
රසල් ඉංග්‍රම් හා ඉයුනීස් පීරිස්’ඝාතන නඩුව 70 දසකයේ අග භාගයේදී රටම කැලඹූ අපරාධයක් සම්බන්දයෙන් වූ නඩුවකි. මෙහි චුදිතයා එකල රටම දන්නා කියන ජනප්‍රිය චරිතයක් වූ මැතිව් පීරිස් නම් වූ දේවගැති පියතුමෙකි. එම ඝාතන නඩුව සමාජය තුළ දැඩි කතාබහට මෙන්ම ආන්දෝලනයට ද තුඩු දෙන්නට එය ද බලපෑවේය.
චන්ද්‍රන් රත්නම්ගේ අධ්‍යක්ෂණයෙන් 2018 වසරේදී තිරගත වන According to Mathew චිත්‍රපටයට පවා පාදක වන්නේ එකී ඝාතන නඩුවට මුල්වන සිදුවීම් මාලාවය.
ඇංග්ලිකානු පූජකවරයකු වන මැතිව් පීරිස් තමාට අහම්බෙන් හමු වූ ඩැෆ්නි ඉංග්‍රම් නැමැති සුරූපී විවාහක කාන්තාවක හා ගොඩනඟා ගන්නා අනියම් ඇසුරක් මුල්කරගෙන ඇයගේ ස්වාමි පුරුෂයා වූ රසල් ඉංග්රහම් හා මැදිවියේ පසුවූ තමන්ගේ භාර්යාව වූ ඉයුනීස් ෆිලීෂියා පීරිස් යන දොපොළව එදා මැතිව් පීරිස් විසින් ඝාතනය කරනු ලබන්නේ රුධිරයේ සීනි මට්ටම ක්‍රමයෙන් අඩු වෙන්නට ඖෂධ වර්ගයක් කාලයක් තිස්සේ ලබාදෙමින් අසාමාන්‍ය ලෙස ඔවුන්ව රෝගී කරමිනි. ඒ මැතිව් පීරිස් සිය අනියම් බිරිය තමාගේ කරගන්නට සිය බිරියවත් අනියම් බිරියගේ සැමියාත් ඝාතනය කළ හැටිය.
බම්බලපිටිය ලෙයාඩ්ස් පාරේ පදිංචිව සිටින ත්‍රිකුණාමලය රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරයෙක් වූ ආදම් බාවා මොහොමඩ් ශිෆාන් පසුගිය අප්‍රේල් 24 වෙනිදා සිය බිරිය රුසෙයිකා ෆාරිස් ඝාතනය කිරීමට උත්සාහ ගත්තේ ද ඒ විදිහටමය. ඒ රුධිරයේ සීනි මට්ටම අඩු කර ඇයව කෝමා තත්ත්වයට පත්කරමිනි. ඇය තවමත් සිටින්නේ කෝමා තත්ත්වයේය. ඒ කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනි.
සිය බිරියව මෙසේ සැලසුම් සහගතව ඝාතනය කරන්නට වෛද්‍ය ශිෆාන් උත්සාහ දරන්නේ මැතිව් පීරිස්ට මෙන් ඔහුට අනියම් සම්බන්ධයක් පැවති නිසා යැයි තවමත් කියැවෙන්නේ නැත. වෛද්‍ය ශිෆාන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඒ ගැන පවසා ඇත්තේ විවාහ වී වසර පහක කාලයක් ගත වී ඇතත් දරුවන් නොමැතිකම නිසා සිය බිරිය මෙන්ම තමාද දැඩි මානසික පීඩනයට ලක්ව සිටීම නිසා දෙදෙනා සියදිවි හානිකර ගන්නට සැලසුම් කර ගත් බවය. ඇගේ කැමැත්ත මත රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට භාවිත කරන ඉන්සියුලින් වර්ගයක් සිය බිරියට එන්නත් කළ බව ද ඔහු කියන්නේය. ඇය කෝමා තත්ත්වයට පත්ව සිටින්නේ ඒ එබැවිනි. බිරියට එසේ ඔහු ඉන්සියුලින් එන්නත් කර ඝාතනය කිරීමට තැත්කළ ද දෙදෙනාගේ එකඟත්වයට අනුව ඔහු ඉන්සියුලින් එන්නත කර ගන්නේ නැත. මිය යන්නට ඇති වූ බිය නිසා තමා ඉන්සියුලින් එන්නත් කර නොගත් බව ඔහු පොලිසිය හමුවේ කීවේය. මෙහි ඇත්ත නැත්ත තවමත් ඇත්තේ විමර්ශන මට්ටමේය. කෝමා තත්ත්වයේ සිටින රුසෙයිකා ෆාරිස් කට අරින තුරු මෙම ඝාතන තැත ඇත්තේ අබිරහසක් ලෙසිනි.
