
මේ ලොවට විමුක්තිය උදා කළ ඒ මහා විමුක්තිදායකයාණන් වූ මහා කාරුණික, ගෞතම බුදුරජාණන් වහන්සේගේ අතිශ්‍රේෂ්ඨ උප්පත්තිය මීට වසර 2566 කට පෙර සිදු විය. මේ උදා වී ඇත්තේ ඒ පින්බර වෙසක් සමයයි. ලෝකවාසී සියලු ජනතාවට මනුෂ්‍ය ජීවිතයේ දුකින් එතෙර වීමේ නියම සත්‍ය සහ නිවැරදි දහම අපට කියා දුන්නේ අප මහා බුදුරජාණන් වහන්සේය. එසේනම් උන්වහන්සේගේ උපත සිදු වූ ඒ පින්වත් මොහොතේ දඔදිව් තලේ නැෙඟනහිර ක්ෂිතිජයේ පායා තිබූ ග්‍රහ තාරකා අනුසාරයෙන් සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය පිළිබඳ ජ්‍යොතිෂානුකූලව යම් විමර්ශනයක් කිරීමට මේ හොඳම කාලයයි. මේ ලිපිය එම සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය පිළිබඳ කෙරෙන ජ්‍යොතිෂ විමසුමකි.
කටක ලග්නයෙන් විසා නැකතින් උපන් සිදුහත් කුමාරයාගේ ජන්ම පත්‍රය තුළ නව ග්‍රහයන් අතරින් රවි, කුජ, ගුරු, සිකුරු යන ප්‍රධාන ග්‍රහයින් උච්ච බල සහිතව තැන්පත්ය. එසේම ශනි, රාහු හා කේතු යන ග්‍රහයන් පිළිවෙළින් මූල ත්‍රිකෝණ සහ ස්වක්ෂේත්‍ර බල සහිතව තැන්පත්ව සිටී. මෙම ජන්ම පත්‍රය එතෙක් මෙතෙක් මේ ලොව තුළ බිහි වූ අග්‍රගණ්‍ය වූ අසීමීත බලවත් වූ ජන්ම පත්‍රයයි. ගුරු මහ දශාවෙන් උපන් සිදුහත් කුමාරයා හට උපතේ සිට අවුරුදු 16ක් පමණ ගුරු හෙවත් බ්‍රහස්පති මහ දශාව පැවතියේය. මේ කාල සීමාව තුළ සිදුහත් කුමරුගේ විවාහයද සිදු විය. ශනිගේ කුජ අන්තරය තුළ සිදුහත් කුමරුට දරු සම්පත් ද හිමි විය. ඉන් අනතුරුව වයස 16 සිට සෙනසුරු හෙවත් ශනි මහ දශාව වර්ෂ 19 පුරාවට පැවති අතර මෙම දශාව තුළ යෙදුණු සෙනසුරුගේ රාහු අන්තරය තුළ කුමරාට අතිශය වූ දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් දුෂ්කර ක්‍රියා සිදු කිරීමට සිදුවුණි. එයින් පසු වයස 35 පමණ වන විට 17ත් වසරක් වූ බුධ මහ දශාව යෙදුණු කාල සීමාව තුළ සියලු කෙලෙසුන් නසා බුද්ධත්වයට පත් වීමට සිදුහත් කුමරාට හැකියාව ලැබුණි.
මෙම ජන්ම පත්‍රය තුළ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ලග්නයේම උච්ච වීමෙන් කෝටියක් දෝශ භංග කරමින් ගුරු හංස නම් අති ප්‍රබල හා සුබ යෝග බලය ද, අඟහරු හෙවත් කුජ ලග්නයෙන් 7 වැන්නේ පිහිටීමෙන් රුචක යෝග බලයද, සිකුරුගෙන් මාලවී යෝග බලයද, රවි හා බුධ 10 වැන්නේ පිහිටීමෙන් රවි බුධ ආදිත්‍ය යෝගය හෙවත් උපේන්ද්‍ර යෝගයද, ලග්නාධිපති සඳුගෙන් 10 වැන්නේ ගුරුගෙන් ගජකේෂරී යෝග බලයද, 8 වැන්නාධිපති සෙනසුරු හෙවත් ශනි 8 වැන්නේ පිහිටීමෙන් විපරිත රාජයෝග බලයද මනාවට පිහිටා ඇත. මේ ආකාරයට පංච මහ පුරුෂ යෝග ඇතුළු ඉතා බලවත් යෝග රාශියක් යම් පුද්ගයකුගේ කේන්ද්‍රයේ පිහිටන්නේද ඔහු හෝ ඇය සමාජයේ බලවතෙකු වන්නේය. පිරිස් බලයෙන් යුතු කෙනෙකු වන්නේය. සාමාන්‍ය පුද්ගල ජන්ම පතක් තුළ පංච මහ පුරුෂ යෝගවලින් එකක්වත් පිහිටනුයේ ඉතාම කලාතුරකිනි. ඒ අනුව බුදු, පසේබුදු, මහ රහත් යන බලය ලැබීමට නම් අසීමිත වූ භාග්‍යයක් තිබිය යුතුමය. මෙයින් අප මහා බෝසතාණන් වහන්සේගේ ජන්ම බලය මැනවින් පිළිබිඹු වන්නේය. එතුමන්ගේ ජන්ම පතේ 7 වැන්නේ පිහිටි අඟහරුගේ බලය විශේෂයෙන් උන්වහන්සේට සමාජයේ බොහෝ අය වසඟ වීමටත් එපමණක් නොව ආලවක, නාලාගිරි, අංගුලිමාල වැනි දරුණු ඉතා තද සිත් ඇති අය දමනය කර, පාලනය කිරීමටත් මැනවින් තමනට අවනත කර ගැනීමටත් බෙහෙවින් උපකාරී විය.
