චාල්ස් රජ කරවන සියවසේ ලොකුම රාජාභිෂේකයට තව දින 7 යි | Page 2 | සිළුමිණ

චාල්ස් රජ කරවන සියවසේ ලොකුම රාජාභිෂේකයට තව දින 7 යි

චාල්ස් රජුගේ ඔටුනු පැලඳවීමේ උත්සවය මැයි 6 වැනිදාය. රජ පවුලත් ඇතුළුව දෙස් විදෙස් අමුත්තන් දෙදහසකට ආසන්න පිරිසක් ඉදිරියේදී ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ ශාලාවේ පැවැත්වෙන මේ රාජාභිෂේකය දැක බලා ගැනීමට බ්‍රිතාන්‍ය ජනතාවට අවස්ථාව උදා වී ඇත්තේ වසර 70කට පසුවය. හරියටම කියන්නේ නම් 1953 ජුනි 2 වැනිදා දෙවැනි එළිසබෙත් රැජන ලෙස එළිසබෙත් කුමරිය රාජාභිෂේක ගැන්වීමෙන් පසුවය. 

මේ අවස්ථාව උදාවන තුරු ලොව වැඩිම කාලයක් බලා සිටි ඔටුන්න හිමි කුමාරයා ලෙස චාල්ස් රජු ඉතිහාස ගත විය. එදිනට ඔහුගේ බිරිය ද කැමිලා රැජන ලෙස අබිසෙස් ලැබීමට නියමිතය. ඉතිහාසය වෙනස් ආකාරයෙන් පෙළ ගැසුණේ නම් මැයි 6 වැනිදා වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී චාල්ස් රජු පසෙකින් සිට ඔටුනු පලඳින්නේ කැමිලා නොව ඩයනා රැජනය. මැයි 6 වැනිදා උත්සවයේදී ඩයනාගේ පුතුන්ටත් එසේ සිතෙනු නොඅනුමානය.

පසුගිය වසරේ සැප්තැම්බරයේදී එළිසබෙත් මහ රැජන මෙලොවින් සමුගැනීමත් සමඟ ඔටුන්න හිමි කුමාරයා ලෙස චාල්ස් නිල නොවන මට්ටමෙන් රජු බවට පත්වූ අතර, මේ වසරේ මැයි මාසයට දින තීන්දු විය. සාමාන්‍යයෙන් රාජාභිෂේකය යනු උත්සවශ්‍රීයෙන් සමරන ප්‍රීතිමත් කටයුත්තකි. හිටපු රජු හෝ රැජන මියයෑමේ ශෝක කාලය අතරතුර එවැනි උත්සව පැවැත්වීම රජ පවුලේ සම්ප්‍රදාය නොවේ. චාල්ස් රජුගේ රාජාභිෂේකය මාස කිහිපයක් කල් ගියේ එබැවිනි.

74 හැවිරිදි චාල්ස් රජුගේ රාජාභිෂේකය ගැනත්, එදිනට 75 හැවිරිදි කැමිලාගේ හිසටත් ඔටුන්නක් වැටීම ගැනත් බ්‍රිතාන්‍ය ජනතාව එතරම් ලොකුවට ගණන් ගන්නේ නැත. ඔවුන්ගේ කතාබහට ලක්වී තිබෙන්නේ ඊට වැය කරන මුදල ගැනය. එය බ්‍රිතාන්‍ය පවුම් මිලියන 100ක් බව කියැවේ. ශ්‍රී ලංකා මුදලින් නම් කෝටි හාරදහසකටත් වැඩිය. එතරම් විශාල මුදලක් වැය කරමින් රාජාභිෂේකය පැවැත්වූවත්, චාල්ස් මහත් උජාරුවෙන් ඔටුන්න පැලඳ ඇවිද ගියත් ඒ සියල්ල සිදුවන්නේ රජ පවුලේ මුදලින් නොව බ්‍රිතාන්‍ය රජයට මහජනතාව ගෙවන බදු මුදල්වලිනි. 1953දී එලිසබෙත් කුමරියගේ රාජාභිෂේකයට වැය වූ මුදල අද දවසට ගණන් බලන්නේ නම් පවුම් මිලියන 50ක් පමණි. දැන් රජ පුත්‍රයාගේ උත්සවයට ඊට වඩා දෙගුණයක් වැය කිරීමට රිෂී සුනාක්ගේ රජයට සිදු වී ඇත.

