
ජීව ශක්ති ඕගනික් ෆර්ටිලයිසර්ස් පුද්ගලික සමාගම යනු, වස විසෙන් ඔද්දල් වූ මේ මහපොළොව සුවපත් කොට, ප්‍රකෘතිමත් කිරීමේ කාර්යයෙහි නියැළෙන තවත් එක් අභිමානවත් දේශීය සමාගමකි. එහි සභාපති, ඩබ්ලිව්. ඒ. උදය කුමාර මහතා සිය ආයතනික සේවාව පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
" අපි හදන්නේ කාබනික ඝන පොහොර, කොම්පෝස්ට් කැට පොහොර, කාබනික දියර පොහොර සහ ජෛව දියර පොහොර යන වර්ග හතරයි. අපේ කර්මාන්තශාලාව පිහිටා තිබෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය, ගාමිණී පුර ගමේ. අක්කරයක භූමි ප්‍රමාණයක පිහිටා තිබෙන අප කර්මාන්තශාලාවේ වැඩ කරන බහුතරය මේ ගාමිණී පුර ග්‍රාමයේ සහ ඔක්කම්පිටිය අවට අය.
අපේ පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධානම අමුද්‍රව්‍ය වන්නේ වියළි ගොම සහ කුකුළු පොහොර. ඊට අමතරව, ලාඩප්පා කොළ කරදහයියා, කෙසෙල් කඳන් සහ එප්පාවල රොක් පොස්පේට් ඇතුළු තවත් පෝෂණීය සංඝටක කිහිපයක් අප යොදනවා.
මේ සඳහා අවශ්‍ය කුකුළු පොහොර අවශ්‍යතාව මේ පළාතේ කුකුළු ගොවිපළවලිනුත්, මදිපාඩුව කුරුණෑගල සහ හැටන් පළාතෙනුත් ගෙන්වා ගන්නවා. වියළි ගොම නම් මේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම, ලාඩප්පා කොළ, කරදහයියා සහ කෙසෙල් කඳන් මේ පළාතේ අය සැපයුම්කරුවන් ලෙස අප වෙත ගෙනැවිත් දෙනවා. ඒ හරහා මේ ගාමිණී පුර ගම්මානයේ ජනතාවට හොඳ ආර්ථිකයක් හැදී තිබෙනවා.
අප කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ, යල සහ මහ කන්න දෙක ඉලක්ක කරගෙනයි. සාමාන්‍යයෙන් දිනකට කාබනික ඝන පොහොර කිලෝ 40,000ක් විතර අප නිෂ්පාදනය කරනවා. 2022 රජයේ පොහොර සහනාධාරයට යල කන්නය ඉලක්ක කරගෙනයි අපි පොහොර සැපයුම ආරම්භ කළේ. ඒ, අම්පාර මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට කාබනික පොහොර ලබා දෙමින්.
විශේෂයෙන් කියන්න ඕනේ, පොහොර සහනාධාරය විශ්වාස කරගෙනයි, අපි මේ කර්මාන්තය කරගෙන ගියේ. රාජ්‍ය අනුග්‍රහයෙන් කන්න කිහිපයක් එක දිගට මේ මහපොළොවට කාබනික පොහොර සත්කාරය වැටුණු නිසා, මේ කන්නෙටත් අපි කිසිදු පැකිලීමකින් තොරව සූදානම් වුණා. එකවර ඉල්ලූ සැණින් දීමට නොහැකි නිසා කලින් නිෂ්පාදන සූදානම් කරගත්තා. සෑම කාබනික පොහොර නිෂ්පාදකයකු වගේම අපිත් එහෙම කළා. ඒ අනුව දැනට අප සතුව කාබනික දියර පොහොර ලීටර් ලක්ෂ දෙකක සංචිතයක් සහ කාබනික ඝන පොහොර ටොන් 1,500 ක සංචිතයක් තිබෙනවා. රජය මේ තීන්දුව වෙනස් කළොත් කාබනික පොහොර නිෂ්පාදකයින් හැටියට අපි විශාල අමාරුවක වැටෙනවා. ඇත්තටම කිව්වොත් දැනටමත් අපි යම් පමණකට අමාරුවේ වැටී සිටින්නේ. මොකද මේ තරම් ලොකු නිෂ්පාදනයක් එක වර සාමාන්‍ය වෙළෙඳපොළට මුදා හරින්නට අවස්ථාවක් නැහැ.
