මම කවදාවත් නිළියක් එක්ක සම්බන්ධතාවක් පවත්වා ගන්නේ නෑ | සිළුමිණ

මම කවදාවත් නිළියක් එක්ක සම්බන්ධතාවක් පවත්වා ගන්නේ නෑ

යශ් වීරසිංහ කලා පවුලක ආභාසයෙන් රංගනයට ප්‍රවිෂ්ට වූවෙක්. ජනප්‍රිය නළු හීනයට එහා ගිය හීනයක් දකිමින් කලාවේ ඉදිරියට යන ඔහුට තමන්ගේ ගමන හදාගන්න තැනිලා තියෙන්නේ පහසු මාවතක් නෙමෙයි. කැපිලි කෙටිලි, අහිමිවීම් මැදින් වුණත් යන කලා ගමන තුළ ඔහු කළ චරිතවලින් ප්‍රේක්ෂකයන් දිනා අවසන්.

 

මේ දවස්වල නිර්මාණ කිහිපයකින්ම ඔබව හමු වෙනවා?

මේ දවස්වල බරටම වැඩ. අපි එක රෑනේ ටෙලි නාට්‍යය රූගත කරලා ඉවරයි. bio ටෙලි නාට්‍යය සහ කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය මේ දිනවල විකාශය වෙනවා.

ඔබ කාලයක් පේන්න හිටියේ එක කාලෙක එක නිර්මාණයක විතරයි නේද?

අපි එක රෑනේ කියන නාට්‍ය කරලා ටිකක් කල්. ඒ නාට්‍ය එකපාර විකාශය වෙන්න ගත්තා. මම ඉස්සර වගේම දැනුත් එකපාරකට වැඩ එකක් හෝ දෙකක් කරන්න තමයි කැමැති. ඒ විදිහ දිගටම පවත්වා ගෙන යන්න මම කැමැතියි.

කියා දෙන්න ආදරේ තරම් ටෙලියේ ‘අනා‘ වෙනුවෙනුත් සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා නේද?

අවුරුද්දක දෙකක කාලයක් තිස්සේ ‘අනා‘ට සෑහෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා අනා කියන්නේ පවුලට, අම්මට, අක්කගේ දුවට, තාත්තට ආදරේ කරන චරිතයක්නේ. පවුල එක්ක තියෙන ආදරේ කොයි ආදරේටත් වඩා ප්‍රබලයිනේ. ඒ නිසා තමයි ඒ චරිතයට ප්‍රතිචාර ලැබෙන්නේ.

ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන නිර්මාණවල ගොඩක් දකින්න ලැබෙනවා. මොකක්ද මේ විශේෂත්වය?

හැම අධ්‍යක්ෂවරයෙක්ම කැමැති රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා. ආනන්ද අබේනායක මහත්මයා ගත්තොත් ඔහුට රොෂාන් රවින්ද්‍ර අයියව නිර්මාණවලට නැතුවම බෑ. ධනුෂ්ක අයියාගේ නිර්මාණ කිහිපයක මම ඉඳලා තියෙනවා. ඔහුගේ සමහර නිර්මාණවලට මම සම්බන්ධ වෙලා නෑ. ධනුෂ්ක අයියා මාව මුල ඉඳලම දන්නවා. මට වැඩක් දුන්නම කරන විදිහ දන්නවා. ඒ වගේම ධනුෂ්ක අයියා චරිතයකින් බලාපොරොත්තු වෙන දේ මම දන්නවා. ඒ නිසා අපි දෙන්නට වැඩ කරන්න පහසුයි. එහෙමයි කියලා ඔහු මාවම නිර්මාණවලට ගන්නවා කියලා සීමා වෙලා නෑ. දන්න හඳුනනකමට ඔහු කවදාවත් නිර්මාණවලට කිසිම කෙනෙක් ගන්නෙ නෑ. මට කරන්න චරිතයක් තියෙනවා නම් මට ඒ චරිතයට කතා කරනවා. මම ආසාවෙන් චරිතය බාරගෙන කරනවා.

ඔබෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නෑ කියලා දැනෙද්දි, කැපිලි එද්දි වෙන අතක් බලාගන්න හිතුනේ නැද්ද?

අවුරුදු නවයක්ම මම මේ ක්ෂේත්‍රයේ වැඩ කළේ සතුටින්. දැන් ලංකාවේ තිබෙන තත්ත්වය එක්ක අපිට මේකෙන් ජීවත් වෙන්නවත් පුලුවන්ද කියන ගැටලුව එනවා. තියෙන කලකිරීම් එක්ක සමහර විට ලංකාවෙන් යන්න මටත් තීරණයක් ගන්න වෙයි.

පවුල් ආභාසය එක්ක ක්ෂේත්‍රයට ආපු අයට ක්ෂේත්‍රයේ රැකෙන්න පහසුයි කියලා බොහෝ අය කියනවා. පවුල් ආභාසයක් තියෙන ඔබට ඇයි මේ ගැටලු?