මේ කතාවේ කථානායකයා වන්නේ වෛද්‍ය ශිෆාන්ය. ඔහු පසුවන්නේ 33 වන වියේය. බිරිය සෙයිකා ෆාහිස්ය. ඇය 25 හැවිරිදිය. මේ දෙදෙනාගේම උපන් ගම් පළාත ලෙස සැලකෙන්නේ කාත්තන්කුඩියයි. සෙයිකා ෆාහිස් යමක් කමක් ඇති පවුලක උපන්නියක්ය. පියා කාත්තන්කුඩියේ ජීවත් වන ධනවත් ව්‍යාපාරිකයෙකි. කිරිපිටි සමාගමක ඒජන්තවරයෙක් ද වන ඔහුට කාත්තන්කුඩියේ ඇති ව්‍යාපාර බොහෝය. ඒ පවුලේ ඇයට වඩා වැඩිමහල් සහෝදරියක් ද බාල සහෝදරයෙක් සහ සහෝදරියක් සිටින්නීය. වැඩිමහල් සහෝදරිය විවාහ වී සිය සැමියා සමඟ සිටින්නේ වැල්ලවත්තේය.
සෙයිකා ෆාහිස්ගේ පවුලේ තත්ත්වය හා සැසඳීමේදී වෛද්‍ය ශිෆාන්ගේ පවුල ලොකු සල්ලිකාරයෝ නොවීය. නමුත් ඔවුන් කාත්තන්කුඩියේ යමක් කමක් ඇති පවුලකි. පිටකොටුවේ ශිෆාන්ගේ පියාට තොග බඩු කඩයක් තිබුණු බව කියැවෙයි. පියා දැන් ජීවතුන් අතර නැත. ඒ හෘදයාබාධයකින් අකාලයේ මියැදෙන බැවිනි.
ශිෆාන්ගේ පවුලේ සිටින්නේ සහෝදරයන් දෙදෙනෙක් පමණි. ඒ දෙදෙනාම ශිෆාන්ට වඩා බාලය. ඒ අතරින් වැඩිමහල් සහෝදරයා සිටින්නේ කැනඩාවේය. බාලයා තවමත් අධ්‍යාපනය ලබන සිසුවෙකි.
සෙයිකා ෆාහිස් සහ ශිෆාන් අතර විවාහය සිදුවන්නේ යෝජනාවකට අනුවය. ඒ වසර පහකට පමණ පෙරය. ශිෆාන් වෛද්‍යවරයෙක් ලෙස ඒ වන විට සිටින්නේ පුහුණුව ලබමිනි. වෘත්තීය වෛද්‍යවරයෙක් ලෙස ශිෆාන් සේවයට එක්වන්නේ විවාහයෙන් වසරක් ගෙවුණු තැනය. ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් ලෙස ඔහු සේවයේ නිරතව සිටින්නේ ත්‍රිකුණාමල රෝහලේය.
