ප්‍රධාන සූපවේදියාගේ උපන්දිනයට කේක් එකක් නිර්මාණය කිරීමේ අවස්ථාව තමයි ජීවිතේ වෙනස් කළේ | Page 2 | සිළුමිණ

ප්‍රධාන සූපවේදියාගේ උපන්දිනයට කේක් එකක් නිර්මාණය කිරීමේ අවස්ථාව තමයි ජීවිතේ වෙනස් කළේ

නර්තනය, රංගනය, ගායනය මෙන්ම චිත්‍ර ඇඳීම, කේක් නිර්මාණයත් කලාවේම අංගයන්ය. තම හැකියාව වැඩිදියුණු කර ගැනීමේ අරමුණෙන් පාඨමාලා හැදෑරීම සිදු කළත් ආකර්ෂණීය නිර්මාණයක් බිහිවීමට නම් සහජ හැකියාවත් තිබිය යුතුමය. අද අපේ කතා බහට ලක්වන ඔහු ද එවන් හැකියාවකින් පිරිපුන් අයෙකි. ඔහු සුජිත් ලාල්ය. කේක් මෙන්ම විසිතුරු කෑම සෑදීමට ද හපනෙකි. අතීතය හා බැඳුණු ඔහුගේ නිර්මාණශීලිත්වයේ උපත ගැන ඔහු අප හා පැවසුවේ මෙවන් කතාවකි.

“පොඩි කාලෙ ඉඳන්ම මට චිත්‍ර ඇඳීමේ හැකියාව තිබුණා. ආර්ට් එක ඇඟේ තියෙන නිසා ඕනම දෙයක් දැක්ක ගමන් අදහසක් අරන් ඒක නිර්මාණය කරන්න පුළුවන්. කේක් හදන්න පටන් ගත්තෙත් ඒ වගේ. මේ වෙද්දි මං මගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්නේ එංගලන්තයේ. මං වෘත්තියෙන් සුපවේදියෙක්. ලංකාවෙ ඉන්න කාලේ කලාත්මක වැඩක් කරගන්න ඕන වුණාම බොහෝ දෙනෙක් මාව හොයාගෙන ආවා. චිත්‍ර ඇන්දා, පහන් කූඩු, තොරන්, මඟුල් පෝරු නිර්මාණය කළා. ගමේ වැඩවලට වගේම හිතමිතුරන්ගේ උදව්වට ඒවා කළා මිසක් මුදල් ඉපයීමේ චේතනාවක් මට තිබුණෙ නැහැ.

විවාහ වුණාට පස්සේ අපි පවුල පිටින්ම ඉතාලියට ගියා. ඒ 1994දි. පිට රටකටදි අපිට ලොකු ලොකු රස්සාවල් හොයාගන්න අමාරුයි. චිත්‍ර ඇඳීමේ හැකියාව ගැන තිබුණු විශ්වාසය තමයි මට ශක්තියක් වුණේ. ඒ නිසා මං මුලින්ම ගියේ ඉතාලියේ නම් දැරූ මිමි ග්නෝලි (Mini Gnoli) කියන චිත්‍ර ශිල්පියා ළඟට. මගේ හැකියාව දැකපු ඔහු දිගටම ඔහු ළඟ වැඩ කරන්න අවස්ථාව ලබා දුන්නා. එංගලන්තයට එනකල් දිගටම මං වැඩ කළේ ඔහු ළඟ”.

රටකින් තවත් රටකට සංක්‍රමණය වීම ලෙහෙසි කටයුත්තක් නොවුණත් සුජිත් ලාල්ට නම් එය වාසනාව ගෙන ආ ගමනකි. එංගලන්තය ඔහුගේ කලාවට තවත් රුකුලක් විය.

“එංගලන්තයට ආවට පස්සේ චිත්‍ර අඳින එක තවත් දියුණු වුණා. මහරැජින මියගිය වෙලාවෙ මං රැජිනගෙ චිත්‍රයක් ඇන්දා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ලංකාවේ කලා ශිල්පීන්ගේ, ක්‍රීඩකයන්ගේ චිත්‍ර ගොඩක් ඇඳලා තියෙනවා. ලසිත් මාලිංගගේ චිත්‍රයක් ඇඳලා එයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. කවද හරි චිත්‍ර ප්‍රදර්ශනයක් තැබීම තමයි මගේ බලාපොරොත්තුව”

