කවි සිළුමිණ | Page 2 | සිළුමිණ

කවි සිළුමිණ

අඳුරු ගුත්තිල සමාවුව මැන

 

    ඇවිත් ඉඳගත් පළමු දවසෙයි

නුඹේ ටියුෂන් පංතියේ

මටත් හිතුනේ වෙන්න ඇඳුරෙක්

ශිල්ප විකුණන නුඹ වගේ

 

පංති ආවා එකක් නෑරම

එකතු කෙරුවා නිබන්ධන ටික

නම වෙනස්කර මමත් ගැහුවේ

ඒ ටිකම ටික ටික වෙනස්කර

 

සර්ගෙන්මයි ඉගෙන ගත්තේ

ඩබල් මිනින් වචන සෙට්එක

දැන් ඉතින් මට හොඳට පුරුදුයි

කිති කවන එක වචන විසිකර

 

ළඟදි දවසක සර් බැන්නලු

පන්තියෙදී මගේ නම මතක්කර

ඇත්තමයි මගෙ තුන් හිතකවත්

කිසිම අහිතක් නෑ සර් ගැන

 

පරණ සිලබස් එකම හින්දා

සර්ගෙම පොත් නෝට් ගත්තේ

දන්න වැඩ කිඩ හොඳට දාලා

සර් වාගෙම වනල දුන්නේ

 

දවස ගානෙම එකා දෙන්නා

ඇවිත් මගෙ පංතියම පිරුණා

පංති ටියුෂන් ඊපඳුර යට

විරැකියාවට වතුර තිබුණා

සමාවෙනු මැන ඇඳුරු ගුත්තිල

මමත් මූසිල කෙනෙකි ඔබ ළඟ

 

පූජ්‍ය දැලිව ඉන්දරතන හිමි


හෙවණැල්ල

 

උදෑසන

බටහිර හෙවණැල්ල

ගිල ගනී කන්ද සීරුවෙන්

මද්දහන

බිතු සිතුවමකි

හැන්දෑවට

වමාරන

 

සිඩ්නි ජයවීර


අභිසරු ලිය

 

වීදියෙ කොනක පහන් කණුව යටට වෙලා

කවුරු එනතෙක්ද ඉන්නේ දෙනෙත් හෙළා

ජීවත් වෙන්න ගැටලුව දැන් උග්‍ර වෙලා

මොනවා කරන්නද කරුමය උරුම වෙලා

 

වෙසඟන කියා සමහර අය කීවාට

ඇය නැත ගණන් ගන්නේ එය කිසි කලට

පවුලක් රැකීමට ඇය ගත වික්කාට

මතු සසරෙවත් නොම වේවා මේ ලෙසට

 

පේමසිරි ඒ. දිසානායක


සංසාර ආදරේ

 

ගිම්හාන කාලේ හමුවෙලා

වස්සානයේ දී ගුලි වුණා

ප්‍රේමයට හාදු දී

නෙත් කැල්ම සේ රැඳී

හද ගැස්ම ඔබ වැඩි කළා

සංසාර සිහින එළිවෙලා

නිම්නාද දේ හදපුරා

රත්වූ වලාවක

පාවී ගියා සිත

උන්මාද පෙම සොය සොයා

නිල් දෑස ගැන කවි ලියා

උන්නාට මා ඔබ පතා

ළංවී ළඟින් හිඳ

වෙන් වී නොයන් සිත

හාදු මල් වැස්සේ සැඟවිලා

 

මේනකා දමයන්ති


සඳවතිය

 

මිහිඳුම් සිසිල අතරින් හිරු කිරණ වැටී

දේදුනු වලාවන් පෙළ තරගයකි ගැටී

නෙතඟට රසඳුනකි දුටු සුළු මොහොත කෙටී

දිටියෙමි සෙමෙන් සඳවති පිය නගන හැටී

 

බැඳි සෙනෙහසක් අහිමිව ගිය තුරුණු වියේ

ලද වේදනාවන් සැඟවී පිරුණු ළයේ

විසඳා ගත නොහැකි වු බොහෝ කරුණු තියේ

මේ තරමටම ඇයි? දයිවය දරුණු වුයේ

 

තිබුණත් වෙහෙස නා ගෙන එන හිඟුරු දොලෙන්

දර මිටියක් කඩා ගෙන එයි කුරුඳු කැලෙන්

මුව මඳහසින් සිය කට හඬ අවදි කළෙන්

මිණි කිංකිණි මිහිර පැතිරුනි ඇයගෙ පැලෙන්

 

බුළුතොට පියසේන හේවගේ


ඔබ

 

කවි පද නැති සඳ

හඬ කොයි විලසද

මැන බල විසිරිද

මල ඉර බැස ගිය

පසු සඳ එයි නැඟ

මම ඉමි ඔබ ළඟ

 

ඕ. පියසෝම පෙරේරා


සැබෑ එක්වීම

සෙනෙහස සොඳුරුයි යාවුන දෙහදට

සිතිවිලි පෑහෙයි යන දිගු ගමනට

මීවිත කුමටද සවුදිය පිරුමට

කහට කෝප්පය සෑහෙයි උගුරට

 

අහසට ඉනිමං කුමටද තනලා

මල් යහනක සුව නැහැ නොවැ පතලා

සිවු නෙතින්ම අපි ලොව දෙස බලලා

හිඳිනෙමු මහ පොළවේ පය තබලා

 

දම්මිණි ප්‍රේමචන්ද්‍ර ෆොන්සේකා


සැනසුම නැති මිනිස්සු

 

වෛරයෙන් සිත් බඳුන පිරි මිනිසා

පලිය ගත්තට හිඳි නෙත් දල්වා

වියරු වෙස් ගෙන වැනසුවත් සතුරා

සැනසුමක් නම් ලැබේවිද කිසි දා

 

සොබා සම්පත් වනසනා මිනිසා

ධනය උපයයි මතු දවස නොසිතා

එරෙහිවී පරිසරය හැසිරෙන දා

සැනසුමක් නම් ලැබේවිද කිසි දා

 

සරත්. සී. රාමනායක


සිරිපා වදිමි!

 

අඳුර නැත කිසිවිටක දහම් රස ඇති ළයේ

අසම සම හිමි දසුන අමා බඳුනකි දැයේ

රසය එහි නිමක් නැති මගේ හද මැද තියේ

අදත් සිරිපා වදිමි සමන් මල් පුද පියේ

 

දහම් දිවිමතුර ගෙන අවිබලය දෙරණ පිට

හෙළූ හැටි තිලෝනා රැඳී ඇත පපුව යට

එම උසස් ගුණ දහම තව තවත් මතක් කොට

අසම සම පියාණෙනී වැටෙනවා කඳුළු කැට

 

එම්. ආර්. සමරසේකර


තනි වු මොහොතකදී

 

නිදිබර ගතිය නෙත නොරැඳි පලා ගියේ

පාළුව සිත රැඳි ගනදුරු නිසල රැයේ

කඳුළක සුවය දෙකපුල් මත රැඳී ගියේ

තනිවු සිතක කවි කැකුලක් මතු වූයේ

 

සත් සමුදුරින් ගව් ගාණක් දුර ඈතකදී

කතරක තනි නොතනියට උරුමයි කඳුළු පොදී

ළය මත නැඟෙයි සෝදුක් වැල් දිගට හැදී

විඳගනු කෙලෙස මා තනියම මෙලෙස රැඳී

 

නිව්ටන් කරුණාරත්න


පසුතැවීම

 

සිනාවක් ළඟ නතර විය

ඉනාවක් බව දැනෙන විට

ඇවිද ගිය දුර බොහෝය

 

ගාමිණී දළුවත්ත


වයස

 

බොරු දත් කුට්ටමක් දැම්මාට

කොණ්ඩය කළු කෙරුවාට

විලාසිතා ඇඳුමෙන් සැරසුනාට

වයසට යාම හැකිවේවිද නවතන්ට

 

මාරි පැන්සි පෙරේරා


පැතුමක්

 

දුසිරිතෙන් වැළකෙමු

ලද දෙයින් සැම තුටුවෙමු

සදහම් මඟට පිවිසෙමු

නිවනින් මතු මතුත් සැනසෙමු

 

අඳුරට ශාප නොකරමු

පහනින් පහන දල්වමු

දැවෙන සිත් සනහමු

ලොව අනියත බව දකිමු

 

අන් අයට වෛර නොකරමු

මෙත් සිත් සැමට පතුරමු

සසර මඟ කෙටි කරමු

පස් පවින් සදා වැළකෙමු

 

රත්නසිරි පතිරණ


 පියාගේ අන්තිම ගමන

 

ලොවේ ජනහඬ නසා හැමදෙන සිහින ලෝකෙක නිදද්දී

රෑසියන්ගේ පුරුදු නාදය දස දිසාවෙන් ඇසෙද්දී

දේවතා එළියෙන් ඔබට හිමි නිවන් දොරටුව ඇරෙද්දී

ගියේ ඇයි මගෙ පියාණෙනි, මම වැලපි වැලපි අඬද්දී

 

රිදී සඳකැන් පුලිනතල මත කිරි ගඟක්සේ ගලද්දී

පිපී සේපාලිකා කඬුපුල් රැයේ මැදියම ගෙවෙද්දී

ඈත අහසේ නීල සිතිජය නේක පාටින් දිලෙද්දී

ගියේ ඇයි මගෙ පියාණෙනි හිස අත බදා මම අඬද්දී

 

සීත සුළඟට හාදු දෙන්නට වගේ ගස් වැල් නැමෙද්දී

පිරුණු හසරැලි සොඳුරු මුහුණක් මගේ හද තුළ මැවෙද්දී

අතීතෙට නව පණක් දී මම මංමුලාවක වැටෙද්දී

ගියේ ඇයි මගෙ පියාණෙනි මම සෝක ගින්නෙන් දැවෙද්දී

 

ඇම්. ප්‍රේමා වෑදණ්ඩ


ද්වාර නමා වත පුදනේමි

 

සුර නර පූජිත දස බල ධාරිත මාර පරාජිත ලෝස්වාමී

තිර සර සේවිත නිස - සල මාවත භාර කළා සත හිතකාමී

දුර හැර දූසිත විස නළ පූරිත පාර මිතා මත දිනුස්වාමී

හර සර පා හිත පිස මළ සා සිත ද්වාර නමා වත පුදනේමී

 

නොතිර මරණ පිරු මෙවන් සිහින බොරු අහම්

බයෙන් දැන අත් හරිමි

පවර දෙරණ දැරු බවෙන් ලැබුණ යුරු

උතුම් ගතින් ගුණ සිත් පුරමී

ඉවර කරන මරු දිනන්න මන ගරු පැතුම්

කඳින් නැණ තෙත් කරමී

සසර සරණ තුරු නිවන් දකින තුරු

දහම් රසින් මන මත් කරමි

 

සුනීත චන්ද්‍රපාල් වඩුගේ

 

ඔබේ කවි නිර්මාණ

‘කවි සිළුමිණ’

සිළුමිණ, ලේක්හවුස්,

කොළඹ - 10 යන ලිපිනයට

යොමු කළ හැකිය.

දුරකතනය 011 2429265

Comments