විවාහයෙන් පසු ශිෆාන් සිය බිරිය සෙයිකා ෆාහිස් සමඟ පදිංචිව සිටියේ බම්බලපිටිය ලෙයාඩ්ස් පාරේ පිහිටි නිවෙසේය. මෙම නිවෙස මෙම යුවළට මිලදී ගෙන දෙන්නේ සෙයිකා ෆාරිස්ගේ පියා විසිනි. ශිෆාන්ට ත්‍රිකුණාමලය රෝහලට පත්වීම ලැබීමෙන් පසු ඔහු නිවෙසට ආවේ ගියේ සති දෙක තුනකට වරක් පමණි. ඒ ත්‍රිකුණාමලයේ සිට දෛනිකව නිවසට එන්න යන්න හැකියාවක් නොවූ බැවිනි. මේ නිසාම ශිෆාන්ගේ තනි නොතනියට නිවසේ සිටින්නේ ඇගේ සහෝදරයා වන රුශෙයින් සහ සහෝදරිය වන රුශෙයිමාය. සතියකට වරක් දෙවරක් ඇගේ පියා ද කොළඹ විත් සිය දියණියගේ දුක සැප විමසා බලා යාමට ද අමතක නොකළේය.
සිය සැමියා ළඟ නොමැති වූවත්, සෙයිකා ඔහුට නිතර දුරකතන ඇමතුම් දුන්නාය. ඔහු සමඟ ආදර බස් ද දෙඩුවේය. ඇගේ හිතට ඒ වන විට දැනී තිබුණු ලොකුම අඩුව බවට පත්ව තිබුණේ දරුවන් නොමැති කමය. ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් වූ ශිෆාන් ඊට හේතුව දැන සිටියත් ඊට ප්‍රතිකර්මයක් කළ බවක් මෙතෙක් එළියට එන්නේ නැත. ඇතැම් විට ඒ හැමදෙයක්ම කර එයත් අසාර්ථක වී තිබුණු නිසා දැයි දන්නේ ඔවුන් දෙදෙනා පමණි. එය ඔවුන්ගේ පෞද්ගලික හේතුවක් වූවත් සිය බිරියට ඉන්සියුලින් එන්නත් කර මරා දැමීමට තැත් කිරීම දක්වා උඩුදුවන්නේ මේ කියන දරුවන් නොමැති ගැටලුවය.
උපාධිධාරිනියක් වූ සෙයිකා හැමදෙයක්ම අමතක කරනු පිණිස ශ්රාස්ත්රපති උපාධිය පවා හදාරන්නට ගත්තේය. ඒ ඇගේ සිත වෙන පැත්තකට යොමුකර ගන්නට සිතාගෙන විය හැකිය. ඒ යැයි කියා දරුවන් නොමැතිකම ගැන වූ ගැටලුවට එය පිළියමක් නොවූ වීය.
“පාඩම් කරන කොට මට නින්ද යනවා. ඔයා මගේ ළඟින් හිටිය නම්” යැයි කියමින් ඇය බොහෝ දිනවල රාත්‍රී කාලයට ශිෆාන්ට දුරකතන ඇමතුම් දුන්නාය. ඇතැම් අවස්ථාවල ඇගේ මේ ඇමතුම් ලැබෙන විට ශිෆාන් සිටින්නේ වාට්ටුවේ රෝගීන් පරීක්ෂා කරමිනි. ඒ නිසා ඔහු ඇය සමඟ ආදරයෙන් කතාබහ කරන්නට ගියේ නැත. එයද ගෙන දුන්නේ ඇයට ලොකු පීඩනයකි.
එම පීඩනය ඇය පිටකරනු ලැබුවේ සියදිවි හානිකර ගන්නට සිතෙන බව ශිෆාන්ට පවසමිනි. ඇය එසේ ඇත්තටම පැවසුවා ද නැද්ද යන්න වග දන්නේ ඇය පමණි. ඇය මෙසේ කීවේ යැයි කියන්නේ ශිෆාන්ය. ඇය එසේ කියා ඇත්නම් ඒ කියන්නට ඇත්තේ දරුවන් පවා නොමැති ඇයට ශිෆාන්ගේ ආදරය කරුණාව රැකවරණය නිසි ලෙස නොලැබෙන බව දැනෙන්නට වූ බැවින් විය හැකිය.
