මට ලැබිය යුතු වටිනාකම ගැන හිතලා වැඩ කරන කෙනෙක් මම | සිළුමිණ

මට ලැබිය යුතු වටිනාකම ගැන හිතලා වැඩ කරන කෙනෙක් මම

 

සිනෙති අකිලා සිනමාවෙන් ප්‍රේක්ෂකයන්ට මුණ ගැහුණ දැන් පුංචි තිරය තුළත් සීරුවෙන් ගමනක් යන රංගන ශිල්පිනියක්. හඬ කැවීම් ක්ෂේත්‍රය තුළත් ඇය තම ගමන සනිටුහන් කරමිනුයි ඉන්නේ. සම්මානනීය හීන පසෙක තියලා රංගනයේ හොඳ ගමනක් යන්න හීන දකින සිනෙතිට මේ ඉඩ වෙන් වුණා.

සිනෙති මේ දවස්වල ජයටම වැඩ වගේ?

මන්දාරම් කොළඹ සහ තවත් අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් කෙරෙනවා. Human errors ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. සිංහබාහු චිත්‍රපටයෙත් රූගත කිරීම් නිම කළා. හඬ කැවීම් කටයුතුත් කරගෙන යනවා. අලුත් නිර්මාණ දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

Human errors නිසා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ආරංචියි?

මිහිරි කියන්නේ සැමියට බොහොම ආදරයෙන් භක්තියෙන් ඉන්න කාන්තාවක්. ඒක කළු චරිතයක් නොවෙන නිසා ගොඩක් අයගෙන් ඒ චරිතයට හොඳමයි අහන්න ලැබෙන්නේ. දසුන් පතිරණ තමයි මගේ සැමියට රඟපාන්නේ. සුපුන් රත්නායක තමයි මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ. මම සම්බන්ධ වෙන ඔහුගේ දෙවැනි නිර්මාණය මේක. මේ නිර්මාණය වෙනස්ම වැඩක් නිසා හරිම ආසාවෙන් එයට සම්බන්ධ වෙනවා.

ඔබ රංගනයට සම්බන්ධ වෙද්දි නිර්මාණයක මොන වගේ දේවල් ගැනද වැඩිපුර හිතන්නේ?

මම නිර්මාණයකට සම්බන්ධ වෙන්න කලින් අධ්‍යක්ෂවරයාගෙන් පිටපත ඉල්ලනවා. නැත්නම් මට කතා කරන චරිතයේ සාරාංශයක් හරි ඉල්ලනවා. එතකොට මට චරිතය කරනවද නැද්ද කියලා තීරණය කරන්න පහසුයි. මම වෘත්තීමය රංගන ශිල්පිනියක්. ඒ නිසා ලැබෙන මුදල ගැනත් බලනවා. මගේ මුදල මට හරියට ලැබුණේ නැත්නම් නිර්මාණයට සම්බන්ධ වෙන්නේ නෑ. මම සිනමාවෙන් ආපු කෙනෙක්. මම මට වටිනාකමක් දෙන්න ඕනේ. මම විශ්වාස කරනවා අපිට සරිලන වටිනාකමක් ලැබිය යුතුයි කියලා.

ඒ කියන්නේ ඔබ ගණන් උස්සන නිළියක්ද?

අනේ නෑ. මාත් එක්ක වැඩ කරපු අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු දන්නවා මං ගැන. මේ මම කියන්නේ මම මහ ලොකු නිළියක් කියන දේ නෙමෙයි. අපි මේ ගමන යන්නේ හරි පරිස්සමෙන්. අපිට නිකන් වැඩ කරන්න බෑ. අපේ මහන්සියට, කැපවීමට වටිනාකමක් ලැබෙන්න ඕනේ. අපි වැඩකට බෑ කිව්වොත් අපිට වඩා අඩුවට වැඩ කරන්න නිළියොත් ඉන්නවා. ඒත් මට ලැබිය යුතු වටිනාකම ගැන හිතලා වැඩ කරන කෙනෙක් මම. මොකද අපි හදාගත්ත වටිනාකම නැති කර ගන්න හොඳ නැහැ.

චරිතයක ඕනෑම අභියෝගයක් ඔබට භාරගන්න පුළුවන්ද?

මට ඕනෑම රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් එක්ක රඟපාන්න පුළුවන්. හැබැයි මම කරන රංගනය, මම අඳින ඇඳුම් පැලඳුම් මට පහසු වෙන්න ඕනේ. බටහිර පන්නයේ චරිතවලට කොටට ඇඳීම මට පහසුවක් විදිහට දැනෙන්නේ නෑ. මට හිතෙනවා ඒ විදිහ මට ගැලපෙන්නේ නැතුව ඇති කියලා. නිර්මාණයක් තුළ මට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමා පනින්න මට පුළුවන් කියලා විශ්වාසයක් නෑ. එහෙම ඕනෑම චරිතයක් බය නැතුව කරන අයට මම ගරු කරනවා. නමුත් මට තවම එහෙම ඕනෑම චරිතයක් බය නැතුව කරන තැනට පත් වෙන්න විශ්වාසය ගොඩනැඟිලා නෑ.