චාල්ස්ගේ රාජාභිෂේකයේ වියදම ඉහළ යෑමට හේතුව ආරක්ෂක කටයුතු වන්නට ඇත. එළිසබෙත්ගේ උත්සවය කාලයේදී ආරක්ෂක තත්ත්වය එතරම් ලොකු ගැටලුවක් වී නොතිබිණි. මෙවර රාජාභිෂේකයේ ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදල කොපමණ දැයි දන්නේ නැත. එහෙත් 2018දී හැරීගේ සහ මේගන්ගේ විවාහ උත්සවයේ ආරක්ෂා කටයුතුවලට නම් ස්නයිපර් භටයන්, ඩ්‍රෝන යානා සහ රහස් පොලිසියේ නිලධාරීන් යෙදවීමට පවුම් මිලියන 30ක් වැය වී තිබිණි. මෙවර නිසැකයෙන්ම එම ගණන දෙගුණයක් වීමට ඉඩ ඇත. මේ අවස්ථාවට විදෙස් රාජ්‍ය නායකයන් රැසකටම ඇරියුම් කර ඇති බැවින් ආරක්ෂාව ගැන උපරිමයෙන් වගබලා ගත යුතුව ඇති බැවින් ආරක්ෂාව උපරිමයෙන් තර කරනු ඇතැයි ද සිතිය හැකිය.

චාල්ස්ගේ රාජභිෂේක උත්සවයට සහභාගී වන බව කියන විදෙස් රාජ්‍ය නායකයන් අතර ලොව ප්‍රබලතම ජනපතිවරු හා අගමැතිවරු රැසකි. අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ට ඇරියුම් ලැබී තිබුණත්, ඔහු ඒ සඳහා සහභාගි නොවන අතර, ඒ වෙනුවට පැමිණීමට නියමිතව ඇත්තේ ජනපති ආර්යාව ජිල් බයිඩ්න්ය. එන බව කියන සෙසු ජනපතිවරු අතර ප්‍රංශයේ එමැනුවෙල් මැක්‍රොන්, පෝලන්තයේ ඇන්ඩ්සෙජ් ඩුඩා, ජර්මනියේ ෆ්‍රෑන්ක් වෝල්ටර්, ඉතාලියේ සර්ජියෝ මැටරෙල්ලා, සයිප්‍රසයේ නිකොස් ක්‍රිස්ටොඩොයුලිඩ්ස් හා පිලිපීනයේ ෆර්ඩිනැන්ඩස් මාකෝස් ද වෙති. මාකෝස් පැමිණෙන්නේ ඔහුගේ බිරිය ලුයිස් අරනෙටා සමඟිනි. ඒ හැරුණු විට අගමැතිවරු රැසකි. ඔස්ට්‍රේලියාවේ ඇන්ටොනි ඇල්බනේස්, නවසීලන්තයේ ක්‍රිස් හිප්කින්ස්, පාකිස්තානයේ ශෙබාස් ෂරීෆ් සහ බංග්ලාදේශයේ ශෙයික් හසීනා ද වෙති. මීට අමතරව යුරෝපා හවුලේ සභාපතිනිය, යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඇතුළු පිරිසක් ද පැමිණීමට නියමිතව ඇත. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන් වන ජෝන් මේජර්, ටෝනි බ්ලෙයාර්, ගෝඩ්න් බ්‍රවුන්, ඩේවිඩ් කැමරොන්, තෙරේසා මේ, බොරිස් ජොන්සන් සහ ලිස් ට්‍රවුස් ද උත්සවයට සහභාගි වෙති. වත්මන් අගමැති රිෂී සුනාක් සහභාගි වන්නේ ඔහුගේ බිරිය සමඟය. පාර්ලිමේන්තුවේ තවත් මැතිඇමතිවරු රැසකට ඇරියුම් ලැබී තිබුණත් ඔවුන්ට බිරින්දෑවරු කැටුව යෑමට අවසර ලැබී නැත. ඒ ගැන නම් ඔවුන් සිටින්නේ තරමක කෝපයකිනි. ඊට හේතුව රජපවුලේ කුමරියන්ගේ ඇඳුම් පැලඳුම් දැකබලා ගැනීමට සහ වෙනත් ඕපාදූප දැන ගැනීමට ලැබෙන අවස්ථාවක් බැවින් මෙවැනි උත්සවවලට සහභාගි වීමට වැඩිම කැමැත්ත ඇත්තේ කාන්තාවන්ට වන බැවිනි. මිස්ටර් බීන් චරිතයෙන් ලොවක් දිනූ රෝවන් ඇට්කින්සන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් ද, එංගලන්තයේ ප්‍රාන්ත බිෂොප්වරුන් ඇතුළු ආගමික නායකයන් ද, රජ පවුලේ හිටපු ආදිපාදවරුන් ද, රාජභිෂේකයට ඇරියුම් ලැබූ අමුත්තෝ අතර වෙති. එබැවින් ආරක්ෂක කටයුතුවලට වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම එක අතකින් සාධාරණය.