මේ නිසාම නිවාඩු ලැබ ත්‍රිකුණාමලයේ සිට ලෙයාඩ්ස් පාරේ පිහිටි නිවෙසට මෙවර ශිෆාන් එන්නේ දින කිහිපයක් සෙයිකා සමඟ විනෝදයෙන් ගත කර සතුටින් නැවත රාජකාරිය සඳහා යන්නට සිතාගෙනය. එහෙත් සිදුවන්නේ ඊට එහා ගිය සිදුවීම් මාලාවකි.
එදා අප්‍රේල් 24 වෙනිදා උදෑසන 8.00ට පමණ ඇත. ශිෆාන් හදිසියේම දිව එන්නේ බිරියගේ සහෝදරිය වූ රුශෙයන් නිදා සිටි නිවෙසේ කාමරයටය.
“අක්කට සිහිය නැහැ. “ ශිෆාන් කලබලයෙන් මෙන් කීවේය.
ඒත් එක්කම ඇඳෙන් පැන්න රුශෙයන් දිවයන්නේ සිය වැඩිමහල් සහෝදරිය නිදා සිටි කාමරය වෙතය. ඇය ඒ වන විට සිටින්නේ නිදි යහන මත උඩුබැලි අතටය. රාත්‍රී නිදන ඇඳුමෙනි. ඇයට නම කියා කිහිපවිටක්ම කතා කළ ද හැලහොල්මනක් නොවීය. වතුර ටිකක් මුහුණට විසිරුවා තට්ටුවක් දැමූවත් ඇය ඊට ද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවාය.
වෛද්‍යවරයෙක් වූ සිය මස්සිනා වගේ වගක් නොමැතිව සිටියා මිස ඇයට සිදුවී ඇත්තේ කුමක් දැයි පරීක්ෂා කර බැලීමට හෝ රෝහලකට ඇයව රැගෙන යන්නට තරම්වත් උනන්දුවක් නොවීය. වගේ වගක් නැති අයෙක් ලෙස ඔහු සිටින විට සිය ජංගම දුරකතනය අතට ගත් රුශෙයන් ඇමතුමක් ගන්නේ වැල්ලවත්තේ සිටින වැඩිමහල් සහෝදරියටය. එම ඇමතුම ඇයට ලැබී වැඩි වේලාවක් යන්නට මත්තෙන් ලෙයාඩ්ස් පාරේ නිවෙසට එන්නේ සිය සැමියාද සමඟිනි. සෙයිකා කළුබෝවිල රෝහල වෙත රැගෙන යන්නේ ඔවුන් දෙදෙනාය. ඒ ශිෆාන්වද රැගෙන මෝටර් රථයක නැඟීය.
කළුබෝවිල රෝහලට රැගෙන ගිය සැණින් ඇයව ඇතුළත් කරනු ලබන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයටය. ඒ ඇය ඒ වන විටත් කෝමා තත්ත්වයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි බැවිනි. මෙම ලිපිය සටහන් තබන විටත් ඇය සිටින්නේ කෝමා තත්ත්වයෙනි.
