මම කැමැති මාදනී නොවී රඟපාන්න පුළුවන් චරිත මට ලැබෙනවටයි | Page 2 | සිළුමිණ

මම කැමැති මාදනී නොවී රඟපාන්න පුළුවන් චරිත මට ලැබෙනවටයි

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු වේදිකා නාට්‍ය ද්විත්වයේම ප්‍රධාන භූමිකා රඟ දැක්වූ ඇය කැලණි පාලම, මධුර ජවනිකා, බක්මහ අකුණු, ගජමන් පුවත , දික්තල කාලගෝල, සුද්දෙක් ඔබ අමතයි, මල්සර බිසව්, උතුරු කොනට පටු පාරක්, සුරඟනක් ඇවිත්, ජගන්මා, ආදී වේදිකා නාට්‍ය රැසකට මෙන්ම ගිරිදේවී, පැහැසරා, මහපොළොව වැනි ටෙලි නාට්‍ය හරහාත්, රං කොල්ලා, කාල වැනි චිත්‍රපට හරහාත් මේ වන විට වේදිකාව, පුංචි තිරය සහ රීදී තිරය එක ලෙස ජයගෙන හමාරයි. ඇය අපේ රටේ තවත් එක් දක්ෂ කලාකාරිනියක්. ඇය නමින් මාදනී මල්වත්තගේ ය.

මාදනී කොහොමද වේදිකාවට පිවිසෙන්නේ ?

මගේ පියා ලයනල් මල්වත්තගේ. ඔහු සේවය කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. එ් නිසාම මට පෙර පාසල් යන අවධියේ ඉඳලම විශ්වවිද්‍යාලීය එළිමහන් රංග පීඨයේ දර්ශනවාර පැවැත්වූ බොහෝමයක් නාට්‍ය නරඹන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා මට පුංචි කාලේ ඉඳලම වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් ලොකු කැමැත්තක් ඇති වෙනවා. කාලයත් එක්ක මම උසස් පෙළ නිම කරලා නාට්‍ය ගැන වැඩි දුර ඉගෙන ගන්න මහරගම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා පාඨමාලාවට සම්බන්ධ වෙනවා. එතැනදී මට මුණගැහෙනවා ක්ෂේත්‍රයේ දැවැන්තයෝ රැසක්. එ ඔස්සේ තමයි මගේ පළමු වේදිකා නාට්‍ය අත්දැකීම වුණ ජයලත් මනෝරත්නයන්ගේ කනේරු මල් වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.

මුල් කාලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙනකොට පවුලේ අයගෙන් මොනවගේ ප්‍රතිචාරයක්ද ඔබට ලැබුණේ ?

ඇත්තටම මගේ තාත්තාගේ එතරම් කැමැත්තක් තිබුණේ නෑ මම රංගන ක්ෂේත්‍රයට එනවට. ගැනු ළමයෙක් කොහොමද කොළඹ ගිහිල්ලා ජීවත් වෙන්නේ වගේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. නමුත් මගේ දැඩි බලකිරීමට සහ ඒ වෙනකොට මම සෞන්දර්යය විශ්වවිද්‍යාලයට සංගීතය විෂය හැදෑරීම සඳහා සුදුසුකම් ලැබීමත් එක්ක මම හොඳින් ඉගෙන ගන්නවා කියන බලාපොරොත්තුව මගේ මවුපියන්ට දීලා තමයි මම කොළඹට එන්නේ. හැබැයි හැමවෙලාවෙම ඒ දෙන්නා මගේ පිටුපසින් හිටියා. මම මොනවද කරන්නේ මම කාවද ඇසුරු කරන්නේ කියලා හොයලා බැලුවා. මට මේ තරම් දුරක් එන්න ලැබුණේ අම්මාගෙයි තාත්තාගෙයි මඟ පෙන්වීම නිසාමයි.

ඔබේ පුතා ඔහුත් මේ වෙද්දි කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා.

ඒ ගැන කතා කළොත්?

පුතා පුංචි කාලේ ඉඳන්ම කලාවට බොහෝම ලැදියි. මම නාට්‍ය පුහුණුවීම්වලට යනකොට පුතාත් මගේ පිටිපස්සෙන් එනවා. සමහර වෙලාවට එයාට මට වැඩිය නාට්‍ය දෙබස් මතකයි. එයාට පුංචි කාලේ ඉඳන්ම ඒ හැකියාව තියෙනවා. මේ වෙද්දි ඔහු කලා අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීලා ඉන්නේ. ඔහු ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව නාට්‍ය සහ ටෙලි නාට්‍ය කිහිපයකටත්, වෙළෙද දැන්වීම් කීපයකටත් මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙනවා. මගේ ඩිති රැම්බය ඇකඩමි එක හරහා කරපු සිල්වෙස්ටර් ආයෙමත් කියන වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවෙත් ඔහු. දැනට ඔහු අකිල සපුමල්ගේ නාට්‍යයක් එක්ක එකතු වෙලා මේ වැඩ කටයුතු කරගෙන යනවා. මං හිතනවා ඔහුත් නාට්‍ය පැත්තෙන් සහ සංගීතය පැත්තෙන් ඉදිරියට යයි කියලා.

