යෝජනා නම් එනවා ඒත් මට දැන් කම්මැලියි | Page 2 | සිළුමිණ

යෝජනා නම් එනවා ඒත් මට දැන් කම්මැලියි

- ෂූටිං ගිය පළවෙනිම දවසෙ මදි නොකියන්න ගුටි කෑවා
- මාස ගාණක් තිස්සෙම නපුරු වෙලා ඉඳලා එකපාරටම ආදරණීය වෙන්න ටිකක් අමාරු වුණා

නව පරපුරේ ගීත රචකයකු මෙන්ම මියුසික් වීඩියෝ අධ්‍යක්ෂවරයකු වන ගිම්හාන් මුදුන්කොටුවගේ දුමාරාවී නවතම මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වුණු දිනිදි නුවන්මිණි මේ වන විටත් ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබන රංගන ශිල්පිනියක්. දෙරණ නාළිකාවේ විකාශය වන ශ්‍රීයන්ත ප්‍රසාද්ගේ සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ කටකාර ශනුලි එහෙම නැත්නම් ලින්ටා බඩීට පණ පොවන්නේ ඇයයි.

සැලෙනා නුවන්හි රංගනයට දායක වීමට ලැබුණු අවස්ථාව ගැන ඇය අප හා පැවසුවේ මෙවැන්නක්. 

“2022 හිරු අවුරුදු කුමරිය තරගයේ අන්තිම 12 දෙනා අතරට ආවට පස්සේ ඔඩිෂන් එකකට මුහුණ දෙන්න අවස්ථාවක් ලැබුණා. එතනදි රංගනය ගැන විශ්වාසයක් ඇති වුණා. සැලෙනා නුවන් ගැන පළවුණු පෝස්ට් එකකට අනුව ගිහින් ස්ක්‍රීන් ටෙස්ට් එකකට මුහුණ දීලා තමයි ශනුලිගෙ චරිතයට තේරුණේ. මගේ කටත් ටිකක් සැර නිසා ඒ චරිතෙට මාව ගැළපෙනවා කියලා හිතෙන්න ඇති.”

කැමරාව ඉදිරියේ තම ප්‍රථම රංගන අත්දැකීම ඕනෑම කෙනෙකුට අමතක නොවන්නක් බවයි ඇය පැවසුවේ.

“මුල්ම සීන් එක විදිහට තිබුණේ අක්කගෙ පුතත් එක්ක ඉස්කෝලෙ යන දර්ශනයක්. පළවෙනි අත්දැකීම නිසා ටිකක් බය වුණා. ඩයලොග් පවා එක පාරට මතකෙට ආවෙ නෑ. ආධුනිකයෙක් නිසා ඒ වෙලාවෙම ඩයලොග් දීල මතකෙ තියාගන්න එක මට ටිකක් අමාරු වුණා. අධ්‍යක්ෂ ශ්‍රියන්ත අයිය ලොකු සහායක් දුන්නා. ඩයලොග් ඩිලේ වෙද්දි මගෙ ළඟට ඇවිත් බය වෙන්න එපා නංගි රිලැක්ස් වෙලා කියන්න කිවුව මිසක් කෑගැහුවෙ නෑ. ඒක මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මගේ චරිතය එක්ක වැඩිපුරම ගැටුණෙ නිරංගගෙ චරිතෙ. ඒ කියන්නේ දිලුම් අයියා. එයාගෙනුත් ලොකු සපෝට් එකක් ලැබුණා. මේ විදිහට කියන්න නංගි කිය කියා මගේ බය නැති කළා. තිර රචක නිදුක් අයියත් ඕනම වෙලාවක කෝල් කරලා දෙබස් ගැන ඇහුවත් එයාගෙ වැඩේ නවත්තලා කියලා දුන්නා. සැලෙනා නුවන් කණ්ඩායම හරිම මිත්‍රශීලීයි. මගේ මුල්ම අත්දැකීම මේ වගේ අය එක්ක ගන්න ලැබුණු එක ලොකු සතුටක්. මගේ අම්මටයි තාත්තටයි තමයි මටත් වඩා ලොකු ආසාවක් තියෙන්නේ මං මේ ක්ෂේත්‍රයේ ඉන්න එකට. මට අවුරුදු 4 දි විතර එයාලා මාව ෆිල්ම් එකක ඔඩිෂන් එකකට එක්ක ගිහින් මාව තේරිලා නෑ. එදා එයාලා හිතුවලු කවදහරි අවස්ථාවක් ලැබෙයි කියලා. අද එයාලා ගොඩක් සතුටු වෙනවා.”