ඇය මේ තත්ත්වයට පත්වූයේ කෙසේ දැයි කියා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ මොහොතේ සිටම එහි සේවයේ නිරත වෛද්‍යවරුන්ට ගෙන දුන්නේ ලොකු ගැටලුවකි. විවිධාකාර පරීක්ෂණ සඳහා ඇයව යොමු කරනු ලබන්නේ ඒ අනුවය. ඒ එක් පරීක්ෂාවකින් වෛද්‍යවරුන්ට පෙනී යන්නේ ඇගේ සිරුරේ අසාමාන්‍ය ලෙස පොටෑසියම් වැඩිවීමක් සිදුව ඇති බවය. මෙසේ පොටෑසියම් වැඩිවන්නේ සිරුරේ සීනි මට්ටම වැඩිවන රෝගීන්ගේ සීනි පාලනය කිරීමට ගන්නා ඉන්සියුලින්වලින් බව වෛද්‍යවරුන්ට නම් රහසක් නොවීය. එහෙත් ඇය එවැනි රෝගී තත්ත්වයකින් පෙළුනු තැනැත්තියක් නොවූ බැවින් ඒ ගැන ඇති වන්නේ තදබල ගැටලුවකි. එම ගැටලුව නිරාකරණය කර ගැනීමට යම් ඔත්තුවක් ලැබෙන්නේ දැඩි සත්කාර ඒකකයේ ඒ වන විට ප්‍රතිකාර ලබමින් සිටි සෙයිකාව පරීක්ෂා කිරීමට පැමිණි විශේෂ වෛද්‍යවරයෙකුගෙනි. ඒ ඇගේ දකුණු අතේ වැලමිට ආසන්නයේ ඇතුළු පැත්තේ ධමනියකට එන්නතක් විද ඇති සලකුණක් එම වෛද්‍යවරයාට නිරීක්ෂණය වීමෙනි. ඒ ගැන වෛද්‍යවරු විසින් ශිෆාන්ගෙන් ප්‍රශ්න කරනු රුශෙයන්ට ඇසුණේය. ඒ ඇය රෝහල්ගතර දින තුනකට පසුවය.
එහිදී ශිෆාන් වෛද්‍යවරුවන්ට පවසන්නට වූයේ තමා අලුයම 2.00ට පමණ නින්දට යන විටත් ඇය හොඳින් සිටි බවය. ඇගේ හැසිරීමේ වෙනසක් පවා නොදුටු බව ඔහු පැවසුවේය. ඇය කෝමා තත්ත්වයෙන් සිටිනු තමා දුටුවේ උදෑසන 8.00ට ඇහැරීමෙන් පසුව බවද ශිෆාන් කීවේය. ඒ හැරුණු විට වෙන කිසිවක් ශිෆාන්ගේ මුවින් පිට වූයේ නැත. වෛද්‍යවරු විසින් අසන හැම ප්‍රශ්නයකට ඔහු ලිස්සා ගියේය. ඇතැම් ප්‍රශ්නවලට ඔහු පිළිතුරු නොදුන්නේය. ඒ බිරියට සිදුවී ඇති දෙයින් කම්පනයට පත්ව සිටින අයෙක් සේ හැසිරෙමිනි.
ශිෆාන්ගේ මේ හැසිරීමත් ඔහු කරන කියන දේ ගැනත් රුශෙයන්ට ඇති වන්නේ තදබල සැකයකි. ඒ නිසාම ඔහු රෝහලේ සිට ලෙයාඩ්ස් පාරේ පිහිටි නිවසේ රැඳී සිටි සිය බාල සහෝදරිය වන රුශෙයිමාට දුරකතන ඇමතුමක් ගත්තේය. ඔහු ඇයට උපදෙස් දෙන්නේ සහෝදරියගේ නිදන කාමරය පරීක්ෂා කරන ලෙසය. ඇය සිය සහෝදරයා දුන් උපදෙස්වලට අනුව යමින් එදා මුළු කාමරයම පීරා පරීක්ෂා කළත් සැක කටයුතු යැයි කියා කිසිවක් එහි තිබී හමුවූයේ නැත. අවසානයේදී සිය සහෝදරයාගෙන් උපදෙස් ලැබෙන්නේ අල්මාරිය පරීක්ෂා කරන ලෙසය. එන්නත් කටුවක් අල්මාරියෙන් මතු වෙන්නේ එවිටය. ඒ හැරුණු කොට තවත් එන්නත් කටුවක් හමුවන්නේ ශිෆාන් විසින් ත්‍රිකුණාමලයේ සිට එන යන විට කරේ දමාගෙන යන කළු පැහැති බෑගයකිනි. ඒ අඩක් භාවිතා කළ ඉන්සියුලින් කුප්පියක්ද සමඟිනි. එ් එන්නත් කටුව සහ ඉන්සියුලින් කුප්පිය තිබෙන්නේ ද බෑගයේ තිබුණු ඇඳුම් අතර සඟවාය.
