අපේ ගොවීන් කාබනික පොහොරට මාරු විය යුතු කාලෙ ඇවිත් | සිළුමිණ

අපේ ගොවීන් කාබනික පොහොරට මාරු විය යුතු කාලෙ ඇවිත්

මුතුවාන වතුයායේ පිහිටි කාබනික පොහොර කර්මාන්තශාලාව

සීතල මීදුම පිරි සුන්දර හපුතලේ, පහළ ගල්කන්දේ පිහිටි අක්කර හයකින් සමන්විත මුතුවාන වතුයාය සරුසාර ගොවි ගම්මානයක් බඳු ය.

සනීපෙට හැදුණු ෆ්‍රීෂියන් සහ ජර්සි එළදෙනුන් 128ගෙන් සමන්විත සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය කිරි ගොවිපළ, හපුතලේ පළාතටම ඇති විශාල ම ගොවිපළ වන අතර, එහි කිරි අස්වනු ලබා දෙන්නේ මිල්කෝ සමාගමට ය.

තවත් අක්කර කිහිපයක විහිදුණු තේ වගාව, කාබනික එළවළු වගාව සහ කාබනික පොහොර නිෂ්පාදනාගාරය මුතුවාන වතුයායට වටිනාකමක් එක් කළ සෙසු කාබනික ව්‍යාපාර වේ. පියල් මාතර ආරච්චි නම් ඇමෙරිකාවේ ජීවත් වන තරුණ ව්‍යවසායකයා ගේ ඕනෑකමට මුතුවාන වතු යායේ ආරම්භ කළ මේ සියලු කාබනික නිෂ්පාදන සහ කිරි ගොවිපළ අද වන විට මේ මහපොළොව සරු කිරීමෙහිලා නිහඬ මෙහෙවරක යෙදෙන කාබනික නිෂ්පාදන සමාගමක් ලෙස ද ප්‍රචලිතය. 

එකී අරමුණු ඉදිරියට ගෙන යමින් විවිධාංගීකරණය වූ මෙම පැසිෆික් ලංකා වෙන්චර්ස් පුද්ගලික. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, නදීප් පුංචිහේවා සිය ව්‍යාපාරය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" හපුතලේ, පළාතටම තිබෙන හොඳම වර්ගයේ කිරිදෙනුන් සිටින කිරි ගොවිපළ හැටියට අපට තවත් සම්පතක් තිබෙනවා. එනම් මාසිකව අමු ගොම මෙට්‍රික් ටොන් 30ක් මේ ෆාම් එකෙන් ඉවත යනවා. ඉන් ප්‍රයෝජනයක් ගන්නා විදියක් බලන කොට තමයි, පොහොර නිෂ්පාදනය පිළිබඳ අදහස අපිට ආවේ. අපි ඒ කටයුත්ත ආරම්භ කළේ මේ හපුතලේ සහ නුවරඑළිය පළාතේ බහුලව සිදු කෙරෙන රෝස මල් වගාවට ගොම පොහොර සැපයීමේ අත්දැකීම තිබූ නිසා. ඉන් අපට ලොකු ආදායමක් ආවා.

දෙවැනි කාරණය මේ මුතුවාන වතුයායේ අපට තිබෙනවා තේ අක්කර තුනක්. ඒ සඳහාත් අපි යෙදුවේ අපි ම හදා ගත් ගොම පොහොර. ඊට අමතරව, අක්කර දෙකක කාබනික එළවළු වගාවකුත් මේ වතුයායේ තිබෙනවා. ඒ සඳහාත් අපි පාවිච්චි කළේ අපේම ගොම පොහොර. ඇත්තටම අපි එය කොම්පෝස්ට් පොහොර ලෙස නියමාකාරයෙන් ම සකසා ගත්තා. ඒ නිසා කාබනික පොහොර නිෂ්පාදනය කියන්නේ, අපිට අලුත් දෙයක් නෙවෙයි. ඊටත් අමතරව පසු කලෙක තමයි, අපි දියර පොහොර නිෂ්පාදනයට අත ගැසුවේ.

කොහොමටත් මේ පළාතේ රෝස මල් වගාව සඳහා මුල් කාලයේ පටන් අපි විශාල ලෙස අමු ගොම සැපයූවා. අඩි හතරක ගොම තට්ටුවක තමයි මේ පළාතේ අය රෝස මල් වගාව සඳහා පැළ සිටුවන්නේ. ඒ ගොම තට්ටුව දිරාපත් වෙමින් අවුරුදු තුන හතරක් පවතිනවා. ඒ අතරට ඔවුන් තව වියළි ගොමත් එක් කරනවා. ඒ නිසා අපේ ගොම සඳහා කවදත් හොඳ ඉල්ලුමක් තිබුණා.