සිදුහත් කුමරුගේ ජන්ම පත තුළ සඳුගෙන් 12 වැන්නේ රාහු බලවත් වීමත් 9 වැන්නේ සිකුරු බලවත් වීමත් හේතුවෙන් කුමරු දඹදිව පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වල දෙවි බඹුන් උදෙසා ශ්‍රී සත්ධර්මය දේශනා කිරීමට හැකියාව ලැබුණි. ගුරුගේ හා බුධගේ බලය හේතුවෙන් කුමරු හට මනා වූ දේශන හැකියාවක් උරුම වූ අතර, ඒ තුළින් කිසිවෙකු නොලබන මෙන්ම නොමැති බුද්ධියක් එමෙන්ම මහා කරුණාවක් කීර්තියක් මෙන්ම සමාජ බලයක් හා අතිශ්‍රේෂ්ඨ වූ නායකත්වයක් ලබා දෙමින් මුළු මහත් සමාජයේ ම ගෞරවාදරයටත් පිළිගැනීමටත් ලක් වීමට භාග්‍යයක් බුද්ධත්වයට පත්වූ උන්වහන්සේට උදා වූයේය. රවිගේ හා සඳුගේ බලය තුළ බුදුන් වහන්සේ උසස් සිතුවිලිවලින් පිරිපුන් උත්තමයෙකු වූයෙය.
මෙම ජන්ම පත්‍රය තුළ ලග්නාධිපති සඳු ග්‍රහයා සම රාශිගතව ලග්නයෙන් 4 වැන්නේ හෙවත් සිකුරුට අයත් තුලා රාශියේ තැන්පත් අතර තුලාව වනාහි ජල හා චර රාශියකි. ඒ අනුව සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය සිදු වූයේ මහමායා දේවිය තම මවගේ නිවසට යන අතරමඟදී තිබූ සල් උයනක් තුළය. කෙනෙකුගේ උප්පත්තිය චන්ද්‍රයා ජල හා චර රාශියක් තුළ පිහිටීම තුළ සිදුවුවහොත් එය අප ජ්‍යොතිෂයේදී එම පුද්ගලයාගේ උපත ගමනක් යන අතරමඟදී සිදුවන බව සඳහන්ය. ඊට අමතරව ජලය ද යම් ආකාරයකට සම්බන්ධ වීමක්ද මේ සඳහා සිදු විය යුතුය. එම කාරණය මැනවින් සනාථ කරමින් සිදුහත් කුමාර උප්පත්තිය මහමායා දේවිය තම මවගේ නිවසට යන අතරමඟදී තිබූ සල් උයනක් තුළ සිදු වූ අතර, ඒ අවස්ථාවේ මල් වැස්සක්ද පතිත වූ බව සඳහන්ය. 4 අධිපති සිකුරු 4න් 6 වැන්න වූ ගුරුට අයත් මීන රාශිය තුළ කේතු සමඟ පතිත වීමත් 7 හා 8 අධිපති සෙනසුරුත් 8 වැන්න තුළ යෙදීමත් තුළින් සිදුහත් කුමරුගේ ගිහිගෙය හැර යාම හෙවත් තම බිරිය මෙන්ම සියලු නෑදෑ හිතවතුන් හැර යාම හෙවත් ගිහිගෙය හැර යාම මැනවින් පෙන්නුම් කරයි. පුද්ගලයෙකුගේ විවාහය පිළිබඳව පෙන්නුම් කරන්නේ ජන්ම පතේ 7 වැන්නෙනි. ඒ අනුව සිදුහත් කුමාරයාගේ විවාහයේ පැවැත්මට බාධාවක් වූයේ 7 වැන්න තුළ වූ කුජගේ ක්‍රියාකාරීත්වයයි. ඒ අනුව 7 වැන්නේ යෙදුණු භෞම දෝෂ බලය එතුමන්ගේ විවාහ ජීවිතයේ පැවැත්මට අතිශය බාධාවක් වූයේය.
සිදුහත් කුමාරයාගේ උපතින් දින 7ක් තුළ කුමරුගේ මව වූ මහමායා දේවියගේ මරණය සිදු වූ අතර කුමරු හැදී වැඩුණේ ඔහුගේ සුළු මවගේ රැකවරණය තුළය. එයට හේතු වී ඇත්තේ ජන්ම පත තුළ 8 අධිපති ශනි 8 වැන්න තුළ පතිත වීමත් ය.
මේ ලෝකවාසී දුකින් පෙළෙන සත්ත්වයාට අපමණ සේවයක් කළ ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට උප්පත්ති ග්‍රහ චාරය අනුව එලඹි සිකුරු මහ දශාව තුළ ගුරුට අයත් විසා නැකත යෙදුණු වෙසක් පෙහොය දිනක පිරිනිවන් පෑ සේක.
ජ්‍යොතිර්වේදී, බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ











