‍රියාවටත් ඔවුන් තුළ ලොකු බියක් තිබුණු නිසාය. යුද්ධ කාලයේදී අධිරාජ්‍ය විරෝධි හංවඩුව යටතේ බෝගම්බර හිරගෙදර හිර කර සිටි පිලිප් කොළඹට ජපනුන් බෝම්බ දැමීමෙන් දින දෙකකට පසු හිරගේ කඩාගෙන ඉන්දියාවට පලා ගියේය. ඔහු පලා ගියේ තනිවම නොව මුරට සිටි බන්ධනාගාර නිලධාරියා ද රැගෙනය. ඉන්දියාවට ගිය පිලිප් ගුණවර්ධන සිය බිරිය ද සමඟ දකුණු ඉන්දියාවේ ගත කළේ ක්‍රිස්තු භක්තික දෙමළ පවුලක් හැටියටය. එහිදී ඔහු හැඳින්වුයේ 'ගුරු සාමි' නමිනි.
මාස ගණනක් ඇතුළතදී අල්ලා ආපසු ගෙන එනු ලැබු පිලිප්ට යළිත් හිමි වුයේ හිර ගෙයමය.
ඉන්දියාවේදී ගත කළ දුෂ්කර කාල පරිච්ඡේදය පිළිබඳව පිලිප් වරෙක මෙසේ ප්‍රකාශ කළේය.
“ඉන්දියාවේදී අපි සෑහෙන කාලයක් දුක්පීඩා වින්දා. මොනව වුණත් අපි අනුන්ගෙන් යැපුනෙ නෑ. අපේ තාත්තා බොරලුගොඩ රාලහාමි අපේ වියදමට කොහොමහරි සල්ලි එව්වා. තැනින් තැන ගිහින් කේලම් කියල අපි අපේ අය පාවල දුන්නෙ නෑ. අපේ කුලුඳුල් ළමයා ඉන්දික උපන්නෙත් මදුරාසියේ දෙමළ ගෙදරකදීය.”
බොරලුගොඩ රාලහාමි වරෙක මෙසේ ප්‍රකාශ කොට ඇත.
“ගිය ආත්මෙ මං මහා පුණ්‍යකර්මයක් කරල තියෙනවා. මගෙ ළමයි විතරක් නෙමේ. පිලිප්ට එක්කහුවෙච්ච කුසුම, විවියන්, ලෙස්ලි වගේ අය කවදහරි දවසක අපේ රට හොල්ලන්ඩ පුළුවන්”.
පිලිප්ගේ ජීවිතයේ දැවැන්ත සෙවණැල්ල වුයේ කුසුමා නොහොත් තම බිරියය. 1912 මැයි මස 26 වැනි දින තංගල්ල මැදකැටියේ ගම් ප්‍රධානියකු හා සමාජ සේවකයකු වු දොන් දාවින් අමරසිංහගේ දරුවන් 8 දෙනකුගෙන් යුත් පවුලේ 8 වැනි දරුවා ලෙස උපත ලැබීය. තංගල්ල රාහුල විද්‍යාලයේ මාතර ඉමකිවුලේට් කන්‍යාරාමයේ හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.
බොරලුගොඩ රාලහාමිගේ එකම දියණිය ඇන්ජලිනා දෝන ගුණවර්ධනගේ වැඩිමහල් දියණිය විවියන් වයලට් ගුණවර්ධන තමන්ගේ මාමාවරුන් වන පිලිප්, රොබට් මුළු රට දෙවනත් කරමින් ගෙන යන පොදු ජන මෙහෙවර හොඳින් දැන සිටියාය. දිනක් විවියන් මියුසියස් විදුහලේ ඉගෙනගන්න කාලයේ තම මිතුරියක වූ ‘කුසුමා‘ ද සමඟ පිලිප්ගේ ගාලුමුවදොර රැලියකට ගියාය.
ඒ වනවිට පිලිප්ගේ හඬ ගාලු මුවදොර පිටිය කලඹමින් තිබිණ.