මේ තත්ත්වය කාබනික නිෂ්පාදකයින් කවුරුත් මුහුණ දී සිටින තත්ත්වයක්.
අපි දැනට විවෘත වෙළෙඳපොළට පොහොර දෙන්නේ නැහැ. මොකද, අපි රජයේ වැඩසටහනට පොහොර හදපු ආයතනයක් නිසා ඒවා වෙන් කර තිබුණේ පොහොර සහනාධාරය වෙනුවෙන් පමණයි.
ඒ වගේම, අපි අපේ කාබනික පොහොරවල සාර්ථකත්වය පිළිබඳ නිතර පසු විපරම් සිදු කරනවා. අපේ කාබනික පොහොර වර්ග යොදාගෙන වී, එළවළු, තේ ඇතුළු සෑම වගාවක් පිළිබඳවම පර්යේෂණ සිදු කරනවා. අපේ කාබනික පොහොර පාවිච්චි කළ ගොවි මහතුන් නැවත නැවතත් ඒ පොහොර වර්ග ඉල්ලා සිටිනවා. ඔවුන්ගෙන් ලැබෙන මෙවැනි ප්‍රතිචාරවලින් අපේ සාර්ථකත්වය අපි නිතර අත්හදා බලනවා. ඒ වගේම, ගොවීන්ගෙන් ලැබෙන සෘජු ප්‍රතිචාර අපිට ඉතා වැදගත්. පොහොරවල ගුණාත්මක බව තව තවත් සංවර්ධනය කිරීමේ දී ඔවුන් පවසන ගුණදොස් අප ඉතා ඉහළින් සලකා බලනවා. මොකද, ඔවුන් මෙහි ගුණ අගුණ කියන්නේ ඔවුන්ගේ අත්දැකීමෙන් වන නිසා.
ඒ වගේම, අපේ පොහොර යොදා වවන අපේම ආදර්ශ ගොවිපළවලින් අපි මේ පසු විපරම කරගෙන යනවා. තේ වගාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ ආදර්ශ වගාවක් සහ වැලිමඩ ප්‍රදේශයේ ආදර්ශ වගාවක් අප දැනටමත් සෘජුවම කරගෙන යනවා. රසායනික පොහොර භාවිත නොකර, අපේ කාබනික පොහොර වර්ග කිහිපය පමණක් භාවිත කර සාර්ථක අස්වනු ගත හැකි බව එම ආදර්ශ ගොවිපළවල අස්වනුවලින් අප අත්හදා බලා තිබෙනවා.
අප ආයතනයේ ප්‍රගතිය සලකන විට වැලිමඩ, බණ්ඩාරවෙල, නුවරඑළිය සහ දඹුල්ලේ එළවළු ගොවීන්ට සහ වී ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනය කරමිනුයි, අපි මේ කාබනික පොහොර ව්‍යාපාරය මුලින්ම ආරම්භ කළේ. ඊට අමතරව, සෘජුවම ඒවා අලෙවි කරන අපේ ම කුඩා අලෙවිසල් කිහිපයක් තිබුණා. අපගේ මුල්ම නිෂ්පාදනය වුණේ, කාබනික දියර පොහොර. ඊළඟට, ජෛව දියර පොහොර. අනෙක් නිෂ්පාදනයන් ට අතගැහුවේ ඉන් අනතුරුව යි. මේ සඳහා අවශ්‍ය තත්ත්ව සහතික ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය ලත් පර්යේෂණ ආයතනවලින් සහ රජ රට විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන තිබෙනවා.
පොහොර සහනාධාරයට අවශ්‍ය නිෂ්පාදනය ආරම්භ කළ පසු අපි මූලිකත්වය දුන්නේ රජයේ ඉල්ලුම සඳහා පමණයි. නමුත් දැන් උද්ගතව ඇති තත්ත්වය නිසා ආයෙත් අපේ පුද්ගලික අලෙවිසල් වෙත අවධානය යොමු කරන්න වෙනවා. මොකද, මේ සා විශාල කාබනික පොහොර තොගයක් අපි දැන් අලෙවි කරන්නේ කොහොමද කියන ගැටලුව අප ඉදිරියේ තිබෙන නිසා.