චිත්‍රයට, කලාත්මක නිර්මාණයට හපන්කම් පෑ සුජිත් ලාල් වෙනස්ම මඟකට යොමු කර ඇත්තේ කොවිඩ් වසංගත සමයයි. බොහෝ දෙනෙකුට පීඩාකාරී, ඒකාකාරී කාල වකවානුව සුජිත්ට ගෙන ආවේ අලුත් බලාපොරොත්තුවකි.‍

“එංගලන්තයට ඇවිත් මම මුලින්ම තෝරගත්තේ සූපවේදී රැකියාව. එංගලන්තයේ බටහිර පෙදෙසේ තියෙන ග්‍රෑන්ඩ් හෝටලේට අනුබද්ධ නිව්යෝක් ඉටැලියන් මාක පියුරෝ වයිට් කියන ඉතාලි රෙස්ටුරන්ට් එකේ. ඒකෙ ඉතාලි කෑම වර්ග තමයි හදන්නේ. එහි ශාඛා ලෝකෙ පුරාම ප්‍රචලිතයි. එංගලන්තෙ ඒක ගොඩක් ප්‍රසිද්ධයි. මට එතැන ලැබුණෙ තාවකාලික රැකියාවක්. වැඩ කරගෙන ඉන්න අතරේ ඒකෙ ප්‍රධාන සූපවේදියාගේ උපන්දිනයට කේක් එකක් නිර්මාණය කිරීමේ අවස්ථාව මට ලැබුණා. චෙෆ් කෙනෙක්ගෙ කෝට් එකක් තමයි නිර්මාණය කළේ. කාටවත් ඒක ලස්සනට කරගන්න බැරි වුණා. මගේ නිර්මාණය දැකලා හැමෝම පුදුම වුණා. ඊට පස්සේ හෝටලේ මුදලින් මාව NVQ පාඨමාලාවට යොමු කළා. ඒක නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

මං ගැන දන්න අයට ඒකෙ පුදුම වෙන්න දේකුත් තිබුණා. මං කේක් හදන්න දැනගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මට ඒ අදහස ආවෙ පසුගිය කොවිඩ් සමයේ. අවුරුදු දෙකක් විතර අපේ හොටෙල් වහලා තිබුණා. ගෙදරටම කොටු වෙලා හිටපු මට කරන්න දේකුත් නෑ. ඔය අතරේ ගෙදර අයගේ හිතවතුන්ගේ උපන්දින තිබුණා. මට නිකමට හිතුණා කේක් හදල බලන්න. මං කවදාවත් හදල තිබුණෙ නෑ. මුල්ම කේක් එක නිර්මාණය කළේ මගේ දුවගෙ උපන්දිනේට. මට මතකයි පුංචි ගෙයක් තමයි නිර්මාණය කළේ. ඒක හරි අපූරු නිර්මාණයක් වුණා. දැකපු හැමෝම ෆොටෝ ගත්තා. ඒකට හොඳ ඇගයීමක් වගේම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. එතැන තමයි කේක් නිර්මාණයේ උපත වුණේ.“

එංගලන්තයේ කෑම නිර්මාණ අතරේ පැසසුමට ලක්වන සුජිත් ලාල් සමාජ මාධ්‍යවල ද ජනප්‍රිය තරුවකි.

“බොහෝ විට හෝටලේ දෙපාර්තමේන්තු අතර නිර්මාණ තරග පවත්වනවා. එක පාරක් හොඳම කේක් නිර්මාණය ප්‍රථම ස්ථානය හිමිවුණේ මට. ඒක ෆේස්බුක් වගේම හොටෙල් එකේ වෙබ් සයිට් එකෙත් ගොඩක් ෂෙයාර් වෙලා ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා.”

කිසියම් හෝ හැකියාවක් තිබේ නම් එය උපයෝගී කොට ගෙන උත්සාහයෙන් හා කැපවීමෙන් ඕනෑම තැනක් ජයගන්නට හැකි බවයි ඔහුගේ අදහස.

“ සාමාන්‍ය ටැලන්ට් එකක් තියෙන කෙනෙකුට වුණත් උත්සාහය, කැපවීම තියේ නම් දියුණු වෙන්න පුළුවන්. ඒ සඳහා අවස්ථා බහුලයි. ආර්ට් එක ඇඟේ තියෙන නිසා මට හිතුණ මට පුළුවන් කියලා. හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ. ඒක උපන් රටේ ද පිටරට ද කියන එක අදාළ නෑ. කොහේ හිටියත් මං ලංකාවට ගොඩක් ආදරෙයි.”

Comments