“විවියන් කවුද ඒ කතා කරන්නෙ?”
“අපේ මාම පිලිප්. ඇයි අහන්නෙ?”
“බලන්නකො කතා කරන අපූරුව. මට ගම රට මතක් උණා. මමත් ඒ වගේ කෙනෙක් වෙන්න ඕනෑ. මේ බලන්න මගේ අත්වල හිරිගඩු පිපිල. විවියන් මගේ යාළුවනේ. මට එයාව අඳුන්නලා දෙන්න.”
විවියන් තම යෙහෙළිය සමඟ පිලිප් මාමා ළඟට ගියාය. “මාමෙ මේ මගේ යාළුවෙක්. මාම එක්ක කතා බහ කරන්න කැමැතිලු. ඔන්න මම පැත්තකට ගියා.”
පිලිප් - කුසුමා ප්‍රේම අන්දරය බිහිවූයේ ඉන්පසුවය.
බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සමසමාජ පක්ෂය හා ඩබ්ලිව්. දහනායකගේ භාෂා පෙරමුණත් එක්කර මහජන එක්සත් පෙරමුණ පිහිටුවන ලදී.
එක්සත් ජාතික පක්ෂයේ රජය පෙරළා දමා මහජන එක්සත් පෙරමුණු රජය බලයට පත්වූ හැටි ප්‍රකට කරුණකි. එම රජයේ ගොවිකම් ආහාර හා සමූපකාර කටයුතු පිළිබඳ ඇමැති පදවිය භාරගත් පිලිප් සියලුම ප්‍රතිගාමී බලවේගයන්ට කෙළින්ම පහර දෙමින් මහ පෙරළි කරන්නට පටන් ගත්තේය. ඔහුගේ කුඹුරු පනත, මහජන බැංකු පනත වැනි පනත් නිසා හොඳටම කලබල වූ ප්‍රතිගාමී බලවේග තදින් ක්‍රියාත්මක විය. අන්තිමේදී පිලිප් ගුණවර්ධන සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද කීප දෙනෙකු රැගෙන මහජන එක්සත් පෙරමුණු රජයෙන් ඉවත් වී ගියේය. විවිධ සේවා සමූපකාර සමිති, සමූපකාර බැංකු පිලිප්ගේ මඟපෙන්වීම අනුව පිහිටුවනු ලැබීය.
පුවත්පත් නිදහස වැනි ජාතික ප්‍රශ්න මුල් කොට 1964 අග භාගයේ දී ඇරඹුණු මහ සටනේදී බණ්ඩාරනායක මැතිනියගේ හවුල් රජයට එරෙහිව නැඟී සිටි පක්ෂ සමඟ පිලිප් ද අත්වැල් බැඳ ගත්තේය. පිලිප් ධනවාදී, ප්‍රතිගාමී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී යයි විරුද්ධවාදීහු චෝදනා නැඟූහ. එක්සත් ජාතික පක්ෂයට වඩා සිය දහස් ගුණයක් ලොකු විපතකින් රට බේරා ගැනීම පිණිස එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව වැඩ කිරීම ගැන කිසිම වරදක් පිලිප්ට නොපෙනුණි. අන්තිමේදී 1965 මාර්තු මැතිවරණයේ ප්‍රතිඵල පිට වූ විට මහජන එක්සත් පෙරමුණෙන් ඉතිරි වී සිටින්නේ පිලිප් පමණකි. ඩඩ්ලි සේනානායක මහතා විසින් පිටුවන ලද ජාතික රජයේ කර්මාන්ත හා ධීවර කටයුතු පිළිබඳ ඇමැතිකම ඔහුට පිරිනමන ලදී. ධනවාදයට එරෙහිව වමේ සමාජවාදය ලංකාවට හඳුන්වා දුන්නේ ඔහුය. එහෙත් ඔහු ඩඩ්ලි සමඟ පුරා අවුරුදු පහක්ම කිසිම ආරවුලක් නොමැතිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කර්මාන්ත හා ධීවර ඇමැති තනතුරු දැරුවේය. ඩඩ්ලි සමඟ එක්වූවත් පිලිප් ඔහුගේ වාමාංශික දර්ශනය අතහැරියේ නැත. ඔහු තම දර්ශනයට වැඩියෙන් රටට ආදරය කළේය. ධනපති ආණ්ඩුවකට හවුල් වී යයි යළිත් පිලිප්ට චෝදනා නැඟුණි. එහෙත් පිලිප් ගුණවර්ධන පොතට වහල් වී සදාකාලික අනුන්ට දොස් කියමින් විරුද්ධ පක්ෂයට වී සිටි මැරි යන්නට උපන් මිනිහෙක් නොවුන බව ඉතිහාසය සාක්කි දරා තිබේ.