එහෙත් පසුගිය කාලයේ බ්‍රිතාන්‍ය ජනතාව මුහුණපෑමට සිදුවූ ආර්ථික ගැටලු, උද්ධමනය ඉහළ යෑම වැනි අර්බුද නිසා රාජාභිෂේකයට මෙතරම් විශාල මුදලක් වැය කිරීම තවත් අතකින් ජාතියේ කරුමයක් ලෙස දකින්නෝ එරට වෙති. පසුගිය කාලයේ දී බදු ඉහළ දැමීම වැනි ප්‍රතිපත්තිවලට එරෙහිව විරෝධතා හා උද්ඝෝෂණවලින් බ්‍රිතාන්‍යයට අඩුවක් නොතිබිණි. වැඩවර්ජන රැසක් ද සිදු විය. චාල්ස්ගේ රාජභිෂේකයට බ්‍රිතාන්‍ය රජය පවුම් මිලියන 100ක් වැය කරන්නේ එවැනි පසුබිමකදීය. එබැවින් වසර 70කට පසු උදා වූ විරල අවස්ථාවක් වුවත් මේ රාජභිෂේකයට ජනතා අප්‍රසාදය පළ වීම ගැන නම් ඒ හැටි පුදුම විය යුතු නැත. මේ ගැන චාල්ස් රජු ද හොඳින්ම දනී. ඔහුට ජනතාව අතර එතරම් කැමැත්තක් නැති බවත් ඔහු දනී. පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ජනතාව අතරට ගිය චාල්ස්ට බිත්තර ප්‍රහාරවලින් සංග්‍රහ ලැබී තිබුණේ එබැවිනි.