කටකාර නපුරු ලින්ටා බඩීගේ නපුරුකම් නිසා දිනිදිට සෑහෙන්න දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවෙලා.

“ෂූටිං ගිය පළවෙනිම දවසෙ මදි නොකියන්න ගුටි කෑවා. ඉස්සෙල්ලම තිබුණේ දිලුම් අයියා වේගෙන් ඇවිත් ඇඟේ හැපෙන සීන් එකක්. එකම සීන් එක තුන් පාරක් විතර ගන්න වුණා. එයා කෙට්ටු නිසා හරියට රිදුණා. කොහොම හරි ගෙදර ගියාම එක පැත්තක්ම කැක්කුමයි. එදාම තමයි සෙරෙප්පුවෙන් ගහන සීන් එකත් කළේ. ඒකත් තුන් හතර පාරක් කරන්න වුණා. සෙරෙප්පුවේ වැලි කැටයක් ඇහේ වැදිලා හොඳටම රිදුණා. මොනව කරන්නද ඉවසගෙන හිටියා.

ඒ වගේම මං දිලුම් අයියට ගහන තැනක් තිබුණා. මට තේරුණා එයා නෑ කිව්වට එයාටත් රිදුණා කියලා. ගොඩක් නපුරු චරිතයක් නිසා මුලින් ශනුලිට මුහුණ දෙන්න වුණේ ඔය වගේ අත්දැකීම්වලට. දැන්නම් එයා ආදරණීය චරිතයක් බවට පත්වීගෙන එනවා.“

ශනුලි නිසා මදි නොකියන්න ගුටි කාපු දිනිදිට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබිල තියෙන්නෙත් ඊට නොදෙවෙනි ප්‍රතිචාරයක්.

“ලින්ටා බඩීගෙ නපුරුකම් නිසා මුල් දවස්වල ප්‍රේක්ෂකයො මට හොඳටම බැණ්නා. ඒව කියන්නත් බැරි තරම්. ඒව දැකලා මට ගොඩක් අප්සෙට් ගියා. මං අම්ම එක්ක කිව්වම අම්ම කිව්වා පහුවෙනකොට ඕව හරියයි. ගණන් ගන්න එපා කියලා. දැන්නම් ලින්ටා බඩී ආදරණීය චරිතයක් බවට පත්වේගෙන එන නිසා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරයත් වෙනස් වේගෙන එනවා. ඒක ලොකු සතුටක්.“

කොතරම් ගුටි කෑවත්, බැණුම් ඇහුවත් ලින්ටා බඩීට දිනිදි ගොඩක් කැමති වෙලා තියෙන්නේ එය ඒකාකාරී නොවී ගලා යන්නක් නිසායි.‍

“ලින්ටා බඩී කියන්නේ නිරංග ඇතුළු කොලු රෑනට නපුරු චරිතයක් වුණාට ලින්ටන් මුදලාලිගෙ ගෙදර ආදරණීයම චරිතය. ඒ ගෙදර බැලන්ස් කරන්නේ එයා. මේ වෙද්දි එයා නිරංගට පෙම් බඳින්න පටන් අරන්. එකම චරිතය තුළ විවිධත්වයක් තියෙන නිසා මට ඒකාකාරී බවක් දැනෙන්නේ නෑ. මාස ගාණක් තිස්සෙම නපුරු වෙලා ඉඳලා එකපාරටම ආදරණීය චරිතයක් වෙන්න නම් මට ටිකක් අමාරු වුණා. සමහර වෙලාවලදී දැන් ඔයා ආදරණීය වෙන්න කියලා මතක් කරන තත්ත්වෙටත් පත් වුණා.”

නපුරුකම නැතිවෙලා ශනුලි ආදරණීය වෙද්දි දිනිදි ආදරය කරන්න කම්මැලි වෙලා. බැඳීම්වලින් හිර නොවී නිදහසේ විනෝදයෙන් ඉන්න කැමැතියි කියලයි ඇය කිවුවේ.

“කලින් නම් ආදරණීය අත්දැකීමක් තිබුණා. ඒත් දැන් ඒක නැහැ. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හමුවුණොත් හොඳයි. ලස්සනයි. දිගටම කරගෙන යන්න පුළුවන්. ඒත් මට ගැළපෙන කෙනෙක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. එහෙම කෙනෙක් හමුවෙනකල් මං මෙහෙම ඉන්නවා. මං කැමති නිදහසේ විනෝදෙන් ඉන්න. යෝජනා නම් එනවා. ඒත් මට දැන් කම්මැලියි වගේ.”

Comments