පිලිප්ගේ දියණියක වූ ලක්මාලි තම මව ගැන කලකට ඉහත KUSUMA - A LIFE IN LEFT POLITICS කෘතියක් පළකළාය. ඇය තම පියා ගැන එහි සඳහන් කොට ඇත්තේ මෙසේය.
“ඉපදුණු දා ඉඳල මට ඇහුණෙ දේශපාලනයයි. දේශපාලනය කියන වචනයයි. ඒ වචනය අම්මයි තාත්තයි නැතිවීමෙන් නතර වුණේ නැහැ. තවමත් දේශපාලනය අපේ පවුලේ වචනයක්. අපේ පවුල දේශපාලන පවුලක්. ඒක මකන්න නම් බැරිවෙයි. දේශපාලනය හරිම ගොරහැඬියි කියලයි මට හිතෙන්නේ. කලාව කොච්චර සෞම්‍යද? මොන තරම් රසයක් විඳින්න පුළුවන්ද?”
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට කිව්වේ හිරු නොබසින අධිරාජ්‍ය කියාය. එහෙත් පිලිප් එය අවඥාවෙන් බැහැර කළේය.
“වෙළෙඳාමට මෙහි පැමිණි ඔවුහු අධිරාජ්‍යවාදීහු මං පහරන්නන් බවට පත්වී ජයග්‍රාහකයන් ලෙසින් සිටිති. අඳුරෙහි සිටින ඉංග්‍රීසි ජාතිකයා කෙරෙහි දෙවියන් වහන්සේ විශ්වාසය නොතබන හෙයින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට හිරු නොබසින්නේය.”
පිලිප් හා ඇන්.ඇම්. අධිරාජ්‍ය යුගයේ මහනුවර අධිකරණය හමුවේ කළ මේ ප්‍රකාශය ලංකාවේ ඓතිහාසික ලියවිලි අතර අමරණීය ස්ථානයක් ගනී.
පිලිප් දේශපාලන පක්ෂවල නායක පදවි දැරුවේය. මන්ත්‍රි පදවි දැරුවේය. ඇමැති පදවි දැරුවේය. එහෙත් ඔහු එයින් සරිකරගත් ධනයක් නැත. බොරලුගොඩ රාලහාමි ඔහු වෙනුවෙන් සරිකර තබන ලද ධනය ද තම ශ්‍රමයත්, කාලයත් සමඟම සමාජවාදයේ ජයග්‍රහණය සඳහා කැප කළ යුග පුරුෂයා පිලිප්ය. පිලිප් තම පිය උරුමයෙන් ලද ධනය පොදු ජනතාවට හිතසුව පිණිස නිර්ලෝභීව කැප කළේය. පිලිප්ලා දේශපාලනයෙන් හම්බ කර ගත් දෙයක් නැත. වර්තමානයේ පාර්ලිමේන්තුවට තේරී පත් වී පාපැදියෙන් එහි ගොස් කෙටි කලකින්ම කෝටි 10ක වී එයිට් රථයක යන මගෝඩිස්තුමන්ලාගෙන් 'පිලිප්ලා' වෙනස් වී සදා ජනතා මතකයේ පැලපදියම් වී ඇත්තේ ඒ නිසාය.