මාදනි ගොඩක්ම කැමැති මොනවගේ චරිත තමන්ට ලැබෙනව නම්ද?

ඇත්තටම මම කැමැති මාදනී නොවී රඟපාන්න පුළුවන් චරිත මට ලැබෙනවනම්. මාදනී කියන්නේ ගෙදරට ටිකක් විතර සැර, පොඩ්ඩක් විතර කේන්ති යන චරිතයක්. හැබැයි එළියට ගියාම ගොඩක් වෙලාවට පිටතදී දකින අය මං ගැන කතා කරන්නේ බොහෝම නිවිච්ච අහිංසක චරිතයක් කියලා. ඒ වගේම මම අනිත් අයව අධ්‍යයනය කරන්න කැමතියි. කොහොම වුණත් මට ලැබෙන චරිතයට ගැළපෙන විදියට මගේ බාහිර ශරීරය හෝ අභ්‍යන්තර මානසික තත්ත්වය හැඩගස්වා ගන්නවා. ගොඩක් අය හිතනවා රඟපාන චරිතය ඇතුළේ මේ තියෙන්නේ මෙයාගේ ඇත්තම ජීවිතය කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. රංගනය කියන්නේ ඇත්ත වගේ කර පෙන් වීමක්නේ. ඉතිං එ නිසා මම කැමැති මාදනී නොවී රඟපාන්න පුළුවන් චරිත මට ලැබෙනවනම්. එහෙම චරිත මට ලැබිලා තියනවා සහ ලැබෙමින් පවතිනවා. ඉතිං ඉදිරියටත් මම විශ්වාස කරනවා මගේ රංගන පරාසය දන්න ගොඩක් අය මෙතෙක් මම රඟ

පාලා නැති විදියේ වෙනස් චරිතවලට මට කතා කරයි කියලා.

රංගනයට පිවිසීම සහ ක්ෂේත්‍රය තුළ රැඳීම කියන්නේ දෙකක් ඒ ගැන කතා කළොත් ?

මම ශක්තිමත් නම් කවදාවත් ඇදගෙන වැටෙන්නේ නෑ. මම සහ මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අද වෙනකොට ජනප්‍රියත්වය රැකගෙන ඉන්නවා නම් එ් වේදිකාව තුළින් කලාවට පිවිසීම නිසා කියලයි මම හිතන්නේ. වේදිකාවෙන් ලබන පන්නරය ටෙලි නාට්‍යයකින්වත්, චිත්‍රපටයකින්වත් ලබා ගන්න බැහැ. ඒ පන්නරය තමයි අපේ ගමන ස්ථාවරව පවත්ව ගන්න හේතුව වුණේ. අපි වේදිකාව තුළ නිරන්තර පුහුණුවීම්වල යෙදෙනවා සහ වේදිකා නාට්‍යයක් දර්ශනවාර රැසක් ප්‍රදර්ශනය කරනවා. අපිට ඒ තුළින් ලොකු පුහුණුවක් ලැබෙනවා. මම හිතනවා එ් පුහුණුව තමයි අපේ ගමන ස්ථාවරව දවසින් දවස රැගෙන යන්නේ. රංගනය කියන්නේ ලෝකේ තියන අමාරුම රැකියාවන් අතරෙන් එකක්. ඇත්තටම රඟපෑම බලන් ඉන්න තරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන ප්‍රේක්ෂකයන්ට යමක් පැවසුවොත්?

මේ දවස්වල නැවත වරක් සුද්දෙක් ඔබ අමතයි වේදිකා නාට්‍යයේ වැඩ කටයුතුවලට සම්බන්ධවෙලා ඉන්නවා. මේ නාට්‍ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ මැයි 2 වනදා සවස 6.30ට වේදිකාගත වීමට නියමිතයි. අනිත් පැත්තෙන් ඩිති රැම්බය කියලා මම සහ තිලිනි වීරසිංහ එකතුවෙලා ආරම්භ කළා නාට්‍ය වැඩමුළුවක්. මේ වෙනකොට එහි දෙවැනි කණ්ඩායමේ බඳවාගැනීම් කටයුතු කරගෙන යනවා. ඉතිං වේදිකාවට ඇලුම් කරන පිරිසට මගේ ඩිති රැම්බය ඇකඩමියත් එක්ක එකතු වෙන්න අවස්ථාව තියනවා. එ් වගේම ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය කීපයකම මේ වන විට රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍ය හරහාත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හමුවට මම සමීප වෙනවා.

Comments