ඔබ දැන් විවාහක කාන්තාවක්. බිරිය කියන සීමාව ඇතුළේද ඔය සීමා දාගෙන තියෙන්නේ?

මගේ සැමියාත් ක්ෂේත්‍රයේ ඉන්න නිසා මට මගේ ගමන පහසු වෙලා තියෙනවා. එයා මේ ක්ෂේත්‍රයේ අයව හඳුනනවා. ඒ නිසා වැඩකට මට ආරාධනා ලැබුණත් එයා ඒ කාගේ නිර්මාණයක්ද, මම කා එක්කද වැඩ කරන්නේ කියන අවබෝධයත් එක්ක ඉන්නේ. අපි දෙන්නට ලැබෙන චරිත ගැන අපි දෙන්නා කතා කරනවා. එයා කවදාවත් මට සීමා දාලා නෑ. ක්ෂේත්‍රය ගැන නොදන්න කෙනෙක්ට වඩා දන්න කෙනෙක් මගේ ජීවිතයේ ඉන්න නිසා මට පහසුවක් එක්ක වැඩ කරන්න පුළුවන්.

සැමියා එක්ක එකට රඟපාන්න අවස්ථාවකුත් පහුගිය කාලේ ලැබුණා නේද?

කලිනුත් අපි දෙන්නා එකම නිර්මාණයක රඟපාලා තියෙනවා. නමුත් අපිට එකට ඒ නිර්මාණයේ හම්බෙන්න ලැබිලා නෑ. සිංහබාහු චිත්‍රපටයේ අපි දෙන්නටම එකට රඟපාන්න ලැබූණා.

සිනෙති ක්ෂේත්‍රයට ඇවිත් දශකයක වගේ කාලයක් පහු කරගෙන ඇවිත් තියෙනවා. මේ කාලය ඇතුළත ඔබ හොඳ ඉල්ලුමක් හදාගෙන තිබෙනවද?

සිනමාව තුළ මට හොඳ ඉල්ලුමක්, නමක් හැදිලා ති

යෙනවා. පුංචි තිරයෙන් ඒක ඒ විදිහටම තවම හැදිලා නැහැ. මාව ගොඩක් අය දන්නේ සෝමරත්න දිසානායක සර්ගේ චිත්‍රපටයකින් එළියට ආපු ළමයෙක් විදිහට. සෝමරත්න සර්, රේණු ආන්ටි හදලා දුන්න වටිනාකම මට ආභරණයක්. සිනමාව තුළ මට ගොඩක් ලැබුණේ ප්‍රතික්ෂේප කරන්න බැරි චරිත. මට ඒක ගොඩක් වටිනවා. අදටත් මම නිර්මාණයක් ලැබුණම සෝමරත්න සර්ගෙන් සහ රේණු ආන්ටිගෙන් අහලා කරන්නේ. මොකද ඒ දෙන්නා සිනමාවේ මගේ අම්මයි තාත්තයි වගේ.

ඔබ වෘත්තීමය රංගන ශිල්පිනියක්. ඔය නිර්ණායක එක්ක රංගනයෙන් විතරක් ජීවත් වෙන්න පහසුද?

මම තනියම හිටියානම් ඒක අපහසු වෙයි. මට මහත්තයා ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මම යම් නිෂ්පාදනයක සන්නාම තානාපතිනියක් ලෙස කටයුතු කරනවා.හඬකැවීම් කරනවා, රංගන කටයුතු කරනවා. ඒ දේවල් එක්ක මට ගොඩක් දේවල් සමබර කරගන්න පුළුවන්කම ලැබිලත් තියෙනවා. මම රංගන ශිල්පිනියක් වෙන්න හිටපු කෙනෙක් නෙමෙයි. නමුත් දැන් මම ඒ ක්ෂේත්‍රය තුළත් යම් නමක් හදාගෙන ඉන්නවා. මේ වෘත්තිය හරි ලස්සනයි. අමාරු කාලත් එනවා. කට්ට කාගෙන හිටියොත් මේ ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්නත් බැරි නෑ.

ඔබ සිනමාවට වැඩි බර තියන්නද කැමැති?

මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ සිනමාවෙන්. මෙගා නාට්‍ය නම් මම කරනවා අඩුයි. ටෙලි නාට්‍යවල වුණත් අඩු කොටස් ප්‍රමාණයක නාට්‍යවලට තමයි මට ආරධනා ලැබෙන්නේ. ඒ වගේ නිර්මාණ කරන්න මම කැමැතියි. ඇත්තටම මම පුංචි තිරයේ බොළඳ පෙම්වතිය නොවී විවිධ චරිත සිනමාව සහ පුංචි තිරය තුළ කරන්න කැමැතියි.

රංගනයට කාලය වෙන් කරන නිසා සිනෙති මවක් වෙන හීනය කල් දාලද?

ඒ හීනය කල් දාන්නේ නෑ. බබෙක් හදන්න සූදානම් කියලා දැනුණ ගමන් අපි බබෙක් හදනවා. අපි දෙන්නම මාර ආසයි බබාලට.

 

Comments