ඇත්ත. එහෙම ආභාසයක් තිබ්බොත් රැකෙන්න පහසුයි. හැබැයි මගේ පවුල ජයකොඩි පවුල. ජයකොඩි පවුල හරිම සාධාරණ විදිහට ජීවත් වෙන්නේ. පවුලේ අය කියලා එයාලා බලෙන් අපිව ක්ෂේත්‍රයට තල්ලු කරන්නේ නෑ. තිර පරීක්ෂණ, හඬ පරීක්ෂණ සෑහෙන ප්‍රමාණයකට ගිහින් තමයි මම අද මේ ඉන්න තැනකට ඇවිත් තියෙන්නේ.මගේ ලොකු අම්මා ගීතා කාන්ති . ඇය කවදාවත් මාව නිර්මාණවලට ගන්න කියලා කාටවත් බලපෑම් කරලා නෑ. වැඩක් කරන්න පුළුවන්නම් මාව ගන්න කියලා තමයි ඇය කාට හරි කිව්වානම් කිව්වේ. දක්ෂතාවයෙන් ඉස්සරහට යන්න තමයි අපි උත්සාහ කරන්නේ.

ඔබ ජනප්‍රිය සම්මානය වෙනුවෙන් නිර්දේශ නාම අතරේ ඉදිරියට ආ අවස්ථා අපි දැක්කා. ඔබත් ජනප්‍රිය සම්මානයට හීන දකින කෙනෙක්ද?

ගියපාර සුමති සම්මාන උලෙළේ ජනප්‍රිය සම්මානයට මගේ නම තුන්වැනි තැන වෙනකල් ආවා. මම මට sms කරන්න කියලා පෝස්ට් ෂෙයාර් කළේ නෑ. කිසිම කෙනෙක්ට පෞද්ගලිකවත් මට sms කරන්න කිව්වේ නෑ. මට ඇත්තටම ජනප්‍රිය නළු සම්මානය ගැන හීන නැහැ.

එහෙනම් හොඳම නළු හීනයද දකින්නේ?

දවසක හොඳම නළුවා, හොඳම සහාය නළුවා වගේ සම්මානයක් ගන්න තිබ්බොත් ඒකට කැමැතියි. ඒත් ඒ සම්මාන ලැබෙන සිස්ටම් එක මට තේරෙන්නේ නෑ. ජනප්‍රිය සහ හොඳම කියන කොටස් දෙකම අපිට ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ලැබෙනවා. ඒ ප්‍රතිචාර විඳිමින් ඉදිරිය ගැන බලන් ඉන්නවා.

ඔබේ රූපය සිනමාවට ගැළපෙනවා කියලා බොහෝ අය කියනවා. ඒත් සිනමාවට ඔබව ගළප ගන්නවා අඩුයි නේද?

ගොඩක් අය කියනවා මාව සිනමාවට ගැළපෙනවා කියලා. ඒත් තවම මම සම්බන්ධ වෙලා තියෙන්නේ චිත්‍රපට තුනකට විතරයි. සිනමාවට සම්බන්ධ වෙන්න මමත් ආසයි. ඒත් අවස්ථා ලැබෙනවා අඩුයි.

කොහොම වුණත් මම පස්සෙන් ගිහින් අවස්ථා ගන්නේ නෑ. ඉල්ලලා ගිහින් රඟපාන්න මට ලැජ්ජයි.මාව ඕන කාලයක් ආවොත් නිර්මාණවලට මාව සම්බන්ධ කරගනියි.

ඔබ හොඳ මූල්‍යමය වටිනාකමක් හදාගත්ත නළුවෙක්ද?

මම මූල්‍ය වටිනාකමක් හදාගෙන තියෙනවා. වැඩ අඩුවෙන් ලැබෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති. සමහර අය අපිට කතා කරන ගණන්වලට වරුවක්වත් වැඩ කරන්න බෑ. නමුත් ඒ කතා කරන ගණන්වලට වැඩ කරන්න කැමැති පිරිසකුත් ඉන්නවා. දැන් පඳුරකට ගැහුවත් විසිවෙන්න නළුවෝ ඉන්නවනේ. කොහොම වුණත් මට වැඩ අඩු වුණත් මම මගේ වටිනාකම තියාගෙන තමයි වැඩ කරන්නේ.

යශ් දැන් පෙම්වතෙක්ද?

ඇත්තටම මම පෙම්වතෙක් නෙමෙයි.

නිළියක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කට කතාවක්නම් පැතිරෙනවා?

මම කවදාවත් නිළියක් එක්ක සම්බන්ධතාවක් පවත්වා ගන්නේ නෑ. මොකද ඔවුන්ගේ ජීවිත කොහොමද කියලා මම දකිනවා. කාර්‍යබහුලකම එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න කාලය අඩුයි. දෙන්නම එකම ක්ෂේත්‍රයේ වුණාම ප්‍රශ්න. ඒ නිසා කලබල නොවී කල් ගිහින් හරි හරි දෙයක් කරගන්න එක හොඳයි.

Comments