සතුටින් ඉන්න ජෝඩු අතර දකින්න ලැබෙන පොදු ලක්ෂණ | සිළුමිණ

සතුටින් ඉන්න ජෝඩු අතර දකින්න ලැබෙන පොදු ලක්ෂණ

සම්බන්ධතාවක දුක, සතුට හැලහැප්පීම් සමඟම දෙදෙනා සතුටින් එක්ව සිටීම ජීවිතේ වැදගත්ම කාරණාවක්. මේ සඳහා ආදරය, ගෞරවය, අවබෝධය, විශ්වාසය, කැපකිරීම් ඉතා වැදගත් කාරණා ලෙස සලකන්නට පුළුවන්. එමඟින් තෘප්තිමත් සහ ප්‍රීතිමත් සම්බන්ධතාවක් ගොඩනඟා ගත හැකිවෙනවා. නමුත් වර්තමානයේ සොයා ගැනීම්වලට අනුව ප්‍රීතිමත් සම්බන්ධතාවක් පවත්වා ගෙන යාමට බලපාන තවත් වැදගත් කාරණා 4ක් ගැන ඔබව දැනුම්වත් කරන්න අපි අද සුදානම් වෙනවා.

1. දෙදෙනාට හිමි බලය

බලය කියන්නේ මිනිසුන්ට බලපෑම් කිරීමට හැකියාව ලැබීම සහ අන්‍යයන් ඔබට බලපෑම් කිරීමට දරන උත්සාහයට සාර්ථක අයුරින් එරෙහි වීම ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සාර්ථක සම්බන්ධතාවක් පවත්වා ගැනීමට එකිනෙකා සතු බලය ඉතා වැදගත් වෙනවා. එයට හේතුව තමාට හෝ අනෙකාට ඇතිවන ගැටලුවකදී ඒ පිළිබඳ තීරණ ගැනීමේ බලය ඔවුන් දෙදෙනාටම හිමි වීමයි. මෙහිදී දෙදෙනා එකිනෙකා වෙත හිමි බලය වගකීමෙන් සහ ගෞරවයෙන් පාවිච්චි කළ යුතුයි.

2. සම්ප්‍රදායානුකූලව ඇතැම් කාරණා සම්බන්ධයෙන් තවමත් පිරිමින් බලවත් වී සිටීම

අතීත සමාජයේ කාන්තාවන් හා සසඳන විට වර්තමානයේ කාන්තාවන් ඉදිරියෙන් සිටිනවා. එකල ගෙදර දොර වැඩපළ කරමින්, ළමයි වෙනුවෙන්ම කැපවුණු කාන්තාවන් වෙනුවට වත්මන් කාන්තාවන් පිරිමින් සහ උරෙනුර ගැටෙමින් කටයුතු කරනවා. නමුත් ඉහළ අධ්‍යාපනය සහ, වැටුප් වැනි සාධක තුළ පිරිමින් තවමත් ඉදිරියෙන් සිටිනවා. එසේම ඇතැම් කාරණා සම්බන්ධව තීරණ ගැනීමේදී ද පිරිමින් තවමත් ඉදිරියෙන් සිටිනවා. නමුත් පර්යේෂකයන් පවසන්නේ තෘප්තිමත් සම්බන්ධතාවක් සඳහා එය අදාළ නොවන බවයි. එයට හේතු වී ඇත්තේ වර්තමානයේ බොහෝ කාන්තාවන් ස්ව කැමැත්තෙන්ම තම සම්බන්ධතාව තුළ දී සැමියාට ප්‍රමුඛත්වය දෙන බවයි. කාන්තාවන් තම සම්බන්ධතාව හැඟෙන, දැනෙන ආකාරය අනුව සහ එහි වැදගත්කම අනුව ඔවුන් එසේ කිරීමට පෙලඹෙනවා.

3. අනෙකා අබිබවා නොයාම

සම්බන්ධතාවක් තෘප්තිමත් වීමට බලපාන ප්‍රධානම සාධකයක් ලෙස දෙදෙනා සතු සමාන බලය සහ ශක්තිය පිළිබඳව ඇති පෞද්ගලික විශ්වාසය නම් කළ හැකියි. විශේෂයෙන්ම තීරණ ගැනීමේදී මෙය ඉතා වැදගත් කාරණයක්. උදාහරණයක් විදිහට නිවාඩුවට ඇවිදින්න යන්න තැනක් බිරිය තීරණය කළා නම් යන්නේ කොහොමද, කන්නේ මොනවද වගේ දේවල් සැමියාට තීරණය කරන්න දෙන්න ඕන. ඒ කියන්නේ තීරණ ගැනීමේදී දෙදෙනාගේම තෝරා ගැනීම් සහ දායකත්වය ලබාගැනීම ඉතා වැදගත් කාරණයක්.

4. විවාහ ජීවිතයේ බල තුලනය සඳහා ස්ත්‍රී පුරුෂභාවයේ බලපෑම

අතීතයේ පැවත එන සම්ප්‍රදායික මතය අනුව ස්ත්‍රියට වඩා පුරුෂයාට නිරතුරුව සෑම කාරණයකදීම බලය හිමි වෙනවා. නමුත් වර්තමානය වන විට විවාහය තුළදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම සමාන ලෙස කටයුතු කිරීමට පෙලඹී ඇති නිසා එක් අයකුටම පීඩනයක් ඇති වන්නේ නැත. ඒ නිසා ජීවිතය සාර්ථක සහ තෘප්තිමත් අයුරින් පවත්වාගෙන යනවා.

(අන්තර්ජාලය ඇසුරෙනි)

Comments