මේ කාරණා නිසා චාල්ස්ගේ තීරණය වූයේ සිය මවු රැජනගේ රාජභිෂේකයට වඩා අඩු අමුත්තන් පිරිසක් ඉදිරියේ ඔටුනු පැලඳීමටය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේද ඔහු ඇරියුම් කළේ සමීපතමයන්ට පමණි. එලිසබෙත් රැජනගේ උත්සවයට නම් අතිවිශාල මැතිඇමතිවරු පිරිසක් සහභාගි වූ බව කියැවේ. මෙවර චාල්ස් අමුත්තන්ගේ ප්‍රමාණය දෙදහසකට සීමා කළත්, රැජනගේ උත්සවයට සහභාගි වූ අමුත්තන්ගේ සංඛ්‍යාව අටදහසකට වැඩි බවත් ඉතිහාසයේ සඳහන් වේ. ස්වාධීන රටවල් 56කින් සැදුම්ලත් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් සමූහයේ නායකයා ද වන චාල්ස් රජු සිය ඔටුනු පැලඳීමේ උත්සවයට නිල වශයෙන් ඇරියුම් කළ විදෙස් රාජකීයයෝ ද බොහෝ වෙති. එලිසබෙත් රැජනගේ රාජභිෂේකයට සහභාගි වූයේ ටොංගා දේශයේ රැජන පමණක් වූවත්, චාල්ස්ගේ උත්සවයට නම් විදෙස් රාජකීයයෝ රැසක් සහභාගි වීමට නියමිතය.

මොනාකෝ හි ඇල්බට් කුමරු හා චාලේන් කුමරිය, ඩෙන්මාර්කයේ ෆෙඩ්රික් කුමරු හා මේරි කුමරිය, ජපානයේ අකිෂිනෝ කුමරු හා කිකෝ කුමරිය, ස්වීඩනයේ කාල් ගස්ටව් රජු හා වික්ටෝරියා කුමරිය, ස්පාඤ්ඤයේ ෆෙලිප් රජු හා ලෙටීෂියා රැජන, නෝර්වේ හාකොන් කුමරු හා මෙටේ මරිට් කුමරිය, ලක්සම්බර්ග් හි හෙන්රි ආදිපාදවරයා හා මරියා තේරේසා ආදිපාදවරිය, ග්‍රීසියේ ඈන් මේරී රැජන හා පව්ලොස් කුමරු, නෙදර්ලන්තයේ විලියම් රජු හා මක්ෂිමා රැජන, නවසීලන්තයේ මවුරි ප්‍රජාවට අයත් රාජකීය පවුලේ ටුහෙයිටියා රජු, බෙල්ජියමේ පිලිප් රජු හා මැටිල්ඩා රැජන, භූතානයේ ජිග්මි කේසර් රජු හා ජෙට්සුන් පේමා රැජන ඒ අතර වෙති. 

කවදත් රජ පවුලේ ඕපාදූප අවුස්සන බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත්පත් නම් කියන්නේ රාජභිෂේකය ගැන උදම් අනමින් සිටින්නේ චාල්ස්ට වඩා කැමිලා කුමරිය බවය. ඇය දැන් රැජනක් වන්නට ඔන්න මෙන්නය. ඩයනා කුමරිය සමඟ විවාහ වූවත් චාල්ස් සමඟ පෙම් ගිණුමක් පවත්වාගෙන යෑමේ අග්‍රඵලය දැන් ඇයට ලැබී ඇත. චාල්ස් සමඟ ඇයත් ඔටුන් පැලඳීමට නියමිතව ඇති අතර, ඇගේ හිසට පලඳනු ලබන්නේ පස්වැනි ජෝර්ජ් රජුගේ බිරිය මේරි රැජනගේ ඔටුන්නය. වසර සියයකට වඩා පැරැණි මේ ඔටුන්න සෙන්ටිමීටර් 25ක් උසය. ග්‍රෑම් 590ක් බරැති එකකි. රිදී ආලේපිත එය වටා කොහිනූර් දියමන්ති ඔබ්බවා ඇත. නිල වශයෙන් කැමිලාට ලැබෙන තවත් වරප්‍රසාද රැසකි.