ඇත්තටම මේ මහ පොළොවට කන්න කිහිපයක් කාබනික පොහොර වැටුණු නිසා හිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙමින් එන බව ගොවීන් පවා අප සමග පවසා තිබෙනවා. රසායනික පොහොරවලින් වසර ගණනාවක් විනාශ වූ මහ පොළොව සුවපත් කරන කාර්යය යහ මඟට වැටීගෙන එන විටම එය නවතා දැමුවහොත් ඇත්තටම එය රටට කරන අපරාධයක්. විශේෂයෙන්, පුංචි දරුවන් ඇතුළු සමස්ත රට වැසියන් ට වස විසෙන් තොර එළවළුවක්, බත් ටිකක් කන්න තිබෙන අවස්ථාව අහිමි කර දැමීමක්.
කබනික පොහොර භාවිතය මේ වෙලාවේ රටට අවශ්‍යම දෙයක්. ඇත්තටම කතාව, මේ රසායනික පොහොර යෙදූ එළවළු පලතුරු අනුභව කර බහුතර ජනතාවක් ලෙඩ වෙච්ච රටක්. ඒක කාටවත් නැහැ කියන්න බැහැ. ඒ නිසා රජයටත් වගකීමක් තිබෙනවා, මේ මහපොළොව සහ ගොවි ජනතාව වගේම පොදු ජනතාව ගැනත් හිතලා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කරන්න.
සමාගමක් විදියට අපි අපිට පුළුවන් දේ කරනවා. ජනතාව දැනුම්වත් කරනවා. අපේ පොහොර හරහා ඒ කාර්යයට යම් අත්වැලක් දෙනවා. යම් දවසක මේ රටේ එළවළු සහ වී වගාව 100%ක් කාබනික කරන්න ඕනේ කියන එකයි, මගේ මතය.
මං උපන්නේ ඔක්කම්පිටියේ. මම ඉගෙන ගත්තේ ඔක්කම්පිටිය මහා විද්‍යාලයේ සහ මොණරාගල ජාතික පාසලේ. ඒ වගේම මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක්. මුල් කාලයේ විවිධ රැකියාවල නිරත වුවත් මගේ හිත හැම වෙලාවෙම තිබුණේ ගොවිතැන එක්ක. පුංචි කාලේ පටන් මම ගොවිතැනට මේ මහපොළොව ට ආදරේ කළා. කාබනික පොහොර පිළිබඳ ඒ පුංචි කාලේ ලොකු දැනුමක් නැති වුණත්, මම ආසා වුණේ කාබනික පොහොර යොදා වගා කටයුතු කරන්න විතරයි. නමුත් කාබනික පොහොර පිළිබඳ අවශ්‍ය දැනුම ලබාගෙන දැන් කාබනික වගාවට අවශ්‍ය පොහොර වර්ග හතරක් ම නිෂ්පාදනය කරන්න මට හැකියාව තිබෙනවා.
ඒ කාලේ මං කඩේකට ගියත් ගෙදර ගෙනාවේ රසායනික පොහොර නොයොදා හදන කෙසෙල්මුව, තුඹ කරවිල, තිබ්බටු ,කොස්, පොළොස් වගේ එළවළු. කාබනික පොහොරවලින් විතරක් හදන දේ, මට වගේම රටේ ජනතාවටත් දෙන්න මං හුඟක් ආසා කළා. මං දැන් මේ හැබෑ කරගෙන තිබෙන්නේ ඒ හීනය.
ඒ වගේම අනාගත සැලසුම් විදියට මාලදිවයින, මැදපෙරදිග රටවලට සහ ඕස්ට්‍රේලියාවට කාබනික පොහොර යැවීමට අප දැන් සැලසුම් සකස් කරමින් සිටිනවා.
මට කියන්න තිබෙන වැදගත්ම දේ, අපේ රටේ ඩොලර් ප්‍රශ්නය විසඳා ගන්න කාබනික පොහොර ආශ්‍රිත කාබනික වගාව, ඉතා හොඳින් යොදා ගත හැකියි. ලෝකයේ කාබනික ආහාරවලට දැන් දැන් පවතින්නේ ඉතා හොඳ ඉල්ලුමක්. එය ඉදිරියේදී තවත් වැඩිවෙනවා මිස අඩු වන්නේ නැහැ. මුළු රටම කාබනික වගාවට හුරු කරන ගමන්, ලෝකයේ උදා වෙමින් පවතින මේ හොඳ අවස්ථාවලින් රටක් හැටියට ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ සදහා රජය මැදිහත් වී කාබනික ආහාර අපනයනය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන්න ඕනේ.
එහෙම කළොත් ලංකාවට වැඩිම ඩොලර් ප්‍රමාණයක් ගේන්න පුළුවන් කෘෂිකර්මාන්තයෙන් කියන එකයි මගේ අදහස..."