මේ දේවල් පරිස්සමට තබා ගන්නා ලෙස රුශෙයිමාට කළුබෝවිල රෝහලේ සිට රුශෙයන් උපදෙස් දුන්න ද ඇය ඒ හැමදෙයක්ම සිය පියා නිවෙසට ආ හැටියේම ඔහු අත තැබුවේය. ඒ සිය සහෝදරියට දොස්තර මස්සිනාගේ අතින් යම් අනතුරක් වී ඇති බව දැනෙන්නට වූ බැවිනි. එදා සිය සහෝදරිය ඇඳ මත නිසොල්මනේ උඩුබැලි අතට වැටී සිටියදී ඇයව රෝහලකට පවා රැගෙන යාමට ඔහුට උනන්දුවක් නොතිබුණු හැටි වගේම “අක්කට මොකද වෙලා තියෙන්නේ“ යැයි කළ විමසුමේදී “ අක්කා මැරිලා“ යැයි කියූ හැටි ඇය සිය පියාට කීවේය. ඒ සිය සහෝදරියට මේ දේ කර ඇත්තේ මස්සිනා බව එක එල්ලේ චෝදනා කරමිනි.
මෙහිදී සෙයිකාගේ පියා කලබල වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේ සිය දියණියගේ ජීවිතයත් රැකගෙන දියණියගේ පවුලත් රැක ගන්නටය. ඒ වෙනුවෙන් ඔහු ඒ වන විටත් සිටියේ සිය කාලය කැප කරමිනි. දියණියට අනතුරක් වී ඇති බව දැනගත් වහාම කාත්තන්කුඩියේ සිට සිය බිරිය සමඟ ඔහු කොළඹට එන්නේද ඒ වෙනුවෙනි. එසේ නොමැතිව සිය දියණියට සිදුවූ අපරාධයට බෑනාව කොටුකර ගනිමින් ඔහුව හිරේ විලංගුවේ දැමීමේ බලාපොරොත්තුවක් ඇතිව නොවීය.
එහෙත් රුශෙයන් සිටියේ සිය සහෝදරියට වූ දේ ගැන දැඩි කුතුහලයකිනි. එදා ඔහු කළුබෝවිල රෝහලේ සිට නිවසට ආ හැටියේම පරීක්ෂා කර බලන්නේ නිවෙසේ ආරක්ෂක කැමරා පද්ධතියයි. ඒ 24 වෙනිදා උදෑසන 8.00ට ඇහැරුණු බව වෛද්‍යවරුන්ට ශිෆාන් පැවසුවත් ඔහු එදා උදෑසන 6.30ට පමණ කාමරයෙන් පිටත සිටිනු රුශෙයන්ගේ මතකයේ යාන්තමට පැලපැදියම් වී තිබුණු බැවිනි. ඒ මතකය නිවැරදි බව තහවුරු වන්නේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදීය. එදා ඔහු උදෑසන 6.40ට පමණ නිදන කාමරයෙන් පිටතට විත් කසළ බඳුනට යමක් දමන අයුරු පැහැදිලිවම එහි සටහන්ව තිබුණේය.
මේ හැමදෙයක් ගැනම අවසානයේ ඇය සිය පියාව දැනුවත් කරනුයේ තවදුරටත් දොස්තර මස්සිනාව රැක ගැනීමෙන් පලක් නොවන බව කියමිනි. අප්‍රේල් 29 වෙනිදා සෙයිකාට වූ දෙය ඇගේ සැමියාගෙන් පියා විමසන්නේ ඒ අනුවය.
“මම මෙච්චර දවසක් ඔයාගෙන් ඇහුවේ නැහැ, දුවට මොකද වුණේ, දුව අසනීප වුණේ කොහොමද කියල. ඒත් අද මට අහන්න වෙනවා. ඒ ඔයා මොනවා හරි දෙයක් අපෙන් හංගන බවක් පේන නිසා” යැයි සෙයිකාගේ පියා ශිෆාන්ගෙන් විමසුවේ එසේය.