රාජභිෂේකයට චාල්ස්ගේ පවුලේ සාමාජිකයන් එන බව ප්‍රචාරය වූවද කැමිලාගේ පවුලේ සාමාජිකයන් එන බව නම් අනාවරණය වී නැත. එහෙත් නිසැකවම ඇය ඔටුනු පලඳින අයුරු දැක බලා ගැනීමට ඇගේ කලින් කසාදේ දරුවන් එන බව නම් ටක්කෙටම කිව හැකි බව ටැබ්ලොයිඩ් පුවත්පත් වාර්තා කළේය. ඇගේ පෙර විවාහය සිදුවූයේ ඇන්ඩෘ හෙන්රි පාකර් නැමැති බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු බ්‍රිගේඩියර්වරයකු සමඟිනි. 1973දී කැමිලා ඔහු සමඟ විවාහ වූ අතර, 1995දී දික්කසාද වූවාය. චාල්ස් කුමරු ඩයනාගෙන් දික්කසාද වූයේ ඊට වසරකට පසුවය. ඉතිරි කතාව කවුරුත් දනිති. කැමිලාගේ දරුවන් වන ලෝරා ලෝපස් සහ ටොම් පාකර් සිය මව රැජනක ලෙස ඔටුනු පලඳිනු දැකීමට නිසැකවම එනු ඇතැයි බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් පුන පුනා කියන අතර, ඇගේ හිටපු සැමියා ඇතුළු මුළු සනුහරේම එනු ඇතැයි තවත් පුවත්පත් රැසක් අනාවැකි පළ කර තිබේ.

චාල්ස්ගේ පවුලේ සියලු සාමාජිකයන්ට රාජාභිෂේකයට ඇරියුම් ලැබී තිබේ. විලියම් හා කේට්ගේ දරුවන් ද, රජ පවුලේ ළාබාලතම සාමාජිකයන් ද ඒ අතර වෙති. හිතුවක්කාර ලෙස රජ පවුල හැර ගොස් පසුව පොතක් ලියා පවුලේ සායම දිය කළ හැරී කුමරු ද පිය රජුගේ රාජාභිෂේකයට සහභාගී වීමට නියමිතය. නොඑන්නේ ඔහුගේ බිරිය මේගන් සහ දරුවන් දෙදෙනා පමණි.

මේගන් කුමරිය රාජාභිෂේකයට නොපැමිණීම ගැන බ්‍රිතාන්‍ය ජනතාව පුදුම වන්නේ නැත. ඇය කොහෙත්ම රජ පවුලේ සාමාජිකයන්ට සමීප කාන්තාවක් නොවන අතර, රජ පවුලේ සාම්ප්‍රදායික සිරිත් විරිත් වැඩිය ගණනකට නොගත් කාන්තාවකි. එබැවින් ඇය කෙරෙහි රජ පවුලේ උදවිය පවා සිටියේ නෝක්කාඩුවෙනි. රාජාභිෂේකය පැවැත්වෙන 6 වැනිදාටම හැරී- මේගන් යුවළගේ වැඩිමල් පුත් කුමරු ආර්චිගේ උපන්දිනයත් යෙදී තිබෙන අතර, ඇය සිය දරු දෙදෙනා සමඟ අමෙරිකාවේදී උපන්දිනය සමරනු ඇතැයි තවත් කතාවක් තිබේ. මේගන් කුමරිය කලින් යොදාගත් උත්සවයක් එදිනට නිව්යෝක් නුවර පැවැත්වෙන බැවින් ලන්ඩනයට නොඑන බව තවත් කතාවකි. එහෙත් ආරංචියේ හැටියට ඇයට එවැනි ඇරියුමක් ලැබී නැත.

වැදගත්ම කතාව වන්නේ රාජාභිෂේකයට සහභාගී වීමට හැරී කුමරු පිය රජුගෙන් ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළ බවට පළවන පුවතය. සිය ජීවිතයේ එකවරක් පමණක් උදාවන අතිශය ප්‍රීතිමත් මේ අවස්ථාවට බාල පුතුගේ පැමිණීම චාල්ස්ට අත්‍යවශ්‍ය වී තිබිණි. අතීතයේ සිට බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජාභිෂේක ගන්වනු ලැබීමේදී හිස පලඳින සාන්ත එඩ්වර්ඩ් රජුගේ තනි රත්තරන් ඔටුන්න පැලඳවීම දැක බලා ගැනීමට හැරී එතැන සිටිය යුතු බව චාල්ස්ගේ එකම අදහස වී තිබිණි. එහෙත් ඔහුගේ බලවත් ඉල්ලීම පරිදි මේ අවස්ථාවට සහාභාගි වීමට හැරී තීරණය කළේ ද ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් පසුව බව එංගලන්ත පුවත්පත් වාර්තා කර තිබිණි.