වාණිජ වශයෙන් පොහොර නිෂ්පාදනය සඳහා අප සම්පූර්ණයෙන් ම යොමු වුණේ 2022 වසරේ. එනම්, කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීමෙන්.

දියර පොහොර නිෂ්පාදනය සඳහා ෆිෂ් ටොනික්, මොලෑෂස්, යොදා ගන්නා අතර මිරිස්සෙන් අපගේ මාළු අවශ්‍යතාව ගෙන්වා ගන්නවා. මාසෙකට ටොන් 10 පමණ පොඩි මාළු සහ ඉවත් කරන මාළු අපද්‍රව්‍ය, මේ සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කරනවා. අපගේ ධාරිතාව අනුව මාසෙකට දියර පොහොර ලීටර් ලක්ෂ දෙකක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම කාබනික ඝන පොහොර ටොන් 200 හදන්න අපට හැකියාව තිබෙනවා.

පොහොර නිෂ්පාදනයේ දී අපගේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ගොමයි. අපට ඕනෑතරම් අමුද්‍රව්‍ය සපයා ගත හැකි වටපිටාවකයි අප සිටින්නේ. අක්කර 300 ක විතර වතු යායකට මැදිව සිටින නිසා ඒ දැවැන්ත වපසරිය අවට සිටින කිරි ගොවීන් ගෙනුත් අපට අවශ්‍ය ගොම ලබා ගන්නට පුළුවන්. ඒ වගේම පිරිසුදු තණ කොළ ඕනෑ තරම්. ඉඩකඩත් එහෙමයි. ඕනෑ දෙයක් ලේසියෙන් එකතු කර ගැනීමේ හැකියාව අප සතුයි. ගිණිසීරියා වැනි සෙසු අමුද්‍රව්‍ය, මේ අවට තිබෙන නිසා අපගේ ම වතුයායේ වැඩ කරන අය ඒවා ගෙනැවිත් දී අමතර ආදායමක් හොයා ගන්නවා. මේ හරහා ග්‍රාමීය ආර්ථිකයට යම් දායකත්වයක් සපයන්නට ද අපට හැකිව තිබෙනවා.

වැලි කැටයක්වත් මිශ්‍ර නොවන ගොම සම්පතක් අප සතු නිසා අපගේ පොහොරවල ගුණාත්මක භාවය ඉතා ඉහළයි. තේ, එළවළු, පලතුරු...මේ කොයි වගාවට දැම්මත් එහි වෙනස අත්විඳින්නට පුළුවන්. අපේ ෆාම් එක නිර්මාණය කර තිබෙන්නේ නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් හි විද්‍යාඥයකු වන ඩොක්ටර් ක්ලින් ජොන්සන් විසින්. ඔහුගේ විශේෂඥ දැනුම පූර්ණ ලෙස යොදා ගත් අවස්ථාවක් ලෙස මේ ගොවිපළ දක්වන්න පුළුවන්. ඒ වගේම මෙහි ඇති සෑම උපකරණයක්ම යුරෝපයෙන් ආනයනය කරන ලද නවීන යන්ත්‍රෝපකරණ. ඒ සෑම එකක්ම ස්ථානගත කර තිබෙන්නේ, ඵලදායිතාවට ඉහළම දායකත්වයක් ලබා ගැනීමට හැකි වන ආකාරයෙන්.

ක්‍රමානුකූලව ගලාගෙන යෑමේ පද්ධතියක් සහිත පරිශ්‍රයක් නිසා, දෙනුන් සිටින ස්ථාන පිරිසුදු කිරීමේ දී එහි ඇති ගොම වතුරත් සමග සෘජුවම ගලා යන්නේ ඒ වෙනුවෙන්ම සකසා ඇති විශාල ටැංකි දෙකකටයි. එතැනින් පෙරී තවත් ටැංකියකට ඒ වතුර ටික ගලා යනවා. එයාකාරයෙන් ගොම ටික ඉතිරි වන අතර, ජලය පහළට ගලාගෙන යනවා. බෑවුම් සහිත බව උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ලෙස සකසා තිබෙන නිසා, ගොම ලබා ගැනීමේ දී වැලි කැටයක්වත් මිශ්‍ර නොවී එය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපේ ගොමවලට ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන්නේ ද මේ ගුණාත්මක බව නිසයි. අනික අපේ කාබනික පොහොරවලත් 50% ක්ම අන්තර්ගත ව තිබෙන්නේ ඒ ගොමයි.

අපි අපගේ කාබනික පොහොර ඉලක්ක කරන්නේ තේ, එළවළු සහ අර්තාපල් වගාවට. මේ පළාතේ රාබු සහ බෝංචිවලින් නොහිතූ ඵලදාවක් ගන්නට අපගේ පොහොර යෙදූ ගොවි මහත්වරුන්ට හැකි වුණා. ඇත්තටම, අපි නිෂ්පාදනය කරන කාබනික පොහොර ඌව පළාතෙන් ම දෙවැනි ස්ථානයේ තිබෙන ගුණාත්මක පොහොරක්.