ඒ යැයි කියා ද ශිෆාන් ඒ ගැන කටක් ඇරියේ නැත. නිහඬව සිටියේ “ මොනා වුණත් කියල මම දන්නේ නැහැ” යැයි කියමිනි.
“ ඔයා මොනව හරි හංගන බව මම දන්නවා. අපිට ඇත්ත කීවේ නැත්නම් ඔයාමයි අමාරුවේ වැටෙන්නේ. අන්තිමට ඔයාට උදව් කරන්නත් කෙනෙක් නැති වෙන්න පුළුවන්” යැයි සෙයිකාගේ පියා ඔහුට කීවේ යම් අනතුරු ඇඟවීමක් ද කරමිනි.
“මමයි එයාට ඉන්සියුලින් එක විද්දේ” ඔහු එහිදී කියන්නට වූයේ හැඩූ කඳුළෙනි.
“ඇයි ඔයා එහෙම කළේ. දුවව මරන්න හිතාගෙනද? එහෙම දෙයක් කළේ” යැයි කියා ඔහු විමසන්නට වූයේ බැගෑපත් ලෙසිනි.
“අපි දෙන්න මැරෙන්න තීරණය කළා. දරුවන් නැති ප්‍රශ්නේ නිසා.” සෙයිකාට සිදුවූ අපරාධය ගැන ශිෆාන් හැම දෙයක්ම වමාරන්නට ගත්තේය.
දෙදෙනා සිය දිවි හානිකර ගැනීමට තීරණය කරනු ලබන්නේ දරුවන් නොමැති කම මුල්කරගෙන ඇතිවන ගැටුම්වලට නැවතීමේ තිත තැබීමටය. ඉන්සියුලින් එන්නත් කරගෙන සියදිවි හානිකර ගැනීමට තීරණය කරනුයේ ශිෆාන්ය. ඇය ඊට එකඟ වූ බව ද ශිෆාන් කියන්නේය. ඒ අනුව ඔහු ඉන්සියුලින් සහ එන්නත් කටු මිලදී ගන්නේ පෙර දින බම්බලපිටියේ පිහිටි ඔසු හලකිනි. එම ඉන්සියුලින් ඇගේ සිරුරට එන්නත් කළේ යැයි ඔහු කියන්නේ ඇය රෝහල කරා ගෙන ගිය දා අලුයම් කාලයේදීය. රුධිරයේ සීනි සම්බන්ධයෙන් කිසිදු රෝගී තත්ත්වයකින් නොසිටි ඇය එම එන්නත ලබා ගැනීමෙන් සුළු වේලාවක් තුළ පත්ව ඇත්තේ කෝමා තත්ත්වයට ය.
“මට බය හිතුනා ඉන්සියුලින් විදගන්න. ඒ නිසා මම විදගත්තේ නැහැ.” ශිෆාන් තමා ඉන්සියුලින් විද නොගත්තේ ඇයි දැයි කියාද ඒත් එක්කම කීවේය.
මේ හැම දෙයක්ම අසාගෙන සිටි සෙයිකාගේ පියා එදා රෑ මේ හැම දෙයක් ගැනම බම්බලපිටිය පොලිසිය දැනුවත් කළේය. ඒ සිය දොස්තර බෑනාට එරෙහිව පැමිණිල්ලක්ද කරමින් එන්නත් කටු සහ ඉන්සියුලින් කුප්පිය ද පොලිසියට භාර දෙමිනි.
මෙම සිදුවීමට පොලිසිය මැදිහත් වන්නේ එම පැමිණිල්ලට අනුවය. අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද යොදා නිවෙසේ අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කළ පොලිසිය වෛද්‍ය ශිෆාන් අත්අඩංගුවට ගන්නේ සිය බිරියට ඉන්සියුලින් එන්නත්කර ඝාතනය කිරීමට උත්සහා දැරීමේ චෝදනාව මතය. ඒ මෙම සිදුවීම සියදිවි හානිකර ගැනීමකට කළ සැලසුමකට එහා ගිය සැඟවුණු අපරාධයක තතු පෙනෙන්නට වූ බැවිනි.