ඒ අතර මුලින්ම තිබුණේ ලන්ඩනයට පැමිණීමෙන් පසු උත්සවයට සහභාගි වීමට පෙර පිය රජු සමඟ මුහුණට මුහුණ සංවාදයක යෙදීමට කළ ඉල්ලීමය. ඊට මාලිගාව එකඟතාව පළ කර තිබිණි. දෙවැන්න සිය වැඩිමල් සොහොයුරු විලියම් සමඟ එලෙසම මුහුණට මුහුණ සාකච්ඡාවක නිරත වීමට කළ ඉල්ලීමය. මේ සොහොයුරන් දෙදෙනා අවසන් වරට එකිනෙකා සමඟ කතා කළේ මිත්තණිය එළිසබෙත් රැජනගේ අවමංගල උත්සවය අතරතුරදීය. ඊට ද එකඟතාව පළවී තිබිණි. තමාට පමණක් නොව මේගන් කුමරියට ද ඇරියුම් කළ යුතු බව ඊළඟ ඉල්ලීමය. සාමාන්‍ය ජන සමාජයේ නම් ඕනෑම උත්සවයකට සැමියාට ඇරියුම් කළ විට මුළු පවුලම යති. එහෙත් රජ පවුලක ඕනෑම උත්සවයකට ඇරියුම් කිරීමේදී සැමියාට මෙන්ම බිරියට ද වෙන් වෙන් වශයෙන් ඇරියුම් කිරීම සිරිතකි. මාලිගාව එම ඉල්ලීමට ද කැමැත්ත පළ කර තිබිණි. අනික වූයේ තම පුත්‍රයාගේ උපන්දිනය රජ පවුල නිල වශයෙන් පිළිගැනීමට අවශ්‍ය බවය. එය රජ පවුලේ සාම්ප්‍රදායික ක්‍රමවේදය වන අතර, පසුව නිල උපන්දින සුබපැතුම් ද නිකුත් කෙරේ. එහෙත් මේ ඉල්ලීම ගැන නම් සහතික විය නොහැකි බව මාලිගාව හැරීට දන්වා තිබිණි. ඉහළ ආරක්ෂාවක් සපයන ලෙසත් හැරී කළ ඉල්ලීමට මාලිගාව සම්පූර්ණයෙන්ම එකඟ වී තිබිණි. එහෙත් රාජභිෂේකයෙන් පසු පවුලේ සාමාජිකයන් හා එක්ව බකිංහැම් මාලිගාවේ සඳළුතලයේ සාම්ප්‍රදායිකව පෙනී සිටීමට හැරී කළ ඉල්ලීම නම් ප්‍රතික්ෂේප විය. එපමණක් නොව රාජාභිෂේක උත්සවයේදී හැරීට ලැබීමට නියමිතව ඇත්තේ 10 වැනි පේළියේ අසුනක් බව ඩයනා කුමරියගේ හිටපු ප්‍රධාන සහායකයා වූ පෝල් බට්ලර් ප්‍රකාශ කර තිබේ. ඩයනා කුමරිය පැරිස් නුවරදී රිය අනතුරට ලක්වීමෙන් පසු ජීවිතය බේරාගත් එකම පුද්ගලයා වන බට්ලර් කියන්නේ 10 වැනි පේළියට ඉදිරියෙන් ඇති අසුන් පෙළ රාජකීය පවුලේ සාමාජිකයන්ට බවය.

චාල්ස්ගේ රාජාභිෂේකය සිදුවන්නේ එවැනි කරුණු කාරණා රාශියක් මැදය.

Comments