රජයේ පොහොර සහනාධාරය වෙනුවෙන් නම් අප නිෂ්පාදනය පටන් ගත්තේ 2022 යල කන්නයේ. කාබනික දියර පොහොර ලීටර් ලක්ෂ දෙකක් සහ කාබනික ඝන පොහොර ටොන් 200 ක සංචිතයක් මේ වන විටත් අප සතුයි. අප මූල්‍යමය වශයෙන් ශක්තිමත් සහ විවිධාංගීකරණය කළ සමාගමක් නිසා පොහොර අලෙවි කිරීමේ කිසිදු තරගයක් අපට නැහැ.

අපිට අවශ්‍ය, ගොවියා විසින් ම පවතින මේ ව්‍යසනය තේරුම් ගෙන, කාබනික පොහොර සඳහා ඔවුන් යොමු වීමයි. මේ මහපොළොව සුවපත් කරන්නට හැකි සෑම ආකාරයකින් ම කාබනික වශයෙන් අලුත් දේ සොයා ගන්නට අප නිතර කටයුතු කරනවා. අපේ කිරි ගොවිපළවලින් ලැබෙන ගව මුත්‍රාවලින් ස්වාභාවික දිලීර නාශකයක් නිෂ්පාදනය කළේ ද ඒ අනුවයි.

මේ පළාතේ බහුලව සිටින පොළව හාරන ඌරන් පවා එම දිලීර නාශකය පත්‍රවලට ඉස ඇත්නම් වගාවට ළං වන්නේ නැහැ. උදාහරණයක් ලෙස අපි ලක්ෂ පහමාරක් වියදම් කළ කර අර්තාපල් වගාවක් කළා. අපි ඉන් රුපියල් ලක්ෂ 18ක් ඉපැයුවා. ඒ අර්තාපල් වගාවේ දී අපිට කිසිදු දිලීර නාශක ප්‍රශ්නයක් ආවේ නැහැ. මේ ස්වාභාවික දිලීර නාශකය, පත්‍රවලට ස්ප්‍රේ කළාම කිසිදු ආකාරයක කෘමියෙක් වගාවට හානි කරන්නේ නැහැ. අපි ගොවීන්ට කියන්නේ, මේ වගේ ස්වාභාවික දේ අත්හදා බලන්න, හැමදේට ම රසායනික පොහොර ට පුරුදු වෙන්න එපා, කියන එකයි.

අපේ කිරි ගොවිපළ නිසා පවුල් 14ක් සෘජුව ම යැපෙනවා. ඒ පවුල්වල අයගේ දරුවන් වෙනුවෙන් පාසල් පොත්, නිල ඇඳුම් සහ පාසල් උපකරණ අප ලබා දෙනවා. ඒ පළාතේ දරුවන්ට ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයෙන් පරිගණක කිහිපයක් ද අප වෙන් කර තිබෙනවා. ඒ පළාතේ පුංචි ඉස්කෝලයකුත් අපිට පුළුවන් විදියට උදව් පදව් කරමින් රැක බලා ගන්නවා. ව්‍යාපාරයකට වඩා මේවායින් අප ලබන සතුට අපරිමිත යි. 

කොහොමටත් අපි රජයේ වැඩපිළිවෙළ විතරක් බලාපොරොත්තුවෙන් යන ව්‍යාපාරයක් නෙවෙයි. ආයතනික හැකියාව සහ පූර්ණ ව්‍යවසායකත්වය කියන කාරණා ගැන විතරයි දැඩිව විශ්වාස කරන්න පුළුවන්. ඒ ඔස්සේයි, අප ඉලක්ක සාදා ගත යුතු වන්නේ. තව කෙනකුගෙන් යමක් බලාපොරොත්තු වනවාට වඩා අපම මාර්ග සොයා ගැනීමයි වැදගත්. ඒ නිසා අපගේ පොහොර සංචිත පිළිබඳව වුවත් අපට පසුගාමී අදහසක් නැහැ අපගේ පොහොරවල තත්ත්වය පිළිබඳ විශාල පිළිගැනීමක් තිබෙන නිසා එහි අගය සහ වටිනාකම දන්නා ගොවි මහත්වරු අපගේම නිෂ්පාදන සොයාගෙන එනවා. ඒ ඉල්ලුම පිළිබඳ අපට තිබෙන්නේ දැඩි සතුටක්.

ඒ වගේම කන්න කිහිපයක් එක දිගට කාබනික පොහොර දමපු නිසා සමහර පළාත්වල දැන් මහපොළොව යළි සාරවත් වී ගෙන එන බව ගොවීන් පවා පවසනවා. අපේ පළාතේ වුණත් කියන්න සතුටුයි, 10% ක් වත් මේ කාබනික පොහොර භාවිතයේ අගය වටහා ගත් පිරිසක් සිටිනවා.

නමුත් කියන්න කණගාටුයි, අපේ බහුතර ගොවි මහත්වරු කාබනික නොවන පොහොර පිළිබඳ විශ්වාසය හිතේ තදින් තැන්පත් කරගෙන ඉවරයි. මාස දෙක තුනකින් මුදල් ලැබීම විතරක් ඉලක්ක කර ගත්තොත් මේ මහ පොළොවට යමක් අපට ඉතිරි කරන්නට ලැබෙන්නේ නැහැ. කෙටිකාලීන ලාභය පතා බැර ලෝහ ටොන් ගණන් මේ මහ පොළොවට හැළීමේ විපාකය, පිළිකා වකුගඩු වැනි කටුක රෝග සෑදී දුක් විඳින ගොවි මහත්වරු දිහා බැලූ විට තේරුම් ගන්නට පුළුවන්. තරුණ ගොවි මහත්වරු මේ ඛේදනීය ආදර්ශය දෙස බලා, සිය වගා කිරීමේ පිළිවෙත් වෙනස් කරගත යුතු කාලය එළැඹ තිබෙනවා.

මේ මහපොළොවට ටොන් ගණන් හැලූ බැර ලෝහ ආපහු හරවන්න බැහැ. ඒ වැරැද්ද යම් තරමකට හරි හදන්න නම්, පුළුවන් තරම් කාබනික පොහොර මේ පසට මිශ්‍ර කරන්න ඕනේ. පසට හිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දෙන්නට ඕනේ. ඒ දේ කරන්න පුළුවන් ගොවි ජනතාවට විතරයි. ඒ අය ඉදිරිපත් නොවුණොත් මේ මහපොළොව, සදාකාලයටම මැරී ගිය පසක් සහිත මහ පොළොවක් බවට පත්වේවි.

ඒ වගේ පොහොර ගැන වගේම පස ගැනත් යම් ප්‍රමාණාත්මක අවබෝධයක් ගොවි මහත්වරු ලබා ගන්නට ඕනේ. රසායනික පොහොර දැමූ කුඹුරකට සුනඛයකුවත් එන්නේ නැහැ. ඒ සැරට උන්ගේ හිස පවා කැරකෙනවා.

ඒ වගේම, හොඳ කාබනික පොහොරවල යම් ගඳක් තිබිය යුතුයි. ගොවීන් එය නොදන්නාකම ම ලොකු ප්‍රශ්නයක්. සමහර දියර පොහොර කෑන් ඉදිමෙන බව ඔවුන් චෝදනාවක් ලෙස පවසනවා. දියර පොහොර අදාළ භාජනය ඇතුළේ යම් ප්‍රතික්‍රියාවකට ලක්වනවා. ඒ දේ දිගටම සිද්ධ වෙන නිසා තමයි භාජනය ඉදිමීම සිදුවන්නේ. ඒ ප්‍රතික්‍රියාව නිසි කාලයේ දී නවත්වන්න නම් එහි මූඩිය හැර ඕනෑම කුඩා තෙල් ලේයරයක් දමන්නට ඕනේ. එවැනි පුංචි පුංචි විද්‍යාත්මක ක්‍රම තව තිබෙනවා. පොහොර කෑන් පුපුරනවා කියන්නේ, ගොවීන්ගේ නොදැනුවත්කම නිසා සිදුවන දෙයක්. පොහොර ගඳට සුනඛයන් කුඹුරුවලට එනවා කියන්නෙත් එවැනිම දෙයක්.

ඒකයි කියන්නේ, මේ මහපොළොව සුවපත් කරන ජීවකයා විදියට ගොවියා මුලින්ම පස සහ පොහොර ගැන දැනගන්නට ඕනේ කියන එක.

කෙසේ වෙතත් එහි වටිනාකම දන්නා ගොවි මහත්වරු ටිකෙන් ටික බිහි වන නිසා මාසිකව කාබනික පොහොර ටොන් 100ක් පමණ අපට නිෂ්පාදනය කරන්නට සිදු වනවා. කොළඹ හතේ සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ කෙරන ඇතැම් වගා කටයුතු සඳහාත් හමුදාවල කෙරෙන වගා කටයුතු සඳහාත් අපගේ පොහොර ම යොදා ගැනීම සතුටට කරුණක්.

අපගේ පොහොර පිළිබඳ ඕනෑම කෙනකුට දැනගන්නට අවශ්‍ය නම් 0777 879315 දුරකථනය සහ nadeepchmtme@gmail.com ඊමේල් ලිපිනය ඔස්සේ අප හා සම්බන්ධ විය හැකියි ..."

Comments